The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'ආලෝකෝ උදපාදී' හෙවත් ආලෝකා පැරඩොක්සිය 'Light Arose” with the Paradox of Aloka' | Enokaa Sathyangani

T

The Leader Desk

April 23, 2026 • 10:32 AM

'ආලෝකෝ උදපාදී' හෙවත් ආලෝකා පැරඩොක්සිය 'Light Arose” with the Paradox of Aloka' | Enokaa Sathyangani

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “සාම පාද යාත්‍රාවේ” සාම දූතයෙකු ලෙස නැතහොත් සාම පණිවුඩයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන “ආලෝකා” සුනඛයා මෙරටට සැපත් වී පැය විසිහතරක් ගතවන්නටත් පෙර,
  • ලොව පුරා සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටින භික්ෂු සමූහයා සමඟ පාද චාරිකාවේ යෙදෙන “ආලෝකා”, තිරිසන් සත්වයෙකු වුවද මිනිස් හදවත් තුළට රැගෙන යන පණිවුඩය ආදර්ශමත් එකක් බව භේදයකින් තොරව පිළිගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරට පැමිණ තිබේ.
  •   මේ අතරේ පූජ්‍ය බලංගොඩ කස්සප නම් භික්ෂුවක් විසින් ආලෝකාගේ සම්ප්‍රාප්තියට පෙර පටන්ම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටින ලද්දේ, තිරිසන් සතුන් සම්බන්ධ කරගෙන ධර්ම ප්‍රචාරයේ යෙදීම බුදුදහමට එරෙහි පිළිවෙතක් වන බවයි.
  • සුනඛයා තිරිසන් සතෙකු වන්නේ යම් සේද, ඇතා (හෝ අලියා) ද එවැනිම තවත් සත්වයෙකු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආලෝකාගේ ආගමනය සම්බන්ධයෙන් ප්‍රබල සමාජ කතිකාවන් පොදු අවකාශ තුළ ගොඩනැඟී තිබේ. එය ධනාත්මක සේම සෘණාත්මක වශයෙන් අන්ත දෙකකට තල්ලු වී තිබීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

ලොව පුරා සාමය සහ සහජීවනය වෙනුවෙන් පෙනී සිටින භික්ෂු සමූහයා සමඟ පාද චාරිකාවේ යෙදෙන “ආලෝකා”, තිරිසන් සත්වයෙකු වුවද මිනිස් හදවත් තුළට රැගෙන යන පණිවුඩය ආදර්ශමත් එකක් බව භේදයකින් තොරව පිළිගැනීමට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පෙරට පැමිණ තිබේ. එකී ජනකාය බෞද්ධාගමිකයන් පමණක් නොව ආගමික භේදයකින් තොරව ලෝක සාමය ප්‍රාර්ථනා කරන පිරිසක් වන අතර, “සත්ව ප්‍රේමය” වෙනුවෙන් ද සංවේදී වූ පිරිසක් වීම වැදගත් තත්ත්වයකි. ඔවුන් සැම ආලෝකා විසින් සංජානනය කරන්නා වූ උතුම් පණිවුඩය පමණක් වැලඳ ගනිමින්, භික්ෂූන් සමඟ චාරිකාවේ යෙදෙන ආලෝකා පිළිගැනීමට ගමන් ගන්නා මහමඟ දෙපස පෙළගැසී ආචාර-සමාචාර දක්වමින් සාධු නාද පැතිරවීම සුවිශේෂී දර්ශනයකි.

 



මේ අතරේ පූජ්‍ය බලංගොඩ කස්සප නම් භික්ෂුවක් විසින් ආලෝකාගේ සම්ප්‍රාප්තියට පෙර පටන්ම මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටින ලද්දේ, තිරිසන් සතුන් සම්බන්ධ කරගෙන ධර්ම ප්‍රචාරයේ යෙදීම බුදුදහමට එරෙහි පිළිවෙතක් වන බවයි. මෙකී සාම පාද යාත්‍රාවට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව විසින් එසේ දිගින් දිගටම සිය විරෝධය හා අප්‍රසාදය පළ කිරීම මෙකී නිමිත්ත මුල් කරගෙන ගොඩනැඟුණු කැපී පෙනෙන විරුද්ධාභාසයකි. සෘජුව පැවසුවහොත් “ආලෝකා” වටා ගොඩනැඟුණු පැරඩොක්සියකි (Paradox).

