The Leader News
BREAKING
මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●සංචාරක පැමිණීම් ඉහළට: ආදායමේ අඩුවක්●භාතිය-සන්තුෂ් මුල්‍ය චෝදනා: බදු පද්ධතියට අලුත් පාඩමක්● මිල්කෝ අර්බුදය: බිලියන ගණනක පාඩුවෙන් ගොඩ ආ හැටි●
Top Ad
විශේෂාංග

රාස්සගලට අභියෝග කළ විහන්ගන! | සෝබා කෝලියවංශ

T

The Leader Desk

February 27, 2026 • 10:15 AM

රාස්සගලට අභියෝග කළ විහන්ගන! | සෝබා කෝලියවංශ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩෝල්ටන් අල්විස් රචනා කර, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සංගීතවත් කොට ගායනා කළ ‘නිවහල් සිතුවිලි’ ගීතයේ අන්තරා කොටස පසුබිම් කොට නිර්මාණය කළ වීඩියෝවක්, දෙසතියකට මත්තෙන් ෆේස්බුක් සමාජමාධ්‍ය වේදිකාවේ නැරඹුම් වාර මිලියන දෙක පසු කළේය.
  • පැටි වියෙහි පියාගේ දෙවුර මතින් ආරම්භ වන මෙම නව මානයන් දැකීමේ ආශාව ඇතැමුන් අවසන් කරන්නේ හිමාලයේ එවරස්ට් කඳු මුදුනෙනි.
  • කඳු මුදුන් ගැනත්, කන්දෙන් එහා ලෝකය ගැනත් විචිත්‍රවත් අදහස් ඇති ළමා විය ගෙවෙද්දී කඳු කෙරෙහි කෙනෙකුගේ ඇති ආශාව කෙන්දක් තරමට දියාරු වෙද්දී, තවත් කෙනෙකුට කඳු පිළිබඳ සොයා යෑමේ, කඳු නැගීමේ ආසාව කන්දක් තරමට විසාල වන්නට ද පිළිවන.
  • රාවණාගේ යුධ අවි ආයුධ, යකඩ උපකරණ, රහස් තාක්ෂණික උපකරණ මෙහිදී නිපදවූ බව සැලකෙන අතතර, එහි ඇති වූ ගින්නක් (හෝ විනාශයක්) නිසා උණු කළ යකඩ ගල් බවට පත් වූවා ය යන්න ජනප්‍රවාදයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
‘නිදා නොඉඳ යළි පිබිදී
අහස බලන්නේ…
නවෝදයේ තෙද රැඳි හිරු
පිපී දිලෙන්නේ…
 
1000502548
 
දසක ගණනක් පුරා ජනතා තුඩ තුඩ රැව් දුන් ජාතික උරුමයක් බඳු එ් ගීය, දින කිහිපයක් තුළ විසි ලක්ෂයකට අධික පිරිසකගේ ක්ෂණික අවධානයට නතු වීමේ රහස, ඒ ගීයෙන් දනවන අභිමානවත් හැඟුම හා අපූරුවට ගැළපෙන එම වීඩියෝවේ ආශ්චර්යමත් දර්ශන පෙළ හා බැඳී තිබිණි.
 
ඒ, තරුණයෙකු ඉතා දුෂ්කර එනමුදු සුන්දර ගල්කුළක් තරණය කරන දසුනකි. ගල්කුළ තරණය කර එහි මුදුනතෙහි දෙඅත් දෙපසට විහිදුවාගෙන සිටින ඉරියව්ව, නිර්භීතකම සහ නිදහස්කාමය ස්වභාව සෞන්දර්ය සමඟ මුසු වීම සංකේතවත් කරවන්නක් විය. ඒ අපූරු තරුණයා යසිරු විහන්ගන ප්‍රනාන්දු ය.
1000502418
 
