The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

NPP ජාතික ජන බලවේග ආණ්ඩුව කුමක්ද ? | United Socialist Party

T

The Leader Desk

March 18, 2025 • 2:52 PM

NPP ජාතික ජන බලවේග ආණ්ඩුව කුමක්ද ? | United Socialist Party

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අන්ධයින් කීපදෙනෙකු අලියාගේ ඇඟ පසඟ අතගා තමන්ට හසු වූ ප්‍රදේශය අනුව අලියාගේ හැඩරුව තීන්දු කිරීමක් වැනි තත්වයක් නිර්මාණය කර ඇති සෙයක් පෙනේ.
  • මේ වන විට මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු බලය පිහිටුවා මාස 4ක් ගෙවී යන අතර අනුර ජනාධිපතිධූරයට පත්ව මාස 6 ඉක්මවා යන්නේය.
  • මාස 6ක් හෝ 4ක් බලයේ සිටින ආණ්ඩුවක ස්වරූපය හා ගමන් මග තේරුම් ගැනීමට ගතවූ මෙම කාලය දේශපාලන විද්‍යාවට අනුව ප්‍රමාණවත් වෙනු ඇත.
  • අනුර කුමාර ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ විශේෂයෙන් බටහිර ගැති CNN, BBC, Al Jazeera වැනි විදෙස් මාධ්‍ය හැඳුන්වූයේ වාමගාමී, වාමාංශික, මාක්ස්වාදී හා ලෙනින්වාදී පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිධූරයට පත්ව ඇති බව ප්‍රකාශ කරමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


එය අන්ධයින් කීපදෙනෙකු අලියාගේ ඇඟ පසඟ අතගා තමන්ට හසු වූ ප්‍රදේශය අනුව අලියාගේ හැඩරුව තීන්දු කිරීමක් වැනි තත්වයක් නිර්මාණය කර ඇති සෙයක් පෙනේ. අන්ධයින්ට අලියාගේ සම්පුර්ණ හැඩ රුව හඳුනා ගැනීමට නොහැකි නිසා එවැනි අසම්පූර්ණ චිත්‍රයක් නිර්මාණය වීම තේරුම් ගත හැකිය.

එසේ වුවද පියවි ඇසින් බලන කිසිවෙකුට අලියාගේ සැබෑ හැඩරුව තේරුම් ගැනීමට නොහැකි වන්නේ නම් එය බරපතල රෝගයකි. මේ වන විට මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තු බලය පිහිටුවා මාස 4ක් ගෙවී යන අතර අනුර ජනාධිපතිධූරයට පත්ව මාස 6 ඉක්මවා යන්නේය. මාස 6ක් හෝ 4ක් බලයේ සිටින ආණ්ඩුවක ස්වරූපය හා ගමන් මග තේරුම් ගැනීමට ගතවූ මෙම කාලය දේශපාලන විද්‍යාවට අනුව ප්‍රමාණවත් වෙනු ඇත.


අනුර කුමාර ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ විශේෂයෙන් බටහිර ගැති CNN, BBC, Al Jazeera වැනි විදෙස් මාධ්‍ය හැඳුන්වූයේ වාමගාමී, වාමාංශික, මාක්ස්වාදී හා ලෙනින්වාදී පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිධූරයට පත්ව ඇති බව ප්‍රකාශ කරමිනි. අනුර කුමාර මෙලෙස හඳුන්වා දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලැබුවේ ලංකාවේ දුබල මාධ්‍ය වලින් බව වසන් කළ නොහැකිය.

jvp left

මාක්ස්වාදයට හා සමාජවාදයට සම්බන්ධ බව තහවුරු කිරීම සඳහා මාක්ස්, ඒංගල්ස්, ස්ටැලින්, ලෙනින් වැනි නායකයින්ගේ සහ මාඕ සේතුං, කැස්ත්‍රෝ හා චේ ගෙවාරා යන අයගේ ඡායාරූප විශාල වශයෙන් මැයි දින උත්සවයන් වලදී ප්‍රදර්ශණය කිරීම හරහා විශේෂයෙන් ග්‍රාමීය තරුණ පරම්පරාව නොමග යැවීමට ජවිපෙය සමත් විය. පැරණි සම සමාජ හා කොමියුනිස්ට් පක්‍ෂ වල ක්‍රියාකාරිත්වය ජවිපෙය විසින් නිර්ධය ලෙස විවේචනය කලේ එම පක්‍ෂ පංති සටන අත්හැර දමා පාර්ලිමේන්තුවාදී දේශපාලනයට යටත් වී ඇති බව හා ධනපති ශ්‍රීලනිපය සමග හවුල් දේශපාලනයට ඇතුල්වී ඇති බවට චෝදනා නගිමින්ය.

