The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රජයන්ට හෙට දවස අසුබ ඇයි? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, P Samarasiri

T

The Leader Desk

July 16, 2025 • 8:53 AM

රජයන්ට හෙට දවස අසුබ ඇයි? | මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, P Samarasiri

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය ජුනි 30 දින පාර්ලිමේන්තු විශේෂ හමුවක දී, 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය (Fiscal Strategy Statement) විවාදයට ගැනින.
  • එම ප්‍රකාශය, මෙම පනතේ 11(3) වගන්තිය යටතේ මුදල් ඇමති විසින් පාර්ලිමේන්තුව වෙත කරනු ලැබූ නිවේදනයකි.
  • පනත ප්‍රකාරව මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කොට ඇති එම ප්‍රකාශය පිළිබඳ ව කිසිම විමසුමක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ.
  • ("රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය (Fiscal Strategy Statement) මෙතනින්) මෙම පනත 2022 ආර්ථික අර්බුදය තුළින් හදිසියේ බිහි වූ ජාතික විරුවන් විසින් ඩොලර් බිලියන 3 ක පමණ IMF ණය මුදල ලබා ගැනීම සඳහා ඉටු කළ කොන්දේසියකි.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය ජුනි 30 දින පාර්ලිමේන්තු විශේෂ හමුවක දී, 2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය (Fiscal Strategy Statement) විවාදයට ගැනින. එම ප්‍රකාශය, මෙම පනතේ 11(3) වගන්තිය යටතේ මුදල් ඇමති විසින් පාර්ලිමේන්තුව වෙත කරනු ලැබූ නිවේදනයකි. එබැවින්, එය කඩිමුඩියේ විවාද කිරීමේ අරමුණ අපැහැදිළි ය. පනත ප්‍රකාරව මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කොට ඇති එම ප්‍රකාශය පිළිබඳ ව කිසිම විමසුමක් කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. ("රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය (Fiscal Strategy Statement) මෙතනින්)

මෙම පනත 2022 ආර්ථික අර්බුදය තුළින් හදිසියේ බිහි වූ ජාතික විරුවන් විසින් ඩොලර් බිලියන 3 ක පමණ IMF ණය මුදල ලබා ගැනීම සඳහා ඉටු කළ කොන්දේසියකි. 2024 ආර්ථික පරිවර්තන පනත සහ 2023 මහ බැංකු පනත ද මෙහි සොහොයුරන් ය. මෙම පනත් තුන එකට ගත් විට, එය හුදෙක් මෙම ජාතික විරුවන් විසින් ජාතික ආර්ථිකය මහ දවල් රාජ්‍ය හස්තයෙන් ඩැහැ ගෙන, IMF ඇතුළු විදේශීය උණුසුම් ඩොලර් ආයෝජක කණ්ඩායමකට පැවරීමකි. එය, 1815 උඩරට ගිවිසුමට නොදෙවෙනි ක්‍රියාවකි.

 

එබැවින්, මෙම ලිපියේ අරමුණ වනුයේ, අදාළ ජාතික විරුවන්ට එම මහජන තනතුරුවලට මාවත සැපයූ රාජ්‍ය මුදල් හෙවත් මහජන මුදල් පදනම පිළිබඳ කෙටි පැතිකඩක් ඉදිරිපත් කිරීම යි. ඊට විශේෂ හේතුව, ඔවුන් විසින් බිඳ දමා යන්නේ, එම මුදල් පදනම වීම යි. එහෙත්, ආර්ථික අර්බුදය පිළිබඳ ව කිසිම නිරීක්ෂණයක් මෙහි ඉදිරිපත් නොකෙරේ.

ජාතික විරුවන්ගේ නව ආර්ථික කළමනාකරණ නීති පොත

මෙම පනත් තුන මගින් ආර්ථිකය සහ පොදුජන ජීවන තත්ත්වය සංවර්ධනය සඳහා පසුගිය 75 වසරක කාලය තුළ කරන ලද ආර්ථික කළමනාකරණ මෙහෙය තවදුරටත් ඉදිරියට කළ නොහැකි ලෙස අවහිර කොට ඇත. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය දෙඅත් සහ දෙපා, කෙටි අවකාශයක බැඳ දැමීම යි. මෙහි දී, මහ බැංකුව රජයෙන් ස්වාධීන කොට, පුද්ගලයන් කිහිප දෙනෙකුට තම පෞද්ගලික අභිමතය පරිදි මුදල් මුද්‍රණය කිරීමේ බලපත්‍රය ලබා දී ඇත.

 


රජයට ණය දීම මෙන්ම බැංකුවලට අවසාන ණය දෙන්නා කාර්යය ද මහ බැංකුවට තහනම් කොට ඇති අතර කිසිම ව්‍යාපාරික අවදානමක් නොගෙන කෙරෙන මුදල් මුද්‍රණයෙන් ලැබෙන ලාභය ද මහ බැංකුවට අභිමත පරිදි ගණනය කොට, රජයට නොදී පරිහරණය කළ හැකිය. එනම්, ඇමෙරිකාවට සහ එංගලන්තයටත් එහා ගිය ආර්ථික කළමනාකරණයකි. පසුගිය දිනක මහජන මුදල් කාරක සභාවේ දී ප්‍රකාශ වූයේ, මුදල් සහ මහ බැංකුවට රට සංවර්ධනය කිරීමේ කාර්යය කළ නොහැකි බව යි. එනම්, කැමති ආකාරයට මුදල් ටිකක් මුද්‍රණය කර ගෙන කාලය ගෙවීමට මහ බැංකු කළමනාකරුවන්ට පූර්ණ ස්වාධීනත්වයක් පවතින බව යි.

