The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නඩේසන් හා විනීතා ( අපේ කාලයේ රොමියෝ ජුලියට් )

T

The Leader Desk

October 13, 2022 • 11:12 AM

නඩේසන් හා විනීතා ( අපේ කාලයේ රොමියෝ ජුලියට් )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි.
  • මැයි මාසයේ 17 වෙනිදා ට ආසන්න දිනක දි කටට වෙඩිතබා මරා දමද්දීත් ඇය ඔහුගේ ප්‍රේමය වෙනුවෙන් පෙනී සිටියා ය.
  • මුළු දැනුවත් ජිවිතකාලය පුරාම සිංහලයන්ට විරුද්ධව සටන් වැදුණු වෙලුප්පිල්ලේ ප්‍රභාකරන් නායකයාගේ සතියකට වරක් ඇති වැදගත් කෑම මේසයේ සිංහල ස්ත්‍රියක් සිටිම කෙතරම් අසිරිමත් සිරිතක් ද?
  • (නන්දන වීරරත්න) නිදහස් මාධ්‍යවේදි [BBC සංදේශය හා 'රාවය' සේවයකළ මාධ්‍යවේදීයෙකි] 13/10/2022 උතුරට පි‍යැඹූ දකුනේ කිරිල්ලී ඇය විනීතා සමරසිංහ නම් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි.

2009 මැයි මාසයේ 17 වෙනිදා ට ආසන්න දිනක දි කටට වෙඩිතබා මරා දමද්දීත් ඇය ඔහුගේ ප්‍රේමය වෙනුවෙන් පෙනී සිටියා ය. ඔහු ඇගේ ප්‍රේමය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේ ය. මුළු දැනුවත් ජිවිතකාලය පුරාම සිංහලයන්ට විරුද්ධව සටන් වැදුණු වෙලුප්පිල්ලේ  ප්‍රභාකරන් නායකයාගේ සතියකට වරක් ඇති වැදගත් කෑම මේසයේ සිංහල ස්ත්‍රියක් සිටිම කෙතරම් අසිරිමත් සිරිතක් ද?

ඉදින් විනිතාත් නඩේසනුත් අපට කී ඔවුන්ගේ පෙම් කතාව කෙසේ හෝ මතුපරපුරට ලියා තැබිය යුතු නොවේ ද?


nandana weera(නන්දන වීරරත්න)
නිදහස් මාධ්‍යවේදි
[BBC සංදේශය හා 'රාවය' සේවයකළ මාධ්‍යවේදීයෙකි]

13/10/2022

 



උතුරට පි‍යැඹූ දකුනේ කිරිල්ලී




ඇය විනීතා සමරසිංහ නම් විය. දකුනේ මාතර කඹුරුපිටියේ වැඩිමහල් දරුවා වී ඉපදුනු ඇය, කාන්තා පොලිස් කොස්තාපල්වරියක ලෙස 1980 දී පොලිස් සේවයට එක් විය. ටික දිනකදී නඩේසන් නම් දමිල පොලිස් කොස්තාපල්වරයෙකු ඇයට හමුවිය. සිය ආගම හා ජාතිය ගැන එතරම් නොතැකූ ඔහුගේ සුහදශීලීබව විනීතා ගේ සිත නඩේසන් වෙත ඇදගැනීමට සමත් විය. එය ආදරයක් බවට පෙරලීමට වැඩි කාලයක් ගත නොවූ අතර මාතරට මේ පෙම් පුවත දැන ගැනනීමට ලැබිනි.  

නඩේසන්ගේ ජාතිය විනීතාගේ පියා කෝප කරවූ අතර විනීතාට බැන වදිමින් පියාගේන් ලිපි ලැබෙන්නට විය. එහෙත් සියළු බාධක මැද මේ දෙදෙනා යුග දිවියට පත්වෙනවා. මේ විවාහයේ නඩේසන් පාර්ශවයෙන් සාක්ශිකරුලෙස වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහභාගී වෙනවා. මාතරින් ලැබෙන ඊළඟ ලිපියෙන් තවදුරටත් ඇයව දියණියක ලෙස නොසලකන බවත් ඇය මියගිය බව සලකා දානයක් දුන් බවත් ඇයට දැන ගන්නට ලැබෙනවා. වැඩිමහල් සොහොයුරිය ලෙස සිය මල්ලිලා නංගිලාට අම්මා කෙනෙකු වූ කාලය විනීතාට මතක් වුනත් සිය ආදරණීය සැමියා වෙනුවෙන් ඒ සියල්ල ඈ අමතක කර දමනවා.

