මෙරට මගී ප්‍රවාහන බස් රථ ලෙස භාවිතා වන ටාටා සහ ලේලන්ඩ් බස් කිසිසේත් සුවපහසු නොවන ලොරි ගණයේ ඒවා වන අතර වායු සමනය කළ රෝසා බස්ද පැසෙන්ජර් කෝච්වලට වඩා වැඩි යමක් නොවේ.
කොළඹ සිට එවැනි සුවපහසුවක් නැති බසයක නැගී බදුල්ල පස්සර ලුණුගල වැනි කඳුකර පළාතකට වංගු අතරින් යෑම මාරක මෙන්ම ඉතා අසීරු ගමනකි. මගීන් බස්වලින් බසින්නේ බාගෙට මැරිලාය.
ඊට හේතු කිහිපයකි.
01. මේ බස් සුවපහසුවෙන් තොර හා ආසනද දිගු ගමනකට සුදුසු නැත.
02. ඒවායේ සවිකර ඇති අමතර උපාංග ඉමහත් වධයක් වන අතර අනතුරකදී අවදානම වැඩි කරයි. බස් ලියාපදිංචියේදී මේවා සවිකර තිබීම නීතිවිරෝධී වන අතර පසුව සවිකරයි. රජයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඒවා ඉවත් කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ අතර බස් ගැමුණු ආණ්ඩුවට කොකා පෙන්නූ බව මහජන මතයයි.

03. බස්රථ තුළ ඇති පාට පාට නියෝන් ලයිට් මගීන්ගේ විඩාව වැඩි කරයි. විශේෂයෙන් බ්ලූ ලයිට් ඇස් ආබාධවලට හේතුවක් වන බව වෛද්‍ය මතය වූවත් ඒවා ගැන නිසි පියවර ගන්නා කිසිවෙකුත් නැත.
04. අධික ශබ්දයෙන් සංගීතය වාදනය කරන බස්වල වැඩි වශයෙන් වාදනය වන්නේ ඉතා අමිහිරි ග්‍රාම්‍ය ගීත වන අතර මගියාගේ කැමැත්තට ඉඩක් නැත. මහින්ද අමරවීර විෂය භාරව ඉන්නා විට ඒවා නැවැත්වීමට ගත් උත්සාහය ව්‍යවර්ථ වූයේ අමරවීරටත් වඩා රාජපක්ෂලාට සමීප බස් හිමියන්ද සිටි නිසා බවට කතාවක් තිබේ. ඝෝසාකාරී ගීත රියැදුරුගේ මනසේ නිවුණු හැඟීම් ඇති නොකරන අතර හැසිරීමට බලපාන බව රහසක් නොවේ. අවශ්‍යම නම් රියැදුරුට පමණක් ඇසෙන්නට ඒවා වාදනය කරගත හැකි අතර දැනට බදුල්ලට යන සුපර්ලයින් අධි සුඛෝපභෝගී බස්වල එය ක්‍රියාත්මකය.
05. බස්රථවල සේවක විනය ඇත්තේම නැති අතර නිල ඇඳුම් හැඳි විනයගරුක සේවකයින් සිහිනයකි. දැන් ලංගමේද එවැන්නන් හිඟය. ප්‍රවාහනය විධිමත් කරන්නට එවැනි කාරණා ගැන පුහුණුව ලබා දීම වැදගත් බව රජයවත් සිතන්නේ නැත. ඇතැම් රියදුරන් දුරකතන භාවිතා කරමින් බස් රථ පදවයි.

