මගේ රූප ලාවන්‍ය කට්ටලයත්, එම දින කිහිපය තුළ මා කියවමින් සිටි ප්‍රියතම පොතකුත් ලහි ලහියේ ගමන් මල්ලෙහි ඔබා නිවෙස් හැර යන්නන් අතරට එක් වීමි. ඒ මීට දස මසකට එපිට දී බව සිහියට එයි.
එදින සිට, එල්ල වූ සෑම ඊශ්‍රායල ප්‍රහාරයක කෙළවර ඉසිඹුවක් ලද විගස, මා පලා එනවිට රැගෙන ආ ඇතැම් සිහිවටන දෙස බලමින්, ඒ සොඳුරු නිවස පිළබඳ සැනසුම් මතකයන් අවදි කළෙමි. එහි මතක සුසුම්, හැකි ඉක්මනින් ඒ සොඳුරු නිවෙස වෙත යාමේ මගේ සිහිනය යළි යළිත් අවදි කළේය.
එහෙත්, පලා ඒමෙන් දස මසක් අවෑමෙන්, එසේ එනවිට වෙසෙසින් රැගෙන ආ කිසිවක් තව දුරටත් මා හට අනවශ්‍ය බව දැන්, දැන් වැටහේ.
එදා නිවෙස් හැර පලා ආ තැන් සිට, මෙතරම් කලක් අවතැන්ව, සරණාගතව සිටීම ට වේ යැයි අපි කිසිවකුත් නොසිතීමු.
"අපි හිතුවෙම මේ යුද්ධය අනිත් හැම දේම වගේ වෙයි කියලා. ඊශ්‍රායල හමුදාවට තමන්ගේ තරහා පිට කරන්න සතියක්, සමහරවිට මාසයක් දෙකක් ගත වෙයි කියලා. ඉන් පසු යළිත් ජීවිතය පෙර සේම පටන් ගන්න ලැබෙයි කියල," මගේ සිත මට ම කතා කරයි.
මා පවුලේ ආදරණීයයන් සහ අසල්වාසීන්ද සමග නිවෙස් හැර පලාවිත් දැන්, දස මසකට වැඩි ය. මීට පෙර, මෙතරම් කලක් මා එසේ නොසිටි නිසාම, ඒ සොඳුරු නිවෙස පිළිබඳ මතකය, අන් කවර දාකවත් නොමැති සේ සිත පාරයි. යළි කවදා, එහි කොන්ක්‍රීට් වහල මත හිඳ මගේ ප්‍රියතම පොතක් කියවීම ට හෝ මගේ සයනයේ සුවබර නින්දක පහස ලබන්නට හැකි වේදැයි මම නොදනිමි. දැන් නම්, මගේ නිවස හඳුනාගත නොහැකි සේ විනාශ වී ඇති බවට නොඅනුමානය. එවන් නිවෙසක් මට යළි කෙදිනක ලැබේ දැයි ද නොදනිමි.
උපන්දා සිට
මා උපන්නේ 2002 වසරේය. උපන් දා සිට මා හැදී වැඩුණේ ගාසා නගරයේ ය. දැන් මගේ වයස අවුරුදු 21කි. ඉන් වසර 17ක්ම ඊශ්‍රායල හමුදා අණසක යටතේ ජීවත් වන්නට සිදු විය. මාගේ මතකයේ පරිදි, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර පහකින්වත් මා යන්තමින් හෝ දිවි ගලවාගෙන ඇත්තෙමි. හෙත්, ඒ කිසිවක් අද මෙහි දක්නට ඇති ජන සංහාරයක දිග - පළල හා නොපෑහේ.
මේ ගෙවී යන්නේ, ගාසා තීරයේ අප කවුරුත් මෙතෙක් අත්නොවිඳි කුරිරුතම, වේදනාකාරීම සහ ඒ සියල්ල සාමූහිකව ගත් කල උපදින භීෂණයේ අති යථාර්ථවාදීම කාල පරිච්ඡේදයයි.
ගතවූ දස මසකට වැඩි කාලය තුළ, උදා වන සෑම දිනකම මම මැරි මැරී උපදිමි. සෑම විටම බෝම්බයක්, වෙඩි උණ්ඩයක්, ෂෙල් වෙඩිල්ලක් යනු, භීතියේ සලකුණකි. දැයේ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යද්දී, මේ අපා දිවිය අවසන් කිරීමේ ඊනියා මැදහත් සටන් විරාම සාකච්ඡාවලින් අපි තව දුරටත් හෙම්බත්ව සිටිමු.
