The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙදා පත් කෙරුණු පළාත් පාලන ආයතන ගරා වැටුණු සමාජයේ පිළිබිඹුවක් | Kusal Perera

T

The Leader Desk

June 18, 2025 • 7:55 AM

මෙදා පත් කෙරුණු පළාත් පාලන ආයතන ගරා වැටුණු සමාජයේ පිළිබිඹුවක් | Kusal Perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරය සඳහා අවශ්‍ය වන අවම ආසන 59 කිසිදු පක්ෂයකට නොතිබුණත් ආසන 48 ක් හිමි වූ ජවිපෙ/මාලිමාව වැඩිම ආසන හිමි පක්ෂය ලෙස පුරපති ධූරයට හිමිකම් කීහ.
  • ඒ සදහා ඔවුහු අනෙක් කණ්ඩායම් හා කුඩා පක්ෂ සමග ආසන 11 ක අඩුව පුරවා ගැනීමේ නොඇසෙන නොපෙනෙන ගනුදදෙනුවක සිටියහ.
  • කොළඹ මහ නගර සභාව කාලයක් තිස්සේ එ.ජා.පයේ අයිතියට ලියූවක් ලෙස සැළකෙන හෙයින් එ.ජා.ප උරුමය පවරාගෙන එයට අයිතිවාසිකම් කියන්නට ස.ජ.බ ඉදිරිපත් වූයේ ඔවුන්ගේ ආසන 29 ට අනෙක් පක්ෂ හා කණ්ඩායම් හවුල්කර ගැනීමේ උත්සාහය සමග ය.
  • ජනාධිපති අනුර කුමාර ඇතුළු ජවිපෙ/මාලිමා නායකයින් මැතිවරණ ව්‍යාපාරයෙහි ඉතා දැඩිව පෙනී සිටියේ ඔවුන් හැර අනෙක් සියලු පක්ෂ හා කණ්ඩයම් දූෂිත හෙයින්, පිරිසිදු ප්‍රාදේශීය පාලනයක් සදහා සියලු පළාත් පාලන ආයතන ඔවුන්ට බාර දිය යුතු යැයි කියා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරය සඳහා අවශ්‍ය වන අවම ආසන 59 කිසිදු පක්ෂයකට නොතිබුණත් ආසන 48 ක් හිමි වූ ජවිපෙ/මාලිමාව වැඩිම ආසන හිමි පක්ෂය ලෙස පුරපති ධූරයට හිමිකම් කීහ. ඒ සදහා ඔවුහු අනෙක් කණ්ඩායම් හා කුඩා පක්ෂ සමග ආසන 11 ක අඩුව පුරවා ගැනීමේ නොඇසෙන නොපෙනෙන ගනුදදෙනුවක සිටියහ.

කොළඹ මහ නගර සභාව කාලයක් තිස්සේ එ.ජා.පයේ අයිතියට ලියූවක් ලෙස සැළකෙන හෙයින් එ.ජා.ප උරුමය පවරාගෙන එයට අයිතිවාසිකම් කියන්නට ස.ජ.බ ඉදිරිපත් වූයේ ඔවුන්ගේ ආසන 29 ට අනෙක් පක්ෂ හා කණ්ඩායම් හවුල්කර ගැනීමේ උත්සාහය සමග ය.

ජනාධිපති අනුර කුමාර ඇතුළු ජවිපෙ/මාලිමා නායකයින් මැතිවරණ ව්‍යාපාරයෙහි ඉතා දැඩිව පෙනී සිටියේ ඔවුන් හැර අනෙක් සියලු පක්ෂ හා කණ්ඩයම් දූෂිත හෙයින්, පිරිසිදු ප්‍රාදේශීය පාලනයක් සදහා සියලු පළාත් පාලන ආයතන ඔවුන්ට බාර දිය යුතු යැයි කියා ය.

 



ජවිපෙ/මාලිමා පුරපති අපේක්ෂිකාව වූ ව්රායි කැලි බල්තසාගේ ප්‍රධාන පොරොන්දුව වූයේ කොළඹ නගරයට දූෂණයෙන් තොර පිරිසිදු පාලනයකි. ස්වාධීන කණ්ඩායම් ලෙස ඉදිරිපත්ව ඇත්තේද පක්ෂවල සිටි දූෂිතයින් යැයි ජවිපෙ/මාලිමා නායකයින් ස්වාධීන කණ්ඩායම් අර්ථ දැක්වූ ආකාරය විය.

