The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සන්නද්ධ තරුණ නැගිටීමක සිට විධායකය දක්වා: JVP සිට NPP දක්වා පැමිණි ගමන්මග

T

The Leader Desk

September 26, 2024 • 1:31 PM

සන්නද්ධ තරුණ නැගිටීමක සිට විධායකය දක්වා: JVP සිට NPP දක්වා පැමිණි ගමන්මග

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයෙන් ජය හිමි කර ගත්තේ, දෙවන වර මනාප ගණනය කිරීමෙන් පසුව ය.
  • ශ්‍රී ලංකාවේ පළමු තරුණ සන්නද්ධ අරගලය - 1971 සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සංවෘත ආර්ථික ක්‍රමයක් ඇති කීරීමත් සමග රට පුරා පෝලිම් යුගයක් ආරම්භ වූ අතර, හාල්, රෙදි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පවා දැඩි සීමා පනවා තිබිණි.
  • මේ අනුව, 1971 අප්‍රේල් 05 වන දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එක ම වේලාවකදී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි.
  • ඒත් සමඟ ම රජය විශාල වශයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගත් අතර, දිවයින පුරා බන්ධනාගාර සැකකරුවන්ගෙන් පිරීගොස් තිබූ නිසා විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාල පවා සිර කඳවුරු බවට පත් කරනු ලැබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙවර ජනාධිපතිවරණයෙන් ජය හිමි කර ගත්තේ, දෙවන වර මනාප ගණනය කිරීමෙන් පසුව ය.

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ තරුණ නැගිටීම් දෙකකට ම නායකත්ව දුන් පක්ෂයක් වන අතර, සන්නද්ධ අරගලයකින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් මහ ජනතාවගේ ඡන්දයෙන් රාජ්‍ය බලය ලබා ගැනීම දක්වා ඔවුන්ගේ දේශපාලන බලවේගය දශක හයකට ආසන්න කාලයක් පුරා දීර්ඝ ගමන් මගක් පසු කර තිබේ.

මේ, ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකි.

 

නව දේශපාලන යුගයක ආරම්භය - 1965

 

1917 ඔක්තෝබර් 25 වන දින සිදුවූ රුසියානු විප්ලවයෙන් පසුව සමාජවාදී රජයක් බවට පත්වූ සෝවියට් සමූහාණ්ඩුවේ ලුමුම්බා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලැබී, එහි ඉගෙන ගනිමින් සිටි රෝහණ විජේවීර තරුණයා එහිදී චීන කොමියුනිස්ට් පිළට සහය පළ කිරීම හේතුවෙන් එම විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින ලදී.

 

කුඩා කාලයේ පටන් පියාගේ දේශපාලන නැඹුරුවත් සමග වාමාංශික දේශපාලනය සම්බන්ධයෙන් අවබෝධයක් තිබූ ඔහු තවත් තරුණයක් කිහිප දෙනෙකු සමග 1965 වසරේ වෙසක් පොහොය දින ගාල්ලේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු, එයින් පසු එළැඹි දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මහත් දේශපාලන පෙරළියක් සිදු කළ 'ජනතා විමුක්ති පෙරමුණේ' ආරම්භය සනිටුහන් විණි.

 

Screenshot 2024 09 26 at 18.33.18 copy

ශ්‍රී ලංකාවේ පළමු තරුණ සන්නද්ධ අරගලය - 1971

 

සිරිමාවෝ බණ්ඩාරනායකගේ රජය යටතේ සංවෘත ආර්ථික ක්‍රමයක් ඇති කීරීමත් සමග රට පුරා පෝලිම් යුගයක් ආරම්භ වූ අතර, හාල්, රෙදි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලට පවා දැඩි සීමා පනවා තිබිණි. විරැකියාව සහ කුල පීඩනය තවත් එය උග්‍ර කළේ ය.

 

විශේෂයෙන් ම, තරුණ ප්‍රජාව තුළ මේ සම්බන්ධයෙන් දැඩි අසහනකාරී තත්ත්වයක් ගොඩ නැගී තිබූ අතර, මේ නිසා ම බොහෝ තරුණ තරුණියෝ ජනතා විමුක්ති පෙරමුණ එවකට යෝජනා කර සිටි ජනතාවට බලය දිනා ගැනීමේ අදහස වටා එක් වූහ.