කඳු- මිනිස් බැඳුම
1000502552
තමාට පෙනෙන මානයෙන් එහා යමක් දැකීමේ අනවරත ආශාව, මානව වර්ගයාගේ ඇට මිදුළුවලට කාවැදුණු සහජාශයකි. එය, පසුපස ගාත්වලින් නැගී සිටීමේ සිිට අභ්‍යාවකාශය තරණය කිරීම දක්වා මානව වර්ගයා තැබූ යෝධ පියවරවල සැඟවුණු උත්තේජනය නොවීද? පැටි වියෙහි පියාගේ දෙවුර මතින් ආරම්භ වන මෙම නව මානයන් දැකීමේ ආශාව ඇතැමුන් අවසන් කරන්නේ හිමාලයේ එවරස්ට් කඳු මුදුනෙනි. කඳු මිනිස්සුන්ගෙ සිත් තුළ කෙතරම් ඉඩ කඩක් වෙන් කරගන්නේද යන්නට හොඳම සාක්ෂිය වන්නේ සෑම මිනිසෙකු තුළම සිටින චිත්‍ර ශිල්පියා යම් කලක මිය යන්නට පෙර නිමැවෙන සිතුවම් අතර නොවරදින සිතුවම- කඳු යායකින් හිරු නැගෙන දර්ශනය වීමයි. කඳු මුදුන් ගැනත්, කන්දෙන් එහා ලෝකය ගැනත් විචිත්‍රවත් අදහස් ඇති ළමා විය ගෙවෙද්දී කඳු කෙරෙහි කෙනෙකුගේ ඇති ආශාව කෙන්දක් තරමට දියාරු වෙද්දී, තවත් කෙනෙකුට කඳු පිළිබඳ සොයා යෑමේ, කඳු නැගීමේ ආසාව කන්දක් තරමට විසාල වන්නට ද පිළිවන. කඳු මුදුන් තරණය කර අද දිවයිනේ නිම්නයට ගොඩ වන්නේ යසිරු විහන්ගන ප්‍රනාන්දු එවැන්නෙකි. 
1000502421
 
කඳු මුදුනකට සිට සිරි නැරඹීමට අකමැති කිසිවෙක් සිටිය නොහැකි මුත්, කඳු නැගීමට  ප්‍රිය කරන්නේ අතළොස්සකි. ඒ අතළොස්සක් දෙනා අතර යසිරු විහන්ගන සුවිශේෂී සලකුණක් තබමින් සිටින්නේය. සිය නමින් අරුත්ගැන්වෙන පරිදිම විහඟ ඇසින් ලෝකය දැකීමේ ඔහුගේ අනවරත වෑයම බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වූයේ පෙර කී වීඩියෝවෙන් නිරූපිත රාස්සගල තරණයෙනි. 
 
රහස් පිරුණු රාස්සගල
1000502602
 
ලංකාවේ සෑම කන්දකටම වාගේ ජනප්‍රවාදයේ එන කතාවක් තිබේ. රාස්සගල ද එසේ ජනප්‍රවාද රැසකට උරුමකම් කියන කඳු පන්තියක ගල් කුළකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රවාදවලට අනුව රාවණා රජුගේ යකඩ කම්මල (කම්හල) පැවතියා යැයි සැලකෙන්නේ රාස්සගල හෙවත් කිණිහිර කන්දේය. රාවණාගේ යුධ අවි ආයුධ, යකඩ උපකරණ, රහස් තාක්ෂණික උපකරණ මෙහිදී නිපදවූ බව සැලකෙන අතතර, එහි ඇති වූ ගින්නක් (හෝ විනාශයක්) නිසා උණු කළ යකඩ ගල් බවට පත් වූවා ය යන්න ජනප්‍රවාදයයි. කෙනෙකුට මේ කාරණා සත්‍යය බව සිතන්නට එම ගල්වල යකඩ යැයි පෙනෙන්නට තිබෙන තැන් හේතු වන බව රාස්සගල ඇසුරු කළ අය කියති.
 
මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොල, නාවලපිටිය ප්‍රදේශයේ දොළොස්බාගේ කඳු වැටියේ දෙවන උසම කඳුවැටිය (අඩි 4718ක් පමණ උස) වන රාස්සගල දක්වා දිවෙන ප්‍රධානම මංපෙත වන්නේ රාක්ෂාව හන්දියෙන් යෙදෙන ගමන් මාර්ගයයි. ඒ මාර්ගය ඔස්සේ ඉකුත් පෙබරවාරි 9 වෙනිදා යසිරු තවත් මිතුරන් දෙදෙනෙකු සමග වන වැදුනේ රාස්සගල තරණය කිරීමේ අරමුණෙනි. එහි වතගොත විමසීමට අප උත්සුක වුවත් රාස්සගල ගමන දක්වා වූ ඔහුගේ ජීවන ගමන පිළිබඳ සඳහනකින් ඔහු සිය හඬ අවදි කළේය.
 
1000502560
 
යසිරු නම් පරිසර ප්‍රේමියා
 
“මගේ පවුලේ ඉන්නෙ අම්මයි තාත්තයි මල්ලිලා දෙන්නයි. අධ්‍යාපනය ලැබුවෙ කළුතර සිරිකුරුස විදුහලෙන්. පාසල් යන කාලයේ ඇවිදින්න කැමැත්තක් තිබුණත් කඳු නගින්න කියලා විශේෂ උනන්දුවක් තිබුණෙ නෑ. ඒත් පරිසරය ගැන, සතා සීපාවා ගැන පුංචි කාලෙ ඉඳන්ම විශේෂ ළෙන්ගතුකමක් හිතේ තිබුණා. බොහෝ දෙනෙක් සර්පයින් ඇතුළු උරගයින්ට අකමැත්තක් දක්වද්දි ඒ අයට ආදරය කරන්න, ඒ ගොල්ලන්ට සිද්ධවෙන අනතුරුවලින් බේරගන්න, ජනාකීර්ණ ප්‍රදේශ ආසන්නයේ සිටින සතුන් ආරක්ෂිතව ඉවත් කරන්න වගේ දේවල් මම කරන්න පටන් ගත්තෙ පාසල් යන කාලයේ ඉඳන්මයි. ඒ දේවල් මම තනියම අන්තර්ජාලය ඇසුරෙන් තමයි ඉගෙන ගත්තෙ.” ඔහු සොබාදහම හා සමීප ඇසුර ආරම්භ වූ ආකාරය සිහිපත් කරන්නේය. 
1000502484
 
සිඟිති වියේ සිට මැසි මදුරුවන්ගෙන් හා කුඩා සීරිමක් පවා වනු නොදී දෙමව්පියෝ දරුවන් රකිති. ඇතැම් දෙමව්පියෝ දරුවන් ගැන අනියතේ බිය වෙති. වික්‍රමයන්ගෙන් පිරි ‍යසිරුගේ ජීවිතයට ලැබුණු දෙමව්පිය ආශීර්වාදය කෙතරම් සවියක් වූවාද යන්න ඔහු සඳහන් කළේ ය. “අම්මවත් තාත්තවත් මේ වෙනකල් අපි තුන්දෙනාගෙන් කාටවත් කිසිම දේකට තහංචි දාලා නෑ. පුංචි කාලෙ ඉඳන්ම අපි කැමති දේවල් කරන්න නිදහස දුන්නා. ඒ වගේම අපිව සෑහෙන්න විස්වාස කරනවා. ඒ නිසාම අපි අපිට ලැබුණ නිදහස ආරක්ෂා කරගන්නත්, විස්වාසය රැකගන්නත් හැමවෙලේම පරිස්සම් වුණා.”
 
