The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි | Mandis Murrukkuwadura

T

The Leader Desk

July 7, 2025 • 7:09 AM

පුනරුද යුගයට පෙර, මිනිසුන් සිතුවේ පෘථිවිය විශ්වයේ කේන්ද්‍රය බවයි | Mandis Murrukkuwadura

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Nicolaus Copernicus කොපර්නිකස් සූර්ය කේන්ද්‍රීය න්‍යාය ඉදිරිපත් කළ අතර, නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ඔහුගේ නීති මගින් මෙය තහවුරු කළා.
  • පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බවත්, විශ්වය තුළ අපට සුවිශේෂි ස්ථානයක් නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්නා.
  • මෙය මිනිසාගේ සුවිශේෂී බවට එල්ල වූ පළමු විවේචනය ලෙස සැලකෙනවා.
  • මීට පෙර, බොහෝ අය විශ්වාස කළේ සියලුම ජීවීන් දෙවියන් වහන්සේ විසින් එකවර හා වෙන වෙනම නිර්මාණය කරන ලද බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


Nicolaus CopernicusNicolaus Copernicus

කොපර්නිකස් සූර්ය කේන්ද්‍රීය න්‍යාය ඉදිරිපත් කළ අතර, නිව්ටන් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ඔහුගේ නීති මගින් මෙය තහවුරු කළා. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන බවත්, විශ්වය තුළ අපට සුවිශේෂි ස්ථානයක් නොමැති බවත් ඔවුහු පෙන්වා දුන්නා. මෙය මිනිසාගේ සුවිශේෂී බවට එල්ල වූ පළමු විවේචනය ලෙස සැලකෙනවා.

මීට පෙර, බොහෝ අය විශ්වාස කළේ සියලුම ජීවීන් දෙවියන් වහන්සේ විසින් එකවර හා වෙන වෙනම නිර්මාණය කරන ලද බවයි. මිනිසා දෙවියන් වහන්සේගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකුවා.

minisa

ඩාවින් විසින් පරිණාමවාදය පිළිබඳ ඔහුගේ න්‍යායන් ඉදිරිපත් කළා. පරිණාමය සිදුවන්නේ ස්වාභාවික වරණය හරහා බවත්, සියලුම ජීවීන් වානරයින්ගෙන් (පොදු මුතුන් මිත්තන්ගෙන් ) පැවත එන බවත් ඔහු පෙන්වා දුන්නා. මිනිසා පරිණාමයේ ප්‍රතිඵලයක් පමණක් බව ඔහුගේ මතය වුණා. මෙය මිනිසාගේ අහංකාරයට එල්ල වූ දෙවන විවේචනය ලෙස සැලකෙනවා.

මිනිසා සුවිශේෂී ජීවියෙක්ය යන මතය මෙයින් බිඳ වැටුණා.

Charles DarwinCharles Darwin
ෆ්‍රොයිඩ්ට පෙර මිනිසුන් සිතුවේ මිනිසාගේ හැසිරීම් තීරණය කරන්නේ විඥානය මුලික කරගෙන (conscious mind) බවයි. මිනිසුන් තමන්ගේ ක්‍රියාවන් පාලනය කරන්නේ තර්කනයෙන් හා සවිඥානයෙන් බව ඔවුන් විශ්වාස කළා.

ෆ්‍රොයිඩ් විසින් අවිඥානය (unconscious mind) පිළිබඳ සංකල්පය හඳුන්වා දුන්නා. මිනිසාගේ හැසිරීම් බොහෝමයක් තීරණය කරන්නේ අවිඥානය මුල් කරගෙන බවත්, ලිංගිකත්වය, ආක්‍රමණශීලීත්වය හා ළමා කාලයේ අත්දැකීම් වැනි බලපෑම් මගින් අවිඥානය හැඩගැසෙන බවත් ඔහු පැවසුවා.

child hood
මෙය මිනිසාගේ අහංකාරයට එල්ල වූ තෙවන විවේචනය ලෙස සැලකෙනවා. මන්දයත් මිනිසා තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ පූර්ණ පාලනයක් ඇති බවට තිබූ විශ්වාසය බිඳී ගිය නිසයි.ෆ්‍රොයිඩ් මෙම න්‍යාය මගින් මිනිසාගේ ස්වයං-අවබෝධය අභියෝගයට ලක් කළා.