මේ අනුව, 1971 අප්‍රේල් 05 වන දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එක ම වේලාවකදී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේදී පහර දීමට සැලසුම් කෙරිණි. ඒ වන විට පක්ෂ නායකයා වූ රෝහණ විජේවීර සිටියේ යාපනය බන්ධනාගාරයේ ය.

සන්නිවේදන දුර්වලතාවයක් හේතුවෙන් එක් පිරිසක් උදෑසනත් අනෙක් පිරිස රාත්‍රියේත් පොලිසිවලට පහර දීම නිසා මෙම සන්නද්ධ අරගල උත්සහය අසාර්ථක විය. ඒත් සමඟ ම රජය විශාල වශයෙන් සැකකරුවන් අත් අඩංගුවට ගත් අතර, දිවයින පුරා බන්ධනාගාර සැකකරුවන්ගෙන් පිරීගොස් තිබූ නිසා විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල (වත්මන් ශ්‍රී ජයවර්ධනපුර සහ කැළණිය විශ්වවිද්‍යාල පවා සිර කඳවුරු බවට පත් කරනු ලැබුණි.

 

රජය හදිසි නීතිය යටතේ තවත් විශේෂ රෙගුලාසි කීපයක් සම්මත කර ගත් අතර, මළසිරුරු මරණ පරීක්ෂණයකින් තොරව පුළුස්සා දැමීමට රජයේ ආරක්ෂක අංශවලට ඒ වනවිටත් බලය පවරනු ලැබ තිබුණි.

 

ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ 1971 සන්නද්ධ අරගලය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙවන් අදහසකි.

 

ප්‍රතිසංස්කරණ ද? විප්ලවය ද? - වික්ටර් අයිවන්

 

"1971 අරගලය හදිසි අනතුරක් හෝ රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් හෝ පුද්ගලයෙකුගේ අත්තනෝමතිකත්වයේ ප්‍රතිඵලයක් නොවේ. එය මේ මොහොතේ දේශපාලනයේ ගොඩනැගෙමින් තිබූ තත්ත්වයන්ගේ තාර්කික ප්‍රතිඵලය විය. "

 

මේ සඳහා 1972 අපරාධ යුක්ති කොමිෂන් සභා පනත අනුව අධිකරණ බලය සහිත විශේෂ කොමිෂන් සභාවක් පත්කරන ලද අතර අප්‍රියෙල් "මහනඩුව" ලෙස හඳුන්වන නඩු විභාගයේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 41 දෙනෙකුට දණ්ඩ නීති සංග්‍රහයට අනුව චෝදනා එල්ල විය.
පළමු ජනාධිපතිවරණය - 1982

 

පළමු සන්නද්ධ අරගලය අසාර්ථක වීමෙන් පසුව ජාතික දේශපාලනයට එළැඹීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අතර, 1982 පැවති පළමු ජනාධිපතිවරණය සඳහා ද ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක රෝහණ විජේවීර තරග කළේ ය.

 

එය ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණෙන් මැතිවරණයකට තරඟ කළ පළමු අවස්ථාව විය.

 

ඡන්ද 273,428ක් ලබා ගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත්වූ අතර, එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූ ජේ. ආර්. ජයවර්ධන යි.

 

Screenshot 2024 09 26 at 18.34.45 copy

තහනම් පක්ෂයක දෙවන කැරැල්ල 1988/89

 

1983දී ශ්‍රී ලංකාවේ ඇති වූ කළු ජූලිය ඇතුළු ජනවාර්ගික ගැටුම් හේතුවෙන් දේශපාලන පක්ෂ කිහිපයක් තහනම් කිරීමට ජේ. ආර්. ජයවර්ධන රජය කටයුතු කළ අතර, එම පක්ෂ අතර ජනතා විමුක්ති පෙරමුණ ද විය.

 

මේ නිසා එම පක්ෂයේ ක්‍රියාකාරිකයින්ට තවදුරටත් පක්ෂයේ නම යටතේ දේශපාලන කටයුතුවල නිරත වීමට නොහැකි විය.

