The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Lanka Dissent : අපි තමයි 'ලංකා විසම්මුතිය' - (කුසල් පෙරේරා)

T

The Leader Desk

July 7, 2023 • 2:58 PM

  Lanka Dissent : අපි තමයි 'ලංකා විසම්මුතිය' - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හා තොග ගණනින් පළ කෙරෙන වෙබ් පුවත් පිටුවල.
  • ඒ නිසා දැන් ආණ්ඩුව පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ වැඩි වුවමනාවක් පෙන්වන ප්‍රකාශ කෙරෙනවා.
  • ස්මාට් ෆෝන් සාමාන්‍ය ජංගම දුරකතන බවට පත්වෙලා තියෙන්නේ.
  • ඒවයේ නිර්නාමිකව හෝ ව්‍යාජ අනන්‍යතා සමග පෙනී සිටිය හැකි නිසා වගේම තමන්ගේ පුද්ගල ප්‍රකාශ සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය තුල වැඩි ඉඩක් නොමැති නිසා පුද්ගල ප්‍රකාශකයින් බහුතරයක් ගොඩ වෙන්නේ එවැනි අන්තර්ජාල සන්නිවේදන වේදිකා වලටයි.
අකුරු ප්‍රමාණය (Font Size):

හා තොග ගණනින් පළ කෙරෙන වෙබ් පුවත් පිටුවල. ඒ නිසා දැන් ආණ්ඩුව පැත්තෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කිරීමේ වැඩි වුවමනාවක් පෙන්වන ප්‍රකාශ කෙරෙනවා.

තොරතුරු තාක්ෂණයේ සන්නිවේදන විවිධත්වය දැන් අතිශය සරළ භාවිත සඳහා වර්ධනය කෙරෙන්නේ කුඩා ස්මාට් ෆෝන් වලටත් අදාලවයි. ස්මාට් ෆෝන් සාමාන්‍ය ජංගම දුරකතන බවට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා විරෝධතා, හෙළා දැකීම්, හෙළිදරුව් කිරීම් කෙළවරක් නැතිව පළ කෙරෙන්නේ ෆේස්බුක්, ට්විට, ඉන්ස්ටග්‍රම්, ටික්ටොක්, වගේ අන්තර්ජාල මෙවලම් යොදා ගෙනයි. ඒවයේ නිර්නාමිකව හෝ ව්‍යාජ අනන්‍යතා සමග පෙනී සිටිය හැකි නිසා වගේම තමන්ගේ පුද්ගල ප්‍රකාශ සඳහා සාම්ප්‍රදායික මාධ්‍ය තුල වැඩි ඉඩක් නොමැති නිසා පුද්ගල ප්‍රකාශකයින් බහුතරයක් ගොඩ වෙන්නේ එවැනි අන්තර්ජාල සන්නිවේදන වේදිකා වලටයි.

මම මේ කතා කරන්න යන්නේ එවැනි බොහෝ දේ නොදන්නා, නොතිබුණ යුගයක, ආණ්ඩු විරෝධය සමග විසම්මුතියත් ප්‍රධාන කතාවක් කරගත් අත්දැකීමක් ගැනයි.

periodismo jaen 640

 මේ හරියටම අවුරුදු 16 ට කලින් ආරම්භ වුන කතාවක්. මම දිනය මතක තියාගෙන ඉන්නේ 07.07.07 හැටියට. එදා තමයි L anka Dissent (ලංකා ඩිසෙන්ට්) වෙබ් පුවත් අඩවිය අන්තර්ජාලයේ පළ කෙරුවේ. ප්‍රධාන ධාරාවේ පුවත්පත්වල සහ ජනප්‍රිය රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවල හමු නොවන ප්‍රවෘත්ති පළ කරන, යම් ආණ්ඩු විරෝධයක් සහිත වෙබ් පුවත් අඩවියක් ආරම්භ කිරීමේ අදහස, යහපාලන ආණ්ඩුව කාලයේ ඉතා දරුණු මාධ්‍ය සත්වයෙක් හැටියට පුවත් පතක “වෙබ් අඩවි ගොඩ් ෆාදර්” කියලා නම පටබැඳුව රුවන් ෆර්ඩිනැන්ඩස්ගෙ අදහසක්. නමුත් ඒ අදහසට දේශපාලන අර්ථයක් ඇතිව දිසානිතිය තීන්දු වුනේ දීප්ති කුමාර ගුණරත්නගේ මැදිහත්වීමෙන්. වෙබ් පුවත් අඩවියට L anka Dissent කියන නම දුන්නෙත් දීප්ති. ඉතිරි සංවිධානාත්මක වැඩ, සම්පත් ගොනු කිරීමේ වගකීම, වැඩි කතා බහක් නැතිව උදේ හවස කෙරුණේ රුවන්ගෙන්. 