06. අනවශ්‍ය වේගයට හේතුව අනවශ්‍ය පමාවයි. බොහෝ බස් ගමනේ මුල් අර්ධය සෙමෙන් හෙවත් කොට කොටා ගොස් ඉතිරිය වෙඩි කෑ ඌරන් ලෙස ධාවනය කරයි. බස් රථ අතර ගැටුම්වලටද හේතුව එයයි. එකල ගමන් පාලනයට ලංගම ටයිම් කීපර්වරු සිටි අතර දැන් එවැන්නන් නැත. එහෙත් ඔන්ලයින් ට්‍රැකින් තුළින් එය පහසුවෙන් සිදු කළ හැකි අතර දඬුවම් දීමටද පුළුවන. එවැනි සිස්ටම් එකක් තිබේ නම් දුර ගමන් බස් රියදුරන් නිරීක්ෂණය හා සන්නිවේදනයද පහසුවකි.
07. බස් ජාවාරම් සේවයක් බවට පත්වීමට අතරමග කනබොන තැන්ද හේතුවකි. ඒවායේ ඇති අපිරිසිදු කෑම මගීන්ට ගිල්ලවීම නිසා රියදුරු කොන්දොස්තර දෙපළ සංතෝෂම් ලබන බව රහසක් නොවේ. නොමිලේ කෑම, ගතමන්ට් එකක්, අඩිපුඩි, සිගරට්, බුලත්විට, පාන්ගෙඩියක් දෙකක් ලැබෙන බව මට විමර්ශනයේදී තහවුරු විය. මේ ලැයිස්තුව බස් මාර්ගය හා හෝටලය අනුව වෙනස්වන්නට පුළුවන. බදුලු පාරේ එවැනි එක හෝටලයකට නඩුවක් පැවරීමට මැදිහත්වීමට මට පුළුවන් වුණ නිසා මේ සම්බන්ධව දනිමි. ලංගම බස්වල මගීන් යන එන පහසුව නොබලා කිරි ආදිය පැටවීමද සිදුවන අතර ඇතැම් මාර්ග රියදුරන් හා කොන්දොස්තරවරුන් මළාට අතහරින්නේ නැත්තේ ඒ නිසාය. අම්මා මළ දවසේද කිරි පටවන පාරක ඩියුටියට ගිය බස් සේවකයෙකු ගැන කතාවක් මා අසා ඇත. එවැන්නන්ගේ ආදායම ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ට වඩා වැඩිය. ඔවුන්ගේ ආදායමට කණ කොකා හැඬවිය යුතු නැතත් ලංගම බස්වල සිදුවන ඒ කටයුතුවලින් රජයට ආදායමක් ලැබීමට සැළැස්විය හැකි අතර ප්‍රමුඛ වන්නේ මගියා බව සිතිය යුතුය.
08. රාත්‍රී දුර ගමන්වලදී රියදුරන් මාරුකිරීමට ක්‍රමයක් තිබීම වඩා හොඳ අතර එකම සේවාවේ බස්රථවල මෙය පහසුවෙන් සිදු කළ හැකිය. ශාරීරික යෝග්‍යතාව දුරගමන්වලදී අනිවාර්ය කළ යුතු වේ. එසේම මත්ද්‍රව්‍ය භාවිතා කර ඇතිදැයි අතරමගදී පරීක්ෂා කළ හැකියි.

09. ලොරියක වැඩිපුර ගවයින් පටවා ගෙන යද්දී සත්ව හිංසනය යැයි කියමින් අල්ලන පොලීසිය අධික ලෙස මගීන් පටවන බස් අල්ලන්නේ නැත.
10. ඇතැම් බස්රථ බිය සැක නැතිව මාර්ග නීති කඩන අතර විශේෂයෙන් පුද්ගලික බස් පාර තමන්ගේ යැයි සිතා ධාවනය කරන්නේ පොලීසිය ෂේෆ් කරගන්නට ජරාව දෙන නිසා බව මහජන මතයයි.
අන්තිමේදී අනතුරක් වූ විට රටම මාසයක් හමාරක් වැළපේ. එච්චරය. බෙරගල බස් අනතුර (පැරණි), පූනාගල අනතුර, ලුණුගල අනතුර, කොත්මලේ අනතුර හැම එකකදීම එහෙමය.
මෙසේ වන්නේ බස් ගැමුණු හා සංගම් ඔය කියන තරම් බලවත් නිසා නොවේ. ප්‍රවාහනය පිළිබඳ රටේ ප්‍රතිපත්තියේ අවුල ලොකුම අවුලයි. මගී ප්‍රවාහනයට ලොරි නොව ඇත්ත බස් ගෙන්වීම සේවක විනය සුවපහසුව ලයිට් සිංදු ඩෙකරේෂන් හැමදේම ගැන බැලිය යුතුය. එය කරන්නට බැරි හේතුවලින් ලංගම පරිපාලනය හා සේවාව අවිධිමත් වීම ලංගම පැත්තේ ඇති හේතුවයි.
පුද්ගලික අංශයේ අවුල ගැමුණුලාගේ අවුලක්ම නොවේ. පුද්ගලික බස් කර්මාන්තය අයිතිකරුවන් පිටුපස ඇති දේශපාලනය ඒ අවුලයි. මේ රට පාලනය කළ හා කරන හැම දේශපාලන පක්ෂයක්ම ජරා බස් කර්මාන්තය සමග යටින් සම්බන්ධ බව වගකීමෙන් කියමි. සමහර පක්ෂ තමන්ගේ වැඩවලට පුද්ගලික බස් අච්චර මෙච්චර ගෙන්වන්නේ සල්ලි ගෙවලාම පමණක් යැයි සිතනවා නම් පුරවැසි ඔබ ගැන කනගාටුය.
රූට් පර්මිට් ගැනීමද බාර් පර්මිට් ගැනීම වැනි වැඩක් බව වගකීමෙන් ලියා තබමි.
බස්වල යන අප හතරවරං දෙයියන්ට බාරය.
මේ පෝස්ටුව බිමල් රත්නායකටත් පෙනේවා. Bimal Rathnayake
(සටහන | Lasantha de Silva)
උපුටා ගැනීම - Lasantha de Silva ගේ ෆේස්බුක් පිටුවෙන්...
2025 මැයි 12
සබැඳි ලිපි :
කතරගම කුරුණෑගල බස් රථයේ රම්බොඩ ඛේදවාචකයට මුහුණදුනිමි! | Janith Shyaminda
කොත්මලේ බස් අනතුර: 'බස් එක ස්පීඩ් ආවා ටිකක්... ඇවිල්ලා බ්‍රේක් පාර ගහනකොට වම් පැත්තට බස් එක ඇඹරුණා'