ලෝකයේ පසුගිය සියවස තුළ වත්මන් මානව සංවර්ධනය ලබා ගෙන ඇත්තේ, සමකාලීන ආර්ථික සහ සමාජ සංවර්ධන අවශ්‍යතාවන් ඉටු කිරීමට හැකි පරිදි රාජ්‍ය අයවැය/මූල්‍ය සහ මුදල් මුද්‍රණය සම්බන්ධීකරණය කිරීම මගිනි. එසේ නැතිව, දිව්‍ය ලෝකයෙන් වැඩම කළ රාජ්‍ය මූල්‍ය සහ මුදල් පාලන ප්‍රතිපත්ති කිසිම රටක නොමැත. එහෙත්, 2023/24 කාලය තුළ නව ජාතික විරුවන් විසින් එම ක්‍රමය බිඳ දමා ඇත. එබැවින්, එතැන් පටන් රජයන්ට කළ හැකි වන්නේ, රටේ සංවර්ධනයට කළ යුතු බොහෝ දේවල් ගැන විචිත්‍ර යෝජනා කථා පැවැත්වීම පමණි.

 

1FB47D8F F5F7 4218 8AB7 6832FA8A54EF

ඊට හේතුව, රජයට මුදල් සොයා ගැනීමට ඇති අපහසුව යි. එබැවින්, රටට නව යමක් කිරීමට නම්, රජයට ඇති ක්‍රමෝපාය වන්නේ, මුලින් කී ඩොලර් ආයෝජක කණ්ඩායමෙන් ණය ටිකක් ගෙන, එම ඩොලර් මහ බැංකුවට අළෙවි කොට, මහ බැංකුව විසින් දෙනු ලබන විනිමය අනුපාතයකට රුපියල්  මුදල් ලබා ගෙන එම දේවල් කිරීම යි. එහෙත්, එම විදේශ ණය ආපසු ගෙවීම සඳහා නැවත රජයට ඩොලර් සැපයීමේ වගකීමක් මහ බැංකුවට නොමැත. එබැවින්, පසුගිය දිනක පළ වූ ලිපියක වූ නිර්දේශ වන්නේ, විදේශ ණය සේවාකරණයට අවශ්‍ය ඩොලර් මහා භාණ්ඩාගාරය විසින්ම රැස් කර ගැනීමේ ක්‍රමෝපායක් සකසා ගැනීම යි. එබැවින්, 2022 අප්‍රේල් මසක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ වැඩි දුරක් නොමැත.

මෙම ජාතික ආර්ථික විරුවන් විසින් ජාතික රාජ්‍ය ආර්ථික කළමණාකරන පද්ධතිය මෙසේ බිඳ දැමීමට හේතුව, තම පෞද්ගලික යහපත තකා, IMF ඩොලර් ආධිපත්‍යය රටෙහි පැතිරවීමට විය යුතුය. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය යනු රටක සාර්ව ආර්ථික කළමනාකරණ පදනම බව ඔවුන් හොඳින් දැනුවත් බැවිනි. 20 වැනි සියවස ආරම්භයේ සිට රටවල රජයන් විසින් පෞද්ගලික මුදල් අවලංගු කොට, රාජ්‍ය මුදල් මත පදනම් වූ ස්වෛරීත්ව මුදල් ක්‍රමයන් ගොඩ නගන්නේ, ආර්ථික කළමනාකරණ ආධිපත්‍යය රජය යටතට ගැනීම සඳහා ය. මහ බැංකුව සහ මුදල් මුද්‍රණය යනු එහි එක් අංගයක් පමණි.

ඒ අනුව, නූතන මුදල් ආර්ථිකයන්හි මුදල් ක්‍රමය ගොඩ නැගී ක්‍රියාත්මක වන්නේ, අයවැය හිඟය සහ රාජ්‍ය ණය හරහා ය. මහ බැංකුව විසින් මුදල් මුද්‍රණය කරන්නේ ද, රාජ්‍ය ණය සැපයීම සහ මිල දී ගැනීම හරහා ය. රටෙහි සංසරණය වන අනෙක් මුදල් බහුතරය ද, රාජ්‍ය ණය සුරැකුම්පත් සහ රජයට දෙන බැංකු ණය හරහා මැවෙයි. ආර්ථිකයෙහි මැවෙන පෞද්ගලික ණයවලින් බහුතරය ද, රාජ්‍ය වියදම්වලින් ජනිත වන ඉල්ලුම සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා සැපයෙන පෞද්ගලික ණය මගින් මැවෙන මුදල් ය. එනම්, පෞද්ගලික ණය ද වක්‍ර ලෙස රාජ්‍ය ණය මත රඳා පවතින බව යි (මුදල් ක්‍රමය පිළිබඳ වූ විශේෂ ලිපිය මෙතනින් කියවන්න.).


tax 221016
එබැවින්, මෙම නව ආර්ථික නීති හරහා සිදු වන්නේ, රාජ්‍ය මූල්‍ය හෝ ණය පදනම් විරහිත ලෙස සීමා කිරීමත්, එමගින් ජාතික මුදල් ක්‍රමය සීමා කිරීම සහ අවහිර කිරීමත් ය. එනම්, රාජ්‍ය ආර්ථික කළමනාකරණ අවකාශය අත්තනෝමතික ඉලක්කම් කිහිපයකට සීමා කිරීම යි. මෙහි දී, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා කෙරෙන පදනම් නිර්දේශය වන්නේ, බදු ඉහළ දමා වියදම් කරන ලෙස යි. මෙම බදු බැංකු හරහා රජයට නිෂ්කාෂණය කිරීම සඳහා ද මුදල් මුද්‍රණය කළ යුතු බව මොවුන්ට දැනුමක් නොමැත. ඊට හේතුව, ආර්ථිකයෙහි දැනටමත් සංසරණය මුදල්වලින් රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාවන් සපයා ගන්නා බවට ඔවුන් සතු සාවද්‍ය අවබෝධය යි. එහෙත්, රාජ්‍ය මූල්‍ය යනු නව මුදල් මැවීම මත සිදු වන ක්‍රියාවලියකි.