ඉහත ප්‍රතිරෝධය සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස කිව හැක්කේ, ලාංකීය බෞද්ධ බැතිමතුන් වන්දනාමාන හා චාරිත්‍ර කටයුතු ඉටු කිරීම විෂයෙහි සිය මුදුන්මල්කඩ ලෙසින් සලකන පූජනීය ස්ථාන ත්‍රිත්වය වූ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය හා දළදා මාළිගාව යන බෞද්ධ සිද්ධස්ථාන තුළින් සාමයේ පණිවුඩය පමණක් නොව මෛත්‍රිය හා කරුණාවේ පණිවුඩය ද බෙදාහරින දළදා පෙරහැරේ ධාතු කරඬුව ඔසවාගෙන යන්නේ තිරිසන් සත්වයෙකු වූ ඇතෙකු බව අමුතුවෙන් නොකිවමනාය. සුනඛයා තිරිසන් සතෙකු වන්නේ යම් සේද, ඇතා (හෝ අලියා) ද එවැනිම තවත් සත්වයෙකු වේ. බුරුතු පිටින් ඇතුන් ඝාතනය වන රටක, ඇතකුට හිමි ආගමික රැකවරණයක් හෝ විශේෂ වරප්‍රසාදයක් නොමැති මුත්, ගෞතම බුදුන්ගේ දන්ත ධාතුව රැගෙන දළදා මාළිගාවේ පෙරහැරේ යන ඇත් රාජයාට සුවිශේෂී රැකවරණ හා පුද සත්කාර නොඅඩුව ලැබේ. එසේ ඇතෙකු තෝරා ගැනීමේ තර්කානුකූල පසුබිම ලෙස ධාතු වන්දනාවට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් සේම අන්‍යාගමිකයන් පවා පිරී ඉතිරෙන පරිසරයක් තුළ, ධාතු කරඬුවේ ආරක්ෂාව පතා එය ඇතකු පිට තබා රැගෙන යාමේ චාරිත්‍රය ගොඩනැඟෙන්නට ඇති බව අපට විශ්වාස කළ හැකිය. පෙර රජ දවස රජවරු පවා රාජකීය ඇතාගේ කර මතින් වීථි සංචාරයේ යෙදී ඇත්තේ එකී ආරක්ෂාව මුල් කරගනිමින් බව විශ්වාස කළ හැකිය. එසේ නොවන්නට, අශ්වයෙකු, කොටළුවෙකු, ගවයෙකු හෝ සුනඛයෙකු පිට වුව පූජනීය වස්තුවක් වැඩම කරවීමට සත්ව කුලය අදාළ නොවනු ඇති බව විශ්වාස කළ හැකිය.

kassapa 260124පූජ්‍ය බලංගොඩ කස්සප භික්ෂුව
මීට අමතරව හින්දු බැතිමතුන් අතරේ වන්දනීය දේව ප්‍රතිමූර්තීන් වන කතරගම දෙවියන්ගේ (මුරුගන්) වාහනය ලෙස මොනරාත්, ගණපති දෙවියන්ගේ වාහනය ලෙස මීයා වැනි මිනිස් පිළිකුලට හා අපුලට පාත්‍ර වූ සත්වයෙකුත්, සූනියම් දෙවියන්ගේ වාහනය ලෙස අශ්වයාත් පිළිගැනීම තුළ, ආගමික චාරිත්‍ර හා වත්පිළිවෙත් වෙනුවෙන් තිරිසන් සතුන් භාවිත කිරීමේ පිළිවෙත විවිධ ආගමික විශ්වාසයන් මුල් කරගනිමින් පවතින බව පෙන්වා දිය හැකිය. විශේෂයෙන්, අතිබහුතරයක් නිර්මාංශිකයන් වන්නා වූ හින්දු බැතිමතුන් විසින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්ව මාංස අනුභවය ප්‍රතික්ෂේප කරන අතරේ, මෙසේ දේවත්වයෙන් වන්දනාමාන කරනා තම ආගමික ප්‍රතිරූප සත්ව සංකේත සමඟ සම්බන්ධ කොට අදාළ සතුන් පූජනීයත්වයට හෝ වන්දනීයත්වයට පත් කරන්නේ, මිනිස් වර්ගයා හා සෙසු සත්ව කුල අතර උස්-පහත් භේදයක් හෝ වටිනාකම මැනීමේ ප්‍රමිතියකින් උනුන් වෙනස් කර තැබීමට නොව, ඔවුන් අතර අත්‍යන්ත සහසම්බන්ධතාවයක් පවතින බව විදහා දක්වමිනි.

 

aloka lanka 3

අවශ්‍ය වන්නේ, මිනිස් සිත්සතන් තුළ කැකෑරෙන බලලෝභය, තණ්හාව, මානය, ඊර්ෂ්‍යාව වෙනුවට කරුණාව, මෛත්‍රිය, දයාව හා සහානුකම්පාව පතුරුවා හරිමින්, ලෝභ-ද්වේශ-මෝහාදී ක්ලේශයන්ගෙන් ඇවිළුණු මිනිස් සිත්සතන්හි කෙලෙස් ගින්න නිවා දැමීමමය. ඒ සද්පරමාර්ථය පෙරදැරිව සාම පාද යාත්‍රාව තුළින් ප්‍රචාරය කරන සාමයේ හා සහජීවනයේ උත්තම පණිවුඩය උකහාගනු වෙනුවට, සාම පණිවුඩය රැගෙන යන වාහකයාගේ පාරිශුද්ධත්වය මැනීම “අශ්වයාගේ දත් ගණන් කිරීමක්” වැනි හීනමානීය ගතිලක්ෂණයකි. එකල්හි සිදුවන්නේ පණිවුඩකරුවාට වෙඩි තැබීමක් මිස අනෙකක් නොවේ. ඒ වෙඩි උණ්ඩ වැදී ඝාතනය වන්නේ පණිවුඩකරුවා පමණක් යැයි සිතා උන්නත්, අදාළ පණිවුඩය ද කුණුබක්කියට වීසි වන්නේ පණිවුඩකරුවාගේ මළකුණ ද සමඟම බව වටහා ගන්නට බුද්ධියක් හෝ සංහිඳියාවක් විරෝධාකල්පිතයන් තුළ නොමැති වීම බරපතළ මුලාවකි.

