The Leader News
BREAKING
සමහරු අතේ පැලවෙන බොරු කියන්නේ ඇයි? විද්‍යාව කියන ඇත්ත කතාව●ගෙවුණු සතියේ අධිකරණ හමුවේ කැඳවූ ප්‍රධාන නඩු●ශ්‍රී ලංකාව ජනතාවාදී අර්ධ-ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන්නේද? | සුනන්ද දේශප්‍රිය●අයවැය විවාදය ඇතුළු සජිත්ගේ දේශපාලන සතිය●මීමුරේ ගල්ගුහා ප්‍රේමය: නීතිය, සදාචාරය සහ මනුෂ්‍යත්වය | චින්තන ධර්මදාස●‘ගන්ධබ්බ අපදානය’ මා කලින් කියවා තිබුණා නම් මීට පෙර එය මුද්‍රණය කරනවා●අනුරගෙ ආණ්ඩුවට මහින්ද කෙනෙක් අවශ්‍යව තිබේ! - ගුරුදා විග්‍රහය●Diginote : 2027 අයවැයෙන් බදු සහන: වැටුප් හා දීමනා ඉහළට●රට ගිලගන්නට සැරසෙන විද්‍යුත් අපද්‍රව්‍ය අර්බුදයේ ඇත්ත කතාව●කඩුගන්නාව අක්කර 500ක බෑවුමේ නායයෑම් අවදානම●
Top Ad
විශේෂාංග

ගෙවුණු සතියේ අධිකරණ හමුවේ කැඳවූ ප්‍රධාන නඩු

දේශපාලනඥයන්ට එරෙහි අල්ලස් හා දූෂණ නඩු, සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය සහ ආන්දෝලනාත්මක අපරාධ නඩු රැසක තීරණාත්මක අදියරයන් පසුගිය සතියේ අධිකරණ පද්ධතිය තුළ දිගහැරුණි.

Pasan

Pasan

November 15, 2026 • 11:08 PM

ගෙවුණු සතියේ අධිකරණ හමුවේ කැඳවූ ප්‍රධාන නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බිලියන 190ක මුදල් වංචාව සහ 'ගම්පහ ඔස්මන්' රිමාන්ඩ් 1.
  • බෝදරගම මහතා ඉකුත් (09) නියෝග කළා.
  • සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එලෙස නියෝග කළා.
  • ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි අල්ලස් නඩුව ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ විභාගය ලබන 30 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (09) නියෝග කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

බිලියන 190ක මුදල් වංචාව සහ 'ගම්පහ ඔස්මන්' රිමාන්ඩ්

1. බිලියන 190ක නීති විරෝධී මුදල් හුවමාරුව

මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනා ලබන 19 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉකුත් (09) නියෝග කළා. සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව එලෙස නියෝග කළා.


2. ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහි අල්ලස් නඩුව

ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තියේ විභාගය ලබන 30 වැනි දින කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (09) නියෝග කළා. සිද්ධියට අදාළව විත්තිවාචකය කැඳවීමෙන් තොරව විත්තිකරුව නිදහස් කරන ලෙස අධිකරණයට කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් එදින ප්‍රතික්ෂේප කරනු ලැබුවා.


3. 'ගම්පහ ඔස්මන්' රක්ෂිත බන්ධනාගාරයට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට චෝදනා ලැබ කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත සිට අධිකරණයට ඉදිරිපත් කරන ලද "ගම්පහ ඔස්මන්" ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉකුත් (09) නියෝග කළා. සැකකරුගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා.

සත්‍යග්‍රහ නියෝග සහ ශෂීන්ද්‍රගේ වන්දි නඩුව

4. බළංගොඩ කස්සප හිමියන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමට නියම කෙරේ

අනුරාධපුර රුවන්වැලි සෑය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදී සිටින බළංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලාට ලබන 20 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා නියම කළේය. මේ අතර බළංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ඉකුත් 7 වැනි දා නිකුත් කළ අතුරු නියෝගය විසුරුවා හරින්නැයි උන්වහන්සේ වෙනුවෙන් නීතිඥවරුන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.


5. ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි වන්දි නඩුව

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට බලපෑම් කර එම දේපළ වෙනුවෙන් රුපියල් 8,850,000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 8 වැනි දින යළි කැඳවීමට කොළඹ මහාධිකරණය ඉකුත් (09) නියෝග කළා. සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙලෙස නියෝග කළා.
සංවිධානාත්මක අපරාධ පනත: රඳවා ගැනීමේ කාලය පැය 48ට අඩු කෙරේ


6. රඳවා ගැනීමේ කාලය අඩු කිරීමට නීතිපති එකඟ වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු රඳවා ගැනීමේ කාලය පැය 72 සිට පැය 48 දක්වා අඩු කිරීම සඳහා වන සංශෝධන සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. එසේම රඳවා තබා ගැනීමේ නියෝග සම්බන්ධයෙන් වන විධිවිධාන සංශෝධනයකට ලක් කරන බවත් කමිටු අවස්ථාවේදී එම සංශෝධන සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියා.


7. පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක විභාගය අවසන්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව වන සිය තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත සහ ජනාධිපතිවරයා වෙත කඩිනමින් දන්වා යවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා. එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සිවිල් සංවිධාන සහ පුද්ගලයන් කිහිප දෙනෙකු ගොනු කළ පෙත්සම් 26ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවා. පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ලබන 11 වැනිදා සවස 4.00ට පෙර ගොනු කරන ලෙස පාර්ශ්වයන්ට නියම කෙරුණා.

ටැටූ සහ මාධ්‍ය වාර්තාකරණ වගන්ති ඉවතට

රජය විසින් ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පතේ සඳහන් සුරාබදු වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වගන්තිය, බුද්ධිමය දේපළ යටතේ වන ප්‍රකාශන අයිතිය සම්බන්ධ වගන්තිය, පච්ච කෙටීම (ටැටූ) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වගන්තිය සහ බරපතළ අපරාධ වාර්තාකරණයට අධිකරණයේ අවසර ලබා ගත යුතු බවට ඇති වගන්ති කමිටු අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව වැඩබලන නීතිපති, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා දැනුම් දුන්නා. තවද රැඳවුම් නියෝග සහ ඇප පනතට අදාළ වගන්ති කිහිපයක් ඉදිරියේදී ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ සාකච්ඡා කර සංශෝධනය කරන බව ද ඔහු සඳහන් කළා.

නීතිපතිවරයා විසින් යෝජිත සංශෝධන ඇතුළත් ලේඛනයක් අධිකරණයට සහ පෙත්සම්කරුවන්ට ලබා දුන් අතර, ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් සංශෝධන කිහිපයක් යෝජනා කළා. කෙසේ වෙතත් එම යෝජනා පනත් කෙටුම්පතේ අරමුණුවලට අනුගත නොවන බැවින් ඒවාට එකඟ විය නොහැකි බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා.

"ස්වාමීනී, මෙම පනත් කෙටුම්පතේ මූලික අරමුණ වන්නේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික සුරක්ෂිතතාව තහවුරු කිරීමයි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා දැනට පවතින ක්‍රම යල් පැන ගොස් තිබෙන්නේ. එම නීති යාවත්කාලීන කර, තාක්ෂණය සමඟ කටයුතු කළ හැකි පරිදි නවීකරණය වූ ක්‍රමවේදයක් ඔස්සේ විමර්ශන සිදු කිරීම තුළින් සංවිධානාත්මකව සිදු කරන අපරාධ වැළැක්වීම තමයි මෙහිදී අපේක්ෂා කරන්නේ. එක්සත් ජාතීන්ගේ සම්මුතීන්වලට අනුකූලව කටයුතු කිරීම මෙහි අරමුණක්."
— වැඩබලන නීතිපති, සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න

කුලීරථ රියදුරන් සහ ඇප බලතල ගැන විනිසුරු මඩුල්ලේ ප්‍රශ්න

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු නොවුවද ඒ පිළිබඳව දැනුවත්භාවයෙන් යුතුව ඔවුන් සමඟ වෙනත් ක්‍රියාවක් කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් මෙම පනත යටතේ කටයුතු කළ හැකි බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළ අවස්ථාවේදී, යම් අපරාධයක් කරන පුද්ගලයෙකු ප්‍රවාහනය කරන පුද්ගලයෙකු මේ නීතියට යටත් වන්නේදැයි විනිසුරු අචල වෙංගප්පුලි මහතා ප්‍රශ්න කළා. එම වරද සම්බන්ධයෙන් දැන සිටින්නේ නම් එවැන්නෙකු ඊට යටත් වන බව සොලිසිටර් ජෙනරාල්වරයා පැවසූ විට, එය කුලීරථ රියදුරකුට වුවද බලපෑම් ඇති කළ හැකි බැවින් සංශෝධනය විය යුතු බව විනිසුරු වෙංගප්පුලි මහතා පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පත මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් හෝ අධිකරණය සතු බලය ඉවත් කර ගැනීමක් සිදු නොවන බවත්, එය සම්මත කිරීමට තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය නොවන බවත් සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පැවසුවේ ඇප ලබා දීමට මහේස්ත්‍රාත් අධිකරණය සතුව තිබූ බලය ඉවත් කර මහාධිකරණයට පැවරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, සංජීව ජයවර්ධන, සාලිය පීරිස්, එම්.ඒ. සුමන්තිරන්, ඉරාජ් ද සිල්වා, අලි සබ්රි සහ නවීන් මාරපන යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියා.