නව ආර්ථික නීති පිටුපස ඇති මහා ආර්ථික මිත්‍යාව වන්නේ, රාජ්‍ය අයවැය/මූල්‍ය හිඟය සහ ණය හේතු කොට උද්ධමනය හට ගන්නා බවත්, උද්ධමනය පාලනය කිරීමට හැකියාව ඇත්තේ මහ බැංකුවට පමණක් බවත්, එබැවින්, උද්ධමනය පාලනය කොට මිල ස්ථායිතාවය ආරක්ෂා කිරීමට හැකි ලෙස මුදල් මුද්‍රණය කිරීමේ ස්වාධීනත්වය මහ බැංකුවට පැවරිය යුතු බවත් ය. එහෙත්, මෙය හුදෙක් පැරණි මුදල් ප්‍රමාණවාදී ගණිත සංකල්පය අන්ධානුකරණයෙන් වැළඳ ගැනීමකි. රාජ්‍ය අයවැය හිඟය සහ ණය හේතුවෙන් උද්ධමනය හට ගනී නම්, ලෝකය පුරා දැනට පැවතිය යුතු එකම ආර්ථික සංසිද්ධිය විය යුත්තේ, අධි උද්ධමන පීඩනය යි. ඉන් ඇමෙරිකාව ඇතුළු සියළු ආර්ථිකයන් මේ වන විට කඩා වැටී තිබිය යුතුය.

CentralBank large
ඊට හේතුව, පසුගිය සියවස පුරාවට රාජ්‍ය අයවැය හිඟය සහ ණය එතරම් ප්‍රසාරණය වීම යි. කිසිම රටක මිල ස්ථායිතාවයක් නොමැති අතර සමහර රටවල අවධමනකාරී තත්ත්වයන් ද පවතී. එබැවින්, මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීමේ දිව්‍ය බලයක් නොමැත. එබැවින්, මහ බැංකු විසින් පවසන්නේ, තමන් විසින් දිගු කාලයේ දී මිල ස්ථායිතාවය ගෙන දෙන බව යි. එහෙත්, කිසි දා නොඑන දිගු කාලයේ දී, බොහෝ මහජනයා මිය පරලොව ගොස් ඇති බැවින් මහ බැංකුව විසින් ප්‍රදානය කෙරෙන මිල ස්ථායිතාවය භුක්ති විඳීමට කිසිවෙකුට වාසනාවක් නොමැත.

එබැවින්, මිල ස්ථායිතාවය යනු මෙලොව කිසිවෙකුට භුක්ති විඳීමට අවස්ථාව නොමැති ආර්ථික මානසික ව්‍යාකුලත්වයකි. අනේක දේශීය සහ ගෝලීය සාධකයන් මත තීරණය වන වෙළෙඳපොළ මිල ගණන් මහ බැංකුව විසින් පොලී අනුපාතය එහාට මෙහාට වෙනස් කරන විට, එය පාරා වල්ලක් ලෙස ක්‍රියාත්මක වී, මහ බැංකුව අපේක්ෂා කරන ආකාරයට මිල ගණන් ස්ථායීතාවයට පත් වන බව පැවසීම, නූතන ආර්ථික විද්‍යා හෝ සාමාන්‍ය ව්‍යාපාරික දැනුමට ගෝචර නොවන බව කිව යුතු නැත.

එසේම, මහ බැංකු විසින් ද අඛණ්ඩව මුදල් මුද්‍රණයෙහි නිරත වී ඇත. ඊට හේතුව, අයවැය හිඟය හෝ රාජ්‍ය මූල්‍ය ප්‍රසාරණය වන විට, ඊට අනුබද්ධ නව ණය ඉල්ලුම පියවීමට අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීම හැර වෙනත් විකල්පයක් මහ බැංකුවට නොවීම යි. එසේ මුදල් මුද්‍රණය නොකළ හොත්, දේශීය මුදල් ක්‍රමය බිඳ වැටෙනු ඇත. බැංකු සහ මූල්‍ය අර්බුදයන් යනු එවැනි අවස්ථාවන් ය. මෙම සාර්ව ආර්ථික තත්ත්වය පිළිබඳ ව දේශපාලනික නායකයන්ට දැනුමක් නොමැති වුව ද, අනෙක් ආර්ථික විරුවන්ට හොඳ දැනුමක් තිබිය යුතුය.

1000 F 313264243 yNjjB7IExqgeS8LzGl3B9vM7C7LyDmg1

එබැවින්, මෙම නව ආර්ථික නීති තුළ නව රජයන්ට කළ හැකි එකම කාර්යය වන්නේ, IMF විසින් අවසර දෙන රාජ්‍ය මූල්‍ය සීමාව තුළ ආණ්ඩුව පවත්වා ගැනීමේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගෙන, රාජ්‍ය මූල්‍ය විනය ගැන කථා කිරීම පමණි. මහජනයා විසින් රජයන් පත් කරන්නේ, නායකයන් දෙන පොරොන්දු අනුව යි. එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට එරෙහිව ඇති රාජ්‍ය මූල්‍ය විනය නීති ගැන ඔවුන්ට දැනුමක් නොමැත. එබැවින්, මෙම නව ආර්ථික නීති තුළ පත්වන රජයන් මහජන උදහසට ලක් වී, ඉතා කෙටි ආයු කාලයන් ලබනු විය හැකිය. ඊට හොඳම උදාහරණය වන්නේ, IMF සමඟ හවුලේ මෙම සියළු රාජ්‍ය මූල්‍ය විනය නීති බිහි කොට, ආර්ථික අර්බුදය නිරාකරණය කළ බවට ප්‍රසංශා ලැබූ පසුගිය රජයේ නායකයන් පසුගිය මැතිවරණවලින් අන්ත ලෙස පරාජය වීම යි.

