The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොරුවෙන් ඇවිලෙන ජාතිවාදී ගින්න - දුස්තොරතුරට තවමත් හසු වෙමු ද ? | පැතුම් පුංචිහේවා

T

The Leader Desk

March 5, 2026 • 10:32 AM

බොරුවෙන් ඇවිලෙන ජාතිවාදී ගින්න - දුස්තොරතුරට තවමත් හසු වෙමු ද ? | පැතුම් පුංචිහේවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනමාධ්‍යයේ පරම වගකීම වන්නේ සමාජයේ සත්‍යය හෙළිදරව් කරමින් ජනතාවට නිරවද්‍ය සහ විශ්වාසනීය තොරතුරු ලබාදීම යැයි පැවසීම මුසාවක් නොවේ.
  • කෙසේ නමුත්, එවැනි ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය භාවිතා කිරීම වළක්වාලීම සඳහා, ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද විවිධ යාන්ත්‍රණයන්, මාර්ගෝපදේශ සංග්‍රහයන්, මෙන්ම මාධ්‍ය ආචාර ධර්මද හඳුන්වා දී තිබෙන බව ද බැහැර කළ යුතු නැත.
  • අම්පාරේ වඳ කොත්තු කලහය සහ ජාතික මාධ්‍ය නිදසුනක් ලෙසට, 2018 වසරේ මුල් භාගයේදී අම්පාර නගරයේ මුස්ලිම් හෝටලයකින් ආරම්භ වූ ඊනියා “වඳ කොත්තු” නාඩගම දැක්විය හැක.
  • ඒ අනුව කලහකාරී කණ්ඩායම් විසින් අම්පාර නගරයේ වෙළඳසැල් කිහිපයකට සහ මුස්ලිම් දේවස්ථානයකටද පහරදී තිබූ අතර, එම සිදුවීම ඔස්සේ පැන නැගුණු වාර්ගික නොසන්සුන්තාවය ශ්‍රී ලංකාව පුරාම පැතිර ගිය බව දක්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කෙසේ නමුත් එම සමාජ වගකීම අත දරා සිටින මාධ්‍යයටම, දෙපිට කැපෙන කඩුවක් බවට පත්වීමට හැකියාව තිබෙන බව ද මුසාවක් නොවේ. විශේෂයෙන්ම සමාජ මතය හැසිරවීමට මාධ්‍ය අත තිබෙන අතිමහත් බලය අමනෝඥ ලෙස අවභාවිතා කළහොත්, එයට සමාජයේ විවිධ කණ්ඩායම් අතර පමණක් නොව රාජ්‍යයන් අතර පවා ගැටුම් ඇති කිරීමට පවා හැකියාවක් තිබීම, මාධ්‍ය අත ඇති බලය අවභාවිතා කිරීම පිළිබඳ යථාර්ථවාදී බියකරු චිත්‍රයක් මවා පෙන්වයි.


එසේම, එය මෙතෙක් සිදු නොවූවක්ද නොවේ.

misinformation 062025 2208969066
කෙසේ නමුත්, එවැනි ගැටලුකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වන ආකාරයෙන් මාධ්‍ය භාවිතා කිරීම වළක්වාලීම සඳහා, ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද විවිධ යාන්ත්‍රණයන්, මාර්ගෝපදේශ සංග්‍රහයන්, මෙන්ම මාධ්‍ය ආචාර ධර්මද හඳුන්වා දී තිබෙන බව ද බැහැර කළ යුතු නැත.

