The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බමුණු ග්‍රහණයට නතු වූ ජාතික නාලිකාව - (ජයසිරි අලවත්ත)

T

The Leader Desk

October 23, 2022 • 8:14 AM

බමුණු ග්‍රහණයට නතු වූ ජාතික නාලිකාව - (ජයසිරි අලවත්ත)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය යන සේවා හැඳින්විය හැකි ය.
  • ඇතැම් ආයතන ආදායමක් ඉපැයුව ද ලාබ නොලබයි.
  • ආගම යනු කිසිවෙකු විසින් කිසිවකුගේ මනසට බලහත්කාරයෙන් ඇතුළු කළ යුතු විෂයක් නොවේ.
  • නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතන අදාළ ආයතන වෙත පැවරී තිබෙන වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන බවක් දක්නට නොලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පවත්වාගෙන අයතන ද පවතී.


උදාහරණයක් ලෙස සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය යන සේවා හැඳින්විය හැකි ය. ඇතැම් ආයතන ආදායමක් ඉපැයුව ද ලාබ නොලබයි. අදාළ ආයතන සඳහා මුදල් සම්පාදනය කරන්නේ මහා භාණ්ඩාගාරයෙනි. මහා භාණ්ඩාගාරයේ තිබෙන්නේ ද රටේ ජනතාවට හිමි මුදල් ය. එම මුදල්වලින් යැපෙන රාජ්‍ය ආයතන ප්‍රමුඛත්වය සැපයිය යුත්තේ රටේ ජනතාවගේ යහපත උදෙසා ම ය.


ඒ අනුව ගත් විට: ලේක් හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය සහ ජාතික රුපවාහිනී සංස්ථාව යන ආයතන කිසියම් මුදලක් ඉපැයුව ද එම මුදල ආයතනය නඩත්තු කිරීම සඳහා කිසි සේත් ම ප්‍රමාණවත් නැත. එහෙත් අදාළ ආයතන නඩත්තු කෙරේ. ඒ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් දක්වන අනුග්‍රහය හේතුවෙනි. එසේ නම් එවන් ආයතනවල මුඛ්‍ය අරමුණ මෙන් ම වගකීම විය යුත්තේ ජනතාව වෙත සාධණීය දෑ සැපයීම ය.


තවත් පැහැදිලි කරන්නේ නම් අදාළ මාධ්‍ය ආයතනවල වගකීම විය යුත්තේ ජනතාවගේ යහපත උදෙසා සිය සේවාව සැපයීම ය. එහි දී රටේ ජනතාවගේ මනස විකෘති කරන, ජනතාව විවිධ බෙදීම්වලට ලක් කෙරෙන වැඩසටහන් විකාශනය කිරීම නොකළ යුතු අතර මිනිස් මනස අවුලෙන් අවුලට පත් කරන මිථ්‍යා මතවාද පැතිරවීම ද නොකළ යුතු ය. එහෙත් එය එසේ සිදුවනවා ද...?

 

බොහෝ වියතුන්ගේ මතයට අනුව ආගම රාජ්‍ය ව්‍යුහයෙන් ඉවත් කළ යුතු ය. එහෙත් රාජ්‍ය පාලකයෝ එම යෝජනාව පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකරන අතර හැකිතාක් දුරට ආගම රාජ්‍ය ව්‍යුහය තුළට ඇදගැනීම සඳහා වූ ක්‍රියා මාර්ග ගනිමින් සිටියි. ආගම යනු කිසිවෙකු විසින් කිසිවකුගේ මනසට බලහත්කාරයෙන් ඇතුළු කළ යුතු විෂයක් නොවේ. එමෙන් ම ආගම යනු මිනිස් ප්‍රජාව තළා පෙළා දැමීම සඳහා භාවිත කළ යුතු ආයුධයක් ද නොවේ. එය ඇදහීමට රුචිකත්වයක් දක්වන ප්‍රජාවට ඒ නිදහස තිබිය යුතු අතර ම එය ප්‍රතික්ෂේප කරන ප්‍රජාවට ද එම අයිතිය හිමි විය යුතු ය.