මෙම නව ආර්ථික නීති තුළ, ආර්ථික පරිහාණි කාලවල දී රැකියා බිහි කිරීම සහ කුටුම්බ ආදායම්  ප්‍රසාරණය සඳහා මහා ආර්ථික විද්‍යාඥ ජෝන් මෙනාඩ් කේන්ස් විසින් නිර්දේශ කරන ලද රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපායන් අනුගමනය කිරීමට ද හැකියාවක් නොමැත. ඊට හේතුව, ඒවා ශ්‍රී ලංකාවේ පොදු දේපොළ පනත යටතේ අපරාධ චෝදනාවලට ලක් විය හැකි වීමේ අවදානම යි.

adam ඇඩම් ස්මිත්එසේම, ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන මහා ආර්ථික දාර්ශනික ඇඩම් ස්මිත්ගේ නිදහස් වෙළෙඳපොළ ආර්ථික දර්ශනය අනුගමනය කිරීම ද නීති විරෝධී වීමේ අවදානම් පවතී. ඊට හේතුව, තරඟකාරී මිල ගවේෂණය හේතුවෙන් රාජ්‍ය මුදල් හෝ පොදු දේපොළ අපහරණයක් පිළිබඳ ව චෝදනාවන් මතු වීමේ අවදානම යි. එසේම, නිදහස් වෙළෙඳපොළ ක්‍රමය මගින් කුටුම්බ ආර්ථික විෂමතාවය ඉහළ යාමට ඇති ඉඩකඩ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමේ චෝදනාවකට ද අවකාශය ඇත.

DEBT 23111

එහෙත්, 2022 අප්‍රේල් 12 දින එම වර්ෂයේ ගෙවීමට ඇති රජයේ විදේශ ණය පමණක් නොව, ඉදිරි දශක ගණනාවක දී ගෙවීමට නියමිත විදේශ ණය ද රාජ්‍ය ණය කළමනාකරුවන් විසින් පැහැර හැරීම පොදු දේපොළ අපහරණයක් ලෙස තවමත් නොසැලකෙයි. ඊට හේතුව, 17 වැනි IMF ණය ගැනීම සඳහා මෙසේ ණය පැහැර හැරීම විය හැකිය. එනම්, ඊට පෙර එම ණය පැහැර නොහැර, IMF ණය නොගැනීම ආර්ථික අපරාධයක් වීමේ හැකියාව යි. 

WhatsApp Image 2025 07 16 at 1.43.16 PMවිදේශ ණය

2022 අප්‍රේල් සිට රාජ්‍ය ණය වෙන්දේසිවල පොලී අනුපාතයන් හදිසියේ 30% ගණන්වලට ඉහළ නැංවීම තුළින් රජයට සිදු වූ පොලී පාඩුව පොදු දේපොළ පාඩු ලෙස නොසැලකේ. ඉහත දැක්වූ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය ද පොදු දේපොළ භාවිතය පිළිබඳ නෛතික ප්‍රකාශනයක් හෝ සැලසුමක් වන බැවින් එහි අඩංගු ඉලක්කයන් හෝ පොරොන්දු ඉටු නොවන විට, අදාළ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පොදු දේපොළ අපහරණ චෝදනාවන් ගොනු වීමේ හැකියාවක් පවතී. ඒ සියල්ල නීති ක්‍රියාත්මක කරන්නන්ගේ ආර්ථික දැනුම සහ අර්ථ නිරූපනයන් අනුව සිදු විය හැකිය.

එබැවින්, දැන් දැන් දේශීය මහජන සේවයෙන් ඉවත්ව යන හෝ මැතිවරණයන්ගෙන් පරාජය වන ජාතික ආර්ථික විරුවන් විසින් ඉතිරි කොට යන්නේ, ඉදිරි කාලයේ දී රජයන් පෙරළන ආර්ථික කළමනාකරණ නීති පද්ධතියකි. ඊට හේතුව, රාජ්‍ය මූල්‍ය ස්වෛරීත්වයක් නොමැති රජයකට, මුදල් හිඟය හේතුවෙන් පැවැත්මක් නොමැති වීම යි.

ආර්ථික විරු ආගමනය  - රාජ්‍ය මූල්‍ය ද? පෞද්ගලික ද?

සමහරුන් විසින් තම විශ්ව කර්ම දැනුමෙන් රට ආර්ථික අර්බුදයෙන් ගොඩ ගත් බව පැවසෙන දේශපාලනික මාධ්‍ය පුවත් මේ දිනවල දැකිය හැකිය. 1815 උඩරට ගිවිසුම මගින් රට බ්‍රිතාන්‍ය රජුට පැවරීමට හවුල් වූ ජාතික වීර නායකයන් ද එවක දැරුවේ එවැනි අදහසකි. IMF ඩොලර් ජාලයට 17 වැනි වතාවට එක් වී, ඉන් නැවත ගොඩ ඒමට නොහැකි ලෙස රාජ්‍යයේ දෙඅත් සහ දෙපා බැඳෙන නීති සැකසීම ද, ඊට නොදෙවෙනි ජාතික වීර කමකි. අර්බුද කාලවල දී හදිසියේ බිහි වන්නේ, එවැනි ජාතික වීරයන් ය.