බොරු තොරතුරු මාධ්‍යයන්හි පැල කරමින්, රහස් සාකච්ඡා තියමින්, නියෝජ්‍ය තනතුරු පොරොන්දු වෙමින් ගෙන ගිය කොළඹ පුරපති තරගය, තර්ක විතර්ක මැද රහස් ඡන්දයකින් කෙළවර වූයේ ජවිපෙ/මාලිමා පුරපති අපේක්ෂිකාව වූ ව්රායි කැලි බල්තසා වෙනුවෙන් ජවිපෙ/මාලිමා නායකයින් දූෂිත, ස්වාධීන කණ්ඩායම් හා පතුරු පක්ෂ වලින් සභිකයින් 13 කු හවුල් කර ගැනීමෙනි.

එබැවින් ජවිපෙ/මාලිමා පුරපතිනි වන ව්රායි බල්තසා වැඩ පටන් ගනු ඇත්තේ අවංක, අදූෂිත, පිරිසිදු කතා අත හැර, ඔවුන්ම දූෂිත යැයි හංවඩු ගැසූ කණ්ඩායම් සමගින් ය. ඇයගේ ජයග්‍රාහී කතාවෙහි ඇය කියූවේ කොළඹ නගරය දියුණු කිරීමට සභිකයින් 117 ම හවුල් විය යුතු යැයි කියා ය. එහි අර්ථය වන්නේ කොළඹ නගරය “දියුණු කිරීමට” ඉතිරි දූෂිතයින්ද ඇය හවුල්කර ගන්නා බවය.

 

මේ කාසියේ අනෙක් පැත්තෙහිද වෙනසක් නැත. ස.ජ.බ ඉදිරිපත් කළ පුරපති අපේක්ෂකයාට එරෙහිවද දූෂණ චෝදනා නැගිණ. කුඩා ව්‍යාපාරයක හිමිකරුවන රීසා සරූක් මීට පෙර කොළඹ මහ නගර සභාවෙහි සභිකයෙකු ලෙස වරක් තේරී පත්ව සිටියත් ඔහුගේ නම ඉදිරියට ගනු ලැබුවේ ස.ජ.බ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් විසින් කෘතගුණ සැළකීමක් වශයෙන් මිස කොළඹ පාලනයට දක්ෂකම් ඇතැයි කියා නොවේ.

ස.ජ.බ සභිකයින් 29 දෙනා අතරද දූෂණ, වංචා කතා පැත්තකින් තැබුවත් කොළඹ මහ නගර සභාව භාර දිය හැකි කිසිවෙකු ඉන්නා බවක් නොපෙනේ. වරක් කොළඹ මහ නගර සභාවෙහි සභිකයෙකු වූවත් රීසා සරූක් කොළඹ පුරපති වන්නට තරම් පෞරුෂයක් ඇත්තෙකු නොවන බව පහුගිය දිනවල ඔහුගේ කතා වලින් ප්‍රදර්ශනය විය.    

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙහි නගර හා මහ නගර සභා හැමකටම පාහේ පත්ව ඇත්තේ අඟුටු මිටි චරිත ය. එයට හේතු ලෙස සරළව කිව හැක්කේ, පසුගිය දසක කිහිපයෙහි හැම අතින්ම පිරිහුණු සමාජයක උගතුන්, පරිපාලකයින්, වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරීන් යැයි අප පුද්ගලයින් හඳුනා ගත්තද, ඔවුන් ලෝක දැක්මක්, තාර්කික දැනුමක් සහ විවෘත මනසක් ඇති ප්‍රතාපවත් බුද්ධිමත් චරිත නොවීම ය. එය අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු සියලු රාජ්‍ය සේවාවන්හිද දැකිය හැකිය. ඒ සැවොම අයත් වන්නේ අපගේ පාසල් හා විශ්ව විද්‍යාල වලින් බිහි කෙරෙන පරම්පරාවන්ට ය.

මේ සමාජයේ පාර්ලිමේන්තු පත් කරන්නේ රට හදන්න නෙවෙයි - (කුසල් පෙරේරා)

පසුගිය දෑවුරුද්දෙහි අප කතා කරන්නට වූයේ අපගේ සමස්ථ රාජ්‍ය පාලන ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කර, ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවය ගැන ය. එහෙත් එහි දේශපාලන වගකීම බාර ගැනීමට ඉන්නා දේශපාලන පක්ෂ හා නායකයින් ගැන අප කතා කරන්නේ නැත. ඔවුන්ගේ හැදියාව, ඔවුන්ගේ දැනුම තේරුම් ගත හැක්කේ ඔවුන් පාර්ලිමේන්තුවේ වාද විවාද කරන ආකාරයෙන් හා භාවිත කරන භාෂාවෙනි. අප තේරුම් ගත යුත්තේ පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයින් තෝරා පත් කෙරුණේද මේ දේශපාලන පක්ෂ වලින් සහ ඒවායෙන් ඉවත්ව තමන්ගේම පක්ෂ හදා ගත් පතුරු පක්ෂ හා කණ්ඩායම් විසින් බවය.

