The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වැඩවසම් දේශකයින් සහ නියුරෝසික අසන්නන් - ( මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

October 11, 2022 • 9:31 AM

වැඩවසම් දේශකයින් සහ නියුරෝසික අසන්නන් - ( මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනගනියව්, වරෙව්, පලයව්, අඩු කුළේ පර හැත්ත, මකබෑවියව්, තොපි දන්නවද වගේ වචන මාලාවක් තමයි 'ඉගැන්වීමේ භාෂා භාවිතය' හැටියට පාවිච්චි කරන්නේ.
  • ඒ කියන්නේ තම පුද්ගලබව (individuation) කියන්නේ බැනුම් ඇසිය යුතු දෙයක් ලෙස අපි සිතා සිටිනවා.
  • ඇයි බැනුම් අහන එක අපි අවිඥාණික ලෙස ප්‍රාර්ථනා කරන්නේ?
  • මේ යුගයේ අපි ඉන්නේ වරදකාරී බවකින්.
අකුරු ප්‍රමාණය (Font Size):



දැනගනියව්, වරෙව්, පලයව්, අඩු කුළේ පර හැත්ත, මකබෑවියව්, තොපි දන්නවද වගේ වචන මාලාවක් තමයි 'ඉගැන්වීමේ භාෂා භාවිතය' හැටියට පාවිච්චි කරන්නේ. ඒවා නැගලත් යනවා.

කවුරුත් මුකුත් කියන්නෙත් නැහැ. විරෝධයක් එන්නෙත් නැහැ.

ඉස්කෝලේ නැති දැනුමක් ගන්න තමන් සල්ලි දීල යන තැන තමයි හොඳටම තමන්ගේ පුද්ගල අභිමානය ඝාතනය කරන්නේ.

ඉස්කෝලේ මෙහෙම කරොත් මූලික අයිතිවාසිකම් පැත්තෙන් නඩුවක් හරි දාන්න පුළුවන්.

 

අර ටියුෂන් කාරයෝ කියයි 'අපි මේ පංතියට එන්න කාටවත් කිව්වේ නැහැ. මේක තමයි මගේ ස්ටයිල් එක. මේක තමයි මගේ මෙතොඩොලොජි එක. ඕනි නම් වරෙල්ලා. නැත්නම් මකබෑවිලා පලයල්ලා අඩුකුළේ හැත්ත' කියල. දැන් තියෙන්නේ කටයි පුපයි වහගෙන ඉන්න. මේක තමයි කියන්නේ ප්‍රාග්ධනය විසින් තමයි ලොකුම විනාශය කරන්නේ කියල.

 

ප්‍රාග්ධනය අපිව නිදහස් කරන්නේ නැහැ. අපිටත් නොදැනීම අපිව වහල්භාවයට පත් කරනවා.

ඉගැන්වීමේ ක්‍රමවේදයක් (teaching metholdology) හැටියට ගත්තොත් මේ මොකක්ද වෙන්නේ? මේ කරන්නේ බණින එක. පුද්ගලබව හෙලා දකින එක. ආත්ම ගෞරවය නැත්තට නැති කරන එක. දැන් කාලේ බණ වුණත් නැගල යන්නේ පතු පලාවට බණිනවා නම් තමයි.

 

ඒ කියන්නේ තම පුද්ගලබව (individuation) කියන්නේ බැනුම් ඇසිය යුතු දෙයක් ලෙස අපි සිතා සිටිනවා. ඇයි බැනුම් අහන එක අපි අවිඥාණික ලෙස ප්‍රාර්ථනා කරන්නේ? ඒ තමයි අපි වැරද්දක් කළා වගේ හැඟීමක් අපි තුළ තියන එක. මේ යුගයේ අපි ඉන්නේ වරදකාරී බවකින්. හැම වෙලාවේම අපි ඉන්නේ පව් කරමින්. බැණුම් සහ දඬුවම් අවිඥාණිකව පාර්ථනා කරන්න ඒකයි හේතුව.

 

අනික් අතට අවිඥාණික වහල් බව. වැඩවසම් යුගයේ ඉඳල අපි කරන්නේ වරදක් ඇතුව හෝ නැතුව බැනුම් අහන එක.

