ක්‍රමයෙන් ඔහු මර්ජුවානා බෙදාහරින්නෙකු ලෙසත් පසුව කොලම්බියාවේ සිට ඇමරිකා එක්සත් ජනපදය දක්වාම කොකේන් බෙදා හැරීමේ ඒකාධිකාරය හිමිකරගන්නා මත්ද්‍රව්‍ය කාර්ටෙල් සියල්ලේම නායකත්වය හිමි කරගෙන අධිකරණය, පොලිසිය සහ දේශපාලනය පාලනය කරන පුද්ගලයකු බවට පත්වීම Netflix හි Narcos Mexico කතා මාලාවේ නිරූපණය වේ.
IMBD දර්ශකයේ 8.4 ක අගයක් මෙම කතා මාලාව හිමිකරගෙන ඇති අතර 2015 වසරේදී විකාශය වූ narcos කතා මාලාව කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය රජා වූ පැබිලෝ එස්කොබා ඇතුළු කල්ලියේ ක්‍රියාකාරකම් පාදක කරගෙන නිෂ්පාදනය කර ඇත.
මෙම මාලා නාටක දෙකටම සත්‍ය සිදුවීම් පදනම් වී ඇති අතර මේ වනවිටත් මිගෙල් එන්ජල් ෆිලික්ස් ඇමෙරිකාවේ අධිආරක්ෂිත සිරගෙදරක වසර හතළිහක සිර දඬුවම් විඳිමින් සිටින්නේ ඇමරිකානු මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියේ නිලධාරියෙකු පැහැරගෙන යෑම සහ ඝාතනය කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා පොලිසිය විසින් විෂමත්ද්‍රව්‍ය මැඩලීම සඳහා යුක්තිය මෙහෙයුම ආරම්භ කරන ලද්දේ 2023.12.16 දින දීය. මාස හයෙන් මත්ද්‍රව්‍ය පාතාලය මැඩලන බවට වහසි බස් දොඩවා ආරම්භ කරන ලද එහි දෙවන අදියරක් ද පසුගියදා ආරම්භ විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් ලිපි තුට්ටු දෙකකට ගණන් ගන්නේ නැති බවද ප්‍රකාශ කල ඇමැතිවරයා නීතිඥ සංගමය සමඟ ද පැටලුනු අතර නීතිඥ සංගමය ඔහු ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද එය ඉටු වූයේ ද නැත.
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම කාලීන අවශ්‍යතාවයකි. නමුත් ආර්ථිකය බිඳවැටී ඇති, තරුණයන්ට අනාගතය නොපෙනෙන රටක නිසි පුනරුත්ථාපන වැඩපිළිවෙලවල් නොමැතිව එය ඉටුකිරීමට අපහසු කාර්යකි. හයිටිය වැනි රටවල මේ වනවිට සිවිල් පරිපාලනය සම්පූර්ණයෙන් බිඳවැටී ඇත.
අතුරුගිරියේ පසුගියදා සිදුවූ ඝාතනයෙන් පසු පොලිසිය සිදු කරන ලද මාධ්‍ය සංදර්ශනය මගින් සමස්ත පොලිස් නිලධාරින්ගේ ම දැනුම ප්‍රදර්ශනය වේ. පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුකරන සැකකරුවන්ගේ පාපෝච්චාරන, හඳුනාගැනීමේ පෙරෙට්ටු පිළිබඳ අපරාධ නීතියේ ඇති ප්‍රතිපාදන සියල්ල අභිබවා මාධ්‍ය සංදර්ශන සහ මැතිවරණ ප්‍රචාර පෙරට පැමිණ ඇත. මෙවැනි තත්ත්වයක් තුළ පාතාලය සහ මත්ද්‍රව්‍ය මැඩලීමද කොටස් වශයෙන් දිව යන මාලා නාටකයක් මෙන් ඉදිරියට ඇදී යනු ඇත.
සටහන :
(නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)
විධායක අධ්‍යක්ෂ
ජාතික මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය
prasadrharischandra@gmail.com