මිනිසා යනු තර්කනයෙන් පමණක් තීරණය වන ජීවියෙකු නොව, නොදැනුවත්වම ක්‍රියා කරන, අවිඥානමය ආශාවන්ගෙන් හා බලපෑම්වලින් පාලනය වන අතාර්තික ජීවියෙකු බව ඔහු පෙන්වා දුන්නා.

Sigmund FreudSigmund Freud
අපි දැන් බලමු මාක්ස්ගේ (epistemological break) ඥානවිබාගත්මක බිඳීම මෙයට සම්බන්ධ වන්නේ කෙසේද කියලා.මාක්ස්ගේ ඥානවිබාගත්මක බිඳීම කියන්නේ, සාම්ප්‍රදායික දර්ශනය සහ සමාජ විද්‍යාව තුළ තිබූ දැනුම පිළිබඳ පැරණි මතයන් අතහැර දමා, නව ක්‍රමයකට දැනුම ගොඩනැගීමේ ක්‍රියාවලියක්. මෙහිදී, මාක්ස් විසින් සමාජය සහ ආර්ථිකය පිළිබඳ නව දැක්මක් ගෙන ආවා.

සාම්ප්‍රදායික මතය වුනේ සාමාන්‍යයෙන් දැනුම සලකනු ලැබුවේ පුද්ගලයෙකුගේ මනසට ලැබෙන දේවල් විදියට. ඒ කියන්නේ, පුද්ගලයෙකු සිතන, දකින දේ තමයි දැනුම. මාක්ස් මෙය වෙනස් කළා.

ඔහු කිව්වේ දැනුම කියන්නේ සමාජ සම්බන්ධතා, ආර්ථික ක්‍රම සහ නිෂ්පාදන ක්‍රම මත රඳා පවතින දෙයක් කියලා.මාක්ස් ඔහුගේ න්‍යායන් තුළින් අවිඥානික තත්ත්වයන් සහ නිෂේධනාත්මක බලපෑම් හඳුනා ගැනීමට උත්සාහ කළා.

 

1734956772171

කම්කරුවන්ගේ ශ්‍රම සූරාකෑම, ධනපතියන්ගේ ආධිපත්‍යය, සහ සමාජයේ පන්ති අතර පවතින අසමානතා වැනි දේවල් ඔහු හඳුනා ගත්තේ අවිඥානිකව සිදුවන දේවල් ලෙසයි. මිනිසුන් මේවා ගැන නොදැනුවත්වම ඒවාට හසුවී සිටියා. මෙම තත්ත්වයන් නිසා කම්කරුවන්ට දුක් විඳීමට සිදුවීම, සමාජයේ අසහනය, සහ ආර්ථික අර්බුද වැනි නිශේධානාත්මක ප්‍රතිඵල ඇතිවෙන බව මාක්ස්ගේ අදහස වුණා.

මාක්ස්ගේ න්‍යායන් පුද්ගලයාගේ සිතුවිලිවලට පමණක් සීමා වුණේ නැහැ. ඔහු සමාජයේ ව්‍යුහයන්, ආර්ථික ක්‍රම, සහ ඓතිහාසික ප්‍රවණතා විශ්ලේෂණය කළා. මේ නිසා, පුද්ගලයාගේ සිතුවිලිවලින් බැහැරව, සමාජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනුමක් ගොඩනැගීමට ඔහුට හැකි වුණා.මාක්ස්ගේ න්‍යායන් යථාර්ථවාදීව සාකච්ඡාවට ලක්කිරීමට බොහෝ දෙනෙකුට හැකි වුණා. ඔහු ආර්ථික සංසිද්ධි, සමාජ ගැටලු, සහ දේශපාලන බලපෑම් පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් කළා.

