එය සටන් විරාමයක් නොව, ගැටුම් නතර කර ගැනීමක් පමණකැයි ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වික්‍රම් මිස්රි එසැණින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.
මොහොතින් බිඳෙන්නට ඉඩ ඇතැයි බොහෝ දේශපාලන විචාරකයින් විශ්වාස කළ මේ ගැටුම් නතර වීම, අද 12 වන දිනට සැළසුම් කර ගනු ලැබූ දෙපාර්ශවයේ සාකච්ඡා සඳහා නොබිඳී පැවතුනි.

ඉන්දියානු පාලනය යටතේ වන ජම්මු-කශ්මීර් හි පහල්ගම් ප්‍රදේශයට ඉකුත් අප්‍රේල් 22 වන දින ඇතුළු වුනු පාකිස්ථානු ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්තවාදීන් පස් දෙනෙකු හින්දු සංචාරක පිරිසිකට වෙඩි තබා 26 දෙනෙකු ඝාතනය කිරීමෙන් ආරම්භ වූ වත්මන් ඉන්දු-පාකිස්ථාන් හමුදා ගැටුම් ඇමෙරිකානු මැදිහත්වීමෙන් නතර විනැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සතුට පළකර ඇත.
ඒ විගසින්ම, ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් වික්‍රම් මිස්රි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින්, මේ ගැටුම් නතර කිරීමට කිසිදු බාහිර පාර්ශවයක්, මැදිහත්කරුවෙක් නොසිටියේ යැයි කීවේය. එය පාකිස්ථානි හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉන්දියානු හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලබා දුන් සෘජු දුරකතන ඇමතුම අනුව පැමිණි තාවකාලික එකඟතාවක් යැයි ඔහු පැවසීය. මෙම තාවකාලික හමුදා ගැටුම් අත්හිටුවීම මැයි 12 වන දිනට යොදා ගෙන ඇති ඊළග සාකච්ඡාවේදී වඩා සංයුක්ත කාරණා සම්බන්ධයෙන් කතා කිරීමට හා තීන්දු ගැනීමට ඉඩ ලබා දී ඇතැයි මිස්රි මාධ්‍යයට කීවේය. එතෙක් ඔවුන්ගේ යුධ සූදානම එසේම පවතින බවද ඔහු අවධාරණය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් කියූ අයුරු, කිසිදු බාහිර මැදිහත්වීමක් නොමැතිව ඉන්දියානු හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සෘජු දුරකතන ඇමතුමක් ලබාදී මේ හමුදා ගැටුම් නතර කරන්නට යෝජනා කිරීමට තරම් පාකිස්ථානි හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල් පෙළඹවූයේ කවුරුන්ද නැතිනම් කුමන තත්ත්වයක්ද යන්නට තවම වැදගත් උත්තරයක් ලැබී නැත.

ඉන්දියානු විද්වතුන් දෙතුන් දෙනෙකුට අනුව, නව දිල්ලිය සමග ගනුදෙනු නොකළාට, පාකිස්ථානි හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල් පොළඹවා ඇත්තේ ජනාධිපති ට්‍රම්ප් ගේ නිර්දේශයක් අනුව රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ විසින් ය. එහෙත් ඉන්දු-පාකිස්ථාන ගැටුම් අධ්‍යයනය කරන විශේෂඥයින් කිහිප දෙනෙකු කියා ඇත්තේ ඉන්දියාව “සින්දූර් මෙහෙයුම” ලෙස මැයි 08 වන දින දියත් කළ ඔවුන්ගේ ගුවන් හමුදා ප්‍රහාර කිහිපය පළමු වරට පාකිස්ථානි යෝධ ගුවන් හමුදා කඳවුරු දෙකක් විනාශ කෙරුවාට අමතරව තවත් කඳවුරු කිහිපයක ගුවන් පථ විනාශ කර ඇතැයි කියා ය.

එනිසා පාකිස්ථානයට මේ යුද ගැටුම දිගටම ගෙන යාමට නොහැකි යැයි ඔවුන් අවබෝධකර ගෙන ඇතැයි විශේෂඥ මතය වන්නේ ය. ඉකුත් මැයි 10 වන දින පාකිස්ථානි හමුදා ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ දුරකතන ඇමතුමට එළෙසින් හේතු දැක්වූවත් ඉල්ලීම කළ සැණින් ඉන්දීය හමුදා නායකත්වය ඊට එකඟ වූයේ මන්දැයි පැහැදිලි කිරීම් නැත.