colombo MC

ඇත්ත කතා කළහොත් මේ පළාත් පාලන ආයතනවල ජනතා ඡන්දයෙන් තේරී පත් වූ සභිකයින් ඇත්තේ පළාත් පාලන ආයතනයේ කොට්ඨාශ සඳහා තරග කර කොට්ඨාශය දිනාගත් අපේක්ෂකයින් පමණි. කොළඹ මහ නගර සභාවේ සභිකයින් 117 න් ජනතා ඡන්දයෙන් තේරී පත් වූවා යැයි කිව හැක්කේ කොට්ඨාශ 47 ට තේරී පත් වූ සභිකයින්ටය. ඉතිරි සභිකයින් 70 ව, පක්ෂ නායකයින්ගේ තේරීම් ය. මෙයද මේ සමගම කිව යුතුය. ජනතා ඡන්දයෙන් තෝරා පත් කෙරෙන්නේ පක්ෂ නයකයින් ඔවුන්ගේ පෞද්ගලික තේරීම් අනුව කොට්ඨාශ සඳහා නාමයෝජනා ලබා දීමට තීන්දු කළ අපේක්ෂකයින් ය. එබැවින් ජනතා ඡන්දය වැදගත් වන්නේ පක්ෂ නායකයින්ට ඔවුන්ගේ අපේක්ෂකයා පත්කර ගැනීමට ය.

දැන් අප මේ නැවතත් කතා කරන්නේ පිරිහුණු දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයින්ගේ කල්කිරියාව ගැන ය. 

 
අපගේ ජාතික දේශපාලනයෙහි සිංහල දකුණේ ප්‍රධාන ධාරාවේ පක්ෂ වූයේ දෙකකි. ඒ පළමු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින්ගේ අනුදැනුම ඇතිව ඩී. එස්. සේනානායකගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ එක්සත් ජාතික පක්ෂය (එ.ජා.ප) සහ 1951 දී ඉන් ඉවත්ව බණ්ඩාරනායකගේ නායකත්වයෙන් පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රී.ල.නි.ප) වන්නේය. 
 
එක්සත් ජාතික පක්ෂයේ බල පොරය අතීත උරුමයක්!
 
දෙමළ සමාජය ආමන්ත්‍රණය කළ පළමු පක්ෂය වූයේ 1945 පිටුවා ගනු ලැබූ රාජ්‍ය නීතිඥ ජී. ජී. පොන්නම්බලම් (ජ්‍යෙෂ්ඨ) ගේ සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය සහ 1950 දී ඉන් ඉවත්ව චෙල්වනායකම්, නාගනාදන් හා වන්නියසිංහම් ගේ නායකත්වයෙන් පිහිටුවා ගනු ලැබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි නම් පක්ෂය ය. 
 
දේශපාලන දර්ශනයක් මත 1935 දෙසැම්බරයේදී පිහිටුවා ගනු ලැබූ අපගේ පළමු දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂය (ල.ස.ස.ප) පළමු පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වූවත් ප්‍රධාන ධාරාවේ පක්ෂයක් ලෙස වර්ධනය නොවුනි. එයට මූලික හේතුව වූයේ ඔවුන්ගේ මාක්ස්වාදී කියවීම අනුව, දේශපාලන බලය ගැනීම සඳහා විප්ලවීය කාර්ය කිරීමේ හැකියාව ඇත්තේ නාගරික කම්කරු පංතියට වන හෙයින් ඔවුන් ගැමි ජනතාව ආමන්ත්‍රණය කිරීමට නොයෑම ය.
 
මේ පක්ෂ අතුරින් දේශපාලන දර්ශනයක් මත පිහිටුවා ගත් පක්ෂයක් වූයෙන් සමසමාජ පක්ෂය ඉතා දැඩි විනයක් වාගේම ශක්තිමත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් තහවුරු කරගත් පක්ෂයක් විය. ඔවුන්ගේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ තරම මැන ගත හැක්කේ, ජවිපෙ/මාලිමාවද ඇතුළුව වර්තමාන පක්ෂ නායකයින්, නගර සභා මහ නගර සභා හා ප්‍රාදේශීය සභා පාලන බලය සඳහාද නොයෙකුත් පක්ෂ කණ්ඩායම් සමග රහසේ කල්ලිවාදී සාකච්ඡාවල නිරතවන අතර, සමසමාජ පක්ෂය 1964 දී ශ්‍රී.ල.නි.ප සමග ආණ්ඩුවට හවුල් වන්නට තම ශාඛාවල තෙමසක කාලයක් ගෙන ගිය සාකච්ඡා විශේෂ පාක්ෂික නියෝජිත සමුළුවක අවසාන තීන්දුව ගැනීමෙන් කෙළවර කිරීමෙහි ය.
එජාපයේ 77වෙනි සංවත්සරය තෙක් කතාව - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
 
අනෙක් පක්ෂ බිහි වූයේම පුද්ගල අයිතියක් ඇතිව ය. එ.ජා.ප හදුන්වනු ලැබුවේ සේනානායකලාගේ බෝතලේ වලව්වේ පක්ෂය වශයෙනි. ශ්‍රී.ල.නි.පය හොරගොල්ලේ බණ්ඩාරනායකලාගේ පක්ෂය විය.