වර්ගවාදයට උඩ ගෙඩි දිය හැකි දුස්තොරතුරු

ශ්‍රී ලංකාව වැනි බහු වාර්ගික, බහු ආගමික රටක, වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම වැළැක්වීමටත්, යම් වාර්ගික හෝ ආගමික කණ්ඩායමක් කොන් කිරීමට හෝ පීඩනයට ලක් වීම වැළැක්වීමටත් නිවැරදි තොරතුරු සන්නිවේදනය අතිශය වැදගත් වේ. එහි වැදගත්කම සම්බන්ධයෙන් ඉතිහාසය පුරා දක්නට ලැබුණු වාර්ගික ගැටුම්වලින් දෙස් දෙයි. තිස් වසරක් පුරා ඇදී ගිය වාර්ගික යුද්ධයට අමතරව, ඊට වඩා කුඩා පරිමාණයන්ගෙන් සිදුවූ ජනවාර්ගික සහ ආගමික ගැටුම්ද මගින්ද ශ්‍රී ලාංකේය සමාජය වෙත ලබාදී තිබෙන කළු පැල්ලම් සහ හානිය සුළු පටු නොවේ.

tamils north CI

 

එසේම නැවත ඉතිහාසය ඔස්සේ ආපස්සට සිතා බලන විට එම ගැටුම් වලින් කීයක් හෝ නිවැරදි සන්නිවේදනය ඔස්සේ වළක්වා ගැනීමට ඉඩ තිබුණේද යන්න ශ්‍රී ලාංකික අපි ඇසිය යුතු පැනයකි.

අම්පාරේ වඳ කොත්තු කලහය සහ ජාතික මාධ්‍ය

guo
නිදසුනක් ලෙසට, 2018 වසරේ මුල් භාගයේදී අම්පාර නගරයේ මුස්ලිම් හෝටලයකින් ආරම්භ වූ ඊනියා “වඳ කොත්තු” නාඩගම දැක්විය හැක. එම මුස්ලිම් හෝටලයෙන් මිලදීගත් කොත්තුවක මස් හොද්දේ “යම් පෙති වර්ගයක්” අන්තර්ගත වූ බවට පැන නැගුණු හාහෝවත්, එම පෙති “වඳ භාවය ඇති කරන” දෙයක් බවට පැන නැගුණු විශ්වාසයත් සමග, කලාකාරී පිරිසක් විසින් එම හෝටලයට පහර දී, එහි තිබූ යතුරුපැදියක්ද ගිනි තබා තිබූ අතර, ඉතාමත්ම ඉක්මනින් එය වාර්ගික කණ්ඩායම් දෙකක් අතර දරුණු ගැටුමක් බවට පරිවර්තනය වී තිබුණි. ඒ අනුව කලහකාරී කණ්ඩායම් විසින් අම්පාර නගරයේ වෙළඳසැල් කිහිපයකට සහ මුස්ලිම් දේවස්ථානයකටද පහරදී තිබූ අතර, එම සිදුවීම ඔස්සේ පැන නැගුණු වාර්ගික නොසන්සුන්තාවය ශ්‍රී ලංකාව පුරාම පැතිර ගිය බව දක්නට ලැබිණි.

eth1(මූලාශ්‍රය: Ethics Eye)
මෙම සිදුවීම සම්බන්ධව ශීඝ්‍රයෙන් ශ්‍රී ලංකාව පුරා පැතිර යෑමට මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මෙන්ම ඩිජිටල් මාධ්‍ය ඔස්සේද ඉමහත් තල්ලුවක් ලැබී තිබූ අතර, එහිදී ඇතැම් මාධ්‍ය මගින් මෙම සිදුවීම චිත්‍රණය කර තිබූ ආකාරය සැබවින්ම අවධානයට ගැනීම වටී. "වැරදි වටහාගැනීමක් හේතුවෙන් අම්පාරේ දෙපිරිසක් අතර ඇතිවූ කලහයක්" යන සිරස්තලයෙන් එහාට නොයා යුතුව තිබූ සිදුවීමක්, වාර්ගික කෝලාහලයක් දක්වා වර්ධනය වීම සඳහා ඇතැම් මාධ්‍ය විසින් ලබාදී තිබූ දායකත්වය සුළුපටු නොවේ.