ඊශ්‍රායලය විසින් මේ වන විට, ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීනුවන් 40,005ක් ඝාතනය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. එහෙත්, එම මරණ සංඛ්‍යාව සැබවින්ම 186,000 ට ආසන්න විය හැකි බව "ද ලැන්සෙට්" වෛද්‍ය සඟරාව පවසයි.
ගිනිය නොහැකි තරමේ සිරුරු විශාල සංඛ්‍යාවක් තවමත් බෝම්බ හෙළා විනාශ කරන ලද ගොඩනැගිලි යට සිරවී තිබේ. ඊට නොදෙවෙනි පලස්තීන වැසියන් සංඛ්‍යාවක් කුසගින්නෙන්, වෛද්‍ය ප්‍රතිකාර නොමැතිකම සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශවී අද වැටෙන ගොඩනැගිලි වලට යටවී මිය යමින් සිටිති.
දැන්, අපායෙක ජීවත් වන අපි, මෙහි මරණ සංඛ්‍යාව වාර්තා වන ගණනට වඩා අනිවාර්යයෙන්ම වැඩි බව හොඳාකාරයෙන් දනිමු. අසල නිවෙසක නිවැසියන් එතුළ සිටියදීම එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගියේ අප දෑස් අබියසය. මළසිරුරු එහි සුන්බුන් අතර සිරවී තවමත් එසේම තිබේ.

කොහේ යම්දැයි නොදනිමු
අප වෙත බෝම්බයක් කඩා වැටෙන සෑම විටෙකම, "දැන් ඉතින් කොහේ යම් දැ"යි අපි, අපෙන්ම අසා ගන්නෙමු.
මා ජීවත් වූ ඒ සොඳුරු නිවෙස, මට හුදු නිවහනක් පමණක් නොවීය. එහි බිත්ති අතර මට ආරක්ෂාවත්, උණුසුමත් සැදුණේ විය. එහි වූ මගේ ඇඳුම් පැළඳුම්වල සුවඳ තවමත් මට දැනේ. නිවෙස තුළ ඔබ මොබ යන අම්මා ද මට දැනේ. යහනේ, මා හිස තැබූ කොට්ටය, නිවස සහ මා අතර වූ ලෙන්ගතු බැඳීමකි.
මාගේ ප්‍රියතම ආහාරය වන පලහන ලද කුකුළු මාංශ සුවඳින් දිවා කල නිවස පිරී පැවතිණ. පැලහූ කුකුළු මස් මත කැරමල් දියෙහි ගිල්වූ සිහින්ව කපා ගත ලොකු ළූණු වළලු එලා තිබිණි.
නිවෙසින් පිටද ඒ සොඳුරු නිවසමය
අප නිවස ඉදිරියෙන්ම මා උගත් විශ්වවිද්‍යාලයට යන මාවත පිහිටා තිබිණි. එය කුළුබඩු සුවඳින් පිරී ඉතිරී ගිය වීදියකි. වීදියෙහි කඩ පෙළ, රාමදාන් සමයට දිලිසෙන කහ පැහැ ආලෝක රටා සියල්ල, අදටත් මට සජීව ලෙස මැවී පෙනේ. දෙවියන් යදින, කුරානය කියවන සුන්දර මිනිසුන් ඒ මාවත නිතර දක්නට ලැබිණි. අද, ඒ කිසිවක් හෝ කිසිවෙක් එහි දක්නට නැත.
අද, 'නිවෙස' යනු, සෙසු අවතැන් සරණාගතයින්ට මෙන් මටද වෙනම අරුතක් ඇති තැනකි. දැන් අපට අවශ්‍යව ඇත්තේ, ආරක්ෂාවට බිත්තියක්, වැසිකිළියක්, බීමට ජලය, වැතිරීමට කුමන ආකාරයේ හෝ මෙට්ටයක්, සහ පොරෝනයක් පමණි. පොරෝනයෙන් මුහුණ වසා ගත් කල ප්‍රහාරවලින් බේරී සිටියහැකි යයි මම මුලින් සිතීමි. එහෙත්, එය එසේ නොවේ.