එසේ වුවද ජවිපෙය 1994 සිට ධනපති නායිකාවක් වූ චන්ද්‍රිකා සමග ගිවිසුම් ගසමින් ආරම්භ කළ ධනපති හවුල් දේශපාලන ගමන ශ්‍රිලනිපය පමණක් නොව එජාපය සමග පවා ගිවිසුම් ගසා ධනපති හවුල් දේශපාලනයේ නිරත වූ බව අමතක කළ නොහැක.

ජවිපෙ විසින් ආරම්භක කාලයේ සිට කම්කරු පංතිය හා ජනතාව රවටමින් ගෙන ගිය අවස්ථාවාදී දේශපාලනයේ හැරවුම් ලක්‍ෂය වූයේ 2019 වන විට මැතිවරණ පෙරමුණක් ලෙස ජාතික ජන බලවේගය ගොඩ නගා ගැනීමය. එතෙක් කල් ජනතාව රවටමින් වේදිකා සැරසීම සඳහා යොදා ගෙන තිබු සමාජවාදී ලේබලය ගලවා දමා ඔවුන් ප්‍රසිද්ධියේ නව ලිබරල් දේශපාලනය වැළද ගැනීමට එමගින් පියවර ගනු ලැබීය.

ජාතික ජන බලවේගයේ සමහර නායකයෝ ව්‍යාංගයෙන් නොකියා කියන්නේ තමන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින බවය. ඔවුන් පමණක් නොව ධනපති සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවා කියන්නේද තමන් ද සමාජ ප්‍රජාතනත්‍රවාදය අනුගමනය කරන බවය. ඒ අනුව පෙනී යන්නේ අනුර කුමාරගේ දේශපාලන ප්‍රකාශකයෙකු වන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ හා සජිත් අතර දේශපාලන වෙනසක් නොමැති වුවද ඔවුන් දෙදෙනාටම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සමග තිබෙන සම්බන්ධතාවය අපැහැදිලිය.

jhxdf
ජර්මානු ජාතික බර්න්ස්ටයින් විසින් ආරම්භ කළ සමාජ ප්‍රජාතනත්‍රවාදය මුලුමනින්ම පන්ති අරගලය ප්‍රතික්‍ෂේප කරන ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිසංස්කරන වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරයක් වන හෙයින් මාක්ස්වාදී හා සමාජවාදී ව්‍යාපාරය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය එක හෙලාම ප්‍රතික්ෂේප කරනු ලබයි. මෙම පසුබිම තුල තේරුම් ගත යුත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා මාක්ස්වාදය එකිනෙකට ගැටෙන ප්‍රති පක්‍ෂ බලවේගයන් දෙකක් බවය.

NPP ගමන් මග අය වැයෙන් පෙන්වයි

ජාතික ජන බලවේග ආණ්ඩුවේ පළමු අයවැය කරුණු කීපයක් නිසා විශේෂ වැදගත් කමක් උසුලයි. පළමු වැන්න වසර 76ක් තිස්සේ පැවැති සාම්ප්‍රදායික ධනපති පක්‍ෂ වල අයවැය කෙරෙහි දැඩි විවේචනයක් සිදුකළ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව පිහිටවනු ලැබූ ආණ්ඩුවක් විසින් පළමුවරට ඉදිරිපත් කරන අයවැයක් වීමය. අනෙක් කාරනය වන්නේ මහ මැතිවරණයෙන් 2/3 බලයක් ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරිපත් කරන අය වැයක් වීම නිසා ඔවුන් දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි ජනතාව ඉමහත් බලාපොරොත්තු ඇතිව සිටීමය.

budget 2025

අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේග ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පළමු අයවැය ඔහු ජනාධිපතිධූරයට පත්වීම පෙර ජනතාව ඉදිරියේ දුන් සියලු පොරාන්දු අමු අමුවේ කඩා බිඳ දැමීමකි. ඇත්ත වශයෙන් මේ අයුරින් ජනතාව මහ දවල් රැවටු දේශපාලන ව්‍යාපාරයක් මේ රටේ මෙයට පෙර නොතිබු බව ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවන්නේය. කෙසේ වුවද අනුර කුමාරගේ අයවැය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ 2024 අය වැය කොන්දේසි සියල්ල ඒ අයුරින්ම ඉදිරියට ගෙන යාමකි. එම නිසා අනුර කුමාර ඉදිරිපත් කලේ රනිල් වික්‍රමසිංහගේ අයවැය බව ජනතාව තුල මතයක් ගොඩ නැගීම වැලැක්විය නොහැක.


කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තෘප්තිමත් කිරීම සඳහා සකසන ලද අයවැයකින් රට අර්බුදයට යෑම හා අතරමග පීලි පැනීමට තිබෙන අවදානමෙන් ගොඩ ගැනීමට නොහැකි වනු ඇත. ඔහුගේ කතාව හා ඉලක්කම් වලින් පෙන්නුම් කරන ක්‍රියාව අතර තිබෙන පරස්පරය වන්නේ මෙම මූල්‍ය අරමුදලේ උගුලට ඇද වැටීමයි.

සෑම මාස 6කට වරක් ජීවන වියදම් තත්වය සමාලෝචනය කර වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවට පුරසාරම් දෙඩු අනුර කුමාර රාජ්‍ය සේවක වැටුපු වැඩි කිරීම ගැන යෝජනා කර ඇත. එහෙත් වැටුප් වැඩිවීම කෙසේ සිදුවේද යන්න ගැන රජයේ සේවකයින් තුල තිබෙන්නේ බරපතල කුකුසකි. රජයේ මැති ඇමතිවරුන්ට පවා මේ ගැන නිෂ්චිත පිළිතුරක් නොමැති බව පෙනෙන අතර රජයේ සේවකයින්ගේ මූර්ත වැටුප වැඩිවීම ගැන කිසිවෙකුට පැහැදිලි අදහසක් නොමැත.


වාමවාදී හා ජනතාවාදී වචන වලින් සරසා තිබෙන අයවැය ලේඛණය තුළ ආර්ථිකය සැලසුම් කරණය ගැන හෝ ඉදිරි පස් අවුරුද්ද ඉලක්ක කර ගත් එකක් නොවන අතර ජාතික සංවර්ධන රාමුවක් ඉදිරිපත් නොවීම අයවැයේ බංකොලොත්බාවය පෙන්නුම් කර ඇත. අයවැය හිඟ දළ දේශීය නිශ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.7ක් බව ප්‍රකාශිතය. මෙම හිඟය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් නිර්දේශ කරන ලද ඉලක්කට වන සියයට 5.2ක වඩා වැඩි අගයකි.  


එපමණක් නොව ආදායම් - වියදම් පරතරය විසඳීම සිදු කරන ආකාරය අපැහැදිලිය. එසේම ආණ්ඩුව අපේක්‍ෂ කරන බදු ආදායම් නොලැබී යාම ගැන විසඳුමක් ඉදිරිපත් කර නොමැත. විශේෂයෙන් වාහන මෙරටට ආනයනය කිරීම තුලින් අපේක්‍ෂා කරන විශාල බදු ආදායම නොලැබී යෑමට නියමිත අතර එයට ආදේශකයක් ඇත්තේද නැත. එවැනි තත්වයකදී නව බදු හඳුන්වා දීම හෝ ප්‍රාග්ධන වියදම් කප්පාදු කිරීමකට මෙම ආණ්ඩුවට සිදුවන බව පෙනේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල් වික්‍රමසිංහ එකඟ වී සිටි යෝජිත ධන බද්ද ( Wealth Tax or Property Tax) පවා අනුර කුමාරගේ මෙවර අයවැයෙන් ඉවත් කර ඇත. ධන බද්ද යනු ඉහල ආදායම් ලබන්නන්ගෙන් අය කරගනු ලබන සෘජු බද්දක් වන අතර එය රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සඳහා යම් ආකාරයක විසඳුමක් වෙයි. අයතා අන්දමට මුදල් උපයා ගත් පිරිස හා ආදායම් බදු නොගෙවා සිටින අය මේ මගින් බදු දැලට කොටුකර ගත හැකි වනු ඇත. පීඩිත පංතිය හා සාමාන්‍ය ජනතාවට සහන ලැබෙන අනුදමට VAT බද්ද ඇතුලු බදු පැනවීම වෙනස් කරන බව ප්‍රකාශ කළ මාලිමා ආණ්ඩු ඉහල ධනපති පංතිය සැනසීම සඳහා ධන බද්ද ඉවත් කිරීමට කටයුතු කිරීම මෙම ආණ්ඩුවේ දක්‍ෂිණාංශික ගමන් මග පැහැදිලි කරනු ලබයි.

