නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මෙසේ පැවසුවේ, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි බ්‍රිතාන්‍ය ආයෝජකයෙකු සතු Next නිෂ්පාදන සමාගම හිටි අඩියේ වසා දැමීමට එරෙහිවය.
කිසිදු පෙර දැනුම් දීමකින් තොරව 2,825 ක් කම්කරුවන් අතරින් 1416 දෙනෙකු රැකියාවලින් දොට්ට දමමින් මැයි 19 වැනිදා සවස සේවා මුරය අවසන් වීමෙන් අනතුරුව කම්හල වසා දැමිණි.
ජාත්‍යන්තර ළමා ඇඳුම් නිෂ්පාදන වෙළඳ පොලේ ප්‍රකට සන්නාමයක් වූ Next බලධාරීන් සිය ඇණවුම් ඉලක්ක සපුරා ගත් පසු, නේවාසික ස්ථාන වෙත ගිය කම්කරුවන්ට ආයතනය වසා දමන බවට දන්වා ඇත්තේ වට්සැප් පණිවිඩයක් මගිනි.

කටුනායක Next කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම, වසර කිහිපයක් තිස්සේ ලාභ නොලැබීම,ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කරන්නට අපොහොසත් වීම මෙන්ම එසේ වෙනසක් වේ යැයි කිසිදු අපේක්ෂාවක් නොමැති වීම හේතුවෙන් වසා දැමීමේ තීරණයට එළඹී බව Next සමාගම නිවේදනය කර ඇත.
සමාගමේ නිෂ්පාදන අධ්‍යක්‍ෂ ඩේවිඩ් රේ පවසන්නේ සේවය අහිමි වන කම්කරුවන්ට නීතිමය වශයෙන් ලැබිය යුතු හිමිකම් වලට අමතරව මාස දෙකක වැටුපක් වන්දි ලෙස ලබා දෙන බවය. ඒ උපරිම වන්දි ගෙවීම රුපියල් මිලියන 2.5 ක සීමාව යටතේය.
''සාමුහික ගිවිසුම බිඳ දැම්මා''
හදිසියේ වසා දැමුණු මෙම කර්මාන්ත ශාලාවේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය වනුයේ නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය. Next පාලකයන් හා වෘත්තීය සමිතිය අතර කලක සිට සාමුහික ගිවිසුමක් ද ක්‍රියාත්මකය.
''මේ ක්‍රියාව සාමුහික ගිවිසුම අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. අඩුම ගානේ මේ තීන්දුව ගන්න කොට කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිය එක්ක කතා කරන්න ඕනේ. අනෙත් කරුණ නිදහස් වෙළඳ කලාප ඇති කළේ ආයෝජකයන්ට පහසුවට, දැන් ඒවායේ කර්මාන්ත කරන එක පාඩුයිලු. Next එකේ තවත් ෆැක්ටරි දෙකක් තියෙනවා ආඬිගම හා නවගත්තේගම ඒවා මෙයාලට ලාබයි. මොකද ඒවා ගම් ඒවායේ කම්කරුවන්ට කිසිම පහසුකමක් දෙන්නේ නැහැ.''

වෘත්තීය සමිති නායක ඇන්ටන් මාකස්ට අනුව එම කම්හල් දෙකෙහි වෘත්තීය සමිති තුල සංවිධානය වීම ද සමාගම් පාලකයන් විසින් අවහිර කර ඇත. මෙහිදී නිෂ්පාදන වියදම අඩු වන්නේ උදෑසන හා දිවා ආහාර ලබා නොදීම, ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුළු සෙසු පහසුකම් අවම තත්වයේ පවතින නිසාය. මෙසේ කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කරන කර්මාන්ත හිමියෝ නොයෙකුත් සුබසාධන වැඩසටහන් ඔස්සේ ගම්වැසියන්ගේ ප්‍රසාදය දිනා ගනිති.
නමුත් කටුනායක වැනි නිදහස් වෙළඳ කලාප වල දී මෙම තත්වය වෙනස්ය. එහි කම්කරුවන්ට ආහාර, ප්‍රවාහන පහසුකම් හා අනෙකුත් දීමනා දිය යුතුය. ඒ ඔවුන් කෙසේ හෝ වෘත්තීය සමිතියක් තුල සංවිධානය වී සිටීම නිසාය.
''Next සමාගම කියන විදිහට වෙළඳ කළාප වල කර්මාන්ත කරන එක අලාභයි නම්, ආණ්ඩුව ඒ ගැන බරපතල විදහට සලකන්න ඕනේ. කම්කරු ඇමැති මැදිහත් වෙලා හාම්පුතුන් හා කම්කරුවන් කියන දෙපාර්ශවය කැඳවලා කතා කරන්න ඕනෑ.'' ආයතනයේ කම්කරුවන්ගේ අත්සනින් යුතු ලිපියක් මගින් කම්කරු ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්ඩො ගෙන් ඉල්ලා ඇත්තේ 1416 කගේ රැකියා අහිමිවීමේ ගැටලුවට මැදහත් වන ලෙස යැයි ද ඇන්ටන් මාකස් අවධාරණය කළේය.