 

1988/ 89 කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ දෙවැනි වරටත් තරුණ සන්නද්ධ අරගලයක් ආරම්භ වූ අතර එය, ජනතා විමුක්ති පෙරමුණ සහ එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය යන දෙපාර්ශවයට ම කළු පැල්ලම් එකතු කළ සිදුවීම් දාමයකි. මෙම සිදුවීම් එතැන් සිට පැවති සෑම මැතිවරණයකදී ම කරලියට ඒම දක්නට ලැබුණු අතර මෙවර ජනාධිපතිවරණයේදී ද කැපී පෙනන ලෙස එම සිද්ධි දාමයන් මැතිවරණ වේදිකාවල තේමා බවට පත්විය.

 

1987 වර්ෂයේ ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ තීරණාත්මක වසරක් වූ අතර එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සහ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කෙරුණේ එම වසරේයි.

 

රාජපක්ෂලාට මුවාවී චීනයට ටොකු අනින ඉන්දියාව - රටේ රාළ

 

ඉන්දියානු රජය විසින් යෝජනා කළ බලය බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා ආරම්භ වීමත්, ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාව ගොඩ බැසීමත් නිසා "ඉන්දියානු ව්‍යාප්තවාදය"ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ "දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය" ලෙස සංවිධානය වී විවිධ මට්ටමේ විරෝධතා දක්වනට පටන් ගත්තේ ය.

 

1987 මැයි දිනය එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජය විසින් තහනම් කළ අතර, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඇතුළු ආණ්ඩු විරෝධී ව්‍යාපාර විසින් ඒකබද්ධව නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මැයි දින සැමරුමෙන් පසු පැවැත්වූ විරෝධතා පෙළ පාලියට පොලිසිය විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ කිත්සිරි මෙවන් රණවක සහ කම්කරුවෙකු වූ ආනන්දලාල් කිරිබත්ගොඩ ජීවිතක්ෂයට පත්වූහ.

 

එම කාලයේ පටන් ඇරඹි "88/89 භීෂණ කාලවකවානුව" තුළ තරුණ තරුණියන් 60,000ක් පමණ ඝාතනය වූ අතර, බොහෝ දෙනෙකු වද කඳවුරුවල අමානුෂික වද බන්ධයන්ට ලක් විය. තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වූ අතර, අදටත් ඔවුන් පිළිබඳ සත්‍ය හෙළිදරවු වී නැත.

 

1989 වසරේ දී උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක 'අත්තනායක' නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරිණි.

 

එපමණක් නොව පොදු දේපළ හානි කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට ද චෝදනා එල්ල විය.

 

අසූව දශකයේ අග භාගයේ "භීෂණ සමයේදී" ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද ඝාතන ඇතුළු "සිදු නොවිය යුතුව තිබුණු ක්‍රියා" පිළිබඳව අනුර කුමාර දිසානායක සමාව ඉල්ලා සිටියේ, 2014 වසරේ බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටියදී එවකට බීබීසී සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

Screenshot 2024 09 26 at 18.42.54 copy

 

සමාජවාදයේ සිට ජාතිකවාදය දක්වා

 

සමාජවාදී සංකල්ප මූලික කර ගනිමින් ඇරඹි ජනතා විමුක්ති පෙරමුණ කෙමෙන් කෙමෙන් ජාතිකවාදයට නැඹුරුවීමක් සිදුවන්නේ, 1990 දශකය අගභාගයේ සිට 2000 දශකය දක්වා කාලය තුළ යි.

 

eelamකෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භයේ පටන් ම යම් ජාතිකවාදී නැඹුරුවක් තිබූ බව පැහැදිලිවන එක් අවස්ථාවක් වන්නේ එම පක්ෂයෙ හිටපු නායක රෝහණ විජේවීර විසින් 1985 දී ලියා පළ කළ "දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?" යන ග්‍රන්ථයයි. එහි අඩංගු කරුණු සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ද සකාච්ඡා පැන නැගුණු බව පැවසේ.

 

2002 මහමැතිවරණයට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පොදු පෙරමුණු රජය කඩා වැටීමට ඉඩ නොදී එයට සහය පළ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ 2001 දී කටයුතු කළේ ය.

 

එය එම පක්ෂය සභාග දේශපාලනයට ගිය යොමු වූ මුල් අවස්ථාවක් ලෙස නම් කළ හැකියි.

 

එම කාලයේදී පක්ෂය මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානයකට එක්වන අතර, පසුව එම සන්ධානයෙන් මැතිවරණයට තරග කර පාර්ලිමේන්තු ආසන 39ක් ද දිනා ගැනීමට සමත් විය.

 

ජවිපෙ සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම ?