මම හවුල් වෙන්නේ රුවන්ගේ ඉල්ලීමට අමතරව, එවැනි මාධ්‍ය මැදිහත්වීමක අවශ්‍යතාවක් මටත් දැනුණ නිසයි. ආරම්භයේදී කර්තෘ වශයෙන් වගකීම් භාර ගත්තේ ගාමිණි වියන්ගොඩ. මට මතක හැටියට, ආරම්භක මාධ්‍යවේදීන් කිහිපදෙනා වුනේ ඉන්දික, කැළුම්, තාරක, සහ ශානි. ඒ අතරින් සාම්ප්‍රදායික මාධ්‍ය අත්දැකීමක් තිබුණේ ලක්බිම පුවත් පතේ ක්‍රීඩා තොරතුරු වාර්තා කළ කැළුම්ටයි. කැළණි සරසවියේ උපාධිය සම්පූර්ණ කර පැමිණි ශානි, එෆ්.එම් ගුවන් විදුලි නාලිකාවක අර්ධකාලීනව සේවය ආරම්භකර තිබූ ලා බාල තරුණියක්. තාරක මට මතක විදියට සිරස ආයතනයේ ඉංග්‍රීසි පරිවර්තන වැඩ කළ කෙනෙක්. ඉන්දික ඇත්තටම දේශපාලන සත්වයෙක්.

Shani akka 2023.07.07
ඊට අමතරව ප්‍රවෘත්ති ලබා දෙන බාහිර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුත් හිටියා. ඒ අය වැඩියෙන් ගනුදෙනු කෙරුවේ රුවන් හරහායි. වෙබ් අඩවියේ තාක්ෂණික කටයුතුත් රුවන්ගේ සම්බන්ධකම් මත තමයි කෙරුණේ. ඒ කාලයේ අපිට ඕනේ විදියට වෙබ් පිටු සැළසුම් කරන්න, වෙනත් පිටු අමුණන්න, පරණ පුවත් නැවත කියවිය හැකි ලෙස සංරක්ෂණය කරන්න, ඡායාරූප ඇතුළත් කරන්න තාක්ෂණය දන්නා මාධ්‍යවේදීන් අපට හිටියේ නැහැ. තාක්ෂණ ශීල්පීන්ගේ සහාය ඒ නිසා බාහිරින් ලබා ගත්තක්. නමුත් පාඨකයින් රඳවා ගන්න වෙබ් පිටු ආකර්ශනීය ලෙස සැළසුම් කිරීමේ අත්හදා බැලීම් කරන්න L anka Dissent අපි බය වුනේ නැහැ.  
 
මාසයකට විතර පසු බොරැල්ලෙන් පොල්හේන්ගොඩට කාර්යාලය මාරුවෙලා මාසයක් දෙකක් යනකොට ගාමිණි ඉවත් වුනා. ඒ නිසා කර්තෘ වගකීම් සියල්ලට උර දුන්නේ මම. ඒ වන විට, අපි සිංහල සහ ඉංග්‍රීසි වෙබ් පුවත් පතක් හැටියට යම් අවධානයක් ලබා ගෙන තිබුණේ. ඊට හේතු තිබුණා. එකක් වෙබ් පුවත් අඩවි තිබුණේ කිහිපයයි. ඒවායේ සාමාන්‍ය පුවත් පත් වලට වඩා වැඩි වෙනසක් තිබුණේ නැහැ. ඒ වගේම ඒවා යහළු යෙහෙළි පිටු, ජනප්‍රිය පුද්ගලයින්ගේ ඕපා දූප වගේ තොරතුරු සමගින් පැවතුනු පුවත් අඩවි. අනෙක අපි සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ අමාත්‍යාංශවල, දේශපාලකයින්ගේ ප්‍රවෘත්ති පළ කරන්න උනන්දු නොවීම. ඒ වගේම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් වැදගත් භාෂා භාවිතයක් තහවුරු කිරීම සහ උතුරු-නැගෙනහිර යුද්ධය සම්බන්ධව වෙනත් මාධ්‍ය පළ නොකරන පුවත් නිවැරදිව හා නොපමාව පළ කිරීම. වැදගත් වූයේ වැඩි කලක් නොගොසින් අපි ඉතා වගකීමෙන් ප්‍රවෘත්ති පළ කරන වෙබ් අඩවියක් කියන පාඨක විශ්වාසය දිනා ගැනීමට සමත් වීමයි. ඒ වගේම ඉතා ඉක්මණින් දෙමළ බසින්ද වෙබ් පිටුවක් ආරම්භ කිරීම හේතුවක් කියලා මම හිතනවා.
 