'මාක්ස් ස්පෙන්සර්', 'වික්ටෝරියා සික්‍රට්ස්' වැනි ජාත්‍යන්තර සන්නාම බෙදාහැරීමේ නිරත එක්සත් රාජධානිය කේන්ද්‍ර කර ගත් Next සමාගමේ මෙම අකාරුණික තීරණයට එරෙහිව එරට වෘත්තීය සමිති පවා විරෝධය පා ඇත. ඉන්ඩස්ට්‍රී ඕල් ජාත්‍යන්තර වෘත්තීය සමිතිය ද ලාංකික Next කම්කරුවන්ගේ සාධාරණත්වය වෙනුවෙන් මැදිහත් වෙමින් සිටී.
''Next සමුහයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ සයිමන් ෆිෂ් ඇවිල්ලා අපිට හමුවෙන්න කිව්වා. ඒත් අපේ වෘත්තීය සමිති ශාඛාවේ කමිටුව හමුවෙන්න කැමති වුනේ නැහැ. කොහොම හරි අන්තිමේදී අපේ සංගමයේ සභාපතිනිය හා පරිපාලන නිලධාරියාත් එක්ක ගිහින් සයිමන් එක්ක කතා කළා. කර්මාන්ත ශාලාව පාඩු නිසා වසා දමනවා කිව්වා. අනිත් කම්හල් පවත්වා ගෙන යන්න පුලුවන්නම් ඇයි මේක වහන්නේ කියල අපේ විරෝධය දැක්වුවා. සාමුහික ගිවිසුම අනුව මේ වගේ දේවල් වෘත්තීය සමිතිය එක්ක කතා කරන්න ඕනේ. ඒ හින්දා වසා දැමීමේ තීන්දුව අත්හිටුවන්න කියලා අපි කිව්වා.'' ඇන්ටන් මාකස් පවසන්නේ එම සාකච්ජාවෙන් අනතුරුව කම්කරුවන්ට වට්සැප් පණිවිඩ මගින් දන්වා ඇත්තේ කම්හල වසා දමන බවය.
''හෙට ඉඳලා ජිවත්වෙන්නේ කොහොමද ''
''පොතේ සන්තකයටම තිබුණේ රුපියල් හාරදාහයි. අනිද්දා ඇඩ්වාන්ස් දෙන නිසා අද ඒකෙන් දෙදහස් පන්සීයක් අරන් බඩු ටිකක් ගෙනාවා. හෙට උදේට දරුවන්ට උයලා තියලා යන්න කුකුල් මස් 250කුත් ගෙනාවා. අද ඇඩ්වාන්ස් ෆෝම් හිටං පිරෙව්වා. ඉතින් කොහොමද අපි හිතා ගන්නේ හෙට ඉඳලා ජීවත් වෙන්නේ කොහොමද .රස්සාව නෑ කියලා හිතන්නේ කොහොමද දරුවෝ දෙන්න ජීවත් කරන්නේ කොහොමද මම තනියම ජීවත් වෙන අම්මා කෙනෙක් මට යන්න එන්න තැනක් නෑ. හෙට ඉඳලා කොහොමද ජීවිතේට මුණ දෙන්නෙ කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ. අපි ඔච්චර ආදරේ කරපු ආයතනය ඇයි අපිට මේ වගේ කුරිරු අසාධාරණකමක් කරේ ආයතනයට අපි වැරැද්දක් කළේ නැහැ. උදේ වැඩට ගියාම රාත්‍රියට වැඩ ඉවර කරනකම්ම වහලියෝ වගේ වැඩ කළා. අඩුම තරමේ අපිට කලින් දැනුම් දීලා වත් තිබ්බනම් මෙහෙම ආයතනය වහනවා කියලා අපි කොහෙන් හරි රැකියාවක් හොයාගන්නවා. එහෙමවත් කළේ නැත්තේ අපි එක්ක තියෙන මොන තරහකටද? ආයතනය මෙහෙම කළේ. මේක නම් හරිම අසාධාරණකමක්.''