ආර්ථිකය විප්ලවයීය වෙනසකට යොමු කරන බව නිතර ප්‍රකාශ කලද අනුර කුමාරගේ අය වැය සාම්ප්‍රදායික රාමුව තුල හිරවු තවත් අයවැයක් බව පැහැදිලිය. ඔවුන් වගාඩම්බර දෙසු පරිදි කිසිදු ආකාරයේ රැඩිකල් ප්‍රතිසංස්කරනයන් නොමැති නව ලිබරල්වාදී රාමුව තුල හිරවු අයවැයකී. මෙවර අය වැයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙය වලංගු වන්නේ මෙම වසරේ (2025) ඉතිරි මාස 9ක පමණ කාලයක් බවය. අනුර කුමාරගේ මෙම අයවැයේ අනෙකුත් විශේෂත්වය වන්නේ IMF එකේ උවමනාවන්ට අනූව යමින් ජනතා විරෝධය මැද බොහෝ අමාරුවෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අය වැය ඊට වඩා මහත් උජාරුවෙන් ජනතාව නොමරා මරණ අයවැය ලේඛණයක් අනුර කුමාර නිරුවස්ත්‍රව ඉදිරිපත් කිරීමය. සාම්ප්‍රදායික ධනපති පංතියට ඉටු කිරීමට නොහැකි අර්බුදකාරී පරිසරයකින් ධනේෂ්වර ක්‍රමය ආරක්‍ෂා කර දීමේ කොන්ත්‍රාත්තුවට මාලිමාවේ ආණ්ඩුව කර ගසා ඇති බවට කිසිදු අවිස්වාසයක් හෝ සැකයක් තිබිය යුතු නැත.

ආණ්ඩුවේ ඉදිරි සූදානම

මාලිමා ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නුදුරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දයේදී බලය තහවුරු කර ගැනීමය. අයවැය ලේඛණය සකස් කලේ ඇත්ත තත්වය නොපෙන්වා සර්ව පිත්තල වලින් සරසා ජනතාව නොමග යැවීම සඳහාය. එසේ වුවද ජනතාව දේශපාලන භූමියෙන් අතුගා දමනු ලැබු දූෂිත පරාජිකාවූ ධනේෂ්වර පක්‍ෂ හා කණ්ඩායම් වලට නැවත අවස්ථාවක් දීමට ජනතාව සූදානම් නැත. දුන් පොරොන්දු කඩා දැමීම හා ජනතා අපේක්‍ෂාවන් ඉටු නොවීම නිසා මාලිමාවට ඡන්දය දුන් ජනතාවගෙන් පිරිසක් මෙවර ඔවුන්ට ඡන්දය නොදී සිටීම බලාපොරොත්තු විය හැකිය.

dsfde
මාලිමා ආණ්ඩුව කෙරෙහි කළ කිරීමට ලක්වන ජනතාව තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා රනිල් - රාජපක්‍ෂ පාලන කාලයේ සිදුවු දුෂණයන් හා මංකොල්ලයන් නිරන්තරව ප්‍රසිද්ධියට පත් කිරීම හරහා එයට විශාල ප්‍රචාරයක් දීමට මැති ඇමතිවරුන් විසින් කටයුතු කරන බව පෙනෙන්නට ඇත. නමුත් එයින් ජනතාව තුලින් මතුවන කළ කිරීම පාලනය කරගත නොහැකි බව අනුර - හරිනි ආණ්ඩුවට තේරුම් යන බවට එක් උදාහරණයක් වන්නේ හදිසියේම මහනුවර දළඳා ප්‍රදර්ශණයක් සිදු කිරීම සඳහා පියවර ගැනීමය.