 

2004 මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාප ගණන ලබා ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට තේරී පත් වී, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

 

කෙසේ නමුත්, මෙම සන්ධානයට වැඩි ආයුෂ නොතිබිණි.

 

2004-2005 කාලවකවානුවේදී ජනතා විමුක්ති පෙරමුණ යුද්ධයට පක්ෂපාති 'මානෙල් මල් ව්‍යාපාරය' සහ 'දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය' වැනි ජාතිකවාදී සංවිධාන යැයි කියන ව්‍යාපාර හා සම්බන්ධ වෙමින් ඒ වන විට උතුරේ පැවති සිවිල් යුද්ධය අඛණ්ඩව පවත්වා ගෙන යාමට සැලකිය යුතු සහ බලපෑම් සහගත මැදිහත්කරුවෙකු ලෙස ක්‍රියා කළේය.

 

2005 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ කොන්දේසි 12ක් සහිත ගිවිසුමකට එළැඹුණු අතර, ඒ වන විට සිදු කෙරී තිබූ එල්ටීටීඊය සමඟ සිදු කළ සාම සාකච්ඡා සහ ඒවා සඳහා නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම පිළිබඳ නැවත සලකා බැලීම සම්බන්ධ කොන්දේසි ද ඇතුළත් ය.

 

එමෙන් ම 2005 දී සුනාමි සහනාධාර වැඩපිළිවෙළ සඳහා රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිකරගත් ගිවිසුම අහෝසි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ "රජයට ත්‍රස්තවාදී සංවිධාන සමඟ ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි" බව පවසමින් ය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගිවිසුම අත්හිටුවීමට නියෝග කෙරුණි.

 

විමල් තවම වැල මැස්සට ඇවිත් නැද්ද? - රටේ රාළ

 

එවකට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ විමල් වීරවංශ, වත්මන් ජනාධිපත් අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ ජනප්‍රිය කථිකයන් එම කාලයේ දී 'මානෙල් මල් ව්‍යාපාරයේ' ක්‍රියාකාරී සාමාජිකයන් වූහ.

 

යුද්ධයේ අවසන් භාගයේ දී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙසේ අදහස් දැක් වූවේ ය.

 

"ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී, විශේෂයෙන් ඔය කැබිතිගොල්ලෑව ප්‍රශ්නය මතු වුණා. ඒ වෙලාවේ අපේ සහෝදරවරු, අපේ සහන සේවා බළකාය ඒ හමුදාවන්ට ගිහිල්ලා කඳවුරු හදලා දුන්නා. බංකර් හදලා දුන්නා. සියල්ල අපි කරලා දුන්නා ඒ පළාතේ.

 

ඒ විතරක් නෙවෙයි, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රදේශයේ කවුරුවත් යන්නේ නැති ගම්මානවල රතු තරුව බළකාය ගිහිල්ලා බංකර් හදලා දීලා, පාරවල් හදලා දීලා, ඒ හමුදාවේ සොල්දාදුවන්ට දෙන්න පුළුවන් උපරිම ධෛර්යය අපි විපක්ෂයේ ඉඳන් දෙමින් තිබෙනවා."

 

එම කාල වකවානුවේ ක්‍රියාත්මක කළ "මානෙල් මල් ව්‍යාපාරය" හරහා හමුදා නිලධාරීන්ට "අභිමානයක් සහිත මිනිසුන් හැටියට ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ බව," ද ඔහු එහිදී පවසා සිටියේ ය.

 

කෙසේවෙතත් 2008 වර්ෂයේ දී පක්ෂයේ ප්‍රධාන කථිකයෙකු වූ විමල් වීරවංශ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ එක් වීම එකල බෙහෙවින් සාකච්ඡාවට බඳුන් වූ කරුණකි.

 

2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය දුන් ජනතා විමුක්ති පෙරමුණ යළි 2010 දී ජනාධිපතිවරණයෙන් ඔහුව පරාජය කිරීමට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට සහය දක්වන ලදි. ඒ වන විටත්, 1994 සිට පක්ෂ ප්‍රතිසංවිධානයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ විසින් තේරූ උපාය මාර්ග සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුමක් හටගෙන තිබුණි.

