The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බල්සාක් කැෆේ : සිවරාම්; විසිවසක ශේෂ පත්‍රය | MANJULA WEDIWARDENA

T

The Leader Desk

May 23, 2025 • 7:22 AM

බල්සාක් කැෆේ : සිවරාම්; විසිවසක ශේෂ පත්‍රය | MANJULA WEDIWARDENA

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිදාක යුක්තිය පිළිබඳ ඉසව්වකට ළංනොවන "තරාකී" නම්ලත් ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම් ඝාතනය කර විසි වසක් ගත වන මොහොතේ ආදරණීය ජයතිලක බණ්ඩාර සහෝදරයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අතිශය කෙටියෙන් මෙසේ ලියා තිබිණ.
  • "2005 අප්‍රේල් 28 වැනිදා පැහැරගෙන ගොස් හිසට වෙඩි තබා සිවරාම් නොහොත් තරාකී මරා දැම්මා.
  • ඒ, පසුකලෙක (2010දී) 'මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි' කෘතියට ඇතුළත්වුණු, විකල්ප කියවන්නන් අතර යම් පමණ ප්‍රකට මෙන්න මෙකී "තරාකී" නම් කවියයි.
  • සිවරාම් ගැන දකින-ඇසෙන හැම විටම, "තරාකී" නමින් මා ලියූ කවිය නොව මා හදවතට නැගෙන්නේ ලියා හමාර නොවුණු "සේරලාදන් පුත කෝ මට දෙන්න ඔය අත" ලෙස ලියැවුණු ඒ කව පටන් ගත් පද දෙපෙලයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කිසිදාක යුක්තිය පිළිබඳ ඉසව්වකට ළංනොවන "තරාකී" නම්ලත් ධර්මරත්නම් පුවිරාජකීර්ති සිවරාම් ඝාතනය කර විසි වසක් ගත වන මොහොතේ ආදරණීය ජයතිලක බණ්ඩාර සහෝදරයා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අතිශය කෙටියෙන් මෙසේ ලියා තිබිණ. "2005 අප්‍රේල් 28 වැනිදා පැහැරගෙන ගොස් හිසට වෙඩි තබා සිවරාම් නොහොත් තරාකී මරා දැම්මා. ඔහු විශිෂ්ට මාධ්‍යවේදියෙක්. 1989 ජනතා විමුක්ති පෙරමුණේ තරුණයන් හමුදාවෙන් සහ පොලිසියෙන් මරා දමන විට ඔවුන් බේරාගන්නට රිචඩ් ද සොයිසාගේ ඉල්ලීම මත එම තරුණයන් මඩකලපුවේ සඟවාගෙන ජීවිත බේරා දුන්නේ සිවරාම්."

 


මගේ ජීවිතයේ විශාල පදාසයක් සහිත, මා හොඳින්ම දන්නා කියන රත්මලානේ මහින්දාරාම පාරේ, නිතර නිතර පොලිසියෙන් මෙන්ම බුද්ධි අංශ විසින් රේඩ් කෙරෙන කුලී ගෙදරක දිවිගෙවූ සිවරාම් වෙනුවෙන් ඔහු ඉපදුණ, හැදී වැඩුණු, ඉස්කෝලෙ ගිය, දේශපාලනය කළ, ඉහත කී මඩකලපුවට ඔහු වෙනුවෙන් යන්නට සිදු වූයේ ඔහුගේ මළගම වෙනුවෙනි.  

කොළඹින් මඩකලපුවේ ආලෛයඩිචෝලෛ ගමට මළගම් ගිය මාධ්‍යකරුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් වූ මා තුළ ඔහුගේ උපන්ගම නොහොත් උපන් බිම පිළිබඳ නිනද නැංවෙන්නට වූ "සින්දු කියනා මාලුවන්ගේ" වේදනාබර කටහඬ ඉහත ෆේස්බුක් සටහන ලියූ ජයතිලක බණ්ඩාර සහෝදරයා නිතර ගයන ගීතයන් අතර වන "තරාකී" නම් ගීතයට පාදක වුණු කවිය බවට පෙරළිණ. ඒ, පසුකලෙක (2010දී) 'මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි' කෘතියට ඇතුළත්වුණු, විකල්ප කියවන්නන් අතර යම් පමණ ප්‍රකට මෙන්න මෙකී "තරාකී" නම් කවියයි.