කම්හල් හිමියන්ගේ අකාරුණික හදිසි පණිවුඩයත් සමගින් දැඩි ලෙස අප හසුතාවයට පත් එක් කම්කරු ස්ත්‍රියක් හැඬූ කඳුළින් කියු කතාවක් මෙසේ සිය `ෆේස්බුක්` ගිණුමේ සටහන් කර තිබුනේ, වෙළඳ කලාප කම්කරුවන්ගේ වෘත්තීය හා සුබසාධනය වෙනුවෙන් මැදිහත් වන RED සංවිධානයේ චන්ද්‍රා දේවනාරායන විසිනි.
කර්මාන්ත ශාලාව වසා දැමුනේ වෘත්තීය සමිතියේ කඩාකප්පල්කාරී ක්‍රියා මාර්ග නිසා යැයි දේශීය කළමනාකාරිත්වය විසින් ගෙන යමින් තිබු සාවද්‍ය ප්‍රචාරය ගැන සමිති නියෝජිතයන් කළ විමසීමේදී, වෘත්තීය සමිතියේ බලපෑමක් ආයතනය වසා දැමීමට හේතු නොවූ බව Next සමුහයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ සයිමන් ෆිෂ් පවසා තිබේ.
රැකියා අහිමිවූවන් වෙනුවෙන් යෝජනා කරන වන්දි පැකේජයට කැමති කම්කරුවන්ට එළඹෙන ජුනි 15 වන විට එය ගෙවන බවට තවත් වට්සැප් පණිවිඩයක් මගින් දැනුම් දී ඇත්තේ එය බාර නොගන්නේ නම් ජුනි 26 වැනිදා සිට අවලංගු වන බවද සඳහන් කරමින්ය.
කම්කරු කොමසාරිස්ට දැනුම් දීමකින් තොරව සේවය අවසන් කිරීමට සමාගම ගත් තීරණයට එරෙහිව කම්කරුවන් විසින් කොමසාරිස්ට ලිඛිතව දැනුම් දීමට නියමිතය. ඒ කෙරෙහි කුපිතව සිටින Next පාලකයෝ කම්කරුවන්ට අනියමින් තර්ජනය කරමින් සිටිති. වෘත්තීය සමිති නායක මාක්ස් පවසන්නේ නීතියෙන් හිමි දීමනාවක් හැරුණු කොට සෙසු හිමිකම් කප්පාදු කරමින්, ඒවා අවශ්‍ය නම්, සේවයෙන් ඉල්ලා අස්වූ බවට ලිපි ලබා දෙන මෙන් කම්කරුවන්ගෙන් ඉල්ලා ඇති බවය.
ට්‍රම්ප්ගේ තීරු බදු- අපේ ඇඟළුම්
ඉකුත් සිංහල -හින්දු අළුත් අවුරුදු සමයේ වෝග් ටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා ජාලයට අයත් වැලිගම සහ ගෝනාපීනුවල කම්හල් කම්කරුවනට අලුත් අවුරුදු උත්සව දීමනා ලබා දිය නොහැකි බව පාලකයන් විසින් ක්ෂණික දැනුම් දෙනු ලැබිය. ඇමෙරිකානු තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත්වූවා පමණි එය දඩමීමා කරගනිමින් කම්කරුවන්ට බෝනස් ලබා දීම පැහැර හරින්නට කළමනාකාරිත්වය උත්සහාකළේය.

සියලු වැඩ අත්හළ වැලිගම කම්හලේ කම්කරුවෝ, කලමනාකාරිත්ව කාර්යාලය වැටලුහ. මෙවර බෝනස් ගෙවන්නේ, ඉකුත් වසරේ උපයාගත් ලාභ වලින් බැවින්, බෝනස් නොගෙවීම සාධාරනීකරනය කිරීමට නව තීරුබදු ගෙනහැර පෑම, “අසාධාරන” බවට ඔවුහු විරෝධතා දැක්වූහ.
කලමනාකාරිත්වය එය මැඩීමට පොලීසිය ගෙන්වූ නමුත්, පසු දා පහන්වන තෙක් එම විරෝධතා පැවැත්විණි. පසුව එකඟතාවකට පැමිණියේ මාසික වැටුප බෝනස් ලෙස ලබා දීමටය. වෝග් ටෙක්ස් ඇඟළුම් සමුහයට අයත් කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාව දැනටමත් වසා දමා හමාරය.
80 දශකයේ වෘත්තීය සටන් ඉතිහාසයකට හිමිකම් කියන පොලිටෙක්ස් කර්මාන්ත ශාලාව පසුව එස්කුවෙල් ලෙස නාමකරණය විය. 2022 වසරේ මැයි මාසයේදී කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ වූ එස්කුවෙල් කම්හල වසා දැමුනේ කම්කරුවන්ට සිය රැකියා අහිමිකරමින්ය. ඒකල සහ කෑගල්ල පිහිටි එස්කුවෙල් කම්හල් ද වසා දැමුනේ එම වසරේදීමය.

