අපට නැත ඉන්නේ
ඒ නිසාමයි අපි තැවෙන්නේ.....
රජෙක් ලැබුණෝතින්
කැවුම් කිරිබත් කන්නම්,
පෙරහැර කරන්නම්,
සාදු නාදෙන් ගිගුම් දෙන්නම්.
(උපුටා ගැනීම - පෙර දිනෙක කුංකුණාවේ හාමුදුරුවන්ගෙන් ගත් අවසරය ඇතිවය)
මාලිමා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කෙරුණු මහාචාර්ය උපාලි පන්නිල පෙරේදා හෝ පළමුදා “ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ” සිය අමාත්‍ය ධුරයේ, වැඩ බාර ගනිමින් කළ කතාව අඩංගු විඩියෝ පටය මම ඇසුවෙමි. ඔහුගේ කතාවේ විටින් විට ඔහු “වර්තමාන රජයේ දර්ශනය.... අපේ රජය.... ජාතික ජන බලවේගය රජය....” යැයි කියන විට, මේ කතා කරන්නේ “ආණ්ඩුව” ගැන නොවේදැයි මට සිතින.
“රජය” යනු පරිපාලන සේවය ඇතුළු අධිකරණය, නීතිය ක්‍රියාත්මක කිරීමේ ව්‍යවස්ථාපිත ආයතන, බන්ධනාගාර, ආරක්ෂක හමුදා සමගවන ආණ්ඩු පාලනයට අවශ්‍ය ස්ථාවර යාන්ත්‍රණයකි. “රජය” ඡන්දදායකයින් පත් කරන්නක් හෝ ඡන්දදායකයින්ට වෙනස් කළ හැක්කක් නොවේ. ජනතාව ඡන්දයෙන් තෝරා පත් කරන්නේ “ආණ්ඩුව” ය. ප්‍රතිපත්ති, අණ පනත් සකසන්නේ ආණ්ඩුවය. ආණ්ඩුව සංයුක්තවන ව්‍යවස්ථාගත ආයතන, ජනතාවගේ ඡන්දයෙන් පත් කෙරෙන, ජනතා නියෝජන ආයතනයන් ය. පළාත් සභා සඳහා ද, පළාත් පාලන ආයතන සඳහා ද, පාර්ලිමේන්තුවට මෙන්ම මැතිවරණ පැවැත්වෙන්නේ එබැවිනි.

“ආණ්ඩුව” සහ “රජය” පටලවා ගෙන කතා කරන්නේ මහාචාර්ය පන්නිල ඇමතිවරයා පමණක් නොවේ. අනෙක් ආචාර්ය, මහාචාර්යවරුන්ද එළෙසම “ආණ්ඩුව” සහ “රජය” පටලවා ගෙන කතා කරති. ජනාධිපතිවරුන්, අගමැතිවරුන් පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ නීති විශාරදයින් පවා “ආණ්ඩුව” සහ “රජය” පටලවා ගෙන කතා කරනු, නිතර අසන්නට ලැබේ. එහෙත් ඒ සිංහලෙන් කතා කරන විට සහ ලියන විටය.
සිංහල මාධ්‍ය “ආණ්ඩුව” සහ “රජය” හිරිකිතයක් නැතිව පටලවා ගැනීම, මාධ්‍යවේදීන්ගේ සාමාන්‍ය දැනුමේ මට්ටම ගත් විට, විය යුත්තකි. එහෙත් ඉංග්‍රීසියෙන් කතා කරන, ලියන විට කිසිවකු “Government” සහ “State” පටලවා ගන්නේ නැත.
ඒ මන්දැයි කලෙක සිට මට ප්‍රශ්නයක්ව තිබිණ.
මේ ලංකාවේ සිංහල-බෞද්ධ ආධිපත්‍ය සඳහාවන මතවාදය නිදහසට පෙර සිටම, සංඝ සමාජයේත් වෙළඳ සමාජයේත් නඩත්තු කෙරුණකි. “සිංහල භාෂාව” පමණක් රාජ්‍ය භාෂාව වූයේ එනිසාවෙනි. 1965 දී සිංහල කලා කෙතෙහි විශිෂ්ටයින් වූ මහගම සේකර පද රචනය කර, පණ්ඩිත් අමරදේව තනුව සහ සංගීත සංයෝජනය නිර්මාණය කර නන්දා මාලනී, “මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි, අප හද පණ ගැහෙන රටයි, මුළු ලෝ ඒ රටට යටයි...” කියා “සාරවිට” චිත්‍රපටයට ගායනා කෙරුවේ, සේකර සහ අමරදේව දෙදෙනාද සමග සිංහල-බෞද්ධ මතවාදයට හවුල් වෙමින්ය.
‘80 දසකය අග භාගය වනවිට වාර්ගික යුද්ධය වෙනුවෙන් “තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්, නැත උන් රට අතැර ගොසින්,..... සිහ රදුනට දා වූ සිංහ පැටවු, තුටු වෙද අනුනගෙ ඉඳුලින්” යැයි නන්දා මාලනී ගායනා කෙරුවේ, අතීත සිංහල-බෞද්ධ උරුමයන්ද එකතු කරමින් සුනිල් ආරියරත්න ලියූවක් ය.
