BREAKING
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

T

The Leader

September 25, 2026 • 3:23 AM

පනාමුරේ කතාව (12 කොටස) : කාටවත් නොනැමුණු මඩුවන්වෙල ආර්.එම්. | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මඩුවන්වෙල රටේ මහත්තයාව ඉංග්‍රීසි නිලධාරීන් ඇමතුවේ "මඩුවන්වෙල ආර්.එම්." ලෙසිනි. ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට ඔහු "මඩුවන්වෙල දිසා හාමුදුරුවෝ" විය.
  • ඔහුව නිසි ලෙස කියවා ගත් කෙනෙකුට ඔහු යහපත් මිනිසකු ලෙස දැකීම අසීරු නොවිණි.
  • කුඩා කල ඔහුගේ මව මිය ගිය පසු ඔහුව තමන්ගේ ම දරවකු ලෙස හදාවඩා ගත් බලංගොඩ මහවලතැන්න වලව්වේ විසූ ඔහුගේ මාමා වන එක්නැලිගොඩ නිලමේ ද එම වසරේම මිය ගියේය.
  • ඉන්පසු ඔහු මෙයට පිළියමක් ලෙස සිය නැගණිය වන, එනම් ඔහුගේ පියා වූ මොළමුරේ කෝරාළ මහතාගේ ඊළඟ විවාහයේ දියණියක වූ මොළමුරේ ටිකිරි කුමාරිහාමි මඩුවන්වෙල වලව්වට කැඳවාගෙන ආවේය.              නමුත් එය තාවකාලික පිළියමක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
සිය කෝරළයට ඔහු මහත් කැපවීමෙන් කළ සේවය නිසා ඔහු මොන තරම් දරදඬු සිත් ඇත්තකු වුවත් වැසියන් ඔහුට නරකක් කීවේ නැත. ඔහුව නිසි ලෙස කියවා ගත් කෙනෙකුට ඔහු යහපත් මිනිසකු ලෙස දැකීම අසීරු නොවිණි. මතුපිටින් පෙනෙන දරදඬු පුද්ගලයාට යටින් සිටියේ යුතු අයුතුකම් දන්නා, කිසිවකුටත් කුමන හේතුවකටවත් හිස නවන්නට සූදානම් නැති, සුද්දන් යටතේ සේවය කළත් සුද්දාට නොපෑගුණු අභිමානවත් පෞරුෂයකි. 
       
රටේ මහත්තයාටත්, ඔහුගේ ආබාධිත දියණිය වන ඩිංගිරි අප්පෝටත් නොසිතූ විරූ කරදරයකට මුහුණ දෙන්නට සිදු වූයේ ඇය සිව් හැවිරිදි වියේ සිටියදී ය. රටේ මහත්තයාගේ බිරිඳ, මෙම දැරියගේ මව වන දඹවින්නේ කුමාරිහාමි හදිසියේ ම මිය ගියාය. ඒ වර්ෂ 1876 දී ය. මෙය රටේ මහත්තයාට විශාල සිත් වේදනාවක් වූයේය. මිය යනවිටත් ඇය සිටියේ තරුණ විය ඉක්මවා නොවේ. ඔවුන් ට සිටි එකම දරුවා වූ ආබාධිත දියණිය ද එවකට කුඩා ය. 
       
WhatsApp Image 2026 09 25 at 11.09.12 AMමඩුවන්වෙල දිසාව කලවානෙ තුමාරිහාමිව විවාහ කරගත් දවස
රටේ මහත්තයා තවත් ඛේදවාචකයකට මේ කාලය තූළදී මුහුණ දුන්නේය. කුඩා කල ඔහුගේ මව මිය ගිය පසු ඔහුව තමන්ගේ ම දරවකු ලෙස හදාවඩා ගත් බලංගොඩ මහවලතැන්න වලව්වේ විසූ ඔහුගේ මාමා වන එක්නැලිගොඩ නිලමේ ද එම වසරේම මිය ගියේය. එය ඔහුගේ වේදනාව තව සිය දහස් ගුණයකින් වැඩි කර තිබිණි. රටේ මහත්තයාගේ නැන්දා වූ දන්ගමුවේ කුමාරිහාමි සිටියේත් මහලු වියේ බැවින් ඇයට ද මෙම ආබාධිත කුඩා දැරිය බලා කියා ගැනීමට හැකියාවක් නොවිණි. ඉන්පසු ඔහු මෙයට පිළියමක් ලෙස සිය නැගණිය වන, එනම් ඔහුගේ පියා වූ මොළමුරේ කෝරාළ මහතාගේ ඊළඟ විවාහයේ දියණියක වූ මොළමුරේ ටිකිරි කුමාරිහාමි මඩුවන්වෙල වලව්වට කැඳවාගෙන ආවේය.  
         
නමුත් එය තාවකාලික පිළියමක් පමණි. පවුලේ ප්‍රශ්න, රාජකාරි කටයුතු බහුල වීම වැනි ගැටලු නිසා නින්දගමේ පරිපාලන කටයුතු සොයා බැලීම ද ක්‍රම ක්‍රමයෙන් අතපසු විය. නින්දගමෙන් වලව්වට ලැබිය යුතුවූ 3/1 බදු මුදල නිසි ලෙස නොලැබුණේ ඇතැම් ගම්භාරේ ලා බදු මුදල් වංචා කිරීම නිසාය. 
         
