The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පවුකාරියට ගල් ගැසීම - (කාන්ති කාරියවසම්)

T

The Leader Desk

October 20, 2022 • 6:18 AM

පවුකාරියට ගල් ගැසීම - (කාන්ති කාරියවසම්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතැමුන්ට ඇය චෞර රැජිණකි, ඇතැමුන්ට බහු පුරුෂ සේවනයේ යෙදින්නියකි.
  • නමුත් මා නම් ඇය දකින්නේ රටේ පාලක පැලැන්තියේ දේශපාලනික, ආර්ථික, සාමාජීය පමණක් නොව ආගමික මොඩලයට ඉතා හොඳින් අනුවර්තනයවූ පුරවැසියකු ලෙසයි.
  • ඇය අනුගමනය කොට ඇත්තේ රාජ්‍යය ප්‍රතිපත්තිය නොවේයැයි කෙනෙකුට කිව හැකිද?
  • ඇයගේ මූලිකත්වයෙන් සහ ආරාධනයෙන් පැවැත්වූ මුහුරත් උළෙලකට හිටපු ජනපති ආර්යාවක් ඇතුළු සමාජයේ සෑම ක්ෂේත්‍රයටම අයත්වූ සම්භාවනීයයැයි සම්මත පිරිසක් සහභාගිවූ අවස්ථාවක වීඩියෝ පටයක් දුටිමි.
අකුරු ප්‍රමාණය (Font Size):

හරහට පහර දෙනවා දැකිය හැක. ඇතැමුන්ට ඇය චෞර රැජිණකි, ඇතැමුන්ට බහු පුරුෂ සේවනයේ යෙදින්නියකි. තවත් අයට ඇය තැරැව්කාරියකි. තවත් සමහරු ඇයගේ අත්තා, මුත්තා, නත්තා, පනත්තා, කිත්තා, කිරිකිත්තාගේ පැටිකිරියද තලු මරමින් දිගහරිති.


නමුත් මා නම් ඇය දකින්නේ රටේ පාලක පැලැන්තියේ දේශපාලනික, ආර්ථික, සාමාජීය පමණක් නොව ආගමික මොඩලයට ඉතා හොඳින් අනුවර්තනයවූ පුරවැසියකු ලෙසයි.


රටේ ඇතැම් ව්‍යාපාරිකයින්, ඇතැම් ඉහළ රාජ්‍යනිලධාරීන්, ඇතැම් චීවරධාරීන් (සිල්වත් බෞද්ධ සුපේෂල ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාට දෙපා නමැද අප්‍රමාණ ප්‍රණාමය පුදමි), ඇතැම් නීතිය නියාමනය කරන බලධාරීන් වැනි එකී මෙකී නොකී රටේ ඉහළ ස්ථරවල සිටින්නන් ඇයගේ ගනුදෙනුකරුවන් බව ප්‍රවෘත්ති මාධ්‍යයන් හරහා සංසරණය වෙනු පෙනේ.


ඉතින් එහි වරද කුමක්ද? ඇය අනුගමනය කොට ඇත්තේ රාජ්‍යය ප්‍රතිපත්තිය නොවේයැයි කෙනෙකුට කිව හැකිද?


අපි එකින් එක කරුණු විමසා බලමු.


ඇයගේ මූලිකත්වයෙන් සහ ආරාධනයෙන් පැවැත්වූ මුහුරත් උළෙලකට හිටපු ජනපති ආර්යාවක් ඇතුළු සමාජයේ සෑම ක්ෂේත්‍රයටම අයත්වූ සම්භාවනීයයැයි සම්මත පිරිසක් සහභාගිවූ අවස්ථාවක වීඩියෝ පටයක් දුටිමි. මෑත යුගයේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව සිදුවන සෑම උත්සවයකම දැකිය හැකි ඇස් නිලංකාරවන පන්නයේ සංදර්ශන ආකෘතිය ඇයද අනුගමනය කොට තිබිණ. චෝදනාවන්ට අනුව ඇය ඒ සියළුම සංදර්ශන වලට යොදාගෙන ඇත්තේ අන් අයගේ මුදල්ය.

