The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

නීති රංග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

September 9, 2023 • 2:51 AM

 නීති රංග - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නියෝජිතයෙකුගේ මාර්ගයෙන් සංචාරය සංවිධානය වුණු නිසා ඊජිප්තුවේ දින දහයක් පමණ කෙරුණු සංචාරයේ දී මුළු කන්ඩායම ම සිටියේ ගමන් බිමන් ගියේ එකට ය.
  • වෛද්‍ය, ව්‍යාපාරික, පරිපාලන, නීතීඥ, ලේඛක වැනි විවිධ වෘත්තික පසුබිම් නියෝජනය කළ මේ කණ්ඩායමේ පිරිස දින කිහිපයකින් ඉතා සමීප මිතුරන් බවට පත් විය.
  • කළුතර නගරයේ තම නීති ප්‍රැක්ටිසය පවත්වාගෙන ගිය රවී වඩා ප්‍රසිද්ධ වුයේ 80 දශකයේ සමන් කුමාර (මතුගම ප්‍රදේශයේ දරුවෙකු කප්පම් ලබාගනු පිණිස පැහර ගෙන ගොස් මරා දැමුණු) නඩුව නිසා ය.
  • පසු කලෙක ය මට දැනගන්නට ලැබුණේ රවී නීතීඥ වෘත්තියේ යෙදෙන්නන්ගේ කලාත්මක කුසලතා ඉදිරිපත් කැරෙන 'නීති රංග' වැඩසටහනේ ක්‍රියාකාරී ඉදිරිපත් කරන්නෙකු බව.
අකුරු ප්‍රමාණය (Font Size):

නියෝජිතයෙකුගේ මාර්ගයෙන් සංචාරය සංවිධානය වුණු නිසා ඊජිප්තුවේ දින දහයක් පමණ කෙරුණු සංචාරයේ දී මුළු කන්ඩායම ම සිටියේ ගමන් බිමන් ගියේ එකට ය.  

වෛද්‍ය, ව්‍යාපාරික, පරිපාලන, නීතීඥ, ලේඛක වැනි විවිධ වෘත්තික පසුබිම් නියෝජනය කළ මේ කණ්ඩායමේ පිරිස දින කිහිපයකින් ඉතා සමීප මිතුරන් බවට පත් විය. මේ සමීපත්වය වඩාත් තීව්ර කළේ අප ඇලෙක්සැන්ද්‍රියාවේ සිට කයිරෝ දක්වා දුම්රියකින් එන අතර තුර ය. පැය දහයක් පමණ කාලයක් ගමනට ගත වුණු අතර අප කන්ඩායමට කෝච්චි පෙට්ටියක් වෙන් කර තිබිණ. ස්ලීපරට් පහසුකම් තිබු නිසා රෑ නිදා ගන්නට පෙර අප කළේ හොඳට නින්ද යනු පිණිස පොඩි අඩියක් ගැසීම ය. දුම්රිය පැද්දෙන රිද්මයට අඩිය දෙක දැමුණ අතර සුපුරුදු ලාංකික ගතිය පොළා පැන අනතුරු ව සංගීත සාජ්ජයක් ද දැමිණ.  

Ravi 2023.099                    රවී දොමින්ගෝ

මෙහිදී වඩාත් ම සජීවී සංගීත අයිතමය ඉදිරිපත් කළේ රවී දොමින්ගෝ නම් නීතීඥයෙකි. කළුතර නගරයේ තම නීති  ප්‍රැක්ටිසය පවත්වාගෙන ගිය රවී වඩා ප්‍රසිද්ධ වුයේ 80 දශකයේ සමන් කුමාර (මතුගම ප්‍රදේශයේ දරුවෙකු කප්පම් ලබාගනු පිණිස පැහර ගෙන ගොස් මරා දැමුණු) නඩුව නිසා ය. ඉතා ප්‍රසන්න පුද්ගලයෙකු වූ රවී කළේ මනමේ හා සිංහබාහු නාට්‍ය ද්වයේ ගීතාවලියක් කොච්චි පෙට්ටියේ එක කොනක සිට තවත් කොනක් දක්වා රිද්මයානුකුල ව රඟමින් ගායනා කිරීම ය. රවීගේ මේ සුවිශේෂ ඉදිරිපත් කිරීම අපට කෙදිනකවත් අමතක නොවේ.  

පසු කලෙක ය මට දැනගන්නට ලැබුණේ රවී නීතීඥ වෘත්තියේ යෙදෙන්නන්ගේ කලාත්මක කුසලතා ඉදිරිපත් කැරෙන 'නීති රංග' වැඩසටහනේ ක්‍රියාකාරී ඉදිරිපත් කරන්නෙකු බව. 'නීති රංග' වැඩ සටහනේ සංකල්පය ගොඩ නැගුණේ අප නීති විද්‍යාලයේ සිටින කාලයේ ය. 1992 දී පමණ, එකල ප්‍රකට සිවිල් නඩුකර කරන නීතීඥයෙකු  වූ මාහින්කන්ද මහතා 'නීති රංග' සංකල්පයේ පියා ලෙස සැළකේ. . 1993-1994 කාලයේ 'නීති රංග' වැඩසටහන වඩා ප්‍රවර්ධනය කළේ ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය ය. එච්.ආර් ජෝතිපාල මහතාගේ මස්සිනා වූ වර්ණකුලසුරිය මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම වර්ණවත් පුද්ගලයෙකි.