සියල්ල වෙනස් කළ එකම දිනයක්
ඔක්තෝබර 07 දිනය, කිසිදා මගේ මතකයෙන් නොමියේ. එය නිවෙස්වලින් අප පලා ආ දිනය පමණක් නොව, අනාගතය වෙනුවෙන් අප දරා සිටි බලාපොරොත්තු සියල්ල අප වෙතින් උදුරාගත් දිනයයි.
ලේඛිකාවක වීමේ සිහිනයක් මට තිබිණි. සාහිත්‍යය පිලිබඳ උපාධිය හදාරා, ඉන් ඔබ්බෙහි වැඩි දුර අධ්‍යාපනය විදේශයකදී අවසන් කර, උපන් ගාසා බිමට යළි පැමිණ, අපේ උරුමයත්, ඉතිහාසයත් තරුණ පරපුරට ඉගැන්වීමට මට අවශ්‍ය විය. මවිසින් අඳින ලද සිතුවමින් පිරි කලාගාරයක් තැනීමේ ආශාවක් ද ඒ අතර විය. ඒ සැමට ඉහළින් පැවතියේ, නිදහස් රටක් පිලිබඳ සිහිනයයි.
එදා උදෑසන හයට පමණ උතුරු ගාසාවට ඉහළ අහස සිසාරා රොකට් රෑනක් ඉගිල ගියේය. මාගේ කණිටු සොයුරිය පාසල් යාමට සූදානම් වෙන්මින් සිටියාය. එහෙත්, එදින, ගාසාවේ අවසන් පාසල් දා බව අපි කිසිවකුත් නොදැන සිටියෙමු.
රොකට් වැසි ඇද වැටී පුපුරණ ගිගිරුම් හඬින් මම තිගැස්සී අවදි වීමි. සිදුවන්නේ කුමක්දැයි, මා හට කිසිදු වැටහීමක් නොවීය.
දෙරෙල්බලා හි විසූ මගේ සොයුරා තාත්තාට දුරකථන ඇමතුමකින් කතා කළේය. ඔහු කලබලයට පත්ව සිටියේය.
ගාසා තීරයේ නැගෙනහිර දේශසීමාවට ඉතා ආසන්නව අප නිවෙස පිහිටා තිබිණි. එහෙයින්ම, භූමි ආක්‍රමණයක මුල් ගොදුර අප වන්නට වැඩි අවකාශ ද පැවතිණි. මගේ සොයුරා විසූ මධ්‍යම ගාසා ව බලා වහා පලා යාම සුදුසුම පියවර බවට අපි තීරණය කළෙමු. එය දේශසීමාවෙන් බොහෝ දුරස්ව පිහිටීම, අපේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි යන විශ්වාසය අපට තිබිණි. අද, අප එහි තව දුරටත් අවතැන්ව සිටිමු.

නූර් 2023 සැප්තැම්බර් 28 දා ඇය ගාසා නගරයේ ඇගේ කාමරය තුළ සිය 21 වැනි උපන්දිනය සැමරීම සඳහා ඉටිපන්දමක් දල්වා තිබූ අයුරු
අල්ප මාත්‍ර සතුටක නිමාව
යුද්ධය, අප ජීවිත සතු අල්ප මාත්‍ර සතුටද පැහැර ගත්තේය.
මට, අප නිවසේ ගෙමිදුල මතකයට නැගෙයි. එය සුපුෂ්පිත රෝස මල් සුවඳින් නැහැවී තිබිණි. ඔලිව්, පාම්, දෙහි සහ දොඩම් ගසින් සැදී රුක් ගොමුවක් ද එහි විය. එහි වූ දෙහි ගස් මා ඉතා ප්‍රිය කළෙමි. දෙහි ගස් මත ළදරු සුදු මල් පිපී එන සුවඳ මසිත පැහැර ගත්තේය. එම ගස් අතර අප ගිම්හාන සැඳෑවන් ගෙවී ගියයුරු මට හොඳින් මතකය. හේමන්තයේ සීතල දරා සිටීමට අපි ගෙමිදුල ගිනි මැල දැල්වීමු.
ගාසා නගරය තාරුණ්‍යය පිරි අවන්හලින් පිරී පැවතිණ. ජල සැපයුම් අවහිර කිරීම් සහ නිරන්තර විදුලි විසන්ධි වීම් පැවතියද, එහි වීදි ජවයෙන් පිරී තබිණි. උණුසුම් කෝපි කෝප්පයක් සහ වැනිලා කප් කේක් එකක්ද ගෙන ප්‍රියතම පොතක් කියවීමට නිවසේ කොන්ක්‍රීට් වහලය මතට නැගීමට මම පුරුදුව සිටියෙමි. මම එයට බෙහෙවින් ප්‍රිය කළෙමි.
