නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කල, අපරාධයක් යනු රටක පවතින ලිඛිත නීතියක් උල්ලංඝනය කරමින් සිදුකරන, එමඟින් පොදු මහජනතාවට හෝ පුද්ගලයෙකුට හානියක් ගෙන දෙන සහ රාජ්‍යය විසින් දඬුවම් ලැබිය හැකි ඕනෑම ක්‍රියාවක් හෝ පැහැර හැරීමකි. නමුදු එය හුදෙක් නීති පොතේ ඇති අකුරු පෙළක්ම පමණක් නොව, සමාජ සදාචාරයේ සහ සාමූහික හෘද සාක්ෂියේ බිඳවැටීමක් මෙන්ම, වින්දිතයකුගේ ජීවිතය, නිදහස හෝ දේපළ අත්තනෝමතික ලෙස උදුරා ගනිමින් සමාජයක පොදු ආරක්ෂාව පිළිබඳ විශ්වාසය පළුදු කරන ක්‍රියාවකි. මේ නිසාම, මාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු හෝ සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලෙස අපරාධයක් පිළිබඳව සමාජයට සන්නිවේදනය කිරීම හෙවත් අපරාධ වාර්තාකරණය යනු හුදෙක් තොරතුරු බෙදාහැරීමක්ම නොව, අතිශය සංවේදී සහ වගකීම් සහගත කාර්යයකි.

ඇතැම් ආධුනික ලේඛක ලේඛිකාවන් අතින්, නව මධ්‍යය තුළ අපරාධ වාර්තා කරණයේ දී සිදු වන අතපසුවීම් අවධානයට ගෙන, ඩිජිටල් මාධ්‍යයේ පුරවැසි මාධ්‍යකරණය පිළිබඳ උනන්දුවන සහ ඒ තුළ අපරාධ වාර්තාකරණයේ යෙදෙන එම තරුණ ලේඛක ලේඛිකාවන් සතුවිය යුතු මූලික හරපද්ධතිය පිළිබඳ හැදින්වීමක් ඉදිරිපත් කිරීම අරමුණු කර, මෙම කෙටි සටහන සම්පාදනය කෙරේ.
කටකතාවෙන් නිල පුවතට: සත්‍යය සහ වින්දිතයාගේ ගෞරවය සුරැකීමේ වගකීම

නව මාධ්‍ය වේදිකාවන්හි, වෙසෙසින් මුහුණු පොතේ, වගකීම් සහගත අපරාධ වාර්තාකරණයේදී සත්‍යය සහ නිරවද්‍යතාවය පිළිබඳ මූලික අවබෝධයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. එහිදී, කටකතා පිටුදකිමින්, නිල පොලිස් වාර්තා සහ අධිකරණ තීන්දු වැනි විශ්වසනීය සාක්ෂි මත පදනම් විය යුතු අතර, උසාවියකින් වරදකරු කරන තෙක් ඕනෑම අයෙකු සැකකරුවෙකු පමණක් වන බැවින් , සැකකරු සහ වරදකරු පටලවා නොගැනීමට වගබලා ගත යුතුය.
එමෙන්ම, බොහෝ විට, මාධ්‍ය සිරස්තල තුළ වින්දිතයාද නැවත වරක් අපරාධයකට ලක්වන සෙයක් දක්නට ලැබෙන බැවින්, ලිංගික අපරාධ, ළමා අපරාධ හෝ දරුණු ප්‍රචණ්ඩත්වයට ලක්වූවන්ගේ නම්, ගම් හෝ ඡායාරූප වැනි තොරතුරු වාර්තා කිරීම් කළමනාකරණය කර, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අලෙවි භාණ්ඩයක් කර නොගනිමින් වින්දිතයාගේ ගෞරවය සුරැකීමට වාර්තාකරුවා බැඳී සිටින බව, දත යුතුය. තවද, එය වාර්තා සන්නමයේ මෙන්ම, අදාළ ප්‍රවෘත්තිය කෙරෙහිද පාඨක, ග්‍රාහක විශ්වසනීයත්වය හා ඒකායනව රඳා පවතින්නකි.
වීරත්වයේ සිට අත්පොත දක්වා: භාෂා භාවිතයේ නොදුටු අනතුර