 

එමෙන් ම මෙම මාධ්‍ය ආයතන භාවිත කරමින් ආගම්වාදී වැඩසටහන් ප්‍රචාරය කරනවා සේ ම ඕනෑම ආගමක කිසියම් වැරැද්දක් පවතී නම් එය විවේචනය කිරීම සඳහා ද අවකාශ තිබිය යුතු ය. අදාළ ආගම නාමයෙන් අනිසි යමක් සිදු කෙරෙන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අවස්ථාව සලසා දිය යුතු ය. රාජ්‍ය මාධ්‍ය ආයතනවල වගකීම වන්නේ එය යි.


නමුත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතන අදාළ ආයතන වෙත පැවරී තිබෙන වගකීම් නිසියාකාරයෙන් ඉටු කරන බවක් දක්නට නොලැබේ. ඔවුන් කටයුතු කරන්නේ ද හුදෙක් සාම්ප්‍රදායික රාමුව තුළ රාමු ගතවෙමිනි. ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ම එම රාමු බිඳ දමන්ට කිසියම් පැවිදි හෝ ගිහි පුද්ගලයන් හෝ කණ්ඩායමක් විවිධ අවස්ථාවල උත්සාහ දැරුව ද ඊනියා ආගම්වාදින්ගේ සහ මිථ්‍යා මත වපුරන්නන්ගේ බලපෑම් මත එවන් විකල්ප වැඩ සටහන් අතර මග දී නවතා දමයි.

 

2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව සමයේ (මගේ මතකය නිවැරැදි නම් 2016 වසරේ සිට 2018 පමණ දක්වා) ජාතික රූපවාහිනී නාලිකාවේ ‘‘යථාරූප’’ මැයෙන් ඉතා අගනා වැඩසටහනක් විකාශනය විය. එම වැඩසටහන හේතුවෙන් ලංකාවේ සිටින බොහෝ වංචාකාර පිරිස් වෙත බරපතළ අභියෝගයක් එල්ල විය. සමාජයේ විවිධ මිථ්‍යා මත පතුරවමින්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව ම ජනතාව රවටමින් බැංකු ගිණුම් තර කරගන්නා බොහෝ රැවටිලිකාර පුද්ගලයන් සහ කණ්ඩායම් සුවහසක් ජනතාව ඉදිරියේ අන්ත පරාජයට මෙන් ම ලජ්ජාවට පත්විය. ඔවුන් කෙතරම් රැවටිලිකාරයෝ ද යන්න ඔවුන්ගේ වංචාවලට, රැවටිලිවලට හසුව මුළා වූ ජනයා අවබෝධ කරගත්තේ ය. එය හේතුවෙන් ම එකී රැවටිලිකාර පක්ෂය කුමන හෝ සැලසුමක් දියත් කරමින් අදාළ වැඩසටහන නවතාලන තැනට කටයුතු කළේ ය.

 

