The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ආර්තවහරණය යනු කුමක්ද? එහි ලක්ෂණ මොනවා ද?

T

The Leader Desk

October 21, 2022 • 6:51 AM

ආර්තවහරණය යනු කුමක්ද? එහි ලක්ෂණ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජීවිතයේ මෙම අවධිය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පිහිටුවන ලද ලෝක ආර්තවහරණය දිනය වෙනුවෙන්, ඔසප්වීම නැවතීමට පෙර සිදුවන වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ යි ආර්තවහරණය යනු කුමක්ද?
  • සාමාන්‍යයෙන් මෙය කාන්තාවකගේ වයස අවුරුදු 51ක් පමණ වන විට සිදුවේ.
  • ඔසප්වීම අක්‍රමවත්වීම ඇරඹෙන මෙම ක්‍රියාවලිය ආරම්භය හැඳින්වෙන්නේ 'පූර්ව - ආර්තවහරණය' ලෙස ය.
  • එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 46ක් පමණ වන විට ආරම්භ වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ජීවිතයේ මෙම අවධිය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පිහිටුවන ලද ලෝක ආර්තවහරණය දිනය වෙනුවෙන්, ඔසප්වීම නැවතීමට පෙර සිදුවන වෙනස්කම් පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ යි

 

ආර්තවහරණය යනු කුමක්ද?

 
කාන්තාවන්ගේ ඔසප්වීම නැවැතීම 'ආර්තවහරණය' යනුවෙන් හැඳින්වේ. සාමාන්‍යයෙන් මෙය කාන්තාවකගේ වයස අවුරුදු 51ක් පමණ වන විට සිදුවේ.

 

මෙය ප්‍රජනක වසරවල අවසානය මෙන්ම, ජීවිතයේ නව අවධියක ආරම්භය ද සනිටුහන් කරයි.

 

ඔසප්වීම අක්‍රමවත්වීම ඇරඹෙන මෙම ක්‍රියාවලිය ආරම්භය හැඳින්වෙන්නේ 'පූර්ව - ආර්තවහරණය' ලෙස ය. එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 46ක් පමණ වන විට ආරම්භ වේ.

 

බොහෝ කාන්තාවන් ඔවුන්ගේ මාසික ඔසප්වීම අනපේක්ෂිත ලෙස ඇරඹීම හෝ අධික රුධිරවහනයක් සිදුවීම ද ඇතුළුව, මින් පෙර අත්විඳ නැති හැඟීම් හෝ ශාරීරික ගැටලු අත්විඳින්නේ මෙම ක්‍රියාවලිය ආරම්හ වූ විට ය.

 

මාස 12ක් තිස්සේ ඔසප්වීමක් සිදුනොවූ විට, තමා මෙම ලක්ෂණ අත්විඳ ඇත්දැ යි සිහිකර බලා, ආර්තවහරණය හෙවත් අවසාන ඔසප්වීම පසුකර ඇතැ යි යන නිගමනයට එළඹිය හැකි ය.

 

ඇතැම් කාන්තාවන්ට, ස්වභාවික හේතූන් මත හෝ (මීට සම්බන්ධ නොවන) යම් තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ආර්තවහරණය කලින් සිදුවිය හැකි ය.


 127272438 menopause infogfx stages 2x640 nc

 

එයට හේතුව කුමක්ද?

 

ඔසප් චක්‍රය පාලනය කරන ඊස්ට්‍රජන් ද ඇතුළු හෝමෝන මට්ටම් වෙනස්වීම්වලට භාජනය වේ.

 

කාන්තාවන් වියපත් වෙත්ම ඩිම්බ කෝෂවලින් නිපදවන ඩිම්බ ප්‍රමාණය අඩු වේ. ඊස්ට්‍රජන් මට්ටම අඩු-වැඩිවෙමින් පැවතී, පසුව ක්‍රමයෙන් අඩුවී යයි. මෙනිසා ආර්තවහරණයේ ලක්ෂණ මතු වේ.

 

නමුත් මෙය එක රැයකින් සිදුවන්නක් නො වේ.

 

මෙම අතිශය වැදගත් හෝමෝන මට්ටම් පහළ වැටීමට වසර කිහිපයක් ගත වන අතර, පසුව එය එලෙසම පවතියි. එම ක්‍රියාවලිය සමග ශරීරයේ ද වෙනස්කම් රැසක් ඇති වේ.

 

ඩිම්බ කෝෂ ඩිම්බ නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතර කළ විට ගැබ්ගැනීම තවදුරටත් සිදුනොවේ. ආර්තවහරණය සිදු වේ.

 

එහි ලක්ෂණ මොනවාද?

 

ආර්තවහරණය, සහ එය සිදුවීමට ආසන්න සමය කාන්තාවන්ට බලපාන්නේ විවිධ අයුරිනි.