සියයට 70කට වැඩි ජනතාවක් බෞද්ධයින් වන ලංකාවේ දළඳා දැක්ම බලයේ සිටි ධනපති ආණ්ඩු පාලකයින් ජනතාව රැවටීම සඳහා උපයෝගිකර ගත් අවසාන තුරුම්පුව බව ඉතිහාසයය සාක්‍ෂි දරයි. පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සිදු කර තිබෙන මොහොතක මේ අන්දමින් ගිලිහී යන ජනතා අවධානය තමන්ගේ ආණ්ඩුව වෙත නැවත ආකර්ශනය කර ගැනීම සඳහා මාලිමා ආණ්ඩුවේ දළඳා ප්‍රදර්ශණය කිරීමට කටයුතු කිරීම ගැන ඔවුන් ලැජ්ජා විය යුතුය. ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීමේ බංකොලොත් බව වසා ගැනීම සඳහා සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික හැඟීම් අවුස්සන පහත් තත්වයට අනුර කුමාර ඇද වැටී ඇත. දේශපාලනයේ නිතර සඳහන් වන පාඨයක් වන “තක්කඩියාගේ අවසාන නවාතැන ආගමයි” යන්න අනුර - හරිනිගේ ආණ්ඩුවට කෙතරම් ගැලපේද යන්න ඔවුන් හොඳින්ම තේරුම් ගෙන ඇත.


පළාත් පාලන ඡන්දයෙන් පසු මේ ආණ්ඩුවේ සැබෑ ස්වරූපය දැක ගැනීමට ජනතාවට හැකි වනු ඇත. ආර්ථික වශයෙන් නව ලිබරල් වාදයත් ආණ්ඩු පාලනය සඳහා චීනයේ පවතින දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී, වැඩ වර්ජන හා වෘත්තිය සමිති විරෝධී පාලනය මාලිමාවේ ආණ්ඩු මොඩලය වනු ඇත. අවුරුදු 10-20 දක්වා ආණ්ඩු වෙනසකට ඉඩ නොතබන බවට මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු කරන ප්‍රකාශයන් චීන ජනාධිපති ෂී ජින් පිංගේ ඒකාධිපති පාලනයේ හඬ දෝංකාර දීමක් බව තේරුම් ගත යුතුය.


ගම්බද කොට්ඨාශ සභා වලට අධිකරණ බලය ලබා දීම ගැන ජවිපෙ නායකයින්ගේ ප්‍රකාශ හරහා ජවිපෙ කේඩරයට ගම යටත් කිරීම සඳහා ඔවුන් තුල තිබෙන සැලසුම එලියට දැමිමක් බව තේරුම් ගත යුතුය. ආණ්ඩුව ක්‍රමානුකූලව මර්ධනයට අවශ්‍ය අඩිතාලම ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇත. ත්‍රස්ත විරෝධී පනත (PTA) ආණ්ඩුව විසින් ආරක්‍ෂා කිරීම මගින් මෙය පෙන්නුම් කරන්නේ එයයි. ඉල්ලීම් ඉල්ලා අරගල මාවතට පිවිසෙන කම්කරු පංතිය හා ජනතාවට එරෙහි ජවිපෙ සිය සංවිධිත කේඩරය හරහා පංති සටනට එරෙහි සමාජ මතයක් ගොඩ නගා පංති සටන මර්ධනය කිරීමට කටයුතු කරනු ඇත.

ඉහතින් දැක්වූ ලෙස මාලිමා ආණ්ඩුව නව ලිබරල්වාදය කර පින්නා ගත් IMF ගැති රනිල් වික්‍රමසිංහ හා සිංහල බෞද්ධ බහුතර මතවාදය පදනම් වූ මහින්ද රාජපක්‍ෂ පාලනයේ සංකලනයක් බව පැහැදිලිය. මෙම තත්වයට මුහුණ දීම සඳහා කම්කරු පංතිය වෘත්තීය සමිති හා ගොවි ජනතාව ඇතුලු පීඩිත ජනතාව සමග එක්සත් සටන් පෙරමුණක් ගොඩ නැගීම ගැන සාකච්ඡාවක්, සංවාදයක් ආරම්භ කිරීම ප්‍රමාධ නොකල යුතුය. විශේෂයෙන් මාලිමා ආණ්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කර ගනිමින් පරාජිත හා දූෂිත ධනපති කල්ලි හා කණ්ඩායම් වලට නැවත ජනතාව රැවටීම ඉඩ නොතැබීමට කටයුතු කිරීම වමේ බලවේග වල වගකීම වන්නේය.

| United Socialist Party
(උපුටා ගැනීම | United Socialist Party - Sri Lanka ෆ්ස්බුක් පිටුවෙන්.).

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...