ඒ වෙනුවෙන් පැහැදිලි කිරීම කෙරෙන්නේ බ්රිතාන්‍ය “ද ටෙලිග්‍රාෆ්” අන්තර්ජාල පුවත් පතේ ය. ඔවුන්ගේ මැයි 08 වන දින සවස අලුත් කෙරුණු ලෝක වාර්තාවට අනුව ඉන්දියාව ඩොලර මිලියන 250 බැගින් මිලට ගෙන ඇති ලොව ඉතාම දියුණු ප්‍රංශ නිෂ්පාදනයක් වන රෆාල් ප්‍රහාරක ගුවන් යානයක් පාකිස්ථානය මිසයිල ප්‍රහාරයකින් බිම දමා ඇත. ඒ මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත්තේ චීනය දියුණු කළ ඔවුන්ගේ නව තාක්ෂණය සමග නිෂ්පාදනය කර ඇති “ජේ-10 සී” ප්‍රහාරක ගුවන් යානයක් විසින් පීඑල්-15 මිසයිලයක් යොදා ගැනීමෙනි.
ඉන් දෙනු ලැබූ පණිවිඩය වූයේ ප්‍රංශ රෆාල් ප්‍රහාරක ගුවන් යානය තව දුරටත් උඩු ගුවනේ වීරයා නොවේය යන්න ය. එබැවින් “සින්දූර් මෙහෙයුම” ඉන්දියාව මාධ්‍යයට කියූ ආකාරයේ අති සාර්ථක වූවක් නොවේ. ඉන්දියාවට ඔවුන්ගේ උපාමාර්ග ගැන නැවත සිතන්නට සිදුව ඇත.
වත්මන් ඉන්දු-පාකිස්ථාන් හමුදා ගැටුම් මැයි 10 වන දින තාවකාලිකව නතර කරන්නට දින 02 ට පෙර හමුදා ගැටුම් උග්‍රවීමේ සියලු සාධක හමුවේ මෙවැනි ගැටුම් නතරවීමක් කිසිවකු බලාපොරොත්තු නොවුනු විටෙක, අපගේ ඇමති මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඉන්දු-පාකිස්ථාන් හමුදා ගැටුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි අසනු ලැබූ විට, ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා තිබුණේ, “ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන බවත් ශ්‍රී ලංකා ගුවන් අවකාශය හා භූමිය වෙනත් රටකට එරෙහිව යොදා ගැනීමට කිසිදු රටකට ඉඩ නොතබන බවත්” ය.
තම දේශය “වෙනත් රටකට එරෙහිව යොදා ගැනීමට කිසිදු රටකට ඉඩ නොතැබීම” දෙවන ලෝක යුද්ධයෙන් පසු සියලු රටවල් පැමිණි විශ්ව එකඟතාවයකි.
ඉන්දු-පාකිස්ථාන ගැටුම් වලට හේතු වූයේ ඉන්දියානු පාලනය යටතේ ඇති ජම්මු-කශ්මීර් ප්‍රදේශයට පාකිස්ථාන භූමියේ සිට විටින් විට එල්ල කෙරෙන ඉස්ලාම් මූලධර්මවාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර ය. එහි ආරම්භය ඇත්තේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් 1947 දී මහ භාරතය ඉන්දියාව හා පාකිස්ථානය යැයි බෙදීමෙහි ය. ජම්මු-කශ්මීරයේ හින්දු බහුතර කොටස ඉන්දියාව තමන්ගේ කර ගත් අතර, අති බහුතර මුස්ලිම් ඉතිරිය පාකිස්ථානය යටත් කර ගත්තේය. එතැන් සිට කශ්මීරය බෙදීමේ රේඛාව දෙපැත්තේ භූමිය සඳහා දෙපාර්ශවයම හිමිකම් කියති.
එහෙත් ජම්මු-කශ්මීරයන් ඉල්ලන්නේ ස්වාධීන එක්සත් කශ්මීරයකි. ඒ සම්බන්ධ නව දිල්ලි ස්ථාවරය වන්නේ ජම්මු-කශ්මීර් ගැටුම දෙරට අතර වන ගැටුමක් හෙයින් එය ද්වි-පාර්ශවීය සාකච්ඡා මගින් දෙරට නායකයින් විසින් විසඳා ගත යුතු යැයි කියා ය. ජම්මු-කශ්මීර් ගැටුම් සම්බන්ධ සාකච්ඡා මොනම හේතුවක් නිසා හෝ ඉන්දු-පාකිස්ථාන දේශ සීමා වලින් පිටතට නොගෙන යා යුතුය යන්න ය.