 

පහත වැටෙන ඊස්ට්‍රජන් මට්ටම ඔසප්වීමට පමණක් නොව, මොළය, සම, මාංශ පේශීන් සහ චිත්තවේග යන සියල්ලටම විවිධ බලපෑම් සිදුකරයි.

 

මෙහි රෝග ලක්ෂණ රැසක් ඇති අතර, ඔබට ඒවායින් සමහරක් හෝ සියල්ලම හෝ තිබිය හැකිවා මෙන්ම කිසිම ලක්ෂණයක් මතුනොවීමට ද ඉඩ තිබේ.

 

වඩාත් සුලබ ලක්ෂණ වන්නේ:

 

# අධික හෝ අක්‍රමවත් රුධිර වහනය
# උණ ගතියක් දැනීම (hot flushes)
# රාත්‍රී කාලයේ දී අධික ලෙස දහඩිය දැමීම
# සිතෙහි දුක
# යෝනි මාර්ගයේ වියළිබව
# මුත්‍රාශය ආශ්‍රිත ගැටළු

 

මතකය සහ අවධානය දුර්වලවීම, සන්ධි වේදනාව මෙන්ම සම වියළීම ද බොහෝ විට මේ ලක්ෂණවලට අයත් ය.

 

සෑම කාන්තාවකටම මෙම ලක්ෂණ ඇති නොවුණත්, කාන්තාවන්ගෙන් 75%කටම කවරාකාර හෝ ලක්ෂණයක් ඇති වේ.

 

ආර්තවහරණය අත්විඳින කාන්තාවන්ගෙන් හතරෙන් එකක් දරුණු ලෙස මෙම ලක්ෂණවලින් පීඩා විඳිති.

 

මෙම ලක්ෂණ වසර හතක් පමණ පැවතිය හැකි අතර, කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු ඊටත් වඩා දිගු කාලයක් ඒවායේ පීඩාවට ගොදුරුවන බව සොයාගෙන තිබේ.

 

 127272439 menopause infogfx oestrogen 2x640 nc

 

ඔබ උපත්පාලන පෙති භාවිතා කරන්නියක නම්, ඔබ ආර්තවහරණයට පැමිණ ඇත්තේ කවදාදැ යි දැනගැනීම වඩාත් අපහසු විය හැකි ය. මන්දයත් ඒවා විවිධ ආකාරවලින් ඔසප් චක්‍රය කෙරෙහි බලපාන බැවිනි.

 

උණ ගතියක් දැනීමට හේතුව කුමක්ද?


ශරීර තාපය ස්ථායීව පවත්වාගැනීමට මොළයට උපකාරී වන ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම පහළ බැසීම මෙයට හේතුව වේ.

 

සාමාන්‍යය තත්ත්වයක දී උෂ්ණත්ව වෙනස්වීම්වලට ශරීරය හොඳින් මුහුණදෙන නමුත්, ඊස්ට්‍රජන් හිඟ වූ විට මොළයේ "තාප ස්ථාපකය" නිවැරදිව ක්‍රියා නොකරන හෙයින් ශරීරය අධික ලෙස රත්වෙමින් ඇති බව මොළය නිගමනය කරයි.

 

ඊස්ට්‍රජන් මට්ටමේ සිදුවන වෙනස්වීම මනෝභාවයන් කෙරෙහි ද බලපායි. මොළයේ ඇති මනෝභාවයන් පාලනය කරනා ප්‍රතිග්‍රාහක සමග මෙම හෝමෝනය අන්තර්ක්‍රියා සිදුකරන බැවින්, එහි මට්ටම පහත වැටීම මඟින් සිතෙහි දුක සහ කාංසාව ඇතිවිය හැකි ය.

 

වෙනත් හෝමෝනවල බලපෑමක් තිබේද?


ඔව්. ප්‍රොජෙස්ටරෝන් සහ ටෙස්ටොස්ටෙරෝන් ද බලපාන නමුත්, ඒවා ඊස්ට්‍රජන් මට්ටම අඩුවීමෙන් ඇතිවන බලපෑමට සමාන බලපෑමක් ඇති නො කරයි.

 

ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය සෑම මසකදීම ගැබ්ගැනීමක් සඳහා ශරීරය සූදානම් කිරීමට උපකාරී වන අතර, ඩිම්බ මෝචනය සහ ඔසප්වීම නතරවන විට එය පහළ වැටෙයි.

 

කාන්තාවන් තුළ ඉහළ මට්ටමකින් නිපදවෙන ටෙස්ටොස්ටෙරෝන් ලිංගික ආශාව සහ ශක්තිය වැනි කරුණු සමග බැඳී පවතියි.