එදින අප පලා යන විට, විශේෂයෙන් කුමක් රැගෙන යා යුතු දැයි අදහසක් මට නොවීය. එමිලි බ්‍රොන්ටේ ගේ Wuthering Heights කෘතියේ මා සතු පිටපතත්, රාත්‍රී පිජාමා ඇඳුමත්, මාගේ රූප ලාවන්‍ය කට්ටලයත් අතට හසු වූ දෑ අතර විය. තාවකාලික විතැන් වීමක දෛනික ජීවිතය ඉවසා සිටීමට තරම් ඒ අල්ප මාත්‍රික දේ මට ප්‍රමාණවත් වේ යයි සිතීමි. වැනිලා කප් කේක් කිහිපයක් ද මගට ඔතා ගතිමි.
එහෙත්, පොතක් කියවීමට තරම් රුචි උපදන කෝපි කෝප්පයක් හෝ රසවත් කප් කේක් අද මට නැත. දැන් අපට ආහාර පිණිස මිලදී ගැනීමට ඇත්තේ වියලි පාන් සහ ටින් ආහාර වර්ග කිහිපයක් පමණි.
නූර් ගෙ සාමාන්‍ය උදෑසනක් සහ ඇගේ සීයාගේ නිවස විනාශ වී තිබීම
දස මසක ඇවෑමෙන්
මා සොයුරා විසූ මධ්‍යම ගාසා හි දෙරෙල් බලා වෙත අප කුඩා අවදියේ, ගිම්හාන නිවාඩු ගත කිරීමට නෑගම් පැමිණියේ ඉමහත් ප්‍රීතියෙනි. එහෙත්, අප නිවසේ මගේ යහන හැර වෙනත් කිසිදු යහනක් මා වෙත නිදි සුව නොගෙනා බවට ඒ හැම විටම මා සතුව චෝදනාවක් ද පැවතියේය. ඒ සුව බර සයනය, දස මසකින් මම දැක නැත්තෙමි.
අද මම, මාගේ සොයුරිය, මව සහ පියා සමග එකම කුටියක, එකම මෙට්ටයක් මත රාත්‍රී නිදිබර නිවා දැමීමට වෙහෙසෙමි. තරමක් හොඳ තත්වයේ, පිරිසිදු මෙට්ටයක් අප සතුය. එහි, අප පවුලේ සියලුදෙනා ට එකිනෙකාට සමීපව වැතිර සිටිය හැක. එහෙත්, දැන් මම, නින්ද නොයෑමේ සහ කනස්සලු බැවින් පෙලීමේ තත්ත්වයට ගොදුරුව සිටිමි. නින්දට ඇස හුරු කිරීමට වෙහෙසෙන අතර, අප කුටියේ බිඳුණු වීදුරු කවුළුවෙන්, මම රාත්‍රී අහස දෙස බලා සිටිමි. අහස සිසාරා පියඹා යන කළුවන් යුද ගුවන් යානා අතර මම තනි තරුවක් සොයමි. දැන්, දැන් අප වෙත රොකට් ප්‍රහාරයක් ඇද වැටෙතැයි බියෙන් තැති ගමි.
දෙරෙල් බලා යනු, කුඩා, නිහඬ සහ පිරිසිදු නගරයක් වූයේය. එහි ඔලිව් සහ පාම් රුක් වවා තිබිණි. අද එය හුස්ම ගැනීමට පවා අපහසු අපායකි. සියලු සේවා සැපයුම් ඇණහිට තිබේ. තැන, තැන අහස උසට ගොඩ ගැසෙන කැලිකසල කඳුය. පාම් ගස් දුහුවිල්ලෙන් සහ සුන්බුන්වලින් වැසී ගොසිණි. ඒවා හඳුනාගැනීමට පවා ඉතා අසීරුය. මුළු අහස් තලයම අළුවන් වලාපටින් වැසී පවතී. ඒ, බෝම්බ ප්‍රහාරයන්ගෙන් සිදුවන වායු දූෂනයෙනි. නගර බිම මංමාවත් මතින් අප ජලය උතුරා යයි. පරිසරය දුගඳින් නැහැව පවතී.