 

unnamed file                                             ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසුරිය
1989 වැනි අභියෝගාත්මක කාලයක ඔහු නීතීඥ සංගමයේ ලේකම් ව සිටි බව මතක ය. ඉන් පසු ව බොහෝ කාලයක් 'නීති රංග' පිටුපස සිටියේ ඩග්ලස් සිරිවර්ධන මහතා ය. ටවර් හෝල් පදනමේ සභාපති ව ද සිටි සිරිවර්ධන මහතා 'නීති රංග' බොහෝ කලක් සංවිධානය කරන්නන් අතර නායකත්වය ගති. අප බැචයේ සිටි සගයන්ගෙන් ප්‍රදීප් ජයතිලක (දැන් මහාධිකරණ විනිසුරු), ප්‍රසාද් සුරිය ආරච්චි (ප්‍රවීණ නළු) හා සුගත් හඳුන්ගේ (එකල නම් පානදුර උසාවියේ වැඩ කල)  'නීති රංග' හි මනරම් කලාත්මක අයිතම කලක් තිස්සේ  ඉදිරිපත් කළා මතක ය. වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදිනි වික්‍රමසිංහ මැතිණිය ද එකල ක්‍රියාකාරී 'නීති රංග' ඉදිරිපත් කරන්නියකි. කලක් නීතිපති ව සිටි සුනිල් ද සිල්වා ද එසේ ම ය.

නීති ප්‍රජාවේ නිත්‍ය 'බයිටයක්' වන්නේ සමහර සාමාජිකන් නීති වෘත්තියට වඩා සාර්ථක 'නීති රංග' කරුවන් හා කාරියන් වීම ය. ජාජබයේ ජ්වලිත ක්‍රියාකාරිණියක වන නීතීඥ කතකට මෙවැනි බයිටාත්මක නමක් 'පටබැඳුණේ', ඕ ප්‍රැක්ටිසයට වඩා කෙරුවේ 'නීති රංග' යේ ගී ගැයුම නිසා බව කියැවේ.      

68356301 729182024196872 626133393406427136 n                                                           ඩග්ලස් සිරිවර්ධන

කොරෝනා වසංගතය නිසාවෙන් බොහෝ පොදු සාමාජීය ඉවෙන්ටු වසර කිහිපයක් ම පවත්වන්නට නොහැකි වූ අතර 'නීති රංග' ප්‍රසංගයට ද අත් වුණේ ඒ ඉරණම ම ය . අවුරුදු තුන හතරක් යමක් කරන්ට මග හැරුණ විට එහි මොමෙන්ටමය හෙවත් ගම්‍යතාවය නැවත උත්ථානය කෙරුම ලෙහෙසි පහසු නොවේ. එහෙත් 'නීති රංග' ප්‍රසංගය නැවත වරක් කරලියට ගෙන එන බව පසු ගිය සතියේ මට පසක් විය. මෙවර 'නීති රංග' කැරෙන්නේ කලා කරලියේ නොව දේශපාලන කරලියේ බව වීම නවතාවයකි.

කොරෝනා වසංගතයෙන් පසු ලෝකයේ බොහෝ දේ කරනාකාරය වෙනස් වූ බව සැබැවි. 'නීති රංග' ටත් වෙන්න ඇත්තේ එය ය. 'නීති රංග' නව නිෂ්පාදනයේ පෙරහුරුවක් හෙවත් රිහර්සලයක් පැවැත්වුයේ පසුගිය 29 දින ය. රිහර්සලය පැවැත්වූයේ ප්‍රෙස් කොන්පරන්සයක් විලසිනි. එහි 'නීති රංග' නව නිෂ්පාදනයේ විවිධ අයිතම වන දේශපාලන ගීත, නැටුම්, අභිනය, වාදන හා කෙටි නාට්‍ය හී කුසලතා පෑමට නියමිත පිරිසක් පේලි දෙකකට හිඳ ගත්තේ, ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ධුරාවලියට ගරු කරමිණි. මෙහි ක්‍රියාකාරී භුමිකාවක කළ නීතීඥ මහතා පුරෝගාමී වාමාංශික පක්ෂයක චිරාත් කාලයක සිටි අයෙකු වූ අතර ඔහුට අවසානයේ පාර්ලිමේන්තු වරම් ලැබුණේ ධනේශ්වර රනිල කුලයේ ටිකැට්ටුවැකිණි. දැන් ඒ මහතා රනිලාපුල ස්ථාවරයක ඇති බව බැලූබැල්මට පෙණේ. සෙසු අය ද විවිධ සෘතිවලින් රනිලාපුල ගී ගයන්නන් බව පෙණේ.