 

Child Education in Sri Lanka
පසුගිය දශක කිහිපයක් තුළ රජය සහ රාජ්‍ය සේවය මෙහෙය වන බහුතරය අති දුෂ්කර ගම්මානවලින් බිහි වී, නාගරීකරණය සහ ජාත්‍යන්තරීකරණය වූ පිරිසක් බව රහසක් නොවේ. ඉන් බොහෝ දෙනෙකුට ස්ථිර නිවසක් කෙසේ වෙතත් ගමට පහසුවෙන් යා හැකි  පාරක් තිබුණා නම් වාසනාවකි. එබැවින්, එම පිරිසේ මෙම ආගමනය සිය පරපුරෙන් හෝ ධනයෙන් සිදු වූවාක් නොව, හුදෙක් බ්‍රිතාන්‍යයෙන් දේශපාලන නිදහස ලැබීමෙන් පසු රජයන් විසින් නොයෙකුත් සංකල්පීය සහ ප්‍රයෝගික බාධක මැද්දේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ දේශීය රාජ්‍ය මූල්‍ය සහ මුදල් පාලන ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් බව කිව යුතු නැත. එම රාජ්‍ය මූල්‍ය හරහා ක්‍රියාත්මක කළ ජාතික භාෂා ප්‍රතිපත්තිය, නිදහස් අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවය, ආර්ථික යටිතල පහසුකම්, විශ්ව විද්‍යාල ප්‍රවේශය, රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දේශීය නිර්ණායකයන් සහ විදේශීය පුහුණු ප්‍රතිපත්ති යනාදිය නොවන්නට, මෑත කාලීන ඉහළ රාජ්‍ය තනතුරුවල සිටිනු ඇත්තේ, ඔවුන් නොව, සිංහල කථා නොකරන විදේශිකයන් ය.

මහ බැංකුව විසින් ද එම ප්‍රතිපත්ති අනුගමනය නොකළා නම්, සමහර ආර්ථික විරුවන් බිහි නොවනු ඇත. උදාහරණ ලෙස මහ බැංකු මාණ්ඩලික නිලධාරී සේවයට දේශීය විශ්ව විද්‍යාලවලින් ඉහළ ගෞරව උපාධි ලත් සුළු පිරිසක් ඉංග්‍රීසි නොදැනුම නොතකා වාර්ෂිකව බඳවා ගනු ලැබීය. ඒ සඳහා, මහ බැංකුවට විශේෂිත වූ ලිඛිත පරීක්ෂණ සහ සම්මුඛ පරීක්ෂණයන් පැවතින. එහි දී, ආචාර්ය එච්.එන්.එස්. කරුණාතිලක මහතා විසින් මෙහෙය වූ සම්මුඛ පරීක්ෂණයන්හි ගුණාත්මක භාවය පිළිබඳ ව සැකයක් නොවීය.

එම සම්මුඛ පරීක්ෂණයේ දී, ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාවේ සිට ආර්ථික මිථිය, ආර්ථික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර ආර්ථිකය ද ආවරණය වන ආර්ථික විද්‍යා දැනුමක් පරීක්ෂා කෙරින. සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන්නන්, අවම වශයෙන් පැයක කාලයක පමණ ආර්ථික දැනුම් ගැටුමකට මුහුණ දිය යුතු විය. එතුමාගේ මහාත්ම ගුණයක් වූයේ, තමන් නොදත් කරුනක් අයදුම් කරුගෙන් ප්‍රකාශ වුව හොත්, තමන් එය නොදැන සිටි බව පිළි ගැනීම යි. පසුව, ගරු ජනාධිපති ප්‍රේමදාස මහතාගේ නව ප්‍රතිපත්තිය අනුව ආර්. පාස්කරලිංගම් මහතා විසින් නිකුත් කරන ලද රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ ජාතික චක්‍රලේඛය 1990 දී මහ බැංකුව ද අනුගමනය කිරීම විශේෂ සිද්ධියක් විය.

 

gov service 250625
එම චක්‍රලේඛය අනුව ඕනෑම බඳවා ගැනීමක් සඳහා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වූ විට, ඉන් සමත් අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ ලකුණු මත තෝරා ගැනීමට ඉඩක් නොවීය. ඊට හේතුව, සම්මුඛ පරීක්ෂණය යනු රැකියාව සඳහා අයදුම් කරුගේ ශාරීරික යෝග්‍යතාවය නිරීක්ෂණය කිරීම පමණක් වීම යි. එබැවින්, ලිඛිත පරීක්ෂණයෙන් ඉහළම ලකුණු ලබා ගත් සියළු අයදුම් කරුවන් පුරප්පාඩු සංඛ්‍යාව අනුව තේරෙනු ඇත. මහ බැංකුව විසින් 2000 දශකයේ සිට වරින්වර වෙනස් ක්‍රමයන් අනුගමනය කළ අතර විශ්ව විද්‍යාල උපාධි නොවන බාහිර විෂය ධාරාවන් ද මාණ්ඩලික පංතියට සුදුසුකම ලෙස ඇතුලත් විය. පසුව, එසේ බඳවා ගන්නා පිරිස කළමනාකරණ පුහුණුවන්නන් ලෙස නම් කොට, සිය ගණනක් දක්වා ඉහළ දැමූ අතර ලිපිකාර හෝ මාණ්ඩලික නොවන බඳවා ගැනීම් අඩු කරන ලදි.