මෙම විශ්ලේෂණයන් මගින් සමාජ වෙනස්කම් සඳහා පදනමක් සැපයුවා.සාරාංශයක් ලෙස කිව්වොත් මාක්ස් විසින්, අවිඥානික තත්ත්වයන් හඳුනාගැනීමට, නිශේධනාත්මක බලපෑම් අවබෝධ කරගැනීමට, පුද්ගලයාගේ සිතුවිලිවලින් ඔබ්බට ගොස් සමාජය පිළිබඳ දැනුමක් ගොඩනැගීමට, සහ යථාර්ථවාදී සාකච්ඡාවලට දොර‍ටු විවර වුණා. මේ ආකාරයටයි මාක්ස්ගේ න්‍යායන් නූතන විද්‍යාවේ දියුණුවට දායක වුණේ.

Karl MarxKarl Marx
දැන් අපි හිතුවක්කාර විදිහට බලමු ෆ්‍රොයිඩ් සොයා ගත්තු අවිඥානය මාක්ස් තේරුම් ගන්න නම්, කොහොමද එ දේවල් ඔහුට අනුව තේරුම් ගන්නේ කියලා.උදාහරණයක් විදියට කෙනෙක් දිගටම එකම රස්සාව කරනවා කියලා හිතන්න. එයාගේ රස්සාව එයාට කැමැත්තෙන් කරන්න බැරි නම්, එයාට තමන්ගේ වැඩ ගැනත්, සමාජය ගැනත් කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. ඒක එයාගේ අවිඥානයට බලපානවා. එයා නොදැනුවත්වම, අනිත් අය එක්ක කතා කරන විදිහ, තීරණ ගන්න විදිහ ඒකෙන් වෙනස් වෙන්න පුළුවන්.

කම්කරුවෝ වැඩ කරන විදිහ, ඔවුන්ට ලැබෙන වැටුප්, සමාජයේ දේපල බෙදී යන ආකාරය වගේ දේවල්, මිනිස්සුන්ගේ හිතට බලපානවා. සමහරවිට තමන්ගේ වැඩේ තමන්ට අයිති නැතිනම්, තමන්ගේ අදහස් වලට ඉඩක් නැතිනම්, ඒකෙන් ඔවුන්ගේ හිතේ නොසන්සුන්තාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒක අවිඥානයට බලපාන දෙයක්.

 Untitled 1 Recovered Recovered 9

තමන්ගේ වැඩෙන්, සමාජයෙන් සහ තමන්ගේම සිතුවිලි වලින් ඈත් වීම. කෙනෙක්ට තමන්ගේ වැඩේ තේරුමක් නැහැ කියලා හිතුනොත්, එයාට තමන් ගැනත්, අනිත් අය ගැනත්, සමාජය ගැනත් නිෂේධනීය හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒකත් අවිඥානයට බලපානවා.මාක්ස් කියන්නේ මේ දේවල් හොඳට තේරුම් ගත්තට පස්සේ, අපිව නොදැනුවත්වම මෙහෙයවන අවිඥානය තේරුම් ගන්න පුළුවන් කියලා. ඒක හරියටම තේරුම් ගන්න නම්, සමාජයේ හැසිරීම්, ආර්ථික ක්‍රම ගැන හොයලා බලන්න පුළුවන්.

අල්තුසර් කියන්නේ මාක්ස් සමාජය ගැන කිව්ව දේවල් සහ ෆ්‍රොයිඩ් මනස ගැන කිව්ව දේවල් අතර යම් සම්බන්ධයක් තියෙනවා කියලා. ඔහු ඒක දකින්නේ, එකම “ව්‍යුහයක” කොටස් විදිහට. මාක්ස් සහ ෆ්‍රොයිඩ් දෙන්නම ගැටුම් සහ පරස්පරතා තමයි තමන්ගේ න්‍යායන් ගොඩනගන්න පාවිච්චි කරේ කියන එක.

මාක්ස් කලේ සමාජයේ පන්ති අතර ගැටුම්, ආර්ථිකයේ පරස්පරතා නිසා සමාජය වෙනස් වෙනවා කිව්වා. උදාහරණයක් විදිහට, ධනපතියෝ සහ කම්කරුවෝ අතර ගැටුම නිසා සමාජය වෙනස් වෙනවා. ෆ්‍රොයිඩ් කිව්වේ මිනිස්සුන්ගේ හිතේ තියෙන ගැටුම්, (conscious සහ unconscious), ආශාවන් සහ බිය, නිසා මිනිසුන්ගේ හැසිරීම් තීරණය වෙනවා කියලා.