එවැනි විවෘත සිංහල-බෞද්ධ මතවාදයක් සඳහා ඓතිහාසික උරුමයන් එකතු කිරීම 80 දසකයේ පමණ සිට සීඝ්‍රයෙන් සිදු වූවකි. 1985/86 යල හා මහ කන්න වගා පාලු කරමින් පැවති නියඟය හමුවේ කුරුණෑගල, අනුරාධපුර ඇතැම් පළාත්වල ජයවර්ධන ආණ්ඩුවට තිබූ විරෝධය නියඟය සමග ගැට ගැසුවේ, “දේවෝ වස්සතු කාලේන...... රාජා භවතු ධම්මිකෝ” (නිසි කලට වැසි වසින්නට, රජු දැහැමි විය යුතු) යැයි පෝස්ටර ගැසීමෙනි.
එල්ලාවල මේධානන්ද හිමි 20 වන සියවසෙහි “දුටු ගැමුණු” වන්නේ මහින්ද රාජපක්ෂ යැයි කියුවේ, ඔහු මේ රටේ “17 වන මහින්ද රජු” යැයි කියමින් ය. ඔහු වෙනුවෙන් “මහරජාණෝ” යැයි ප්‍රශස්ති ගී ගැයුවේද තවමත් වැඩවසම් මානසිකත්වයෙහි වාඩිලා ගෙන ඉන්නා සිංහල-බෞද්ධයින්ය.
අසාර්ථක වික්‍රමසිංහ පාලනයේ 2018 ජුනි මාසයේ අස්ගිරිය පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි හාමුදුරුවෝ ගෝඨාභය රාජපක්ෂ නිවසේදී අනුසාශනාවක් කරමින් “හිට්ලර්” වැනි නායකයෙක් රටට අවශ්‍ය යැයි කියුවේ, රටේ නීතිය සහමුලින්ම බිඳ වැටී ඇති නිසා, සිංහල ජාතියත් බුද්ධාගමත් බුද්ධ ශාසනයත් සුරකින “දැහැමි රජෙකු” අවශ්‍යයැයි කීමෙනි. “දැහැමි රජෙකු” පිළිබඳ වැඩවසම් සංකල්පය සිංහල-බෞද්ධ මතවාදයට පමණක් නොව, හිට්ලර් පන්නයේ දරදඬු, අමන පාලනයකටත් ගැලපුවකි.
සිංහල-බෞද්ධ මතවාදයෙහි සමස්ථය ගත් විට, නූතන සමාජයේ ඉල්ලුම බවට පත්ව ඇත්තේ හිට්ලර් පන්නයේ දැහැමි රජෙකි. “මේ සිංහල අපගෙ රටයි” කීමේ සිට, “තුන් හෙලේ කැලෑ තුල සිංහ පැට්ව්” සමග “.... රාජා භවතු ධම්මිකෝ” යැයි පෝස්ටර ගසමින් පසුගිය 2019 සහ 2024 ජනාධිපතිවරණ දෙකෙහිම, කුංකුනාවේ හාමුදරුවන්ගේ “අනේ කූඹින්නේ, තොපිටත් රජෙක් ඉන්නේ....” යැයි කවිය කීමට විශේෂඥ වෛද්‍යවරියන් සහ නීතිවේදිනියන් වේදිකා නැග්ගේ, දුටු ගැමුණු වැනි “රජවරුන්” අපේක්ෂා කරන සමාජ විඥාණයක් නියෝජනය කරමින් ය. බහුතරයක් සමග එවැනි රජෙකු පත් කර ගත යුතුයැයි ඔවුන්ද සිතන හෙයින් ය.
මේ රට අනාගතයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් (IT Hub) ලෙස සංවර්ධනය කිරීමට කතා කරන සැවොමත් ඒ අනුව යමින් පාර්ලිමේන්තුවේ බහුතරය වන “ආණ්ඩුව” ලඝු කර ගන්නේ ජනතාව විසින් තෝරා පත් කෙරෙන ජනාධිපතිට ය. අතීත වැඩවසම් විශ්වාසය මත ඔහු (ඇය ගැන කතාවක් නැත) ප්‍රතිරූපගත කෙරෙන්නේ රාජපක්ෂ ජනාධිපති “දුටු ගැමුණු” වැනි යැයි කියූ අයුරුම, වැඩවසම් ලංකාවේ සිටි “රජවරුන්” ලෙසින්ය. “අපේ රජය” සංකල්පගතව ඇත්තේ එළෙසින් යැයි මම සිතමි. දැන් “අපේ රජය” රට පාලනය කරන්නේ යැයි සැවොම කියන්නේ ඒ වැඩවසම් විඥාණය අනුව ය.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 නොවැම්බර 21