ඇතැම් විට මෙය රූපවාහිනී සංස්ථාවේ ම වැඩසටහන් නිෂ්පාදනය කරන ඇතැම් පිරිස් විසින් ම කරන ලද්දක් ද යන්න සැක සහිත ය. මන්ද මෙම වැඩසටහන හේතුවෙන් අන්ත රැවටිලිකාර ජ්‍යෝතිර්වේදියෝ, නක්ෂත්‍රකරුවෝ සහ ෆෙන්ෂුයිකරුවෝ යනාදී මිථ්‍යා මත වපුරන්නන්ගේ ව්‍යාපාර කඩා වැටෙන්නට විය. ඔවුන් රූපවාහිනී නාලිකාවලට ගෙවූ ලක්ෂ ගණනක් වූ මුදල් ප්‍රමාණය ද සංස්ථාවට අහිමි වන තත්ත්වයක් උදා විය. අනතුරුව මෙම මිථ්‍යා මත පතුරන්නෝ විවිධාකාර අන්දමින් බලපෑම් කළ බවට ද ආරංචි ලැබිණ. ඒ සඳහා එවකට රටේ ප්‍රධාන පුරවැසියා ද මැදිහත් වූ බවට ආරංචි පැතිරිණ. එනිසා ම ජාතික රූපවාහිනී නාලිකාව ‘‘යථාරූප’’ වැඩසටහන නවතා දැමී ය. එසැණින් ම යළි පෙර කී මිථ්‍යා මත වපුරන්නෝ ජාතික රූපවාහිනි නාලිකාව සිය ග්‍රහණයට ගත්හ.

 

ගල්කන්ද් ධම්මානන්ද හිමි FB සටහන

ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ නමක් වන ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ සහභාගිත්වයෙන් විකාශනය කළ ‘‘සදහම් මග’’ නම් වූ වැඩසටහන අත්හිටුවී ය.

 

ඒ පළමු අවස්ථාව ය. පසුගිය දිනෙක එහි දෙවන අවස්ථාව ද දක්නට ලැබිණ. ඒ ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේ නමක් වන ගල්කන්දේ ධම්මානන්ද හිමිගේ සහභාගිත්වයෙන් විකාශනය කළ ‘‘සදහම් මග’’ නම් වූ වැඩසටහන අත්හිටුවීම ය.


මෙම වැඩසටහන අඛණ්ඩව කොටස් 13ක් විකාශනය කර ඇත. ජාතික නාලිකාව වෙතින් ලැබෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව 14වන කොටස පටි ගත කළ ද එය ජාතික රුපවාහිනී නාලිකාවේ විකාශනය කර නැත. නමුදු එම නාලිකාවේ ම youtube චැනලයේ 14වන කොටස මුදා හැර ඇත. මේ සම්බන්ධයෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි තම facebook ගිණුමේ ද සටහනක් තබා තිබිණ.


මා මෙම වැඩ සටහන නරඹා නොතිබුණ බැවින් ජාතික නාලිකාවේ ම youtube චැනලය පරික්ෂා කර බලන්නට සිත් විය. එහි දි දක්නට ලැබුණේ විශාල පිරිසක් මෙම වැඩසටහන නරඹා ඇති බවයි. ජාතික නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන පරිදි මෙම වැඩසටහන සජීවිව නරඹන පිරිස ද ඉතා විශාල ය. එමෙන් ම මෙම වැඩසටහන සඳහා විවිධ පුද්ගයන් සහ ආයතන විසින් අනුග්‍රාහකත්වය ද සපයා ඇත. එසේ නම් මෙම වැඩසටහන අතරමග දී නවතා දැමුවේ ඇයි...?


මේ පිළිබඳ සොයා බැලීමේ දී විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපූරු කතන්දරයකි.

 

මෙම වැඩසටහන ඉදිරිපත් කරන ගල්කන්දේ ධම්මානන්ද හිමි අසුන් ගන්නා අසුනට කිසිදු දිනක සුදු පිරුවටයක් (රෙද්දක්) නොදමයි. ඒ, උන්වහන්සේගේ ප්‍රතිපත්තිමය තීරණයක් හේතුවෙනි. එනම් බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ම බුද්ධ පුත්‍රයන් සැමට සමතැන්හි ලා සැලකිය යුතු ය. සැමට සම ලෙස සැලකීම යනු බුද්ධ පුත්‍රයා ද තමා ඉදිරියේ සිටින ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඉදිරියේ එම සමතැන්හි ලා සැලකීම ප්‍රායෝගිකත්වයට නැගිය යුතු ය. යන මතය ගරු කරන බැවිනි.