 

Screenshot 2024 09 26 at 18.49.30 copy

දෙකඩ වීම - 2011

 

පක්ෂ අභ්‍යන්තරයේ දිගින් දිගට ම ඇති ව තිබූ අභ්‍යන්තර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස 2011 දී පක්ෂය දෙකඩ විය. ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණවාදය, වෘත්තීය සමිතිවාදය, ප්‍රතිසංස්කරණවාදය සහ ජාතිකවාදයට ඇද වැටුණේ යැයි චෝදනා කරමින් 2011 සැප්තැම්බර් මස කැඳවූ විශේෂ සම්මේලනයකින්, ජනතා විමුක්ති පෙරමුණින් ඛණ්ඩනය වූ කොටසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලදි. එම පක්ෂයේ වර්තමාන ප්‍රධාන ලේකම්වරයා වන්නේ කුමාර් ගුණරත්නම් ය.

 

ඛණ්ඩනය වීමේ අවස්ථාවේ දී දෙපාර්ශවය අතර ගැටුම් ද ඇති විය.

 

ඉන්පසු ජනතා විමුක්ති පෙරමුණට වෙනස් දේශපාලන උපායමාර්ග අනුගමනය කළ ඔවුහු මෙම ජනාධිපතිවරණය ද ඇතුළුව 2015, 2019 ජනාධිපතිවරණවලට වෙන ම තරඟ කරන ලදි.

 

පසුගිය 2022 ගාලුමුවදොර අරගල සමයේ "බලය දියවන්නාවෙන් පිටතට" යන සටන් පාඨය ඔවුන්ගේ සටන් පාඨය වී තිබූ අතර, මෙවර ජනාධිපතිවරණයට එම පක්ෂයේ සාමාජිකයෙකුවන නීතීඥ නුවන් බෝපගේ තරඟ කළේ අරගලයට එක් වූ ඇතැම් පාර්ශව විසින් නිර්මාණය කරගත් සන්ධානයක් හරහායි.

 

Screenshot 2024 09 26 at 18.50.48 copy

 

සෝමවංශගෙන් අනුරට: නායකත්වය මාරු වීම

 

1969 දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ සෝමවංශ අමරසිංහ 1971 කැරැල්ලෙන් පසුව බන්ධනාගාර ගත වූ අතර, ඔහු නැවත නිදහස් වන්නේ 1977 වසරේදීයි. 1988/89 කාලවකවානුවේ මර්දනය හමුවේ රටින් පළා ගොස් සිටි අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස 1990 දී ශ්‍රී ලංකාවට නැවත පැමිණ ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත් විය.

 

ඔහු වසර කිහිපයක් පාර්ලිමේන්තුව ද නියෝජනය කළ අතර 1995 සිට ඔහු නායකත්වයෙන් ඉවත් වූ දිනය දක්වා පක්ෂයේ මහලේකම් ධූරය දැරුවේ ටිල්වින් සිල්වායි. සෝමවංශ අමරසිංහගෙන් පසුව මේ දක්වා ද පක්ෂ මහලේකම් ධූරය දරන්නේ ටිල්වින් සිල්වායි.

 

සෝමවංශ අමරසිංහ නායකත්වයෙන් ඉවත්වන කාලවකවානුව වන විට ඔහුට විවේචන රැසක් ගොඩනැගී තිබූ අතර, සභාග ආණ්ඩු සඳහා පක්ෂය මෙහෙයවීම, 1994න් පසු පක්ෂය ගෙන ගිය ජාතිකවාදී වැඩපිළිවෙළට දායක වීම ඇතුළු විවේචන ඒ අතර විය.

 

ඒ අනුව ඔහු 2014 දී නායකත්වයෙන් ඉවත් වූ අතර, ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායක ජනාධිපති අනුර කුමාර දිසානායක නායකත්වයට පත් විය.

 

පක්ෂයෙන් ඉවත් වූ සෝමවංශ අමරසිංහ "ජනතා සේවක පක්ෂය" නමින් නව සංවිධානයක් ගොඩ නඟා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ වැඩපිළිවෙළ විවේචනය කළේ ය.

 

ඔහු 2016 ජුනි 15වන දින මිය ගියේ ය.

 

Screenshot 2024 09 26 at 18.51.52 copy

 

සීනුව වෙනුවට මාලිමාව

 

විවිධ ජනාධිපතිවරණවලදී විවිධ අපේක්ෂකයන්ට සෘජුව හෝ වක්‍රාකාරයෙන් සහය පළ කරමින් ගෙවුණු වසර ගණනකට පසු 2019 වසරේ පැවති ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන අනුර කුමාර දිසානායක ඉදිරිපත් වූයේ නව දේශපාලන සන්ධානයකිනි.