ප්‍රසිද්ධ නිළියක් කුලියට අරන් ප්‍රකෝටිපතියන් 'බ්ලැක්මේල්' කරලා !
පසුගිය කාලය පුරාවට රාජ්‍යය ප්‍රතිපත්තිය වූයේ කුමක්ද? උපන් මෙන්ම නූපන් අනාගත පරපුර මතද මහා ණය බරක් පටවා ලබාගත් ණය මුදලින් අහස්යානා නොඑන ගුවන් තොටුපොළ, නැවු නොඑන වරාය, තුසිත දෙව්ලොවට යාහැකි කුළුණු සැදීම නොවේද? ඇයද රජය අනුකරණය කරමින්, අනුන්ගෙන් ලබාගත් මුදල් ලාභ ලබන ආයෝජන වල යොදනු වෙනුවට කිසිදු වගවීමකින් හෝ වගකීමකින් තොරව, සරුවපිත්තල ලෝකයක රටේ ඇතැම් ඉහළ පැලැන්තියේ ඇත්තන් සමග සුඛ විහරණයෙන් ජීවත්වීමට යොදාගෙන තිබේ.

 
රට මෙතරම් දරුණු ආර්ථික අගාදයකට ඇද වැටී තිබියදී රටේ පාලකයන් කරමින් සිටින්නේ කුමක්ද? පුර වැසියනට පටි තද කරගන්නා ලෙස ඉල්ලමින් ජනතාව පිටම බදු ගැසීමට මාන බලන මේ නායකයින් භාණ්ඩාගාරයේ තිබෙන සොච්චම් ඩොලර් ප්‍රමාණය පවා ඉලව් ගෙවල් වල යාම වැනි දේට වියදම් කිරීම මහා ජනතාවට අයත් මුදලින් සංදර්ශන පැවැත්වීම නොවන්නේද? ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලෙස පාලක පන්තිය ඔවුන්ගේ වියපැහැදම් වල කුමන ආකාරයක හෝ කප්පාදුවක් කොට ඇතිද?
 
 
අකාර්යක්ෂම ඇමති වරුන්, රාජ්‍යය ඇමති වරුන් මෙන්ම පඳුරකට ගැසුවොත් දුසිම් ගණනින් එලියට විසිවන තරම් උපදේශක වරුන් පත්කොට, ඔවුන්ගේ නඩත්තුවට මිලියන ගණනින් මේ කාබාසිනියා කරන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් මිස පාලකයන්ගේ පෞද්ගලික ධනයද? මේ ගැහැණිය සංදර්ශන පවත්වා ඇත්තේ ගුරුවරුන්, ලිපිකරුවන් වැනි මධ්‍යම පන්තියේ පුරවැසියන් දුකසේ උපයාගත් මුදලින් නොව ඇතැමුන්ගේ නීත්‍යානුකූල නොවන කළු සල්ලි වලිනි. ඉදින් ඇඟිල්ල මුලින්ම දිගුවිය යුත්තේ කා දෙසටද?
 
 
පසුගිය වකවාණුවලදී මහබැංකු අධිපති වරයකු මෙන්ම මුදල් ඇමතිවරයකු ලෙසද කටයුතු කල ආර්ථික ඔස්තාර්වරයකුත් ලෝකයට ණයවී කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා පිළිවෙත අනුමත කොට තිබිණ. ආර්ථික විද්‍යාව පිළිබඳව හසරක් නැති මේ තරුණ ගැහැණිය සිදුකොට ඇත්තේ එම ආර්ථික විශේෂඥයාගේ අඩිපාරේ යෑම නොවේද?
 

පසුගිය වකවානුවල මහ බැංකු මංකොල්ලය, පැන්ඩෝරා පත්‍රිකා, මිග් යානා ගණුදෙණු, එයාර් බස් ගණුදෙණු (ලැයිස්තුවෙන් කොටසක් පමණි) වැනි අපමණ මුදල් වංචාවන් ගැන වරින්වර කතාබහට ලක්වුවත් ඒවා සිදුකල කිසිවෙක් නීතියේ රැහැනට අසුවූ බවක් අසා නැත. එවැනි හිල් සහිත නීති පද්ධතියක් ඇති රටක මෙම ගැහැණිය වැනි අභිලාෂකාමී කපටි සිත් ඇත්තවුන් මෙවැනි දෙයට පෙළඹීම අරුමයක්ද? රටේ පාලකයින් බොහොමයක් එලිපිටම කිසිම හිරිකිතයකින් තොරව, සොරකමින් බොරුවෙන් වංචාවෙන් කපටිකමෙන් රටම සූරාකද්දී, ඇයද රටේ උත්තරීතර යැයි කියාගන්නා සභාවේ සිටින බොහොමයක් දෙනා අනුගමනය කොට නැතැයි කිව හැකිද?
 