නිදසුනක් ලෙසට 2018, පෙබරවාරි 28 දිවයින පුවත්පත මගින් මෙම සිදුවීම වාර්තා කර තිබූ ආකාරය ගත හැක. "අම්පාරේ හෝටලයක මස් හොද්දට මිනිස් ශරීරයට අහිතකර පෙති වර්ගයක් කලවම් කරලා" යනුවෙන් සිරස්තල යොදා තිබුණත්, රස පරීක්ෂක වාර්තාවකින් හෝ ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් එම පුවත මුද්‍රණය වන විටත් අනාවරණය වී නොතිබූ බව මෙහිදී සැලකිල්ලට ගත යුතු වේ. අදාළ ගැටුමට මුල් වූ කොත්තුවේ මස් හොද්දේ සාම්පලයක් රජයේ රස පරීක්ෂකට යවා ඇති බවද පුවත් වාර්තාව තුළ දැක්වුණත්, එම රස පරීක්ෂක වාර්තාව පැමිණීමටත් කලින් එය මිනිස් සිරුරට අහිතකර පෙති වර්ගයක් බව දිවයින වාර්තාකරු දැන සිටියේ කෙසේද යන පැනය මෙහිදී මධ්‍යස්ථ පාඨකයෙකුගේ සිත තුළ පැන නැගිය යුතු වේ. එසේම මෙම තොරතුරු සඳහා කිසිදු මූලාශ්‍රයක් සඳහන් කර නොතිබීමද විශේෂත්වයකි.

මෙම "පෙති වර්ගයක්" යන සඳහන සියලුම පුවත්පත් තුළ පාහේ සඳහන් වූ නමුත්, ඒ සඳහා අද පුවත්පත හැර වෙනත් එකදු පුවත්පතක් හෝ මූලාශ්‍රයන් සඳහන් කිරීමට උත්සුක වී තිබුණේද නැත.

 

image1170x530cropped 36


එපමණක් නොව යම් යම් දමිළ පුවත්පත් මගින් සියුම්ව මෙය වර්ගවාදී ප්‍රහාරයක්ය යන්න ඉස්මතු කර තිබූඅතර, සුඩර් ඔලි පුවත්පත මගින් සෘජුවම මෙම පුවත වර්ගවාදී දෘෂ්ටි කෝණයකින් වාර්තා කර තිබීමද විශේෂත්වයකි.

මෙවැනි පුවතක් වාර්තා කිරීමේදී වැදගත් වන්නේ මනා සංයමයකින් යුතුව ගැටළුව සංසි‍ඳෙන ලෙසින් මනාව නිරවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින්, මාධ්‍ය ආචාර ධර්ම අනුකූල වාර්තාකරණයක් යොදාගැනීමද, එසේත් නැතිනම් ආගමික හෝ වාර්ගික හැඟීම් අවුස්සමින්, කුපිත කරවන ආකාරයේ, නිවැරදි මූලාශ්‍ර නොමැති වාර්තාකරණයක් ඉදිරිපත් කිරීමද යන්න, මෙම සංසන්දනාත්මක විශ්ලේෂණය ඉදිරිපත් කළ Ethics Eye විසින් නිවැරදිව පැනයක් ලෙසින් මතු කර දක්වා තිබිණි.

අම්පාරට එහා ගිය මුල් බැස ගත් දුස්තොරතුරු ව්‍යාධිය

අම්පාර හෝ දිගන හෝ මතුගම සිදුවීම් වැනි වාර්ගික-ආගමික ගැටුම් විශාල වශයෙන් පැන නැගීමට හේතු නොවුණත්, මෙවැනි දුස්තොරතුරු මත පදනම් වූ හෝ, නැතිනම් නිවැරදි මූලාශ්‍ර/බහු මූලාශ්‍ර භාවිතයකින් කරුණු තහවුරු කර ගැනීමේ නිවැරදි මාධ්‍ය භාවිතාවෙන් බැහැර වූ පුවත් වාර්තාවන් එදා සිට අද දක්වාම විටින් විට මතුවන බව පෙනී යන කරුණකි.

එහිදී පුවත් වාර්තා කිරීමේදී, විශේෂයෙන්ම වාර්ගික කණ්ඩායම් කිහිපයක් අදාළ පුවතට සම්බන්ධ වන අවස්ථාවන්හිදී ඒකපාර්ශවීයව කරුණු වාර්තා කිරීමද ගැටළුකාරී මාධ්‍ය භාවිතාවක් ලෙසින් හඳුනාගත හැක.