ඇත්තටම 2007 තුන්වන කාර්තුව වනවිට, වෙනත් ජනප්‍රිය අංග නොමැති, පුවත් සඳහාම වෙන්වූ පළමු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවිය වූයේ L anka Dissent කියලා මගේ විශ්වාසයයි.  
 
රුවන්ට ලැබුණු තොරතුරු එයා මාගල් වගේ අතින් ලියා සටහන් කරගෙන කැළුම්ට හරි ශානිට හරි දුන්නම වාර්තාව සකස් කරන්න කියලා, ඒගොල්ලො ටයිප්සෙට් කරන වාර්තාව මම දෙකෙන් පංගුවට කපනවා. හෙඩිං වෙනස් කරනවා. මට තාම මතකයි දවසක් කැළුම් කිව්වා, “අයියෝ කුසල් අයියා, මගේ මහන්සිය අපරාදේ” කියලා. නමුත් වෙබ් අඩවි වලට ප්‍රවෘත්ති බලන්න ගොඩවන අය හෑලි කියවන්නෙ නැහැ කියන මතයේ මං හිටියේ.
 
 
Screenshot 2023 07 07 at 8.12.23 PM removebg previewඒ වගේම විසම්මුතික අදහස් ඉදිරිපත් කිරීමේ කලාවක් හැටියට Lanka Dissent වල කොළඹ, මහනුවර වගේ නගරවල සංවාද සාකච්ඡා පැවැත්වෙන විට ඒවායේ ප්‍රවෘත්ති පළ කිරීමටත් ලොකු උත්සාහයක් ගත්තා. විශේෂයෙන් උතුරු-නැගෙනහිර අර්බුදයට යුද්ධයද නැත්තනම් සාකච්ඡාද කියන මතවාදයට අදාල අයුරින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයට නාගරික සමාජයේ යම් අවධානයක් ලැබුණා. එනිසා කොළඹ තානාපති කාර්යාල කිහිපයක් අපත් එක්ක සම්බන්ධකම් පැවැත් වූවා. ඒ වනවිට, රාජපක්ෂ පාලනයේ මාධ්‍ය මර්දනය උත්සන්න වෙමින් පැවතුනේ. කොළඹ ප්‍රධාන තානාපති කාර්යාල කිහිපයක් මාධ්‍ය මර්දනය ගැන දැඩි කණස්සල්ලෙන් හිටියේ. අපි ආර්ථික වශයෙන් ඉතා අමාරුවෙන්, රුවන්ගේ උත්සාහ මත යැපුනු නිසා, තානාපති කාර්යාල දෙක තුනකින් අපට ආධාර කරන්නත් මාත් සමග සාකච්ඡා කළා. නමුත් අපේ ස්වාධීනත්වය ඇතිව එවැනි ආධාර ලබා ගැනීමේ පරස්පරය සමග ඒවා අත හැරුනා.
 
 
 යුද්ධය ටික ටික උත්සන්නවීමත් Lanka Dissent වෙත වැඩි පාඨක අවධානයක් ලැබීමත් සමගාමීව සිදුවුනේ. දෙමළ ඩයස්පෝරාව වගේම, සිංහල-බෞද්ධ ඩයස්පෝරාවත් ඒ අතර හිටියා. ඒ වනවිට අපි නැවතත් කාර්යාල ස්ථාන මාරුවක් කර තිබුණා. 2008 වන විට අපි වැඩ කෙරුවේ නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවසක සිටයි. ඒ අතර, Lanka Dissent මාධ්‍ය භාවිතය රාජපක්ෂලාගේ අවධානයට හසුව තිබුණා. ඔවුන්ගේ ආරක්ෂක අංශ අපේ ප්‍රවෘත්ති දැඩි විමසිල්ලකට ලක් කර තිබූ බව මා දැන ගත්තේ නිල නොවන ආරක්ෂක ක්ෂේත්‍රයේ බ්ලොග් අඩවියක මා ගැන තිබූ සඳහන් කිරීම් වලින්. ඒ වගේම ඉන්දික ඔහුගේ දේශපාලනය නිසා අත්අඩංගුවට පත්වීමේ තර්ජනයට ලක්ව හිටියේ. 2008 දෙවන භාගයේ ඔහු ස්වේච්ඡායෙන් අතුරුදහන් වුනා. ඔහුට ඒ දිනවලම ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ලැබුණා.
 