The Iron Heel

උදාහරණයක් විදිහට, අපි නොදැනුවත්වම කරන සමහර දේවල් වලට හේතුව, අපේ හිතේ තියෙන ගැටුම් වෙන්න පුළුවන්. අල්තුසර්ට අනුව නිෂේධනයේ නොනැසී පැවැත්ම තමයි මාක්ස් සහ ෆ්‍රොයිඩ් ගේ වැදගත්ම සොයා ගැනීම. මේකේ තේරුම තමයි, යම් දෙයක් නැති වුනාම, ප්‍රතික්ෂේප වුනාම, නැත්නම් ගැටුමක් ඇති වුනාම අලුත් දෙයක් එනවා කියන එක.

මාක්ස් කිව්වේ පැරණි සමාජ ක්‍රමය කඩා වැටුනාම අලුත් සමාජ ක්‍රමයක් එනවා. එතකොට ෆ්‍රොයිඩ් කිව්වේ යම් මතකයන් යටපත් කරාම, ඒකෙන් අලුත් හැසිරීම් එන්න පුළුවන් කියලා. අල්තුසර් කිව්වේ මාක්ස් සහ ෆ්‍රොයිඩ් දෙන්නම හැමදේම පැහැදිලිව පේන්න ඕනේ කියන සාම්ප්‍රදායික විද්‍යාවට අභියෝග කරනවා කියලා. මාක්ස් කිව්වේ සමාජයේ නොපෙනෙන බලපෑම් තියෙනවා කියලා. ෆ්‍රොයිඩ් කිව්වේ, අපි නොදන්නා, අවිඥානික දේවල් වල බලපෑමක් තියෙනවා කියලා.

Louis AlthusserLouis Althusser
උදාහරණයක්:

හිතන්නකෝ, කෙනෙක් සමාජයේ තමන්ගේ තැන ගැන කලකිරීමෙන් ඉන්නවා කියලා.අල්තුසර් ගේ අදහස් අනුව, මේකෙදි මාක්ස් සහ ෆ්‍රොයිඩ් දෙන්නගෙම අදහස් වලට අනුව බලන්න පුළුවන්. මාක්ස් එයාගේ සමාජ තත්වය, රැකියාව, සමාජයේ එයාට ලැබෙන සැලකිල්ල වගේ දේවල් නිසා එයාගේ සිතේ ගැටුමක් ඇතිවෙන්න පුළුවන්. ෆ්‍රොයිඩ්ට අනුව එයාගේ නොදැනුවත්වම ඇතිවෙන බිය, කනස්සල්ල වගේ දේවල් නිසා එයාගේ හැසිරීම් වෙනස් වෙන්න පුළුවන්.

Two managers arguing furiounsly in office

අල්තුසර් කියන්නේ, මේ දෙකම එකතු කරලා බැලුවොත්, ඒ පුද්ගලයාගේ තත්වය තේරුම් ගන්න හැකියාවක් තියෙනවා කියලා.සාම්ප්‍රදායික විද්‍යාව කියන්නේ, හැමදේම පැහැදිලිව පේන්න ඕනේ, හැමදේටම හේතුවක් තියෙන්න ඕනේ, හැමදේම ස්ථාවර වෙන්න ඕනේ කියන මතයයි. නමුත් ෆ්‍රොයිඩ් මේකට අභියෝග කරනවා. ස්ථාවර යථාර්ථයක් වෙනුවට ෆ්‍රොයිඩ් කිව්වේ, ලෝකේ තියෙන්නේ ස්ථාවර යථාර්ථයක් නෙවෙයි, ගැටුම් සහ පරස්පරතා වලින් පිරිච්ච එකක් කියලා. මිනිස්සුන්ගේ හිතේ තියෙන්නේ එකිනෙකට වෙනස් දේවල් අතර ගැටුම්. ඒ වගේම, මිනිසුන්ගේ හැසිරීම් වල ස්ථාවර බවක් නෑ. ඒක නිතරම වෙනස් වෙනවා.