 

Kurindi temple
මෙහිදී පුවත සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක් ලබාදෙන ආකාරයේ හැඳින්වීම් වාර්ගික කණ්ඩායම් සම්බන්ධයෙන් භාවිතා කිරීම කලාතුරකින් වුවද දක්නට ලැබෙනා කරුණකි. නිදසුන් ලෙස 2022 ජූනි 19 දිවයින පුවත්පතේ "අන්තවාදීන්ගෙන් කුරුන්දි විහාරයට නැවතත් කෙනහිලි" මැයින් පළ වුනු විශේෂාංග පුවතක යම් යම් පාර්ශවයන්ට චෝදනා තවත් පාර්ශවයන්ගෙන් එල්ල වීම් සඳහන් වුනත්, එම අදාළ පාර්ශවයන්ගෙන් ඒ ගැන කරුණු විමසීමට උත්සුක වී නොතිබීම පෙන්වා දිය හැක. එසේම, "පව්කාර දෙමළ මිනිසුන් පිරිසක්' වැනි යෙදුම් ලිපිය තුළ භාවිතා කිරීමද, මෙහි තිබෙන ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් මොනවට පෙන්වා දේ.  

eth56u(මූලාශ්‍රය: Ethics Eye)
එමෙන්ම යම් වරදක් සඳහා පුද්ගල කණ්ඩායමක් අත්අඩංගුවට පත්වූ විට, ඔවුන් සුළුතර වාර්ගික කණ්ඩායමක් නම් විශේෂයෙන්ම වාර්ගිකත්වය සඳහන් කිරීම සහ බහුතර වාර්ගිකත්ව කණ්ඩායමක් නම් වාර්ගිකත්වය සඳහන් නොකිරීමත්, ඇතැම් විට වාර්ගිකත්වයන් කිහිපයකට අයත් පුද්ගලයින් එකම වරදකට අත්අඩංගුවට ගත් විටකදී පවා සුළුතර වාර්ගිකත්වයන් පමණක් සඳහන් කිරීමත් ගැටළුකාරී මාධ්‍ය හැසිරීමක් ලෙසින් දැකගත හැකි වේ.
නිදසුනක් ලෙසට මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ අත්අඩංගුවට ගැනීමක් වාර්තා කිරීමේදී "කුඩු එක්ක මුස්ලිම් ජාතිකයෙක් ඇතුළු තුනක් කොටු" වැනි සිරස්තල යොදාගැනීම බහුලව දැකිය හැකි මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. මෙවැනි සිරස්තල මගින් ඉස්මතූ වන ගැටළුව වන්නේ, සමාජය තුළ එම අදාළ වැරදි සිදුකරන්නේ යම් කිසි විශේෂිත වාර්ගික කණ්ඩායමක් බවට ආකල්පයක් පැලපදියම් වීමයි.

ethn6r7i6(මූලාශ්‍රය: Ethics Eye)
ethn57878(මූලාශ්‍රය: Ethics Eye)
මාධ්‍ය ආචාර ධර්ම මේ පිළිබඳව පවසන්නේ කුමක් ද?


ලොව පුරා මාධ්‍ය ආචාර ධර්ම සහ මාධ්‍ය මාර්ගෝපදේශයන් තුළ, දුස්තොරතුරු මාධ්‍ය ඔස්සේ පැතිරීම හැකිතාක් අවම කිරීම සඳහා යම් යම් සම්මතයන් සහ නිර්දේශයන් තිබේ.