 
ඉඳහිට අපි පොඩි අඩියකට හවසට ගොඩවන හෝටලයක දවසක් හවස මං කැළුම් සමග අල්ලාප සල්ලාපයේ ඉන්නකොට අපිත් සමග හිතවත්ව සිටි සේවකයෙක් හෙමිහිට ඇවිත් කිව්වා, තවත් මේසයක අපි දෙන්නා ගැන නිහඬව විමසිල්ලෙන් ඉන්න දෙන්නෙක් ඉන්නවා, ඒ නිසා හෙමීට දැන්ම පිටත් වුනොත් හොඳයි කියලා. ඒ පණිවිඩයෙන් පස්සේ අපි දෙන්නා වෙන වෙනම මාරු උනා. ඇත්තට එදා බිල ගෙවන්නවත් උනේ නැහැ. ටික කලකට අපි ආයේ එතනට ගියේ නැහැ.
multimedia.normal.90f7bc1bb80eef80.69695f6e6f726d616c2e6a7067

 
 ආපසු හැරී බලනවිට, අද වගේ අන්තර්ජාල පහසුකම් සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්තව පුළුල්ව නොතිබුණු යුගයක, රාජ්‍ය මර්දනයද තියුණුවන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම් හා ඝාතනය කිරීම් කොළඹට වඩා යාපනයෙන් වාර්තා වුනු අවධියක, වෙබ් පුවත් මාධ්‍යකරණයේ මාස 18 ක අත්දැකීම් ඉතා සංකීර්ණ හා අභියෝගාත්මක අත්දැකීම් වුනා. ඒ අභියෝගයේ එක් අසීරු කඩුල්ලක් වුනේ, සාම්ප්‍රදායික මාධ්‍යවල වගේ ලැබෙන තොරතුරුවල නිරවද්‍යතාව දෙවන හෝ තෙවන පාර්ශවයකින් විමසා බැලීමේ අවස්ථාවක් වෙබ් පුවත් මාධ්‍යකරණයෙහි නොලැබීමයි. වෙබ් මාධ්‍යකරණය කියන්නේ කාලය අපතේ නොහැර, හැකි ඉක්මණින් නිවැරදි ප්‍රවෘත්ති පළ කිරීමයි. ඒ නිසා බොහෝ ප්‍රවෘත්තිවල නිරවද්‍යතාව තීන්දු කරන්න සිදුවෙන්නේ තොරතුරු ලබා දෙන්නා ගැන තබන විශ්වාසය මත. දෙවැන්න එවැනි සිදුවීමකට ඇති සම්භාවිතාව ගැන මාධ්‍යවේදියාගේ කියවීමයි. එනිසා ප්‍රවෘත්තිය පළ කිරීමේදී වෙබ් පුවත් අඩවිවල යම් අවදානමක් තියෙනවා. හැකි නම් තවත් පාර්ශවයකින් එය සොයා බැලීම වටිනවා. නමුත් මූලික සාධකය වෙන්නේ කෙතරම් විශ්වාසවන්ත අවංක තොරතුරු සැපයීමේ සම්බන්ධතා වර්ධනය කර ගන්නවාද කියන එකයි.
බැලුවම ඒ මාස 18 නොසෑහෙන දිගු කාලයක්. එතනින් ඒ මාධ්‍යකරණය අවසන් වුනේ 2009 ජනවාරි 08 වන දින සන්ඩේ ලීඩ පුවත් පතේ ප්‍රධාන කර්තෘ අපේ මිත්‍ර ලසන්ත වික්‍රමතුංග ඝාතනයයි. එවැනි අවදානමක් සමග Lanka Dissent මාධ්‍යකරණය පවත්වාගෙන යා නොහැකි යැයි මම ගණන් හැදුව නිසා පසුදින අපි Lanka Dissent වෙබ් පුවත් අඩවිය, මං ඉතාම කෙටියෙන් ලියුව විසම්මුතික ප්‍රකාශයක් සමග අවසන් කෙරුවා.
 
එදා අපිත් එක්ක හවුල් වුන අයගෙන් දැන් වෙබ් මාධ්‍යකරණයේ පූර්ණකාලීන මාධ්‍යවේදීන් හැටියට ඉන්නේ කැළුම් සහ ශානි විතරයි මං හිතන්නේ. නමුත් රුවන් නම් තාම “වෙබ් අඩවි ගොඩ් ෆාදර්ම” තමයි.  
 

kusal perera
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...