මෙහිදී වැදගත් වන්නේ, ලෝකවාසී මිනිස් වර්ගයා බලය හා ආධිපත්‍යය මුල් කොටගෙන ජාතීන් වශයෙන්, රාජ්‍යයන් වශයෙන්, බල කඳවුරු වශයෙන් පිල් බෙදී, එකිනෙකා සමඟ ඇනකොටා ගනිමින් සුවිශාල මිනිස් ඝාතන හා දැවැන්ත දේපළ හානි සිදු කරමින් පවතින මෙවන් මොහොතක, සුනඛයෙකු නොව මැඩියෙකු, ගැඩවිලෙකු හෝ ඇමීබාවෙකු යොදාගෙන හෝ ලෝක සාමය වෙනුවෙන් කිසියම් පණිවුඩයක් ව්‍යාප්ත කළ හැකි නම්, එකී පණිවුඩයේ වැදගත්කම මිස පණිවුඩය රැගෙන යන වාහකයාගේ පැටිකිරිය සෙවීම අතිශයින්ම පසුගාමී, ආන්තික ලක්ෂණයක් බව මාගේ විශ්වාසයයි.

Aloka 6

විශේෂයෙන් බුද්ධ ධර්මය සේම බෞද්ධකම සමඟ පටලවා ගත් බෞද්ධ චාරිත්‍ර හා වත්පිළිවෙත් යන්න උත්කර්ෂයට නංවා, ඒ මත දහමේ හරය කිරා මැන බලන්නට ඉදිරිපත් වන ගෝත්‍රිකයන්ට හා නෂ්ටකාමීන්ට පෙන්වා දෙනු කැමැත්තේ; නුඹලා විසින් කරපින්නාගත් බෞද්ධ සාහිත්‍යය තුළ සඳහන් පරිදි, බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා යැයි කියැවෙන ගෞතම බුදුන්ගේ සසර චාරිකාවේ, අනන්ත අප්‍රමාණ ආත්ම භවයන්හි සතුන් සමඟ අත්‍යන්ත සබඳතා පැවැත්වූ බවත්, එතැනින් ඔබ්බෙහි තිරිසන් ආත්ම භවයන් තුළ ද උත්පත්තිය ලබා තිබූ බවත් (කුක්කුර ජාතක කථා වස්තුවට අනුව බරණැස සුනඛයෙකු ලෙස උපත ලැබූ බව), අවබෝධ කරගන්නට හැකි යමෙක් වේ නම්, එකී තැනැත්තා හෝ තැනැත්තිය විසින් මෙසේ ආලෝකාගේ මැදිහත් වීම ගැටලුවක් කර නොගන්නවාට සැකයක් නැත.

aloka dog 260422
මේ කෙටි සටහන අවසන් කරන්නට මත්තෙන්, පූජ්‍ය කැකිරාවේ සුදස්සන භික්ෂුව විසින් නිර්මාණය කොට සමාජගත කළ ගාථාවක් තුළින්, ආලෝකාගේ සහභාගිත්වයට සෝපාහාසාත්මක අරුතක් එකතු කර ඇත්තේ හුදී ජනයාගේ හිතසුව පිණිස ද, නොඑසේ නම් සමස්ත සාම පාද චාරිකාව උපහාසයට නැංවීමක් ලෙසින් දැයි මා හට නිවැරදිව කිව නොහැක. එහි හැඟවුම් අර්ථය නිසි ලෙසම විවරණය කිරීමට හැකියාව ඇත්තේ කැකිරාවේ සුදස්සන හිමියන්ටම පමණි.

උක්ත ගාථාව මෙසේ වෙයි:

“මෙත්තා විහාරී සත්තෝයං සබ්බභූතහිතේ රතෝ ගුණවන්තං හි සප්පඤ්ඤං තං නමාමි සුනඛුත්තමං.”

අරුත: “මෛත්‍රී විහරණයෙන් යුතුව වසන්නා වූ, සියලු සතුන්ගේ යහපතෙහි නිරත වන්නා වූ, ගුණවත් වූ ද නුවණැති වූ ද ඒ උතුම් සුනඛයාට මම නමස්කාර කරමි.”


inoka
(සටහන | ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්ද)
සම්මානනීය සිනමාවේදිනී

enokaasathyangani@gmail.com

උපුටා ගැනීම - vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...