මේ ගැටුමෙහි නලින්ද ජයතිස්ස ඇමති කියන නොබැඳි පිළිවෙතක් අප තියා ගන්නේ කෙසේද යන්න ඇත්තටම ප්‍රහේලිකාවකි. ඉන්දියාව හා පාකිස්ථානය නොබැඳි ජාතීන්ගේ එකමුතුවෙහි සාමාජිකයින් දෙපළකි. අපද ආරම්භක සාමාජිකයෙකි. සාමාජිකයින් දෙපළක් අතර ගැටුමක, අසල්වැසි සාමාජිකයින්ගේ වගකීම, “අපි නොබැඳි පිළිවෙතෙහි ඉන්නෙ” යැයි නිහඬව පැත්තකටවී සිටීම දැයි මම නොදනිමි. විශේෂයෙන් අප හා ඉතා සමීප ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධකම් පමණක් නොව, ආරක්ෂක කටයුතු වලදීද අපට සහාය දැක්වූ අසල්වැසි රටවල් දෙකක් අතර ගැටුමකදී එය ස්ථාවර විසඳූමක් වෙත යොමු කරන්නට මැදිහත් වීම අපගේ වගකීමකි. එවගේම අපට අත්‍යාවශ්‍ය කලාපීය සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් මැදිහත්වීමේ වගකීමක්ද අපට ඇත.
ඒ සමග මෙයද කිව යුතුය. නොබැඳි ව්‍යාපාරය උත්පත්තියේ සිටම “නොබැඳි” නොවුනි. නොබැඳි ව්‍යාපාරය ප්‍රකාශයට පත් කෙරෙන විට, මහ බලවතුන් ලෝකය බෙදා ගෙන තිබුණි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපීය රටවල් කිහිපය එක් ආර්ථික, දේශපාලනික හා හමුදා කඳවුරක් ලෙස ගොනුව තිබුණි. ඔවුන්ගේ එකතුව දැකිය හැකි වූයේ “නේටෝ” (NATO) සංවිධානය ඔස්සේ ය. අනෙක් කඳවුර සෝවියට් රුසියාව ප්‍රමුඛ, කොමියුනිස්ට් නැතිනම් සෝවියට් කඳවුර ලෙස හැඳින්වින. එය “වෝර්සො ගිවිසුම” (Warsaw Pact) මගින් දැකිය හැකි විය. සෝවියට් විරෝධී ඇමෙරිකානු සංවෘත ලෝක මැදිහත්වීම් සඳහා “සීතල යුද්ධය” යැයි ජනප්‍රිය හැඳින්වීමක් තිබුණි. ඒ කඳවුරු දෙක අතර, නොබැඳි යැයි පෙනී සිටි රටවල ස්වාධීනත්වය, ස්වෛරීත්වය කෙසේ පවත්වා ගත්තේ දැයි කතා කිරීම වැදගත් මාතෘකාවකි.

ලෝක නායකයින් ලෙස පිළිගැනුමක් තිබූ ඉන්දුනීසියානු ජනාධිපති සුකර්නෝ, ඉන්දියානු අගමැති න්හෙරු, ඊජිප්තු නායක ගමාල් අබ්දෙල් නසාර්, යුගෝස්ලාවියානු ජනාධිපති ජොසිප් ටිටෝ, ඝානාවේ ජනාධිපති එන්කෘමා වැනි තුන්වන ලෝකයේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් “බෙල්ග්‍රේඩ් සමුළුව” විසින් 1961 දී “නොබැඳි ව්‍යාපාරය” නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණ.
නොබැඳි ව්‍යාපාරය සෝවියට් රුසියාවට ලැදි හවුලක් විය. එහි ප්‍රධාන රටවල් දේශපාලනිකව ඇමෙරිකන් විරෝධී, සෝවියට් රුසියාවට හෝ චීනයට ලැදි රටවල් විය. නොබැඳි ව්‍යාපාරයේ පෙරමුණ ගත් ජොසිප් ටිටෝ යුගොස්ලාවියානු සමාජවාදී සමූහාණ්ඩුවේ ජනාධිපති විය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පිහිටුවා ගත් යුගොස්ලාවියානු සමාජවාදී සමූහාණ්ඩුව පාලනය කරනු ලැබුවේ යුගොස්ලාවියානු කොමියුනිස්ට් ලීගය මගින්ය. එය සෝවියට් රුසියානු කොමියුනිස්ට් පක්ෂය විසින් අධීක්ෂණය කෙරුණකි. නොබැඳි යැයි කියූ අනෙක් රටවල නායකයින්ද එවැනිම ය. ඇමෙරිකානු බල කඳවුර විසින් කපා හැර තිබූ සෝවියට් රුසියානු වෙළඳ ගනුදෙනු වර්ධනය වූයේ නොබැඳි රටවල් සමග ය.