 

මෙම වැඩසටහන නැරඹූ කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් (ගිහි හෝ පැවිදි විය හැකි ය) ධම්මානන්ද හිමිගේ මෙම ක්‍රියාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. ඒ ප්‍රසිද්ධියේ නොව වත්මන් රුපවාහිනී සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සෙනෙවිරත්න වෙත ය. මා දැන සිටි පරිදි අජන්ත සෙනවිරත්න යනු කාලයට සාපේක්ෂව යාවත්කාලින වන පුද්ගලයෙකි. නමුත් මෙම සිදුවීමේ දී ඔහු ද ආචීර්ණ කල්පිත අදහස් දරන පිරිසකගේ බලපෑමට යටත් වී ඇති බවට සැක පහළ කෙරේ.


විශ්වාසවන්ත කටයුතු මාර්ගයකින් දැනගන්න ලැබුණු ආකාරයට (මෙය වැරැදි නම් අදාළ පාර්ශ්වයට එය නිවැරැදි කළ හැකි ය) ජාතික නාලිකාවේ අධ්‍යක්ෂ ජනරාල් තැන්පත් අජන්ත සෙනෙවිරත්න ගල්කන්දේ හිමියන් සම්මුඛ වීම සඳහා දූතයකු පිටත් කර යවා ඇත. ඔහු ගල්කන්දේ ධම්මානන්ද හිමිගෙන් ඉල්ලීමක් කර ඇත. එනම් උන්වන්සේ අසුන් ගන්නා අසුනට සුදු පිරුවටයක් (රෙද්දක්) දැමීමට ඉඩ සලසන ලෙසයි. උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, අවවාදයට වඩා ආදර්ශය උතුම් ය යන ප්‍රතිපත්තියේ පිහිටා සිට ය. නමුත් ජාතික නාලිකාව පාර්ශ්වයෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. එනම් ඔවුන්ගේ හිතුවක්කාර තීරණය වී තිබෙන්නේ ධම්මානන්ද හිමි අසුන් ගන්නා අසුනට සුදු පිරුවටයක් (රෙද්දක්) දැමිමට ඉඩ සලසන්නේ නම් මෙම වැඩසටහන තව දුරටත් පවත්වාගෙන යා හැකි බවයි. උන්වහන්සේ එය යළි යළිත් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ‘‘සදහම් මග’’ වැඩසටහන අත්හිටුවා ඇත.

 

ලිපිය ආරම්භයේ දැක්වූ පරිදි ම ජාතික නාලිකාව යනු ජනතාවගේ බදු මුදලෙන් යැපෙන ආයතනයකි. එම ආයතනය කටයුතු කළ යුත්තේ අන්තවාදීන්ගේ, ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ යහපතට නොව සමස්ත රටවැසියාගේ ම යහපත උදෙසා ය. එහෙත් කුමන හෝ හේතුවක් මත නිරන්තරයෙන් යාවත්කාලීන වන පුද්ගලයෙක් ලෙස සැලකූ අද්‍යතන සභාපතිවරයා ද කුමන හෝ බලපෑමකට යටත්ව ධම්මානන්ද හිමිගේ ස්වාධීනත්වය කෙලෙසන්නට යත්න දරා ඇත. එය හුදෙක් උන්වහන්සේට කළ අකටයුත්තක් පමණක් නොව සමාජය යහපත් මාර්ගයක් වෙත ප්‍රවේශ කරවන්නට යත්න දරන සියලු බලවේග වෙත එල්ල කළ මරු පහරකි.

 

අවසන් වශයෙන් කිව යුත්තේ අලුත් අලුත් දෑ නොතකන ජාතිය ලොව නොනැගෙන්නා සේ ම අලුත් අලුත් අලුත් දෑ නොතකන ජාතික නාලිකාව ද බැස යා හැකි බවයි.      

 






කළ යුත්තේ කුමක් ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
jayasirialawatta11@gmail.com
2022/10/23


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...