 

2019 ජනාධිපතිවරණයට පෙර, ජාතික විද්වත් සභාව නමිත් වෘත්තිකයන් ඇතුළත් සංවිධානයක් ගොඩ නැගූ අතර, 2019 ජනාධිපතිවරණයට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සංවිධාන ගණනාවක් එක් වී නිර්මාණය කළ ජාතික ජන බලවේගයෙනි.

 

සුපුරුදු "රතු" තේමා වර්ණයත්, "සීනුව" සලකුණත් පසෙකින් තබා නව දේශපාලන පක්ෂය යටතේ "මාලිමාව" සලකුණෙන් ජනාධිපතිවරණයට තරඟ කළ ජනාධිපති අනුර කුමාර දිසානායකට එවර ලබා ගත හැකි වූයේ ඡන්ද 418,553ක් එනම් ප්‍රතිශතයක් වශයෙන් 3%ක් වීම නිසා දේශපාලන ප්‍රතිවාදීහු ඔවුන්ට පහර ගැසීමට "3%" යන්න යොදාගත් හ.

 

නැවතත් 2020 මහමැතිවරණයේ දී ඔවුන්ට ලබා ගත හැකි වූයේ ඡන්ද 3.84%ක් වූ නිසා ඔවුන්ට හිමි වූයේ මන්ත්‍රී ආසන දෙකක් හා එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයකි.

 

කෙසේනමුත් අවසන් වරට ජනතා විමුක්ති පෙරමුණ ලෙස තරඟ කළ 2015 මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 544,154ක් හිමි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 6ක් ද හිමිව තිබුණි.


2022 'ගාලුමුවදොර අරගලයේ' පාර්ශවයක් ලෙස

 

2019 ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69ක ඡන්ද ලබා ජනාධිපති ධූරයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය අවසන් වීමටත් පෙර ජනතාව විසින් ඔහු පළවා හැරීම සඳහා දැවැන්ත විරෝධතා සංවිධානය කරන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස ගාලුමුවදොර පිටියේ දී පාර්ශව ගණනාවක් කඳවුරු බැඳ ගත් හ.

 

එම අරගලයේ මුල් අවස්ථාවේ දී එය 'නායකත්වයක් නොමැති අරගලයක් බවත් සිය පක්ෂය එහි නායකත්වය ගැනීමට සූදානම් බවත්' ජාතික ජනබලවේගයේ නායකයෝ අදහස් දැක්වූහ.

 

නමුත් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වන "සමාජවාදී තරුණ සංගමය" එහි පාර්ශවයක් වී සිටියේ ය.

 

2022 මැයි 09 ගාලුමුවදොර අරගලයට රාජපක්ෂ හිතවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වීමට විරෝධය පල කරමින් සහ ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස බලකරමින් බහුතරක් වෘත්තීය සමිති අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කළ පසුබිමක දී, දින දෙකකට පසුව ජනතා විමුක්ති පෙරමුණේ කම්කරු සංවිධානය වන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් වැඩ වර්ජනය අත්හිටුවීම බොහෝ කම්කරු සංවිධානවල සහ අරගලයට එක් ව සිටි පාර්ශවයන්ගේ දෝෂ දර්ශනයට හේතු විය.

 

ඉන්පසු ජුලි 09 දින ජනතාව විසින් රාජ්‍ය ආයතන අත්පත් කරගැනීමත් සමඟ පසුදින ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තුව අසලට පැමිණෙන ලෙස ජනතාවට පවසා නැවත එම ස්ථානයෙන් ඉවත්ව ගොස් එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සඳහා සිය සම්බන්ධයක් නැතැයි ප්‍රකාශ කීරිම ද ගාලුමුවදොර අරගල සමයේ විවේචනයට ලක් වූ සිදුවීමකි.

 

Screenshot 2024 09 26 at 18.55.20 copy

වෙනස සිදු වූයේ කෙසේ ද?

 

වාමාංශික මතවාදයක සිට පුළුල් ජනතා ආකාර්ෂණයක් දිනා ගැනීම දක්වා ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය දක්වා පැමිණි ගමනේදී ඔවුන්ගේ නිරීක්ෂණය වන ප්‍රධාන වෙනස්කම් මොනවා දැයි විමසීමට බීබීසී සිංහල සේවය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් විමසීමක් කළේ ය.