කියුබාව ගැන කියන්නට කිසිවක් ඉතිරිව නැත. නමුත් ඉන්දියාවද ප්‍රධාන පෙළේ සෝවියට් රුසියානු හවුලක් විය. 60 දසකය පුරා ඉන්දියානු ආර්ථිකයට සෝවියට් රුසියාවෙන් ලැබුණු තාක්ෂණය, උපකරණ හා ව්‍යාපෘති ආධාර විවිධ විය. ඒ අතර වානේ, දුම්රිය, ඉදිකිරීමේ උපකරණ, කැණීම්, ඛනිජ රසායන විය. ඒ කාලයේ චීනයට වඩා ඉන්දියාවට සෝවියට් ආධාර ලැබුණැයි වාර්තා ඇත. වෙනකක් තබා චීනය සමග හවුල් නොවුනු “මිග්-21” ප්‍රහාරක ගුවන් යානා හවුලේ නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවට තාක්ෂණය ලබා දීමේ ගිවිසුමක් සෝවියට් රුසියාව 1962 දී ඉන්දියාව සමග අත්සන් කළේය.
අපගේ ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සබඳතාද එවැනි විය. සෝවියට් රුසියාව සමග අප අත්සන් කළ පළමු ගිවිසුම වූයේ 1959 දී අත්සන් කරනු ලැබූ සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමේ ගිවිසුම ය. 60 දසකය තුල රාජ්‍යවාදී සෝවියට් ආර්ථික ආකෘතියෙහි ආභාෂය ඇතිව අප තහවුරු කර ගත් රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථිකයේ කාර්මීකරණය සිදුවූයේ සෝවියට් රුසියාව හා නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවලින් ලැබුණු යන්ත්‍රෝපකරණ, තාක්ෂණය, පුහුණුව හා ආධාර සමග ය. ඔරුවල වානේ, කැළණි ටයර්, සීනි සංස්ථාව, මට්ටක්කුලියේ සම් භාණ්ඩ නිෂ්පාදන එවැනි කිහිපකි. එවගේම සෝවියට් රුසියානු උපාධි හා පශ්චාත් උපාධි අධ්‍යාපනයද ලාංකීය සිසුනට විවෘතව තිබිණ. සෝවියට් රුසියානු “ඒරොෆ්ලොට්” ගුවන් සේවයද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ඔවුන්ගේ ගුවන් ගමන් සඳහා යොදා ගත්තකි.
සෝවියට් කලාපයම 90 දසකය වන විට ආර්ථික දේශපාලනික මත ගැටුම් සමග බිඳ වැටුණු පසු, එතෙක් වූ “සීතල යුද්ධය” අවසන් කෙරුණි. ගෝලීය වෙළඳපල ආර්ථිකයක් සමග චීනයද ගැට ගසා ගත් පසු නොබැඳි ව්‍යාපාරයක් ගැන කතාවකට ඉඩක් නොතැබුණි. එතැන් සිට කතාව ඇත්තේ යුධ විරෝධී විදේශ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙනි. න්‍යෂ්ඨික බලයක් සමග කතා කරන පාකිස්ථානය හා ඉන්දියාව සමග නොබැඳි පිළිවෙත් ගැන කතා කිරීම විහිළුවකි.

ලොව දියුණුම ගුවන් ප්‍රහාරක යානා මේ දේශ සීමා ගැටුම් සඳහා යොදා ගන්නා රටවල් සමග වන නොබැඳි පිළිවෙත් රැකීම හැංඟිමුත්තන් කෙළීමකි. පලස්තීන ජන ජීවිත විනාශ කරන ඊශ්‍රායෙල් ම්ලේච්ඡත්වය සඳහා අවි ආයුධ අලෙවි කරන ඉන්දියාව නොබැඳි රාජ්‍යයක් යැයි පිළිගැනීමද අමානුෂීය තීන්දුවකි. ඔවුන්ට අවශ්‍ය පරිදි මේ කලාපයේ දේශපාලනය තීන්දු කිරීමට ඉඩ තැබීම, අලුතින් ගෝලීය බලවතෙකු ලෙස ඉස්මතුවන චීනයත් ඊට හරස්වන ඇමෙරිකානු භූ-දේශපාලනික අවශ්‍යතාවත් හමුවේ කලාපීය ස්ථාවරත්වයකට මාවතක් නොවේ.
අලුත් ලෝක බලතුලනයක් නිර්මාණය වන මේ යුගයේ අපගේ විදේශ ප්‍රතිපත්තිය විය යුත්තේ ඉතිහාසයේ කවමදාවත් මුවහතක් නොතිබුණු පෞරාණික නොබැඳි පිළිවෙත සම්බන්ධ නපුංසක කතා නොව, යුධ විරෝධී, කලාපීය දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් සාමය සඳහාවන සක්‍රීය විදේශ ප්‍රතිපත්තියකි. ඒ සඳහා එඩිතර බුද්ධිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බැව් අලුතින් කිව යුතු නැත.
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2025 මැයි 12