විශේෂයෙන්ම සත්‍යය මත පදනම්ව හැකිතාක් නිරවද්‍යභාවයෙන් යුතුව පුවතක් වාර්තා කළ යුතු යැයි මාධ්‍ය ආචාර ධර්මයන් මගින් අවධාරණය කරයි. මෙහිදී පුවතක් ප්‍රසිද්ධ කිරීමට පෙර කරුණු තහවුරු කිරීම සහ විශ්වසනීය මූලාශ්‍ර සහ බහු මූලාශ්‍ර භාවිතා කිරීම අවශ්‍ය වේ.
එසේම යම් හෙයකින් මාධ්‍යවේදීන් විසින් වාර්තා කරන ලද තොරතුරු වැරදි බව පසුව හෙළිවුවහොත්, ඒවා ඉක්මනින් සහ පැහැදිලිව නිවැරදි කළ යුතු වන අතර, මුල් පුවතට සමාන ප්‍රමුඛත්වයක් සහ ඉඩක් ඒ සඳහා ලබා දිය යුතු බවද මාධ්‍ය මාර්ගෝපදේශයන් පෙන්වා දේ.
“නිවැරදිවත්, විකෘතියකින් තොරවත් ප්‍රවෘත්ති පළ කිරීමට මෙන්ම ඡායාරූප සහ වෙනත් අනුරූප නිවැරදිව සහ විකෘති කිරීමකින් තොරව පළ කිරීම සඳහා මාධ්‍ය, සාධාරණ ප්‍රවේසමකින් කටයුතු කළ යුතු” බව ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් ඉදිරිපත් කර තිබෙන, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම මගින් පිළිගැනුණු මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති සංග්‍රහය පෙන්වා දේ.

“මෙයට අමතරව, මාධ්‍යවේදියෙකු විසින් දැන දැනම හෝ හිතාමතා හෝ ජනවාර්ගික හෝ ආගමික අසමගියට හෝ ප්‍රචණ්ඩත්වයට අනුබල නොදිය යුත්තේය” යනුවෙන්ද එහි සඳහන් වේ. මෙය සැබවින්ම ජාත්‍යන්තරවද පිළිගත් මාධ්‍ය ආචාර ධර්මයකි.


වගකීම් සහගත මාධ්‍යකරණයක්

bachelor of arts in journalism in tanzania


ශ්‍රී ලංකාව වැනි බහුජාතික සහ බහු ආගමික සමාජයක, මාධ්‍ය වාර්තාකරණයේදී වගකීම සහ සංවේදීභාවය යනු හුදු වචනාර්ථයට සීමාවූ සංකල්ප වන්නේ නම් එය ගැටළුවකි. ඒ අනුව,


• පුවත් වාර්තා කිරීමේදී, විශේෂයෙන්ම වාර්ගික කණ්ඩායම් කිහිපයක් සම්බන්ධ වන අවස්ථාවලදී ඒකපාර්ශවීයව කරුණු වාර්තා කිරීමත්,
• පුවත සම්බන්ධයෙන් පූර්ව විනිශ්චයක් ලබාදෙන ආකාරයේ හැඳින්වීම් වාර්ගික කණ්ඩායම් සම්බන්ධයෙන් භාවිතා කිරීමත්,
• නිවැරදි මූලාශ්‍ර හෝ බහු මූලාශ්‍ර භාවිතයෙන් කරුණු තහවුරු කර නොගෙන පුවත් වාර්තා කිරීමත්,
• එසේම,  සමාජ මාධ්‍ය සහ අවිධිමත් මූලාශ්‍රවලින් ලැබෙන තොරතුරු පරීක්ෂා නොකර ප්‍රසිද්ධ කිරීමත්,


යන භාවිතාවන්ගෙන් වැළකී සිටීම, වාර්ගික-ආගමික නොසන්සුන්තාවයන්ට උත්ප්‍රේරණයන් වන වාර්තාකරණයන්ගෙන් වැළකීමටත්, ඒ ඔස්සේ සමාජය ගැඹුරට කාවැදුණු වාර්ගික-ආගමික භේදයන් තවදුරටත් පෝෂණය වීමෙන් වළක්වා ගැනීමටත් අත්‍යවශ්‍ය වනු ඇත.

| පැතුම් පුංචිහේවා

 

මූලාශ්‍ර:
https://www.facebook.com/ethicseye
https://www.fmmsrilanka.lk/wp-content/uploads/2019/05/2016-Code-of-Professional-Practice-_Sin.pdf
https://www.editorscode.org.uk/the_code.php
https://www.spj.org/spj-code-of-ethics/
https://www.rtdna.org/content/rtdna_code_of_ethics

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...