24312379 1674740849214148 4325183300121088717 n

මේ දෙස බලා සිටින මට සිහි වුණේ මෑත කාලීන ඉතිහාසය පුරා ද මෙවැනි 'නීති රංග' සම්ප්‍රදායනුකුල ව්‍යුහ තුලත් ඉන් පිටතත් යම් යම් අභියෝගාත්මක දේශපාලන යථාර්ත්යන් හමුවේ නීතීඥ ප්‍රජාව රංග දැක් වූ බව ය. මට මුලින් ම සිහියට නැගුණේ එකල මගේ ජ්‍යෙෂ්ඨයා වූ ජනාධිපති නීතීඥ එච්. එල් ද සිල්වා නීතීඥ සංගමයේ නායකත්වය, එනම් සභාපතිත්වය 1987-1989 කාලයේ භාර ගැනීම ය. ආණ්ඩුවට අනුබද්ධිත කල්ලි කළ ඝාතන හා පවත්වාගෙන ගිය වධකාගාර හා දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය ලෙස හැඳින්වුණු ජවිපෙ සන්නද්ධ අංශයෙන් කළ ඝාතන හා පවත්වාගෙන ගිය කැන්ගරු උසාවි නීතිය වල්වද්දවන තත්ත්වයකට ගෙන ආවේ ය.

නීතීඥ ප්‍රජාව හමුවේ එකල අභියෝගය වූයේ කලා කුසලතා උරගා බැලුම නොව නීතිය රට තුල ප්‍රතිස්ථාපනය කිරීම ය. එච්. එල් ඇතුළු නීතීඥ සංගමය කළේ මේ 'නීති රංග'ය ය. යම් ආකාරයකට මේ කාර්යය ම 1993-95 කාලයේ නීතීඥ සංගමයේ සභාපතිත්වය දැරූ ඩී.ඩබ් අබේකෝන් මහතා විසින් කළේ අවුරුදු 17 ක එජාප ආණ්ඩුවකින් පසු වෙනත් ආණ්ඩුවකට බලය මාරුවන සංක්‍රාන්ති ම ය සමයක ය. මේ අවස්ථා දෙකේ ම එකල බලයේ සිටි ආණ්ඩුවලට ගැති නොවන ස්ථාවරයක් නීතීඥ සංගමය පවත්වාගෙන ගියේ ය.

law offices kandy T

 සිරකරුවෝ මනුෂ්‍යයෝ කියන්න මෙන් නීතීඥයෝ ද උපාසකයෝ නොවෙත්. නීතීඥයින්ට ද දේශපාලන මත දරනට අයිතිය ඇති අතර, සමහර කාල වකවානුවල නීතීඥ සංගම් නායකත්වය දේශපාලනික ව ඇල්මැරුණු පතෝල ම ය ස්ථාවර දරන අතර (මෙය පවතින ආණ්ඩුවට යම් ආකාරයක වාසියක් ද වේ) තවත් අවස්ථාවල පවතින ආණ්ඩුවට අමු අමුවේ සහයෝගය දක්වන අවස්ථා ද ඉතිහාසය පුරා නිරීක්ෂණය කළ හැක. අවාසනාවකට දෙවැනි අවස්ථාව නිර්මාණය වෙන්නේ අදාළ පක්ෂ විසින් නීතීඥ සංගම් නායකත්වය ප්‍රවර්ධනය කිරීමේ තත්ත්වය තුලයි. මේ තත්ත්වය තුල නීතීඥ සංගම් නිලවරණය ආණ්ඩු හා ආණ්ඩු විරෝධී ලෙස ඌණනය වී සමාජිකත්වය අනවශ්‍ය ලෙස දෙපිලකට බෙදේ. මෙය වීදුරු කාමරයක් තුල කරන ඇඳුම් මාරු කිරීමක් වන අතර මහා ජනතාව හමුවේ නීතීඥ ප්‍රජාවේ පුළුල් සමාජ ම ය වගකීම දරුණු ලෙස සෝදා පාළුවකට ලක් වේ.

 
යම් වෘත්තික කණ්ඩායමක් ආණ්ඩුවට කත් ඇදීම ජනතාව අතරේ තම විශ්වාසනිත්වය කඩතොළු කර ගැණුම මෙන් ම පටු හා කෙටි කාලීන දේශපාලන අරමුණු සහිත පක්ෂ හා බලවේගවල කද අදිනට තම උරහිස දුනහොත් එය ද ජනතාව පිළිකෙව් කරණු ඇත. යට කී ප්‍රෙස් කොන්පරන්සියෙන් අප හමුවට ආ නව නීතීඥ පෙළ ගැස්ම ඉදිරියේ ඇති අභියෝගය වන්නේ තමන්ගේ අභිප්‍රාය වන්නේ යට කී පුළුල් සමාජ වගකීමේ භූමිකාව ඉටු කිරීම පමණක් ම බව සමාජයට ඒත්තු ගැන්වීම ය.

Udan fernando(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

udanfer2014@gmail.com


(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 

 

Anida

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...