උදාහරණයක්:

සාම්ප්‍රදායික විද්‍යාවට අනුව, කෙනෙක්ගේ හැසිරීම් වලට එක හේතුවක් තියෙන්න ඕනේ. නමුත් ෆ්‍රොයිඩ් කියන්නේ, කෙනෙක්ගේ හැසිරීම් වලට එක හේතුවක් නෙවෙයි, ගොඩක් හේතු තියෙන්න පුළුවන්. ඒ වගේම, ඒ හේතු අතර ගැටුම් තියෙන්නත් පුළුවන්. සරලව කිව්වොත්, ෆ්‍රොයිඩ් කියන්නේ, මිනිස්සුන්ගේ හිතේ ගැටුම් තියෙනවා, අපි නොදැනුවත්වම අපිට බලපාන දේවල් තියෙනවා, හැමදේම ස්ථාවර නැහැ, හැමදේම හේතුවක් නිසා වෙන්නේ නැහැ.

workplace stress mental health

(Alienation ) පරාරෝපණය කියලා කියන්නේ, මිනිසා තමන්ගෙන්ම ඈත් වීමයි. මාක්ස් මේක දැක්කේ ධනවාදය (capitalism) යටතේ මිනිසුන්ට තමන්ගේ වැඩ වලින් නිදහස නැතිවීම, තමන්ගේ ශ්‍රමයේ නිෂ්පාදන වල අයිතිය නැතිවීම වගේ දේවල් නිසා මිනිසා තමන්ගෙන්ම ඈත් වෙනවා කියලයි. මිනිසාගේ ස්වයං-අහිමි වීමක් විදියටයි මේක දැක්කේ. හැබැයි Althusser සහ Lacan මේ අදහසට අලුත් අර්ථයක් ගේනවා. ඔවුන්ගේ අදහස් වලට අනුව අහිමි වීමක් පමණක් නොව, සමාජය හා ආත්මය (subject) ගොඩනැගෙන ක්‍රියාවලියකුත් මේක ඇතුලේ නොදැනුවත්වම සිද්ද වෙනවා.

Althusser සහ Lacan කියනවා, පරාරෝපණය කියන්නේ මිනිසා තමන්ගෙන්ම ඈත් වෙන එක විතරක් නෙවෙයි, ඒකෙන් තමයි සමාජයත්, ආත්මීයත්වයත් හැදෙන්නේ කියලා. ඒ කියන්නේ, පරාරෝපණය තුළින්ම තමයි අපි සමාජයේ කොටස්කරුවන් වෙන්නේ. නිශේදනයේ (negative) බලපෑම් හරහා පරිවර්තනයක්‌ (transformation) ඇති කරනවා. පරාරෝපණය නිසා ඇතිවෙන නිශේදනාත්මක බලපෑම්, මිනිස්සුන්ගේ හැසිරීම් වල, තමන් ගැන හිතන විදිහේ වෙනස්කම් ඇති කරනවා. ඒකෙන් තමයි පුද්ගලයාගේ “ආත්මීයත්වය” (subjectivity) හැදෙන්නේ.

සරලව මෙහෙම හිතන්නකෝ, කෙනෙක් සමාජයේ යම් තැනක ඉන්නවා. එයා සමාජයේ නීති රීති වලට, සම්ප්‍රදායන්ට අනුව හැසිරෙන්න ඕනේ. එයාට තමන්ගේ අදහස්, කැමැත්ත හැමවෙලාවෙම ප්‍රකාශ කරන්න බැහැ. මේක පරාරෝපණයට ලක්වෙන තත්වයක්. ඒත් මේක හරහාම එයා සමාජයේ කොටස්කාරයෙක් වෙනවා. එයාට තමන් ගැනත්, සමාජය ගැනත් අලුත් අදහස් එනවා. ඒකෙන් එයාගේ හැසිරීම්, තීරණ වෙනස් වෙනවා.