අහඹු කඳු තරණය
1000502476
 
යසිරු කඳු නැගීමට ඇලුම් කරන්නට පටන් ගැනීම අහම්බෙන් සිදු වූවකි. “එතකොට මගේ වයස අවුරුදු 19යි. මට ඉන්න යාළුවෝ බොහෝ දෙනෙක් මට වඩා ටිකක් වයසින් වැඩි අය. ඉතින් ඒ වගේ මිතුරො කීපදෙනෙක් එක්ක හුලංගල නැග්ගා. ඒක දවස් දෙකක විනෝද ගමනක්. අපි පළවෙනි දවසෙ රෑ කැලේ කඳවුරු බැඳගෙන හිටියෙ. උදේ පහ හමාර, හය වගේ වෙද්දී මට අවදි වුණා. ඒ වෙද්දී කිහිප දෙනෙක් විතරයි අවදි වෙලා හිටියෙ. අවදියෙන් හිටිය අයට එළියට යන්න කතා කළත් කවුරුත් කැමැත්තක් දැක්වූවේ නැහැ. ඉතින් මම තනියම අපි හිටපු තැන පිටිපස්සෙ තිබුණ කන්ද නැග්ගා. කන්ද නැග්ගට පස්සේ දැක්ක දර්ශනය, ඒ හැඟීම විස්තර කරන්න මම හිතන්නෙ නෑ මේ ලෝකෙ තියෙන ලස්සනම වචන ටිකෙන්වත් පුළුවන් වෙයි කියලා. අපි හිටපු කන්ද පහළින් වටේටම මීදුම් බර වෙලා අපි අහසෙ ඉන්නවා වගේ දැනුණා. ඒ වෙද්දී මම දැකලා තිබුණෙ නෑ ඉර පායන දර්ශනයක්. ඒ මොහොතේ තමයි මට හිතුණෙ, නිතරම මම මේ වගේ ඇවිදින්න ඕන, අනිත් කඳුවලටත් නැගලා බලන්න ඕන කියන දේ.”
 
“ඉන්පස්සේ මගේ යාළුවන්ට ඒ ගැන කියලා කඳු නගින්න කතා කළත් වැඩි දෙනෙක් ඒ ගැන උනන්දු වුණේ නෑ. මම තනියම ඇවිදින්න පුරුදු වුණා. සමහර ගමන්වලට යාළුවොත් එකතු වුණා. ඒ වෙද්දී මම විදුලි කාර්මික ශිල්පියෙක් ලෙස පුහුණු වෙමින් හිටියෙ. විනෝදාංශයක් විදිහට තමයි කඳු නැග්ගෙ. කඳු නගින අයව මුහුණුපොතේ ලුහුබඳිමින්, ඒවා අධ්‍යනය කරමින් ඉද්දි යාළුවෝ උනන්දු කළා ඒ වගේ ආයතනයක රැකියාවක් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි රැකියා අවස්ථාවක් දැකලා ඒක මා වෙත යොමු කළෙත් මිතුරෙක්.
 
1000502540
 
ඒ කාලයේ වික්‍රමාන්විත (ත්‍රාසජනක) ක්ෂේත්‍රයේ රැකියා ගැන මම දැනුවත්ව හිටියෙ නෑ. ලංකාවේ මේ ක්ෂේත්‍රයේ ප්‍රමිතිගත ආයතනයක් වන The Marvel Sri Lanka Adventures & Expedition ආයතනයේ රැකියා අවස්ථාවට මම ඉල්ලුම් කළා. ඉන්පසුව ආයතන ප්‍රධානී රොක්ස් ඉෂාන් අයියා මාව ඒ සම්බන්ධ ජාත්‍යන්තර පුහුණුවකට යොමු කළා.මේ වෙද්දී The Marvel Sri Lanka Adventures & Expedition ආයතනයේ මාර්ගෝපදේශකයෙක් විදිහට කටයුතු කරනවා.” ඔහු තමන්ට ගැළපෙනම රැකියාවක් තෝරාගත්තේ ඒ අකාරයෙනි. රැකියාවත්, හැකියාවත්, විනෝදාංශයත් එකක්ම වූ කල ගෙවෙන හැම මොහොතක්ම ඔහුට රැගෙන ආවේ සතුටකි; අරුතකි.
 