ඇය මෙතරම් වංචාවක් සිදුකරන තුරු රටේ මුල්‍යය නියාමකයින් ගැඹුරු නින්දකට වැටී සිටියාදැයි සිතේ. එක්තරා චීවරධාරියකු සහ නාගරික මන්ත්‍රීවරියක ප්‍රසිද්ධියේ එකිනෙකාගේ කිලිටි රෙදි සෝදන අයුරු දුටුවිට ඇතිවූයේ ඉමහත් කම්පාවකි. සියළු යසඉසුරු, යාන වාහන අත්හැර යොදුන් ගණන් පා ගමනින් ගොස් ඒ පිවිතුරු බෞද්ධ දර්ශනය ලොවට දායාද කල බුදුන් වහන්සේගේ ගෝලයෙක් යැයි හඳුන්වා ගන්නෙක් මුළු මහත් සමාජය ඉදිරියේ V8 වාහන ගැනත් තමාට අහිමිවූ රුපියල් මිලියන ගැනත් හඬාවැටෙනවා දැකීම ජුගුප්සා ජනකය.
 
 
මෙවැනි චීවරධාරීන් මේ විනාශ කරමින් සිටින්නේ ලොවක් පිලිගත් උතුම් දර්ශනයක ප්‍රතිරූපයයි. මෙම ගැහැණිය ඉන්ධන ගෙන්වීමටයැයි බොරු කියා ජනතාව රැවටූ බවට චෝදනා ඇත. මුසාවාදයේ ආදීනව ගැන දෙසූ එක් චීවරධාරියෙක් මෑත අතීතයේදී නාගලෝකයෙන් වැඩියා යැයි කිවූ කැහැටු දිය බරියෙක් පෙන්වා ජනයා මුළාකොට රටම අගාදයට හෙලීමට සම්මාදම් නොවුනිද?
 
 
මුසාවෙන් ජනතාව මුළාකිරීමේ වරදට මුළින්ම ඇඟිල්ල දිගුවිය යුත්තේ මෙම පෘථග්ජන ගැහැණියටද?  
 

එසේම මේ ජවනිකාව පාලකයින්ගේ කුමන හෝ මගඩියක් පුරවැසි ජනතාවගෙන් සඟවා ගැනීම සඳහා වරින්වර සිදුකරන මාධ්‍යය සංදර්ශන වලින් එකක්දැයි යන සාධාරණ සැකයද  මතුවේ.
 

පණුවන්ගෙන් පිරි කුණුවී දුගඳ හමන තුවාලයක් සහිත කකුලක එක් පණුවෙක් පමණක් ඉවත් කිරීමෙන් තුවාලය සුවකොට කකුල බේරා ගත හැකිවෙයිද?
 

කෙසේ වෙතත් පවුකාරයාට ගල් ගසන්නේ නම්, වඩාත් සුදුසු වනු ඇත්තේ මේ වරද මීට පෙරත් සිදුකල, දැනටත් සිදු කරමින් සිටින සියළුම පවුකාරයන් අල්ලා ගල් ගැසීමයි.
 

එහිදී බරපතළම ප්‍රශ්ණය වනු ඇත්තේ පවුකාරයන් සියල්ලන්ටම ගැසීමට අවශ්‍යය තරම් ගල් සොයා ගැනීමයි



හැත්තෑ තුන් වසරක අපේ උරුමය - (කාන්ති කාරියවසම්)(කාන්ති කාරියවසම්)
kariyawasamkek@gmail.com




The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පවුකාරියට ගල් ගැසීම - (කාන්ති කාරියවසම්) | The Leader