උදාහරණයක්:

පාසල් යන ළමයෙක් ඉස්කෝලෙ නීති වලට අනුව හැසිරෙන්න ඕනේ. එයාට හැමදේම තමන්ගේ කැමැත්තට කරන්න බැහැ. ඒකෙන් එයා පරාරෝපණයට ලක්වෙනවා. ඒත් ඒකෙන් එයා සමාජය ගැනත්, තමන් ගැනත් අලුත් දේවල් ඉගෙන ගන්නවා.අල්තුෂර් සහ ලැකාන් කියන්නේ, පරාරෝපණය කියන්නේ නිශේදනාත්මක දෙයක් විතරක් නෙවෙයි. ඒකෙන් තමයි අපි සමාජයේ කොටස්කරුවන් සහ අපගේ ආත්මීයත්වයත් ගොඩනැගෙන්නේ කියලා.

self develoment
Lacan ගේ ප්‍රධානම අරමුණ වුණේ, මාක්ස්ගේ න්‍යාය, ධනාත්මකභාවය සහ “Dialectical Negativity” කියන දෙක අතර තියෙන ගැටුම විසඳන්න උත්සාහ කිරීමයි. මේක ටිකක් සංකීර්ණයි, අපි සරලව තේරුම් ගන්න බලමු. ධනාත්මකභාවය (Vitalist Positivity) මේකේ තේරුම තමයි, ජීවිතය තමන්ම තමන්ව සම්පූර්ණ කරගන්නවා කියන අදහස. ඒ කියන්නේ, ජීවිතයේ තියෙනවා ස්වයං-වර්ධනයක් (self-development). මේක සමහරවිට “ජීවනශක්තිය” life force කියලාත් හඳුන්වනවා.
Dialectical Negativity යනු හෙගල් සහ මාක්ස් ගේ අදහසක්. Dialectics කියන්නේ, පරස්පරතා (contradictions) හරහා වෙනස්වීම් සිද්ධ වෙනවා කියන එක. යම් දෙයකට විරුද්ධ දෙයක් ඇතිවෙනවා.ඒක ඇතිවෙන්නේ ඇතුළෙන්මයි. (යමක හරය තුලින්ම ඇතිවෙන ප්‍රතිවිරෝදය )ඒ දෙක අතර ගැටුමෙන් අලුත් දෙයක් ඇතිවෙනවා. මේක “නිෂේධනය” (negativity) හරහා සිද්ධ වෙනවා.

Lacan ගේ උත්සාහය වුණේ, මේ “ජීවවාදී ධනාත්මකභාවය” සහ “Dialectical Negativity” අතර තියෙන ගැටුම විසඳන්න. ඔහු ඒක කළේ, පරාරෝපණය (Alienation) නැවත අර්ථකථනය කිරීමෙන්. Lacan පරාරෝපණය දැක්කේ, මාක්ස් දැක්ක ආකාරයටම, නමුත් තවදුරටත් ගැඹුරට. ඔහු කිව්වා, පරාරෝපණය කියන්නේ, අපි භාෂාවට (language) ඇතුල්වෙනකොට සිද්ධවෙන දෙයක් කියලා. අපි භාෂාවෙන් කතා කරන්න පටන්ගන්නකොට, අපිව යම් ප්‍රමාණයකට අපෙන් ඈත් වෙනවා. ඒකෙන් තමයි අපේ අනන්‍යතාවය හැදෙන්නේ.

උදාහරණයක්:

පොඩි ළමයෙක් වචන ඉගෙනගන්නකොට, එයාගේ සිතුවිලි හරියටම ප්‍රකාශ කරන්න බැහැ. ඒ වගේම, එයා භාෂාවේ නීති වලට අනුව හැසිරෙන්න ඕනේ. ඒක පරාරෝපණයට ලක්වීමක්.Lacan ගේ තර්කය වුණේ, පරාරෝපණය කියන්නේ, ධනාත්මකභාවය සහ Dialectical Negativity කියන දෙකම එකතු වෙන තැන කියලා. ඒකෙන් තමයි අපි සමාජයේ ජීවත් වෙන්නේ,සහ අපි අපිවම තේරුම් ගන්නේ කියලා.