රාස්සගල තරණය කිරීමටත් ඔහුට උත්තේජනයක් සපයා තිබෙන්නේ ඔහුගේ රැකියා ස්ථානයේ ප්‍රධානී රොක්ස් ඉෂාන් විසිනි. “ඉෂාන් අයියා රාස්සගල නගිද්දී මම එයාව හඳුනන්නේ මුහුණු පොතෙන් විතරයි. මම දන්න විදිහට රාස්සගල නැග්ග පළමු පුද්ගලයා ඔහුයි. ඔහු ගල මුදුනේ ඉඳලා ගත්ත ඡායාරූපය, මමත් සපුරාගත යුතු ඉලක්කයක් විදියට හිතේ කාවැදිල තිබුණා. ඉන්පසුව පසුගිය වසරේ ඒ ඉලක්කය සපුරා ගැනීමේ අදහසින් මිතුරන් කිහිප දෙනෙක් එක්ක රාස්සගල ගියා. ඒ වෙද්දී මට ඒ වගේ ගමනක් යනකොට ගෙනියන්න ඕන දේවල් ගැනවත් අවබෝධයක් තිබුණෙ නෑ. ගලට නගින්න අපි ගෙනිච්චෙ නයිලෝන් කඹයක්. එදා කොයිතරම් උත්සාහ කළත් කඹේ ගල උඩ රඳවාගන්න පුළුවන් වුණේ නෑ. යම් හෙයකින් එහෙම පුළුවන් වුණා නම් අතරමග දී අනතුරක් වෙන්න වුණත් ඉඩ තිබුණා. අනතුරක් නොවී සියල්ල හොඳින් සිදු වුණා නම් මට මේ රැකියා අවස්ථාව ගිලිහෙන්න තිබුණා. එදා ගලට නගින්න බැරි වෙද්දි ඒ හිටිය යාළු තමයි මේ රස්සාව තෝරගන්න පෙළඹෙව්වේ.” 
1000502531
 
යසිරු විහන්ගන, ඔහුගේ සිහින පර්වතය දක්වා වූ ජයග්‍රාහි මාවත ගැන පවසන්නේ තරුණ ජවය පිරුණු හඬිනි.
 
රාස්සගල පැරදවූ මොහොත
 
අවසානයේ ඔහුගේ සිහිනය එළි කරගත් ආකාරය, හුදු ආශාවේ ජවය ඉක්මවා ගිය වෘත්තිමය අදියරකට ඔහු ප්‍රවිෂ්ඨ වීම පිළිබඳ සන්ධිස්ථානයකි.
 
“එදා වගේ නයිලෝන් කඹයක් අරන් නෙවෙයි මේ පාර රාස්සගල ගියේ.” ඔහුගේ අතීත අනුවණ ක්‍රියාවට ඔහුම සිනාවන්නේය. “මෙදා සැරේ කිලෝ නිව්ටන් 35ක විතර බරක් දරන්න ශක්තිමත් කඹ අපි අරන් ගියා. ඒවා ගල් වලට කැපෙන්නෙ නෑ. අවශ්‍ය කරන උපකරණ හැමදෙයක්ම අරන් ගියා. මගේ සහයට මං වගේම හොඳින් පුහුණු වූ මිතුරන් දෙදෙනක් ආවා. ඒ දිලිත සුසාර සහ දිල්ෂාන් ඩී. සුමෝධ. ඔවුන්ගේ දැනුම සහ සහයෝගය මගේ සිහිනය සාර්ථක කරගන්න හේතු වුණා.” 
 
1000502605
අවසානයේදී ඔහු අතිසාර්ථකව රාස්සගල තරණය කළේය. ඒ අද්භූත ගල්කුළ මතදී ඔහු අත්විඳි අසිරිය, ඔහුගේ අහඹු පළමු කඳු තරණයේදී අත්විඳි හැගුම් සේම වර්ණනා විෂයාතික්‍රාන්ත අත්දැකීමකි. අපට එහි අංශු මාත්‍රයක් හෝ විඳගැනීමට ඉඩ සැලසෙන්නේ, විහන්ගන සහ ඔහුගේ මිතුරු පිරිස කැමරා කාචවලට හසු කර ගත් අසිරිමත් රූපාවලිය ඔස්සේ පමණකි. මිලියන දෙකක්! ඔව්, මිලියන දෙකක් තරම් සුවිසල් ජන සමූහයක් උන්මාදනීය දෑස්වලින් උරා බිව්වේ ඒ දසුන්මය!
 
soba koliyawansha(සටහන | සෝබා කෝලියවංශ)
මාධ්‍යවේදීනී
sobakoliyawanshe@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රාස්සගලට අභියෝග කළ විහන්ගන! | සෝබා කෝලියවංශ | The Leader