රජා බණිනවා ඇමතියට 'පල මගේ දෑහැට නොපෙනී' කියල. ඇමතිය බණිනවා උගේ පහල ඉන්න කෝරළේ ට. කෝරළේ බණිනවා උගේ පහල ඉන්න ආරච්චියට. ආරච්චිය බණිනවා වෙල් විදානේට. වෙල් විදානේ බණිනවා උගේ අතවැසි බණ්ඩයියට. බණිනවා විතරක් නෙවෙයි. උගේ ගෑනිත් අරන් යනවා. බණ්ඩා ඒ කේන්තිය පහකරගන්නේ උගෙන් පහළ ඉන්න අතවැසි එකෙක් ගෙන්.

ඒ නිසා බැණුම කියන්නේ අපේ පැවැත්මේ ඓන්ද්‍රීය දෙයක්.    

දැන් මේ ඉන්නේ මොඩ් ගුරුවරු නෙවෙයි. වෙල් විදානෙලා. ඉතිං උන් බන්ඩයියලට බණිනවා තමයි. ඉතිං මේ වැඩවසම් 'පෞරුෂ ඛාදනය' තවත් ඉස්සරහට යාමට නියමිතයි. ඉස්සරහට යනවා කියන්නේ තව තවත් 'රජවරු' සහ 'නිළමේවරු' සහ 'වෙල් විදානෙලා' මේ බිමේ බිහිවීමට නියමිතයි කියන එක.

 

අලුත් පරම්පරාවක් ගැන නම් හිතන්න බැරි වෙයි මේ විදියට ගියොත්. පෞරුෂ සංකේත රෙජිස්ටරය කඩලා දාල, වචන කියන්නේ නියෝග බවට පරිවර්තනය කරලා, මිනිස් අහමේ වැදගත්කම අහෝසි කරලා, කැඩපත බිඳලා දමල, පුද්ගල නාමය (name) අහෝසි කරලා ඒ වෙනුවට වරෙව් පළයව් නියෝගයට යටත් වෙන වැඩවසම් දාසයෙක් අපි විසි එක් වන සියවසේ අධ්‍යාපන විකෘතියක් ඇතුලේ ගොඩනංවනවා. 

 

සමාන බව වෙනුවට අසමාන බව තව තවත් වැඩි කරනවා. ඒක තමයි නව සම්බන්දය. උඹ වරෙන් පලයන් ඇතුලේ සමීප බවක් වගේ පෙනුණට ආලෝක වර්ෂයක දුරක් පේන්න තියනවා.

මිනිස් අනන්‍යතාවක් වගේම පුද්ගල අනන්‍යතාවක් නැති රටක වැඩවසම් මිනිස් ශරීර ටිකකට දැන් දැන් අමතන්නේ 'පර හැත්ත' කියල. ඒ රටේ අනන්‍යතාවක් නැති මිනිස්සුන්ගේ යථාව සිදුරු කරගෙන යන වේදනාත්මක සුවයක් ඒ වචන වල අඩංගුයි.  

'මම කවුද' කියන අති මූලික මනෝ විශ්ලේෂණ ප්‍රශ්නෙට විසඳුමක් තමයි මේ වචන.

'උඹ කවුරුවත් නෙවෙයි, උඹ අඩුකුළේ පරයෙක්!' ඒක අහගෙන සල්ලිත් ගෙවල අපූරුවට ගෙවල් වලට යන්නේ මානසික සුවයක්‌ එක්ක. එතන තියෙන්නේ ගණිතයවත්, විද්‍යාවවත්, ව්‍යාපාර සංඛ්‍යානයවත් නෙවෙයි.

එතැන තියෙන්නේ නියුරෝසික සම්බන්දයක් ගැන කතාවක් (nuerotic relationship).

ලංකාවේ දේශපාලනයේ කතාවත් මේකම නිසා ඉතිං තව ටික දවසකින් මයින්ද මාත්තිය තිබ්බටත් වඩා හොඳට නැගිටින එකේ අරුමයක් නැහැ.  

(ෆොටෝ එක සම්බන්ද නැහැ වගේ පෙනුණට සම්බන්දයි)



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

  
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...