අර්චුනා, සී.බී. රත්නායක සහ හිරුණිකාගේ නඩු විභාග

8. වෛද්‍ය අර්චුනා රාමනාදන්ගේ පහරදීමේ නඩුව

ඔරුගොඩවත්ත, බේස්ලයින් මාර්ගයේදී 2021 මාර්තු 02 වැනිදා ලසන්ත අබේවර්ධන නමැත්තෙකු පදවමින් සිටි මෝටර් රථය අනතුරට පත් කර අතින් පයින් පහර දී තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට පවරා ඇති නඩුව යළි ජනවාරි 05 වැනි දින කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා ඉකුත් (10) නියෝග කළා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයාට මහාධිකරණයේ නඩුවක් තිබීමත්, විත්තිකරුට මාසයේ පළමු සහ තෙවන සතිවල පාර්ලිමේන්තු යෑමට අවශ්‍ය බවට විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීමත් සලකා බලා මෙලෙස දින නියම කෙරුණා.


9. සී.බී. රත්නායකට එරෙහිව අධිචෝදනා

ක්‍රීඩා, පුද්ගලික ප්‍රවාහන සහ පශු සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ රුපියල් ලක්ෂ 573කට අධික මුදලක් අයථා ලෙස ඉපැයූ බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි බණ්ඩාර රත්නායක (සී.බී. රත්නායක) මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ විමර්ශන අවසන් බැවින් මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසම ඉකුත් (10) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ දන්වා සිටියා. දැනට ඇප මත සිටින සැකකරුගේ නඩුව වැඩිදුර වාර්තා සඳහා පෙබරවාරි 23 වැනි දින යළි කැඳවීමට නියෝග කළා.


10. හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනයට බෙදුණු තීන්දුවක්

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණයෙකු 2015 වසරේ පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවලට වරදකරු වී වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම දඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් බෙදුණු තීන්දුවක් ඇති බව අභියාචනාධිකරණය නිවේදනය කළා. ඒ කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අල්ලස් කොමිසමේ අභියාචනා

11. 'ගම්පහ ඔස්මන්' සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන තීරණයක් ඉදිරියේදී

ගනේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් "ගම්පහ ඔස්මන්" සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව ඉදිරියේදී තීරණය කරනු ඇති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මහේන් ගොපල්ලව සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිස්වනාවර්ණ කුල මහත්මිය මේ බව දන්වා සිටියා.


12. සරණ ගුණවර්ධන නිදහස් කිරීමට එරෙහි අල්ලස් කොමිසමේ අභියාචනය

මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම පෙබරවාරි 10 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් දින නියම කළා. සරණ ගුණවර්ධන මහතා Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.


13. රුවන්වැලි සෑය අභියස පහරදීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියට විරෝධය පළ කරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් රුවන්වැලි සෑය අභියස සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පවත්වමින් සිටියදී ඉකුත් 7 වැනිදා සිදු වූ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

චාමර සම්පත් රිමාන්ඩ්, නිශාන්තට ඇප සහ එක්ස්ප්‍රස් පර්ල් එන්තරවාසිය

14. චාමර සම්පත් යළි රිමාන්ඩ්

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක අල්ලසක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් සහ ඔහුගේ හිටපු ලේකම් ලබන 20 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉකුත් (10) නියෝග කළා. පළමු සැකකාර හිටපු ලේකම්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා, චාමර සම්පත් මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිල්ලේ විරෝධතා ලබන 17 වැනිදා ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළා.


15. නිශාන්ත රණතුංගට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 75,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා (10) නියෝග කළ අතර ඔහුගේ විදෙස් ගමන් ද තහනම් කළා.


16. එක්ස්ප්‍රස් පර්ල් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන නීතිපතිට එන්තරවාසියක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව දන්වා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් යවා තිබෙනවා. අදාළ වන්දි මුදල් අය කර ගැනීම ඇතුළු අධිකරණය පැවරූ වගකීම් ඉටු නොකිරීම ඊට හේතු වී තිබෙනවා.