 

"මීට කලින් උපාය මාර්ග ගැන කතා කරන විට ජනතා විමුක්ති පෙරමුණ තෝරපු උපාය මාර්ග අසාර්ථක වුණා. 1988 වන විට ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආරවුලක් තිබුණා. ඒ නිසා 1988 ජනාධිපතිවරණයේදී සිරිමාවෝ පරාජය වෙන විදිහට වැඩ කළා. ඡන්දෙ දාන්න යන අය මරනවා කිව්වා. එහෙම කරපු තැනුත් තිබුණා. මේ අය බලාපොරොත්තු වුණේ ප්‍රේමදාස බලයට ආව ම දුර්වල පාලකයෙක් වෙයි කියලා. නමුත් ඔවුන්ගේ උපාය මාර්ගය සම්පූර්ණයෙන් ම වැරදුණා," ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

 

"පස්සෙ කාලෙක ජාතිකවාදයට ගියා වුණත් පක්ෂය භීෂණයෙන් පසුව ගොඩනගන කාලයේ ඉඳන් ඔවුන් විවිධ ආකාරවලින් සමාජගත වෙන්න උත්සහ කළා. එක් එක් කාලවලදී එක් එක් උපායන් අනුගමනය කළා."

 

ඔහු පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය සමාජයට ගෙන යාමට ජනතා විමුක්ති පෙරමුණේ සිට ජාතික ජනබලවේගයේ දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ වී සිටින කාඩර්වරුන් සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ බව ය.

 

"ශ්‍රී ලංකාවේ වර්තමාන ප්‍රභූ දේශපාලන තන්ත්‍රය මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ ම ඒ පක්ෂ සංවිධානාත්මක නෑ. ටික කාලයක් එක්සත් ජාතික පක්ෂය ඒ විදිහට තිබුණත් දැන් ඒකත් එහෙම නෑ. නමුත් ජාතික ජන බලවේගයට ඉන්නවා හොඳ විනයක් සහිත කාඩර් එකක්. ඔවුන් තමයි මේ වෙනස ඇති කරන්න කටයුතු කළේ. ඒ විදිහට විනයක් සහිත කාඩරයක් සංවිධානගතව ඉන්න විට මෙවැනි ආකාරයේ වර්ධනයක් ළඟා කර ගන්න අපහසුවක් නැ," ආචාර්යවරයා පැවසුවේ ය.

 

2019 වසරේදී ජය ලබා ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලය අවසන් වීමටත් පෙර ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වී සිටි මහ ජනතාව විසින් ගෙන ගිය අරගලය හේතුවෙන් ඔහුට රටින් පිටව ගොස් ඉල්ලා අස් වීමට සිදු වූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් පැවති ඡන්දයක දී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත් විය.

 

2024 ජනාධිපතිවරණය සඳහා වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළේය.

 

අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය : දේශපාලනික මුලෝපායක් ද ?

 

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ පටන් අධිරාජ්‍ය විරෝධී සංකල්පයක් අනුගමනය කළ අතර, 'ඉන්දියානු ව්‍යාප්තවාදය', 'යැංකි හිතවාදීන්' වැනි වචන ඔවුන්ගේ සටන් පාඨ තුළ ද ඇතුළත් විය. කෙසේවුවත් මෙවර ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානපතිනිය අතර සාකච්ඡා පැවැත්වීම සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු පක්ෂයේ කණ්ඩායමක් ඉන්දීය නිල සංචාරයකට යාම ද කැපී පෙනෙන සිදුවීම් විය.

 

ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට පෙර ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමෙන් සුළු මොහොතකට පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමාසාරිස්වරයා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා හමු වූ අතර ඔවුන් විසින් ඔහු වෙත සිය සුබ පැතුම් එක් කළහ.

 

දිවුරුම් දීමෙන් පසුව හෙතෙම ජාතිය අමතමින් කියා සිටියේ, ලෝකයේ කවර ආකාරයේ බල බෙදීම් පැවතිය ද රටට වඩාත් වාසිසහගත ලෙස ඒ ඒ රාජ්‍යයන් සමග කටයුතු කිරීම සිය අපේක්ෂාව බව ය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...