මීට දසමසකට පෙර, මගේ සොයුරාගේ නිවසට පලා ආ දිනයේ, යුද්ධය මෙතෙක් කල් පවතී යයි අපි කිසිවිටෙකත් නොසිතීමු. එහෙයින්ම, මම මාගේ අධ්‍යයන කටයුතු වල තව දුරටත් නියැලීමට තීරණය කළෙමි. එහෙත්, මා උගත් විශ්වවිද්‍යාලය බෝම්බ ප්‍රහාරයන්ගෙන් විනාශ වී යයි දැනගත් මොහොතේ, මම මහත් වූ අපේක්ෂා භංගත්වයට පත්වීමි. ඉදින්, දෛනික ජීවිතය මෙතැන් සිට කෙසේ ගෙවා දමම් දැයි මම කල්පනා කළෙමි.
මේ දිනවල මම ඉතාලි බස සහ කවි ලිවීමට උගනිමි. මසිතට කනස්සලු ස්වභාවයක් එනවිට, නිවස ඇමැදීම ට පටන්ගමි. මා නිවසින් එන විට රැගෙන ආ රාත්‍රී පිජාමා ඇඳුම ඉරී ගොස්ය. කොටින් කිවහොත් එය දැන්, වැරහැල්ලකි.
බීමට සුදුසු ජලය සොයා යාමත්, ජංගම දුරකථන සහ බල්බ ආරෝපණයට බැටරි සොයා යාමත් දැන් මාගේ අනිවාර්ය දින චර්යාවේ අංගයන් ය. අප අසල්වැසි නිවැසියන් සතුව සූර්ය පැනලයක් සහ ජෙනරේටරයක් මගින් ජලය පොම්ප කෙරන ලිඳක් ඇත. එහිදී අපට ජංගම දුරකථන ආරෝපණයටත්, ඉඳහිට ස්නානයටත් අවස්ථාව හිමි වේ. ඒ සැමදේට මම, දෙවියන්ට සහ මගේ දැයට ස්තුතිවන්ත වෙමි. සමස්ත පලස්තීන භූමියම අද ඛේදවාචකයකි. පුද්ගලිකත්වය, පානීය ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය නොමැතිව අපි පීඩාවට පත්ව සිටිමු. සන්නිවේදන පහසුකම් සපුරා ගැනීම නොනවතින අරගලයකි. අනෙකුත් දෛනික අවශ්‍යතා වශයෙන් පවතින, සබන්, ෂැම්පු, මුළුතැන් ගෙය පිරිසිදු කරන දියර, රෙදි සෝදන කුඩු, සහ දැලි රේසර අද මෙහි සොයාගන්නටත් නොමැත.
මිනිසුන් අනාරක්ෂිතව අතරමංව ගොසිනි. කුඩා ළමෝ නගර මාවත් හි සිඟමන් යදිති. වයස්ගත වූවෝ, වීදි මැද ඇණතබා, ඔහේ බලා සිටිති. මංමාවත් අසල කූඩාරම්හි ලැගුම් ගෙන සිටින්නෝ නිරන්තර දෙවියන් යදිති. අපට, අප බොහෝ ආදරණීයයන් සදහටම අහිමිව ගොසිනි. මගේ ඥාති සොයුරන්, පවුල් සාමාජිකයින් බොහොමයක්ද මිය ගොසිණි.
අද, ගාසා තීරයේ දිවි ගලවා ගැනීමට හැකිවීම යනු ආශ්චර්යයකි. අපි තව තවත් තදින් දෙවියන් යදින්නෙමු.
නිවස - එදා සහ අද
මගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය පිරිහෙමින් ඇති බව මට දැනේ. එය දරා ගැනීමට අපහසු තත්වයකි. මම ඉතා අසීරු කෙටි නින්දේ වුව තිගැස්සී අවදිවෙමි. බීමට නුසුදුසු ජලය හා ටින් ආහාර හේතුවෙන් ආමාශගත රෝගී තත්වයෙන් පෙළෙමි. ඖෂධ හෝ වේදනා නාශක සොයා යාම අතිශය දුෂ්කර ක්‍රියාවකි. දැනටමත් ඉතිරිව ඇති සියල්ල ඉතා මිලාධිකය.