2012 දී පමණ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති චක්‍රලේඛය යම් සංශෝධනයන් සමඟ මහ බැංකුව විසින් නැවත ක්‍රියාත්මක කරන ලදි. එහි දී, ලිඛිත පරීක්ෂණ ලකුණු සහ සම්මුඛ පරීක්ෂණ ලකුණු බර තැබීමක් මත භාවිතා කරන ලදි. එබැවින්, ඉතා ඉහළ ලිඛිත පරීක්ෂණ ලකුණු ගත් අයදුම් කරුවන් ප්‍රතික්ෂේප වීමේ අසාධාරණය ඉවත් විය. එසේ ඉහළම ලිඛිත පරීක්ෂණ ලකුණු ලැබූ අයදුම් කරුවන් ප්‍රතික්ෂේප වීම පිළිබඳ ව ලැබුණ විගණන විමසුමක් පිළි ගැනීම මත මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන ලදි.

එබැවින්, බොහෝ ආර්ථික විරුවන් තම විශේෂ පාරම්පරික හෝ පුද්ගල හැකියාවන් අනුව එම රාජ්‍ය තනතුරුවලට පැමිණියා නොව, රජය විසින් රාජ්‍ය මූල්‍ය හරහා කපන ලද පොදුජන සංවර්ධන ප්‍රතිපත්ති මාවත ඔස්සේ පැමිණි පිරිසකි. එසේම, රාජ්‍ය සේවයේ තනතුරු යනු අභියෝගාත්මක රැකියාවන් නොව, කම්කරු නීතිවල උපරිම ආරක්ෂාව යටතේ කිසිම තරඟකාරීත්වයක් නොමැතිව කාර්යාල ලිපිගොනුවල තිබෙන දෙයක් සෙමින් කර ගෙන විශ්‍රාමය දක්වා යා හැකි තනතුරු ය. එම තනතුරුවලින් අපේක්ෂා කෙරෙන්නේ ද එවැනි දෙයක් බැවින් පෞද්ගලික අංශයේ රැකියාවල මෙන් නවීකරණ අභියෝගයන් නොමැත.

 

IMF 250702

එවැනි නවීකරණයන් උත්සාහ කිරීම ද නොයෙකුත් චෝදනාවලට සහ පළිගැනීමවලට ලක් විය හැකිය. කාලයක් ගිය විට ඉහළම තනතුරු කිහිපයට ප්‍රවේශවීමේ තරඟයේ දී දේශපාලනික ආශීර්වාදය සෙවීම සාමාන්‍ය දෙයකි. එසේ නොවේ නම්, වයස 60 න් විශ්‍රාම යනු ඇත. එබැවින්, ඇල්බට් අයින්ස්ටයින් වැනි මානව සංවර්ධන දාර්ශනිකයන් රාජ්‍ය සේවයෙන් බිහි නොවන බව නොරහසකි. එවැනි දාර්ශනිකයන් රාජ්‍ය සේවයේ නොසිටි බව, අර්බුදය මහ බැංකුවෙන්ම පත්තු වීමෙන් සනාථ වෙයි. සමහරුන් වසර දෙකකට එපිට සිට අර්බුදය එන බව දැන සිටි බව පැවසීමෙන්, ඔවුන්ගේ රාජ්‍ය සේවා නිර්මාණශීලිත්වයේ තත්ත්වය මැනවින් පැහැදිළි වෙයි.


එබැවින්, IMF විසින් නිර්දේශ කළ පරිදි නව ආර්ථික නීති ඔවුන් විසින් ක්‍රියාත්මක කිරීම ආර්ථික වීරකමක් නොව, මහා ආර්ථික පාවා දීමකි. එනම්, පසුගිය 75 වසරක කාලය තුළ රජයන් විසින් තමන්ට සැපයූ සංවර්ධන මාවත ඉදිරි පරම්පරාවට වසා දැමීම යි. එය, 1815 දී මෙන්, රාජ්‍යය නිල වශයෙන් විදේශිකයන්ට පාවා දීමකි. එබැවින්, IMF ණය වැඩසටහන ද පැරණි ලිපිගොනුවල සටහන්, කිසිම නවීකරණයක් නොමැති රාජ්‍ය සේවයකි.

මීට හොඳම උදාහරණය ලෙස පසුගිය ජුනි 16 දින නව රජයට රාජ්‍ය මූල්‍ය උපදෙස් දීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි IMF පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂක වරිය විසින් ශ්‍රී ලංකාව මුහුණ දෙන වත්මන් ආර්ථික අර්බුදයට මූල සාධකයක් ලෙස රාජ්‍ය සහනාධාර හුවා දැක්වීම ඉදිරිපත් කළ හැකිය. ඇයට අනුව ශ්‍රී ලංකාව ඩොලර් අර්බුදයකට මුහුණ දී ණය පැහැර හැරීමට හේතුව වූයේ, රජය විසින් මහජනයාට නිෂ්පාදක සහ පාරිභෝගික සහනාධාර සැපයීම යි.

 

මෙහි පුදුමය වන්නේ, එම සහනාධාර තුළින් ජනිත වූ ජාතික ආර්ථික විරුවන් ඉදිරියේ එය පැවසීමත්, ඔවුන් විසින් හුදෙක් IMF සැනසීම සඳහා එම සහනාධාර කැපීමට බල කෙරෙන රාජ්‍ය මූල්‍ය නීති සම්මත කිරීමත් ය. එහෙත්, ඔවුන් විසින් දශක ගණනක් තිස්සේ එම සහනාධාර නොවලක්වා, අධික ලෙස ඩොලර් ණය ගැනීමේ යෙදෙන විට, මෙම නව ජාතික ආර්ථික වීරත්වය දැනුනේ නැත.