එසේම , පාඨකයා අනියත බියකට පත් නොකෙරෙන ආකාරයේ වගකීම් සහගත භාෂා භාවිතයක් වාර්තාකරණයේදී අත්‍යවශ්‍ය වේ. අපරාධකරුවන්ගේ රැවටීම් හෝ සැහැසිකම් උද්දීපනය කරමින්, ඔවුන්ට සමාජය තුළ වීරත්වයක් ආරූඪ කිරීමෙන් වැළකිය යුත්තේ, එය තවත් කෙනකු එම මග ගැනීමට පෙළඹවීමක් විය හැකි බැවිනි. මීට අමතරව, අපරාධය සිදුකළ සූක්ෂම ආකාරය හෝ පියවරෙන් පියවර උපක්‍රම විස්තර කිරීමෙන් වැළකී සිටීම අවශ්‍ය වන්නේ, එය තවත් කෙනෙකුට අපරාධයක් කිරීමට දෙන අත්පොතක් හෝ ආදර්ශයක් විය හැකි බැවිනි.
සාර්ථක සහ සම්පූර්ණ අපරාධ පුවතක් නිර්මාණාත්මකව වාර්තා කිරීමේදී, මූලික අභියෝග කිහිපයකි. එහිදී, සිදු වූ අපරාධයේ ස්වභාවය කුමක්ද යන්නත්, ඊට සම්බන්ධ සැකකරුවන් සහ වින්දිතයන් කවුද යන්නත් පැහැදිලිව සඳහන් කළ යුතුය. එමෙන්ම, එවන් සිදුවීම්, අවස්ථා සම්බන්ධය සහිතව නිවැරදිව වාර්තා කළ යුතු අතර, පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය කෙරෙන පරිදි අපරාධය සිදුවීමට බලපෑ හේතුව කුමක්ද යන්නත් සලකා බැලිය යුතුය.
ලේ වැකි පුවත් කලාවෙන් ඔබ්බට: සමාජ ප්‍රගමනය උදෙසා පුරවැසි මාධ්‍යකරණය

අවසාන වශයෙන්, නව මාධ්‍යයේ අපරාධ වාර්තාකරණය යනු, හුදෙක් ලේ වැකි පුවත් මවන කර්මාන්තයක් නොව, සමාජයේ ඇති කුණුකසල පෙන්වා දී, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සක්‍රීය කරමින් සමාජය යහමඟට ගැනීමට කරන ප්‍රබල බලපෑමකි. එහෙයින්, නව මාධ්‍ය වේදිකාවේ වගකීම් සහගත ලේඛකයෙකු ලෙස අපගේ ඇගිලි තුඩගින් අකුරු කළ යුත්තේ සමාජය බියෙන් ඇලලෙන වදන් නොව, අපරාධ මර්දනයට උරදෙන, යුක්තිය පසඳලීමට අත්වැලක් වන සවිඥානික අදහස් සමුදායකි.
විශේෂයෙන් මුහුණු පොත තුළ අපරාධ වාර්තාකරණය වර්තමානයේ දී වේගවත් සහ ආකර්ෂණීය වුව, මාධ්‍ය සදාචාරය පැත්තෙන් එය විශාල අභියෝගයකි. අපරාධ වාර්තාකරණයට පෙර ඒ හා සබැඳි ආචාරධර්ම පද්ධතිය කෙරෙහි දැඩිව අවධානය යොමු කළ යුතුය. සමාජ ප්‍රගමනය උදෙසා ඵලදායී, සාර්ථක සහ වගකිව යුතු ඩිජිටල් මාධ්‍ය කලාවක් බිහි වන්නේ එවිටය.
(සටහන | සචී ගුණවර්ධන)sachinimasha730@gmail.com