"නින්ද නොඑනා අන්ධකාරය රළ නගයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැගෙයි
සින්දු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹේ සරාගී කටහඬ වගෙයි

"මන්ද මාරුතයේ ඉතී එන රුධිරයේ
සින්දු කියනා කටහඬක මතකය තියේ
චන්ඩ මාරුත හමා රුදු රාත්‍රියේ
මන්ද සකිසඳ නින්ද පතුලට නුඹ ගියේ

"කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුණා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල්දත් දිලුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
නුඹේ කටහඬ ඒ හදින් හද පිරුණා"

එදා, මඩකළපුවේ, ආලෛයඩිචෝලෛහි ඒ මළගෙදර, වෛශ්නවී සහ වෛතකී නම් සිවරාම්ගේ දියණියන් දෙදෙනාද ඔහුගේ එකම පුත්‍ර සේරලාදන් ද අප්පාගේ දෙණ අසල සිටි අයුරු තවමත් සිත බෙහෙවින්ම පාරවන මතකයකි. තිදෙනාගෙන් කුඩාවා වූ සේරලාදන් ගැන මළගෙදර සිට ආපසු කොළඹට එමින් ගමන මා කුරුටු ගෑ කවිය තවමත් නිරුපද්‍රිතව ඒ ඉපැරණි සටහන් පොතේ තිබෙනවා වන්නට පිළිවන.

 

d sivaram main 2020 april
සිවරාම් ගැන දකින-ඇසෙන හැම විටම, "තරාකී" නමින් මා ලියූ  කවිය නොව මා හදවතට නැගෙන්නේ ලියා හමාර නොවුණු

"සේරලාදන් පුත
කෝ මට දෙන්න ඔය අත"


ලෙස ලියැවුණු ඒ කව පටන් ගත් පද දෙපෙලයි.

සිවරාම්ගේ ඝාතනයෙන් පසළොස් වසරක ඇවෑමෙන් එනම් 2020 වසරේදී, යෞවන යෞවනියන් බවට පත් දරුවන් තිදෙනා ලියූ ලියවිල්ලක සිංහලානුවර්ථනය ජේ.ඩී.එස්. වෙබ් අඩවියේ පළවුණු අතර එහි ශීර්ෂය වූයේ "අප්පා මියගියේ ඔහු වඩාත් පෙම් කළ යුක්තිය පිළිබඳ සටනේදීය" යන්න ය.

ඔවුන් තිදෙනා මෙම ලියවිල්ල අරඹන්නේම අප්පාගේ ඝාතනය පිළිබ තවමත් කිසිවෙකු වරදකරුවෙකු වී නැති බවත්, ඒ ගැන ඔවුන් විශ්මයට පත් නොවන බවත්, තම පවුලේ පිරිස් තවදුරටත් යුක්තිය අපේක්‍ෂා නොකරන බවත්  පවසමිනි. එම ඇරඹුමේ පදනම දරා සිටින්නේ විශාල තර්කයකි. ඔවුනට අනුව, සිවරාම් වෙනුවෙන් ඉටුවිය යුතු "යුක්තිය " යන්න වඩා පළල් අවකාශයක තැබිය යුතු වන බැවිනි. ඒ ගැන සිවරාම්ගේ දරුවන් තිදෙනා මෙසේ ලියති.

 

NYT2009042609180059C

"මුල්ලිවයික්කාලේ දී නිමාවට පත්වූ දෙමළ ජනයාගේ විමුක්තිය සඳහා වූ සන්නද්ධ අරගලයේ අවසානය දකින්නට ජීවත් වී නම්, ඔහු කෙතරම් කම්පාවට පත්වනු ඇත්දැයි ඔහුගේ දරුවන් වශයෙන් අපි නිරන්තරයෙන් කල්පනා කරමු. දහස් සංඛ්‍යාත දෙමළ ජනයාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදු කළා වූ ඝෝර සැහැසිකම් විසින් ඔහු බිඳලන්නට ඉඩ තිබිණ.