එහෙත්, එකල ජාතික ආර්ථික වීරත්වය ලෙස දුටුවේ, එසේ ඩොලර් ණය ප්‍රසාරණය තුළින් මහ බැංකු විදේශ සංචිත ඉලක්කම ඉහළ නැංවීම යි. 2015-19 කාලය තුළ වාර්තාගත ලෙස ඩොලර් මිලියන 12,050 ක් පමණ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ණය ගැනීම ද එවක ජාතික වීරකමක් විය. පසුව, ඔවුන් විසින් ම එම ණයවලින් ඩොලර් මිලියන 500 ක් හැර, ඉතිරි සියළු ණය මුදල් 2022 අප්‍රේල් මස 12 දින ආපසු ගෙවීම පැහැර හැරීම ද ජාතික ආර්ථික වීරකමක් ලෙස සැලකෙයි. එසේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ගැනීම තුළින් එවක පතිත වීමට තිබූ ආර්ථිකය අර්බුදය වැලැක්වූ බව මෑත දී සමහරු ප්‍රකාශ කළ ද, ඔවුන් විසින් 2022 දී ද එම වීර ක්‍රියාව නොකොට, එම ණය එක තොගයට පැහැර හැරීමේ වීරත්වය කුමක් ද? යන්න අපැහැදිළි ය.

 

debt

එම ඩොලර් මිලියන 500 ක මුදල අර්බුදය මෝදු වන අවස්ථාවේ දී 2022 ජනවාරි මස ගෙවූ බැවින් අර්බුදය පතිත වීම මාස දෙකකට කල් යන ලදි. එම ණයවලින් 2022 ජුලි මස ගෙවීමට තිබු ඩොලර් මිලියන 1,000 හැර, ඉතිරි සියල්ල ගෙවීමට 2023 සිට 2029 අතර කාලයක් පැවතින. එහෙත්, එසේ ණය පැහැර හැරීමට හේතුව රාජ්‍ය මුදල් හිඟයක් නොව, මුදල් නීති පනතේ ප්‍රතිපාදනයන් අනුව විදේශ සංචිතය කළමනාකරණය කිරීමට එම ආර්ථික විරුවන් අසමත් වීම යි. පැහැර හරින ලද ඉතිරි ණය මුදල් ද්වීපාර්ශ්වීය ගිවිසුම් ණය වූ බැවින් වෙන වෙනම සාකච්ඡා කොට නව ගෙවුම් ක්‍රමයක් සකසා ගත හැකිව තිබිණ. ඒ ඒ අවස්ථාවේ දී නියමිත ණය ගෙවීමට නොහැකි වීම සහ අනාගතයේ ගෙවීමට ඇති ණය ඇතුළුව සියළු ණය නොගෙවන බවට ප්‍රකාශයන් නිකුත් කිරීම අතර ඇති වෙනස සුළු පටු නොවේ. ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති බවට ප්‍රසිද්ධ වී, ගෝලීය ආර්ථිකයෙන් ශ්‍රී ලංකාව තනිවීම හරහා ආර්ථික අර්බුදය පැතිර යාම එහි ප්‍රතිඵලයකි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ආර්ථික විද්‍යාවකට අනුව එසේ විදේශ ණය පැහැර හරින ලද බවට දැක්වූ කථාන්දරයට අදාළ ණය ප්‍රතිව්‍යුහගතකරණ තොරතුරු තවම ප්‍රසිද්ධ වී නොමැත. එහෙත්, එම හීයෙන් අනපේක්ෂිත ලෙස පහර කන ලද්දේ, නිරන්තරයෙන් රජයට මූල්‍ය පහසුකම් සැලසූ සේවක අර්ථ සාධක අරමුදල යි. දේශපාලනික යුද්ධයන් කෙරෙන විට, අහිංසක මිනිසුන් මරණයට සහ පීඩාවට පත්වීම සුලබ දසුනකි.

සමාප්ත සටහන

*දේශපාලනික අත්පොලසන් මැද ,17 වැනි වතාවට IMF ණයක් ගෙන, IMF කොන්දේසි නීති ගත කිරීම ජාතික වීරත්වයක් නොවේ. 1997/98 දී මැලේසියාවේ මහතීර් මොහමඩ් අගමැති වරයා මෙන්, IMF ණය සහ කොන්දේසි ප්‍රතික්ෂේප කොට, දේශීය සහ විදේශීය අහියෝගයන් නොතකා, විදේශ මුදල් අර්බුදයෙන් රට ගොඩ ගත්තා නම්, ඔවුන් සැබෑ ජාතික විරුවන් වනු ඇත.


economic cr
*ශ්‍රී ලංකා මහජනතාවට සහ රජයන්ට ඉදිරියේ දී මුහුණ දීමට සිදු වන අර්බුදය වනුයේ, නව ආර්ථික නීති හරහා දේශීය මුදල් ක්‍රමය සහ ස්වෛරීත්වය තවත් සීමා කොට, ශ්‍රී ලංකා ආර්ථිකය තවත් ඩොලර්කරණය කිරීමෙන්, උණුසුම් විදේශ ආයෝජකයන්ට නැවත නැවත බිලි වීම යි.

*එය, අර්බුදයෙන් ආර්ථිකය ගොඩ ගත් බවට දේශපාලනික ප්‍රසංශාවට ලක් වී ඇති ජාතික ආර්ථික විරුවන් විසින් සිදු කරන ලද ජාතික ද්‍රෝහී ක්‍රියාවකි. එය, 1815 උඩරට ගිවිසුමට හවුල් වූ ජාතික වීරකමට නොදෙවෙනි වෙයි.