කාලය නිහඩව ගෙවී ගියත් 1983 ජූලි කලබල සියල්ල උඩු යටිකුරු කරනවා. කලබල සමයේ නඩේසන් අත් අඩංගුවට පත් වෙනවා. විනීතා ඇඳිරි නීතිය මැද්දේ ඔහු සොයා යනවා. ඇයට දමිලකෙනෙකු හා විවාහ වීම නිසා පොලිසියෙන් පවා ඇයට අහන්නට ලැබෙන්නේ නින්දා සහගත වදන් පමනයි. රිමාන්ඩ් භාරයෙන් නිදහස් වන නඩේසන් හා විනීතා යුවල යාපනයට යාමට තීරණය කරනවා. ඒ අනුව දකුනේ ඉපදුනු මේ කතා නායිකාව යාපනය සිය සැමියා සමග අළුත් ජීවිතයක් ගත කිරීම අරභනවා.

යාපනයට යෑමෙන් පසුව කොමියුන්ස්ට් අදහස් දැරූ නඩේසන් එල්.ටී.ටී.ඊ. සංවිධානය බැදී එහි පොලිස් අංශයට සම්බන්ධ වෙනවා. 1987 වන විට විනිතා දරු දෙදෙනෙකුගේ මවක් බවට පත්වෙනවා. නැවතත් නඩේසන් 1987 දී ඉන්දියානු හමුදාවේ අත් අඩංගුවට පත්වෙනවා. කිසිම නෑයෙක් නැති මේ සිංහල ගැහැනිය තමන් නන්නාදුන පළාතක තනිවෙනවා. එහෙත් ඇයට එල්.ටී.ටී.ඊ.යෙන් රැකවරනය ලැබෙනවා.

වසර එකහමාරකින් පසුව නඩේසන් නිදහස් වෙනවා. වරින් වර සිදුවන යුද ගැටුම් මත ජීවිතය ගත වෙනවා. නැවත 2001  ඇති වන සටන් විරාම ගිවිසුමෙන් පසුව ඇය තම මාතර පවුල යාපනයට ගෙන්වා ගන්නවා. එහිදි තම පියා මිය ගිය බව දැන ගන්නා ඇයට සියා පිය සෙනෙහස සිහිවීමෙන් නෙත කඳුලින් තෙත්වෙනවා.

 

ඉන් පසුව ඇරබෙන, අවසන් යුද්ධ සමයේදී, නඩේසන් තම දරුවන් කැනඩාවට පිටත් කරනවා. ඔහු විනීතාට දරුවන් සමඟ පිටවෙන කියා සිටියත් ඇය සිය සැමියා සමඟ සිටිමට තීරණය කරනවා. 2009 මැයි මස නඩේසන් ඇතුළු අනෙක් නායකයන් හමුදාවට භාර වීමට තීරණය කර පසුවත් විනීතට සාමාන්‍ය මිනිසුන් ලෙස පිටවෙන ලෙස ඉල්ලිමක් කලත් සිය සමඟ ඒ ඉරණම් ගමන යන්නට තීරණය කරනවා. ඒ අනුව කුප්‍රකට සුදු කොඩි සිද්ධියේ දහසකුත් එකක් ගැටලු මැද ජීවත් වූ නඩේසන විනීතා යුවල මිය යනවා.

 

තමිලිනි ජෙයකුමාර් විසින් රචිත අසිපතක සෙවන යට පොතට අනුව , තමිලිනි වාර්තා කරන්නේ නඩේසන්ට. ඒ පොතේ කිසිම තැනක විනිතා ගැන සදහනක් නැහැ. ඒ අනුව විනිතා හුදෙක් බිරිදක්, මවක් මිස දේශපාලන කටයුතු සම්බන්ධ නොවූ බව අනුමාන කල හැක.