ජොන්ස්ටන්ගේ දඬුවම් කල් යයි; කස්සප හිමිට වරෙන්තු

17. ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම කල් යයි

එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේදී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දඬුවම් නියම කිරීමේ තීන්දුව නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා (11) නියෝග කළා.


18. සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 18 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා (11) නියෝග කළා. එදිනට ඇප නියෝගය සලකා බැලීමට නියමිතයි.


19. ත්‍රිකුණාමලය බුද්ධ ප්‍රතිමා සිද්ධියට බළංගොඩ කස්සප හිමිට වරෙන්තු

නීත්‍යානුකූල අවසරයකින් තොරව ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපනය කිරීම සම්බන්ධ නඩුවේ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින බළංගොඩ කස්සප හිමියන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා ඉකුත් (11) වරෙන්තු නිකුත් කළා. සෙසු සැකකරුවන් 9 දෙනෙකුට ත්‍රිකුණාමලය වරාය පොලිසියට ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කළ අතර නඩුව ජනවාරි 6 වැනිදා යළි කැඳවීමට නියමිතයි.

රනිල්ගේ ලන්ඩන් සංචාර නඩුව සහ හලාවත වැවිලි සමාගම් ගනුදෙනුව

20. කොකේන් ජාවාරම් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය

කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1255.7ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම ඇතුළු අධිචෝදනා පහක් යටතේ මොහොමඩ් ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 25 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.


21. රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායකට එරෙහි ලන්ඩන් සංචාර නඩුව

ජනාධිපති ධුර කාලයේදී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනයට ගොස් රජයට රුපියල් ලක්ෂ 166කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා දෙසැම්බර් 9 වැනිදා කැඳවීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා ඉකුත් (11) නියෝග කළා.


22. හලාවත වැවිලි සමාගමේ හිටපු සභාපතිට ඇප

ඉකුත් 2014 වසරේදී අමාත්‍යවරයාගේ ඉල්ලීම මත කිසිදු වගවිභාගයකින් තොරව සහ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් බැහැරව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුට තනි අයිතිය ඇති ආයතනයකින් රෙදිපිළි කට්ටල 5,000ක් මිලදී ගැනීමට අනුමැතිය දී හලාවත වැවිලි සමාගමට රුපියල් 3,275,000ක පාඩුවක් සිදු කිරීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් එම සමාගමේ හිටපු සභාපතිවරයා ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට සහ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉකුත් (11) නියෝග කළා.

යෝෂිතගේ නඩුව සහ එක්නැළිගොඩ නඩුවේ විත්තිවාචික අවසන්

23. යෝෂිත රාජපක්ෂට එරෙහි නඩුව 26 වැනිදාට කල් යයි

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැය කර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල ඉඩම් කොටස් 05ක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා ඉකුත් (12) නියෝග කළා. කොන්ද ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් විත්තිකරු අධිකරණයට නොපැමිණි අතර ඒ සම්බන්ධ වෛද්‍ය වාර්තාවක් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඉදිරිපත් කළා.


24. පොලිස් උසස්වීම්වලට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභයි

2018 දෙසැම්බර් 31 වැනිදා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණ මගින් කුසලතා හා ජ්‍යෙෂ්ඨත්ව පදනම මත පොලිස් සැරයන්වරුන් 618 දෙනෙකු උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමේදී මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන්නැයි ඉල්ලා පොලිස් සැරයන්වරුන් 101 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.


25. එක්නැළිගොඩ නඩුවේ විත්තිවාචික ප්‍රකාශ අවසන්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනාට එරෙහිව පවරා ඇති නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ඉකුත් 06 වැනිදා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, විත්තිකරුවන් සියලු දෙනා විත්තිකූඩුවේ සිට සිය විත්තිවාචික ප්‍රකාශ කිරීම නොවැම්බර් 12 වැනිදා අවසන් කළා. ඒ සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.

අධිකරණ අපහාස පැමිණිලි සහ සහල් ලොරි කොල්ලය

26. මෛත්‍රී ගුණරත්නට එරෙහි අධිකරණ අපහාස පැමිණිල්ල

සුගීෂ්වර බණ්ඩාර මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ කළ ප්‍රකාශයක් මගින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට අපහාසයක් කර ඇති බවට වන පැමිණිල්ල ජනවාරි 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් තීරණය කළා.