"අපේ අප්පාට ප්‍රණාමය පළ කිරීමෙන් නොනැවතී විශේෂයෙන්ම මුල්ලිවයික්කාල් යුද්ධයේදී සංහාරය කරන ලද දහස් සංඛ්‍යාත දෙමළ ජනයා ඇතුළු යුද සමයේ මරණයට පත් සියලුම දෙනා ස්මරණය කිරීම අත්‍යවශ්‍ය වෙතැයි අපට හැඟෙන්නේ ඒ නිසාය. මුල්ලිවයික්කාල් සංහාරයේදී සිදු කළ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකා රජය වගඋත්තරදායක කිරීම වනාහී  මේ යුගයේදී අපේ තාත්තාට යුක්තිය ඉටු කිරීමකි. සන්නද්ධ ගැටුමේ අවසාන අදියරේ දී හමුදාවන්ට යටත් වීමෙන් පසු, තවදුරටත් අතුරුදහන්ව සිටින සිය ආදරණීයයන් අහිමි වූ දෙමළ පවුල් වෙනුවෙන් යුක්තිය සහ වගඋත්තරදායකත්වය අවශ්‍ය වී තිබේ. තවදුරටත් අවතැන්ව දිවි ගෙවන පවුල් සහ උතුරු නැගෙනහිර පළාත්වල රාජ්‍ය පීඩන යටතේ දිවි ගෙවන්නා වූ සියල්ලන්ට යුක්තිය අවශ්‍යව තිබේ."

ඔවුන් යෝජනා කරන සියල්ලන්ටම යුක්තිය ලබා ගැනීමේ මෙහෙයුමට ඇරඹුමක් සිවරාම්ට යුක්තිය ඉටුවීම හරහා ලැබෙන්නේ යැයි උපකල්පනය කරමින් සිවරාම් ඝාතන විසි වැනි සැමරුමේ දී ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහෝදරයා මතු කළ යෝජනාවට මදක් අවධාරණය යොමු කර බලමු. ඔහු එහිදී කරන මූලික තර්කය සහ යෝජනාව වන්නේ මෙයයි.

 

akd cbk in 1994 1280x720
සිවරාම් ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගය ආණ්ඩුවට විශාල වගකීමක් ඇත. සිවරාම් ඝාතනය කළ 2005 වන විට රාජ්‍යය මෙහෙයවමින් සිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ජනතා විමුක්ති පෙරමුණ එක්ව නිර්මාණය කරගත් ආණ්ඩුවයි. එබැවින් එම ඝාතනයට යුක්තිය ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව බැඳී සිටි.

දැනටමත් ඇරඹී ඇතැයි තැන් තැන්වල කියැවෙන, ජනාධිපතිවරයාගේ අණින් කවර පරීක්ෂණයක් සිදු වුවද සිවරාම්ට යුක්තිය ඉටු වෙයිද? නැත. මන්දයත එය කිසිසේත්ම යුක්තිය පිණිස සිදු කෙරෙන සැබෑ පරීක්ෂණයක් වන්නේ නැති බැවිනි. ඊට හේතුවක් තිබේ. ඒ හේතුව "ජෝසාගේ" තර්කය සහ යෝජනාව ඉක්මවා යන්නකි.



සිවරාම් ඝාතනයෙන් පසු එළැඹුණු පළමු ඉරිදාවේම, එනම් මැයි 8 වැනිදා ඔහු වෙනුවෙන් "ධර්මරත්නම්  සිවරාම් විශේෂ කලාපය" ලෙස 'හිරු පත්තරය' එළි දැක්වූ අතර එහි පළමු පිටුවේ මුල් ප්‍රවෘත්තිය වූ "සිවරාම් ඝාතනය යට ගසන වෑයමක්" යන්න ලියැවුණේ මා විසිනි.

1000062301
ඝාතකයන් සොයනු වෙනුවට එදා බම්බලපිටියේ ඔහු සමග සාමිචියේ සිටි සිවිල් සමාජ ක්‍රියාකාරී, පත්තරකාරී, වෘත්තිය සමිතිකාරී සිංහල මිත්‍රයන් ප්‍රශ්න කරමින්ද පර්යේෂණ වටේ යවමින් සිටියේ පැවති ආණ්ඩුවේ අතකොළු වන් පර්යේෂණ කණ්ඩායම් බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණි. එපමණක් නොව, එදා මඩකලපුවේ ඔහුගේ මළගමට ගිය මා ද ඇතුළු ඔහුගේ මිත්‍ර සිංහල මාධ්‍යකරුවන් ද චන්ද්‍රිකා-ජවිපෙ ආණ්ඩුවේ අතකොළු පරීක්ෂකයන්ගේ ලුහුබැඳීම් වලට හසුවෙමින් තිබිණ. සකල ජංගම දුරකතන "හොරෙන් ඇහුන්කන් දෙන්නන්ගේ" රස්සාවට කැප වී තිබිණ.