 

එය වයස විසි ගණන්වල සිට කෙමෙන් අඩු වන අතර, මෙනිසා ඇතැම් කාන්තාවන්ට එය කෘත්‍රිමව ලබාගැනීමට සිදුවේ.

 

ආර්තවහරණය සිදුවී ඇත්දැ යි දැනගැනීමට පරීක්ෂණයක් තිබේද?


ආර්තවහරණය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ කට්ටල අලෙවිකිරීමට ඇති නමුත් ප්‍රවීණයන් පවසන්නේ වයස අවුරුදු 45 ඉක්මවූ කාන්තාවන් සඳහා ඒවා එතරම් නිවැරදි ප්‍රතිඵල නොපෙන්වන බව යි.

 

වඩාත්ම ප්‍රතිඵලදායක ක්‍රමය වන්නේ ඔබේ ඔසප්වීමේ රටාව සහ ඔබ අත්විඳින කිසියම් හෝ ලක්ෂණ ගැන ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම ය.

 

පරීක්ෂණ මඟින් FSH නම් හෝමෝනවල මට්ටම මැන බලයි. කෙසේ වෙතත්, මෙම හෝමෝන මට්ටම නිතර ඉහළ පහළ යන බැවින් (දවස පුරාවට වුව ද මෙය සිදුවිය හැකි ය) පරීක්ෂණයේ ප්‍රතිඵලවල නිරවද්‍යතාව ගැන ගැටළු පවතියි.

 

එමෙන්ම, ඔබේ ඔසප්වීම අක්‍රමවත්වුව ද ගැබ් ගැනීමේ අවදානම පහව නොයන නිසා, විශේෂඥයින් පවසන්නේ වයස අවුරුදු 55 දක්වා උපත්පාලන ක්‍රම අනුගමනය කිරීම සුදුසු බව යි.

 

bbc w

පීඩාකාරී ලක්ෂණ අඩු කිරීමට ප්‍රතිකාර තිබේ ද?


හෝර්මෝන ප්‍රතිස්ථාපන ප්‍රතිකාරය (HRT) මඟින්, ආර්තවහරණයට ආසන්න කාලයේ දී පහළ යන ඊස්ට්‍රජන් වැනි හෝමෝන මට්ටම් ඉහළ නංවා මෙම ලක්ෂණ සමනය කිරීමට හැකි ය.

 

එහෙත් ඇතැම් පිළිකා සහ රුධිර කැටිගැසීම් මෙන්ම අධිරුධිර පීඩනය පිළිබඳ රෝග ඉතිහාසයක් ඇති කාන්තාවන්ට මෙම ප්‍රතිකර්මය සුදුසු නොවීමට පුළුවන.

 

මෙම පීඩාවන් අවමකර ගැනීම සඳහා:

 

# අස්ථි ශක්තිමත් කිරීමට සහ හදවත ආරක්ෂා කිරීමට අවශ්‍ය පෝෂණය ලැබෙන පරිදි මේදය අඩු, කැල්සියම් බහුල ආහාරවේලක් ලබාගැනීම
# හෘද රෝගවලින් ආරක්ෂාවීමට සහ කාංසාව හා ආතතිය අවම කරගැනීමට නිතිපතා ව්‍යායාම කිරීම
# හෘද රෝග ඇතිවීමට සහ උණ ගතියක් දැනීමට තුඩුදෙන දුම්පානය නැවැත්වීම
# උණ ගතියක් දැනීම අවම කිරීමට මධ්‍යසාර පානයෙන් වැළකීම


සෝයා, රටකජු, කජු, ගෝවා සහ මල්ගෝවා වැනි ශාකමය ඊස්ට්‍රජන් අඩංගු එළවළු සහ ඇට වර්ග ආහාරයට ගැනීම ආර්තවහරණ ලක්ෂණ අවම කිරීමට උපකාරී වන අතර, විටමින් ඩී අතිරේක ගැනීම හරහා අස්ථි සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිබවට පර්යේෂණවලින් සනාථ වී තිබේ.

 

ආර්තවහරණයෙන් පසු සිදුවන්නේ කුමක්ද?


ඔබේ අවසාන ඔසප්වීමෙන් වසරකට පසු ඔබ පශ්චාත් ආර්තවහරණයේ අවධියට පැමිණ සිටියි.

 

ඊස්ට්‍රජන් නිපදවීම සම්පූර්ණයෙන්ම නතරවීමෙන් අස්ථිවලට සහ හදවතට දිගුකාලීන බලපෑමක් ඇති වේ. මෙය වියපත්වීමේ අදියරකි.

 

ආයු අපේක්ෂාව ඉහළයෑමත් සමග කාන්තාවන් ඔවුන්ගේ ජීවිතයෙන් තුනෙන් එකකට වැඩි කාලයක් ආර්තවහරණයෙන් පසු ගෙවා දමයි.



(BBC සිංහල සේවය )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...