මේ ගීතයේ පසු බිම් කතාවයි.

මේ කතාව 2000 දී පමන සඟරාවක පලවෙනවා. ඒ වනවිට වීනිතා හා නඩේසන් යාපනයේ කල් ගෙවනවා. මේ කතාව කියනව ගුණදාස කපුගේ සිය හිතවතා වන රත්න ශ්‍රී විජේසිංහට දුරකතන ඇමතුමක් දී මේ විස්ම ප්‍රේම වෘතාන්තය පවසනවා. ඒ කතාවෙන් පසුව මේ ගීතය බිහි වෙනවා.

ජාති දෙකක් අතර ඇතිවන ආදරයන් ගැන බොහෝ නිර්මාන අපට හමුවෙනවා. සුමිත්‍රා රාහුබද්ධ ගේ සුර ඇසුර නවකතාව, ගාමිනි ෆොන්සේකාගේ සරුංගලය චිත්‍රපටිය අපට හමු වූ නිර්මානය. එම සංකල්පයෙන් ලියැවූ ගීවැනි ගීත ගනනාවක් අපට හමු වෙනවා. ප්‍රේඩී සිල්වාගේ කුන්ඩුමනි, දිවුල්ගනේ ගේ ශාන්තිනි හා පාතිමා , සමන් ජයනාත් ගේ උමා මේ ගීත අතරින් කිහිපයක්. සරුංගලයේ හැර අනික් සෑම අවස්ථාවකදී ම පුරුෂයා සිංහලයෙක් වන අතර අනෙක් ජාතිය ස්ත්‍රිය බවට පත් වී ඇත. එහෙත් රත්න ශ්‍රී ගේ සිංහල සින්දු කියන ගිතය එම සම්ප්‍රදාය බිඳ දමනවා.


සිංහල සින්දු කියන
නළලේ තිලක තියෙන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී


තල් අරඹ යුද ගින්නෙන් ඇවිලෙද්දී මේ සිංහල කිරිල්ල ඉගිළී ආවේ හදවතද සමගයි. 


දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මධුර කටු අතරේ පිපී වැටුනු සුරූ පී


යුවතියකට සිය විවාහ මඟුල ඇත්තේ දහසකුත් එකක් සිහිනය. මල් කළඹ තෝරා ගැනීම මධු සමය ගෙවන ස්ථානය තීරණය කිරීම වැනි දේ ගැන ද ඇත්තේ එවැනි සිහිනය. ඒත් මේ කිරිල්ලීට මල් පොකුරක් ලෙස ලැබුනේ ගිනි මල්ය. සුන්දර මධුසමයට ලැබුනේ කටුය. ඒ සියල්ල වෙන කිසිවක් නිසා නොව කිරිල්ල හුරු නැති බසකින් කවි කී කුරුල්ලාට පෙම් කල පවටය. 


ගිනි අවිත් එක්ක පෙමින් බැදුන විහඟ සෙනඟ අඬා වී
ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියා වී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතා වී


 මේ කිරිල්ල යන්නේ ගිනි අවි වලට පෙම් කරන සේනාවක් ඉන්නා ඉසව්වටය. ඔවුන් දන්නේ ආයුධ ගැන පමනි. ඔවුන් ඇයව පිළිගනීදැයි ඔහුට සැකයක් ඇත. උතුරේ අයටද කදුළු කතාවක් ඇත. ඒ කතාව සිංහලයන්ට කියන්නැයි මේ කුරුල්ලා ඇයැ ද සිටියි.

සීතා රාමා, ගාමිනි චිත්‍රා, රාධා ක්‍රිශ්ණා, රෝමියෝ ජුලියට ප්‍රේම වෘතාන්ත අප ඇති තරම් අසා ඇත. නඩේසන් විනීතා ප්‍රේම කතාවද අප අගය කළයුතු පරමා දර්ශයට ගත යුතු කතාවකි. ඔවුන්ගේ දේශපාලනයට අපට එකඟ විය නොහැක. එහෙත් ඒ ප්‍රේමයට අපට විරුද්ධ විය හැකිද?


( උපුටා ගැනීම - aliyadhakeema.blogspot.com/2017/10/blog-post_18.html )

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...