අපි සමාජයේ ජීවත් වෙනකොට, සමාජයේ නීති රීති වලට, සම්මතයන්ට අනුව හැසිරෙන්න ඕනේ. ඒකෙන්, සමාජයත් එක්ක අපේ සම්බන්ධය වෙනස් වෙනවා. මානසිකව අපගේ අදහස්, ආශාවන් ඉටුකරගන්න බැරිවෙනකොට, පුද්ගලයාගේ සිතේ නොසන්සුන්තාවයක්, කලකිරීමක් ඇතිවෙන්න පුළුවන්. ඒකෙන් එයාගේ හැසිරීම්, තීරණ වෙනස් වෙනවා.

 
identity person ss 1920
Lacan කියන්නේ, මේ අහිමිවීම නිසා තමයි, අපිව මනුස්සයෙක් විදියට හදන්නේ කියලා. අපි භාෂාවට ඇතුල්වෙනකොට, අපිව යම් ප්‍රමාණයකට “අහිමි” වෙනවා. ඒකෙන් තමයි අපේ අනන්‍යතාවය (identity) හැදෙන්නේ. අනන්‍යතාවය කියන්නේ අපි කවුද කියන හැඟීම, තමන් ගැන තියෙන අවබෝධය. සරලව කිව්වොත් අපි සමාජයේ සාමාජිකයෙක් වෙන්න නම්, අපි යම් ප්‍රමාණයකට අපේම නිදහස කැපකරන්න ඕනේ. ඒකෙන් අපිට අහිමිවීමක් දැනෙනවා. ඒත් ඒකෙන් තමයි අපි මනුස්සයෙක් විදියට හැදෙන්නේ.
කොපර්නිකස් විසින් පෘථිවිය නොව සූර්යයා විශ්වයේ කේන්ද්‍රය බව සොයාගැනීමෙන්, මානවයාගේ විශ්වය පිළිබඳව තිබූ මතයට අභියෝග කළා. ඩාවින් කලේ පරිණාමවාදය මගින් මානවයා සතුන්ගෙන් වෙනස් වූවෙක් ලෙස සැලකූ මතයට අභියෝග කළා. ඉට පස්සේ ෆ්‍රොයිඩ්, මනෝවිශ්ලේෂණය මගින් මානවයාගේ හැසිරීම් වලට අවිඥානය බලපාන බව පෙන්වා දුන්නා. ඒකෙන් මානවයා තමන්ගේම හැසිරීම් වල පාලකයා කියන මතයට අභියෝග කළා. මේ පරිණාමය තුළින්, මානවයා ලෝකයේ කේන්ද්‍රය නෙවෙයි කියන අදහස පැහැදිලි වෙනවා. මාක්ස් සහ ෆ්‍රොයිඩ් එකිනෙකා හා සම්බන්ධ වන ආකාරය නිෂේධනය හරහා පැහැදිලි කරන්න පුළුවන් වන්නේ මෙන්න මෙතැනදී.
 
gas polim 2 1000px
මාක්ස් සමාජ-ආර්ථික විශ්ලේෂණය මගින් සමාජයේ පරස්පරතා, ගැටුම් (පන්ති අතර ගැටුම්, ආර්ථික අර්බුද) පෙන්නුම් කළා. ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණය මගින් මනසේ පරස්පරතා, ගැටුම් (අවිඥානයේ බලපෑම්, සිහින සහ අවිඥානය අතර ගැටුම්) පෙන්නුම් කළා. මේ දෙදෙනාම “නිෂේධනය” කියන සංකල්පය පාවිච්චි කරනවා. ඒ කියන්නේ, යම් දෙයක් නැතිවුනාම, ගැටුමක් ඇතිවුනාම අලුත් දෙයක් එනවා කියන අදහස.  
සරලව කිව්වොත්, මෙතැනදී කියවෙන්නේ, විද්‍යාව දියුණු වෙනකොට මිනිසා ගැන තිබූ වැරදි මත වෙනස් වුණා. ඒ වගේම මාක්ස් සහ ෆ්‍රොයිඩ් දෙන්නම ගැටුම්, පරස්පරතා, නිශේදනයන් හරහා තමයි ලෝකය තේරුම් ගන්න උත්සාහ කළේ.

FB IMG 1747550600552
| Mandis Murrukkuwadura


උපුටා ගැනීම - LDM
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...