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ අවුරා කම්හල එම වසරේම ජුනි මාසයේදී වසා දමන විට කම්කරුවෝ 300 කට පමණ රැකියා අහිමි වුහ.
කොග්ගල නිදහස් වෙළඳ කලාපයේත්, බෙලිඅත්ත සහ සිටිනාමලුව කාර්මික උද්‍යානයේ පවත්වාගෙන ගිය ට්‍රෙන්ඩ් සෙටර්ස් කම්හල් තුනම 2022 සැප්තැම්බර් මාසයේ වසා දැමීමෙන් රැකියා අහිමි වූ කම්කරුවන් 1500 කට වැඩිය. කර්මාන්ත ශාලා වසා දැමීම තාවකාලික පියවරක් බවත්, ඇනවුම් ලැබුන වහාම යලි විවෘත කරන බවත් කම්කරුවන්ට දැනුම් දී තිබිණි.
එහෙත් සමාගමෙහි අධ්‍යක්ෂ ජෝසන් චොකාටේ, 2022 ඔක්තෝබර් 01 දිනැති ලිපියකින් කම්කරුවන් ට දැනුම් දී ඇත්තේ, බලාපොරොත්තු වූ පරිදි ඇනවුම් නොලැබීම නිසා , සමාගම සතු කර්මාන්තශාලාවන් සහ ප්‍රධාන කාර්යාලය ඔක්තෝබර් 31 සිට ස්ථිරව වසා දමන බවය.
'කොන්ටිනන්ටල් ඇපරල්' නමින් 1983 දී ගාල්ල,නුගදුවේ දී ඇරඹි 2005 දී කොග්ගල නිදහස් වෙළඳ කලාපය තුල කොග්ගල ගාමන්ට්ස් නමින් යලි ස්ථාපනය කරනු ලැබු ඇඟලුම් කම්හල 2023 ජූනි 13 ක්ෂණිකව වසා දැමුනේ කම්කරුවන් අතරින් උද්ඝෝෂනයක් මතු වීමට ඉඩ නොතබාය.

කම්හල් හිමියන් පවසා සිටියේ කම්හල් වසා දැමීමට හේතුව ඇනවුම් නොලැබීම බවය. කම්කරුවන් 300ට රැකියා අහිමි කළ මෙය පිරිමි, කාන්තා හා ලමා ඇඳුම් නිෂ්පාදනය කර අපනයනය කල ඇඟලුම් සමාගමකි.
කම්කරුවන්ට රැකියා අහිමිකරමින් වසා දැමුණු කම්හල් සංඛ්‍යාව බොහෝය, ඒ අතරින් මෙහි සටහන් වන්නේ මෑත කාලින වාර්තා වුනු සිදුවීම් කිහිපයකි. ලාභ මිනිස් ශ්‍රමය සොයා ඇදෙන කර්මාන්ත හිමිකරුවන් විසින් ඉදිරියේදී තවත් කම්හල් බොහොමයක් වසා දැමෙනු ඇත. කම්කරුවන්ගේ අයිතීන් තව තවත් කප්පාදු කරනු ඇත. Next පාලකයන් නොකියා කියන්නේ ඒ කතාවය. ආඬිගම හා නවගත්තේගම කර්මාන්ත ශාලා වල මෙන්, කටුනායක ද නිෂ්පාදන පිරිවැය අඩුනම්, වෘත්තීය සමිති නැත්නම් ඔවුන්ට කම් නැත.
(සටහන | ඉෂංඛා සිංහආරච්චි)
නිදහස් මාධ්‍යවේදිනි
ishanka.singhe@gmail.com
[මෙම ලිපිය 'අනිද්දා' සතිඅන්ත පුවත් පතේ පළ වුවකි]
වැඩිදුරටත් විස්තර සඳහා මෙම ලිපියත් කියවන්න
සේවකයන් 1400කට රැකියා අහිමි කරමින් කටුනායක ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දමයි