*නොදියුණු ග්‍රාමීය ජන ජීවිතයේ සිට ඉහළ මහජන තනතුරුවලට ඔවුන්ට ඒමට උපකාර වූ රාජ්‍ය මූල්‍ය ක්‍රමය, ඔවුන් විසින් මෙම නව ආර්ථික නීති මගින් බිඳ දමා, ඉදිරි පරපුරට අහිමි කොට ඇත. එය මෙම යුගයේ සිදු කෙරෙන විශාල සමාජ අසාධාරණයන්ගෙන් එකකි.

*එබැවින්, IMF රාජ්‍ය මූල්‍ය මොඩලයෙන් ඉවත් වී, මෙම නව ආර්ථික නීති කඩිනමින් නිවැරදි කිරීමට නොහැකි නම්, කිසිම ඉදිරි රජයකට වැඩි කල් පැවැත්මක් නොමැති වනු ඇත.

*රටක ආර්ථික කළමනාකරණය යනු ස්වාභාවික විද්‍යාවක් නොව,  පොදුජන ජීවන මට්ටම සංවර්ධනය සඳහා රටෙහි සම්පත් කාර්යක්ෂමව සංචලනය කෙරෙන භූදේශපාලනික ව්‍යායාමයකි. ඊට යෝග්‍ය ආර්ථික විද්‍යාවක් ලෝකයේ මෙතෙක් බිහි වී නොමැත. ඕනෑ තරම් පෞද්ගලික සංකල්පයන් පවතී. උදාහරණ ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මේ දිනවල එරට සියළු සිස්ටම් සහ ගෝලීය ආර්ථිකය කම්පනයට පත් කරමින් ක්‍රියාත්මක කරනු ලබනුයේ, ආර්ථික විද්‍යාවක් නොව, භූදේශපාලනික සංකල්පයකි. එය, සියළු ප්‍රධාන ධාරා ආර්ථික විද්‍යා සංකල්පයන්ට එරෙහි වෙයි.

 

donald trump2
*සමස්තයක් වශයෙන් නූතන මුදල් ආර්ථිකයන්හි රාජ්‍ය මූල්‍ය යනු මුදල් ක්‍රමය ගොඩ නගා, එහි විශ්වාසය පවත්වා ගෙන යන නිල මෙවලම යි. එබැවින්, ආර්ථිකයෙහි නිෂ්පාදන ක්‍රියාකාරකම් ප්‍රසාරණයට අවශ්‍ය මුදල් ප්‍රමාණය සහ ව්‍යාප්තිය සැපයීම රාජ්‍ය මූල්‍ය හරහා සිදු වෙයි. එබැවින්, නව ආර්ථික නීති මගින් ශ්‍රී ලංකාවේ රජය සහ රාජ්‍ය මූල්‍ය පටු කොටුවකට සීමා කිරීම යනු නුදුරේ දී දේශීය මුදල් සහ ආර්ථිකය විදේශීය පෞද්ගලික අවදානම් සහ අර්බුදයන්ට කෙලින්ම විවෘත කිරීමකි. එය වැලැක්වීමට රජයේ මනාපයක් තිබේ නම්, වහාම මෙම ආර්ථික නීති ඉවත් කළ කොට, රාජ්‍ය මූල්‍ය ස්වාධීනත්වය නැවත රජයට ලබා ගත යුතුය. මේ දිනවල ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන්නේ ද, ඇමෙරිකානු ආර්ථිකය විදේශීය අධිපත්‍යයෙන් මුදවා ගැනීමේ එවැනි ව්‍යායාමයකි.


(වත්මන් ශ්‍රී ලංකා ඓතිහාසික ආර්ථික අර්බුදය නිරාකරණයට අවශ්‍ය නව්‍ය ප්‍රතිපත්ති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව සිදුවන කාලීන විද්වත් කතිකාවතට හුදෙක් වෘත්තීය අභිලාෂයෙන් දායකවීමේ අරමුණින් මෙම ලිපිය සකසන ලදි. මෙම ලිපියෙහි ඇතුළත් අදහස් සියල්ල ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ව මා විසින් අධ්‍යයනය කරන ලද තොරතුරු සහ දැනුම මත පදනම් වූ පෞද්ගලික අදහස් ය. එහි කිසිවෙකු පෞද්ගලිකව ද්වේශ සහගත ලෙස විවේචනයට හෝ අපහසු තාවයකට පත් කිරීමේ අරමුණක් නොමැත.)


P Samarasiri
(සටහන | පි සමරසිරි)
Psamrahu@gmail.com

හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
[ආර්ථික විද්‍යාව බී.ඒ. ගෞරව (කොළඹ විශ්ව විද්‍යාලය) සහ එම්.ඒ. (කැන්සස් විශ්ව විද්‍යාලය)]


(වසර 35 ක් පමණ මහ බැංකු මාණ්ඩලික පංතියේ නිලධාරී, හිටපු බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂක, මහ බැංකු සහකාර අධිපති, මහ බැංකු මුදල් මණ්ඩල ලේකම්, නියෝජ්‍ය අධිපති, ණය තොරතුරු කාර්යාංශයේ සභාපති, ශ්‍රී ලංකා ගිණුම් සහ විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ උප සභාපති සහ සභාපති, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික, ශ්‍රී ලංකා විනිමය සහ සුරකුම්පත් කොමිසමේ සාමාජික සහ බැංකු සහ ආර්ථික විද්‍යා ග්‍රන්ථයන් 13 ක කතෘ)

(උපුටා ගැනීම ; economydiscovery - July 02, 2025)

 

WhatsApp Image 2021 09 13 at 13.49.58

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...