විජේවීරගේ පක්ෂය ජ.වි.පෙ විය. එ.ජා.ප/ශ්‍රී.ල.නි.ප පක්ෂ දෙකෙහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොවුනි. පක්ෂ තීන්දු ගැනීමේදී එවැන්නක වැදගත්කම ඔවුන් නොදුටුවේ, ඒවා හරියාකාර සාමාජිකත්වයක් තිබූ පක්ෂ නොවූයෙනි. ඔවුන්ට සිටියේ සේනානායක හා බණ්ඩාරනායක නමට ගරු බුහුමන් කළ ප්‍රාදේශීය නායකයින් හා මැතිවරණවලට හවුල්වන පක්ෂ හිතවතුන් ය. ජ.වි.පෙ වෙනස් වූයේ එය කාඩර්ගත සංවිධානයක් ලෙස විජේවීරගේ සෘජු අණසක යටතේ සංවිධානය කෙරුණක් වීමෙනි.
 
ජයවර්ධන ජනාධිපති 1978 විවෘත වෙළඳපල ආර්ථිකය තහවුරු කරමින් ඊට අවශ්‍ය ලෙස මැතිවරණ ක්‍රමයද වෙනස් කළ පසු, ප්‍රධාන පක්ෂවල තිබූ ජනතාවාදී පෙනුම පමණක් නොව, හැඩරුවද වෙනස් විය. ජයවර්ධන ජනාධිපතිගේ පක්ෂ ප්‍රධානවූ අනුපාත මැතිවරණ ක්‍රමයෙහි මැතිවරණ ආසනය පරිපාලන දිස්ත්‍රික්කය බවට පත් කිරීමෙන් පසු කොළඹ නායකයින්ට පෙර මෙන් ජනප්‍රිය ප්‍රාදේශීය චරිත අවශ්‍ය නොවුනි. අවශ්‍ය වූයේ දිස්ත්‍රික්කයක මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් සොයා ගත හැකි අපේක්ෂකයින් ය. 
 
ආණ්ඩු බලය රැකගැනීම සහ ජයවර්ධන උපක්‍රම - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
 
විවෘත වෙළඳපල ආර්ථිකයෙහි බිහි වූ ජාවාරම්කාරයින්ට දේශපාලන පක්ෂ හසුරුවන්නට ඉඩ ලැබුණේද ඒ සමගින් ය. ඒ සමග ප්‍රධාන පක්ෂ දෙකෙහි ඇතිවූ නායකත්ව ගැටුම්ද ජාවාරම්කාරයින්ගේ හිතවත්කම් අනුව පෝෂණය විය. දසකයකට පෙර ඒ පක්ෂ නාම මැතිවරණ වල සන්නාහ නාම ලෙස යොදා ගැනුනත් දැන් ඒවාට ඒ වටිනාකමද නැත.
 
විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පුරවැසියන් තරගකාරී පාරිභෝගකයින් බවට පත් කිරීමේ සමාජ ආර්ථික ක්‍රියාවලිය තුල එතෙක් සමාජයේ වූ සදාචාරය, විනය, සාර ධර්ම සියල්ල ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ගෙන් ගිලිහී ගිය ලෙසින්, දේශපාලන පක්ෂ සතුව තිබූ සමාජ වගවීමද ගිලිහී ගියේය. ඒ සියල්ල එකතු වූ පසු ඉතිරි වූ පිරිහුණු සමාජයක, පිරිහුණු පක්ෂ නායකයින් සමග, ආත්මාර්ථකාමී පාරිභෝගිකයින්ට පෙර මෙන් මැතිවරණ වලදී දැනුවත්, වගකීම් බාර ගත හැකි අපේක්ෂකයින් හමුවන්නේ නැත.
 එනිසා මෙදා පළාත් පාලන ආයතන සඳහාවූ මැතිවරණයෙන් ප්‍රදර්ශනය වන්නේ අඟුටු මිටි දේශපාලන නායකත්ව හා සමාජ පිරිහීමත් ය. අවශ්‍ය වන්නේ ඊට උත්තර සොයන්නට ය. එය ලෙහෙසි පහසු කාර්යක් නොවේ යැයි කල් තියා අනතුරු ඇඟවිය යුතුය.
 
(සටහන | කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

2025 ජුනි 17 වන දින  

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...