27. නාරාහේන්පිට සහල් ලොරි කොල්ලයේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස්

2009 අගෝස්තු 12 වැනිදා නාරාහේන්පිට මංසන්ධිය අසලදී ව්‍යාපාරික සෙල්වදොරෙයි කොළවෙන්නාදන් බිය ගන්වා සහල් ලොරියක්, මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ චෝදනාවලට ලක්ව සිටි හිටපු ජනාධිපති ආරක්ෂක නිලධාරී ඉන්දික දළදාවත්ත සහ බන්දුල ජයසිංහ යන පළමු සහ දෙවැනි විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉකුත් (13) නියම කළා. සෙසු විත්තිකරුවන් වන සම්පත් මනම්පේරි සහ නිරංජන් පෙරේරා යන අයගේ විත්තිවාචික කැඳවීමට අධිකරණය තීරණය කළා.


28. දිලිත්, විමල්, උදය ඇතුළු පිරිසට එරෙහි අපහාස පැමිණිල්ල

හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාස කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අසංක නවරත්න, මහින්ද පතිරණ සහ සුගීෂ්වර බණ්ඩාර යන අයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා කළ පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද යන තීන්දුව ජනවාරි 12 වැනිදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. ලිඛිත දේශන දෙසැම්බර් 15 වැනිදා ගොනු කරන ලෙස නියම කෙරුණා.

නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය සහ රේගු අල්ලස් සිද්ධිය

29. පාස්කු සැකකරුවෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභයි

2019 මැයි 07 වැනිදා කාත්තන්කුඩි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සහරාන් හෂීම්ගේ දේශනවලට සවන් දුන් බව පිළිගෙන වසර තුනකට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිට 2022 වසරේදී මුදා හරින ලද මඩකලපුවේ පදිංචි රාහුෆ් මොහොමඩ් සියාම් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළා.


30. නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය ගැන තීන්දුව 18 වැනිදා

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට 2026 නොවැම්බර් 03 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හිමි වූ ඇප නියෝගය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනවාද, නැද්ද යන නියෝගය ලබන 18 වැනිදා ලබා දෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා ඉකුත් (13) නියෝග කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් සහකාර නීති අධ්‍යක්ෂ තනුජා බණ්ඩාර මහත්මිය කරුණු දක්වමින් කියා සිටියේ, දූෂණ විරෝධී පනතේ 149(1) වගන්තිය යටතේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකය මත රිමාන්ඩ් කළ සැකකරුවෙකුට ඇප දීමට තරම් ඔහුගේ මවගේ හෘද සැත්කම "සුවිශේෂී කරුණක්" නොවන බවයි. සැකකරුවන් රිමාන්ඩ් භාරයේ සිටින නිසා සාක්ෂිකරුවන් බියකින් තොරව ප්‍රකාශ ලබා දී ඇති බව ද ඇය පෙන්වා දුන්නා.

"හැමෝම ඉස්සරහා නීතිය සමානයි. ඔහුගේ අම්මාට විවෘත හදවත් සැත්කමක් කළා. ඇයගේ හදවතේ 95% වැල්ව අවහිරයි. මේවා කොහොමද සාමාන්‍ය තත්ත්වයන් වෙන්නේ? සමහරුන්ට අම්මලා තාත්තලා ගැන හිතන්නේ නැතුව රොබෝලා වගේ ඉන්න පුළුවන් නමුත් මොහුට එහෙම කරන්න බැහැ. ඔහුගේ මව ජීවිත අවදානමක හිටියේ. මනුෂ්‍යයෙක් නම් ඒක සුවිශේෂ කරුණක් නෙවෙයි කියන්න බැහැ."
— ජනාධිපති නීතිඥ අලි සබ්රි (නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන්)

ඇප නියෝගය අවලංගු කරන ලෙස අල්ලස් කොමිසම ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කරන්නැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කළ ඉල්ලීම සලකා බැලීම ලබන 25 වැනිදා කැඳවීමට ද මහාධිකරණය නියම කළා.


31. රුපියල් 30,000ක අල්ලසක් ගත් රේගු ආරක්ෂක නිලධාරියා රිමාන්ඩ්

ජපානයෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කර ගැනීමට අදාළ ලේඛන ලබා දීම සඳහා එක් යතුරුපැදියකට රුපියල් 15,000 බැගින් රුපියල් 30,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් රේගු ආරක්ෂක නිලධාරියා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉකුත් (13) නියෝග කළා.

පැමිණිලිකරුගේ සහෝදරියගේ පුතා සහ ඔහුගේ යහළුවෙකු විසින් ජපානයෙන් ගෙන්වන ලද යතුරුපැදි දෙකක් වෙනුවෙන් 2026 නොවැම්බර් 12 වැනි දින පස්වරු 2.25ට පමණ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලය තුළදී මෙම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියා.


(සටහන | විනු කරුණාරත්න)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...