ඊශ්‍රායලය අපට පිට, පිට පහර දෙන්නේ, අප මෙතෙක් ගැහැට මධ්‍යයේ පවත්වාගෙන ආ සියලු මානව සබඳතා අඛණ්ඩව බිඳ දමමිනි. එය අප තුළ නොරිස්සුම, කනස්සල්ල සහ මානසික ආතතිය ඇතිකරයි. එහෙත්, අපි තවදුරටත් එකිනෙකා හා බැඳී සිටීමට වෙර දරමින් සිටින්නෙමු.
දැන්, අපේ ඉවසීම, ආරම්භව ඇත්තේ එහි අවසන් කෙළවරිණි. අප අන්කවරදාකවත් නොවූ ලෙසින් ළතෙත් ව පසුවෙමු. අප සතු කුමන හෝ දෙයක් වෙද, එය අප අසල්වැසියන් හා බෙදා පරිහරණය කිරීමට කිසිවිට පසුබට නොවන්නෙමු. හැකි සෑමවිටම, සිනහවක් මුව තවරා සිටීමට උත්සාහ කරන්නෙමු. ජීවිතය, සිතා සිටියාටත් වඩා ඉතා කෙටි බව දැන් දැනේ.
මීට දින කිහිපයකට ඉහත සන්ධ්‍යාවක, අම්මාත්, මමත්, සොයුරාගේ නිවසේ බැල්කනිය මත සැනසුම් පිළිසඳරකට ඉඩක් ලද්දෙමු. මම ඇයට එදවස මගේ අනාගත සිහින ගැන පැවසීමි. ගතවූයේ මිනිත්තු කිහිපයකි. අසල මහල් නිවාස ගොඩනැගිල්ලකට පතිත වූ බෝම්බ ප්‍රහාරයකින් අපි භීතියෙන් ඇළලී ගියෙමු. බෝම්බ ප්‍රහාරයේ ගිගුමින් මුලින්ම අප සවන් බිහිරිව ගියේය. අනතුරුව, මහල් ගොඩනැගිල්ලේ බිත්ති කඩා වැටෙන හඬ ඇසිණි. ප්‍රහාරයෙන්, කුඩා දරුවන් දෙදනකු සහ ඔවුන්ගේ පියා මියගොසිනි. එදවස, සොඳුරු මතකයන් පිරි නිවෙස් අද, එහි සිටින ආදරණීයයන් වෙතටම කඩ වැටේ. මේ නම්, කාගේ පවෙකින් සිදුවන විපතක්දයි මට නොවැටහේ.
අද, මම මගේ දෛවය පිළිගැනීමට සූදානම් ව සිටින තරුණියක්මි. නිවෙස තුළ, හා ඉන් පිටත සීමිත පරිසරයෙක වුව, මගේ දෙමාපියන්, සොයුරා, සොයුරිය සහ තවමත් ජීවතුන් අතර ඉතිරිව සිටින ඥාති, හිතමිතුරන් කිහිප දෙනා ඇස ගැටෙන වාරයක් පාසා, ඒ සියලු දෙනාට, විශේෂයෙන් මගේ මවට, මම ආදරය කරන බව පවසමි. ඒ, එසේ කීමට මට ඔවුන් හමුවන අවසන් අවස්ථාව ද එය විය හැකි බැවිනි. මෙහි දිවිය එතරම්ම අවිනිශ්චිතය.
යුද්ධයට පෙර නූර් විසින් අඳින ලද සිතුවමක්මගේ මරණයෙන් මා දිනු බිමට කුමන හෝ සෙතක් වේනම්, මම සතුටින් මිය යමි.
ඒ සියල්ලටම පෙර, මා ජීවත් වූ මගේ නිවස, යළි එක්වරක් හෝ දැකීමේ නොතිත් ආශාවෙන් පෙළෙමින් පසුවෙමි. එය දැන් කුමන තත්වයේ පැවතියත්, ළඟ එන අකල් මරණයට පෙර මම එය හැබැහින් දැකීමට කැමැත්තෙමි.
(පලස්තීන ජාතික තරුණ ලේඛිකාවක වන නූර් එලැසි (Nour Elassy) මීට දින කිහිපයකට පෙර අල්ජසීරා (Aljazeera) වෙබ් අඩවියට රචනා කළ, "Lemon trees, safety, hope: Memories of my Gaza home before war came" විශේෂාංගය ඇසුරිණි).
(අනුවර්තනය; හර් ෂ උදයකාන්ත)
Israel-Palestine conflict | Memories of my Gaza home | Today's latest from Al Jazeera