එදා එම මුල් පුවතේ අවසානයේ මා මෙසේ ලියා ඇත.

nunikimio89o90 © JDS

"සිවරාම් ඝාතනය කිරීම සඳහා සෘජුව හෝ වක්‍රව අත්‍යවශ්‍ය මතවාදයන් සකස් කළ ජාතිවාදී බලවේගයන් විසින් ම ඝාතනය සාධාරණීකරණය කිරීම සඳහා අදාළ සැලසුම් සකස් කරමින් සිටී.ඔවුන් විසින් තෝරාගත් මාධ්‍යවේදීන්ට, වෘත්තිය සමිති ක්‍රියාකාරිකයන්ට හා දේශපාලන ක්‍රියාදරයන්ට එරෙහිව අසත්‍ය තොරතුරු මඩ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා රාජ්‍ය මාධ්‍යවල පූර්ණ සහයෝගය ලබා ගැනීමටත් ජාතිවාදී බලවේග ක්‍රියා කර තිබේ. මෙම සියලු පියවරයන් ඔස්සේ ආණ්ඩුවට සම්බන්ධ ව සිටින ජාතිවාදී බලවේගයන් උත්සාහ කරනුයේ ඒකාබද්ධ යාන්ත්‍රණයට හා සාම ක්‍රියාවලියට සහාය දක්වන පිරිස් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් ඝාතනයට පත්වීමට සැලසුම් කිරීමය."

සිවරාම් පැහැරගෙන මරා දැමීමට පෙර බොහෝ වතාවක් ඔහුගේ රත්මලානේ කුලී ගෙදරට කුලී හේවායන් කඩා පැන්න බවත්, ඊට සමාන්තරව පෙර කී රාජ්‍ය මාධ්‍යයන්ට අමතරව, ජනතා විමුක්ති පෙරමුණේ නොනිල මධ්‍යම පුවත්පත වන "ලංකා පුවත්පත'' මූලික කර ගනිමින් මෙම ඝාතනයට අවශ්‍ය පසුබිම ක්‍රමානුකූලව නිර්මාණය කළ බවත්  විසි වසරක ඇවෑමෙන් කිසිවෙකුටවත් මතක නැති බවකි.

hiru 
2002 වසරේ සටන් විරාමයේ සිට "යුද්ධය" නිමාවන තෙක් ද, ඉනික්බිති කුමාර - කුමාර් පාර්ශ්ව දෙපසට වන තෙක් ද මුද්‍රණය වූ 'ලංකා' පත්තරය හදාරන්නට කිසියම්ම හෝ විද්‍යාර්ථීකයෙකු කිසියම් මොහොතක එළඹෙන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ අධ්‍යනය, මෙකී ලංකා පත්තරය හරහා ලංකාව තුළ සහ සමකාලීන වාම මඩ ගොහොරුව තුළ ඔජ වැඩෙන අර්බුද සියල්ලක් ම පාහේ විනිවිද දැකිය හැකි තිසීසයක් වනු ඇත.  

සිවරාම් ඇතුළු 'පාර රාජ්‍ය' ඝාතන, දියවන්නා බණ මඩුවේ මතු නොව මහපාරේ පවා උස් හඬින් ඇවිලී යන  සටන් පාඨ බවට පත් නොවනුයේ ලිබරල් වාමාංශය විසින් සහ රැඩිකල් වාමාංශය විසින් ඒකාබද්ධව අහිමි කර ගනු ලැබූ හෘදය සාක්ෂිය හින්දා බව සාතිශය අවධාරණයෙන් ලියා තබමි.

මාතලේ මහ පො‍ළොව සීතල ද ? - (මංජුල වෙඩිවර්ධන)(සටහන | මංජුල වෙඩිවර්ධන)
Journalist/Writer
mwediwardena@gmail.com

http://www.jdslanka.org/
http://photo.net/photos/wedi-man
http://monsoonmn.wordpress.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික විකල්ප පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...