9pxx4h5k25rmw0d0twnvm9n6qr මඩුවන්වෙල දිසාව කලවානෙ තුමාරිහාමිව විවාහ කරගත් දවස
ප්‍රශ්න එකින් එක ගොඩ ගැසෙන විට විකල්පයක් නොමැති තැන රටේ මහත්තයා දෙවෙනි වරටත් කසාදයක් කර ගන්නට තීරණය කළේය. ඔහු සෙව්වේ සිය ආබාධිත දියණියට මවක විය හැකි කාන්තාවකි. දියණියගේ ද කැමැත්ත ඇතිව ඔහු දෙවන විවාහයක් කර ගත්තේය. ඇය කලවානේ ඕමත්තේ තිලකරත්න මුදියන්සේ රාලහාමිල්ලාගේ ලොකු කුමාරිහාමි ය. ඇය හැඳින්වූයේ කලවානේ කුමාරිහාමි ලෙසිනි. මෙම විවාහය 1887 ජූලි මස 16 වෙනි දින සිදුවූ බව කියවේ. මෙසේ දෙවන වරට විවාහ වනවිට මඩුවන්වෙල රටේ මහත්තයා 43 වෙනි වියේ පසු විය. ඔහුගේ දියණිය 15 හැවිරිදි ය.
      
මෙම විවාහ මංගල්‍යය සිදු කළ ආකාරය ගැන ද තොරතුරු තිබේ. මඟුල් පෙරහැරේ මනාලිය කලවානේ සිට කොස්වතු ගඟ දක්වා පැමිණ ඇත්තේ දෝලාවෙනි. කොස්වතු ගඟ පිහිටියේත් කලවාන ප්‍රදේශයේ ය. එතැනට ගව් භාගයක දුරක් ඇති බව පැවසේ. ගඟෙන් එගොඩ වූ පසු තිරික්කල සහ ගොන් බැඳි කරත්ත මංගල පෙරහැරට යෙදා ගෙන තිබේ. මනාලයා වූ මඩුවන්වෙල රටේ මහත්තයා උඩරට මුල් ඇඳුමෙන් සැරසී අශ්වයකු පිට ⁣ගොස් ඇත. එදා හැන්දෑ වනවිට ඔවුන් රක්වානට ළඟා වූ අතර මනාල යුවළ රාත්‍රිය ගත කර ඇත්තේ රක්වාන තානායමේ ය. එයද එකල මඩුවන්වෙල රටේ මහත්තයාට අයත් වූවක් බව පැවසේ.
 
පසුදින යුවළ මඩුවන්වෙල වලව්වට ළඟා වවනවිට හිරු අවරට යාමට ආසන්න වී තිබිණි.
 
WhatsApp Image 2026 09 25 at 11.09.11 AMරක්වාන තානායම
       
මෙම යුවළ ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කළහ. මඩුවන්වෙල රටේ මහත්තයා සිය බිරිඳ ට වඩාත් ආදරය කිරීමට බලපෑ හේතුවක් වූයේ ඇය ඩිංගිරි අප්පෝව තමන්ගේම කුසින් වැදූ දරුවකු මෙන් ආදරයෙන් රැක බලා ගැනීම ය. ඒ වනවිට ඩිංගිරි අප්පෝ නවයොවුන් වයසේ සිටි තරුණියකි. රටේ මහත්තයාට සිය දෙවෙනි විවාහයෙන් දරුවන් ලැබුණේ නැත. 
       
ඔවුන් ගේ විවාහයෙන් ටික කලකට පසු කලවානේ කුමාරිහාමි සිය බාල සොහොයුරකු වූ පුංචි බණ්ඩාර කලවාන මඩුවන්වෙල වලව්වේ නතර කර ගත්තේ රටේ මහත්තයාගේ අවසරය ඇතිව ය. පුංචි බණ්ඩාරට ලිවීමේ කියවීමේ හැකියාව තිබූ නිසා ඔහු තමාගේ රාජකාරී වැඩවලට සහ පෞද්ගලික වැඩවලට සම්බන්ධ කර ගැනීමට හැකි වීම ගැන රටේ මහත්තයා සතුටු විය. එවැනි වගකීම් භාර ගන්නටත්, ඒවා නිසි ලෙස ඉටු කරන්නටත් තරම් මුහුකුරා ගිය දැනුමක් සහ බුද්ධියක් පුංචි බණ්ඩාර සතුව ඇති බව රටේ මහත්තයා ඉතාමත් කෙටි කාලයකින්ම වටහා ගත්තේය. එසේම ඔහු ප්‍රදේශවාසීන්ගේ ද හිත දිනා ගැනීමට සමත් ප්‍රියමනාප පුද්ගලයකු වීම මේ කටයුතු තවත් පහසු කරවීය. ඉන්පසු රටේ මහත්තයා ඔහුට කොලොන්න කෝරළයේ සිදුවන හොරමැරකම්, මරණ පරීක්ෂණ කටයුතු මෙන්ම නින්දගම්වල අයවැය සොයා බැලීම වැනි වඩාත් වගකීම් සහගත රාජකාරි කිහිපයක් පැවරුවේ එපමණටම විශ්වාසයක් පුංචි බණ්ඩාර කෙරෙහි පැවති නිසාම ය. 
         
තරුණ වයසේ සිටි පුංචි බණ්ඩාරගේ අනාගතය ගැන බැලීම තම යුතුකමක් සේ සැලකූ මඩුවන්වෙල රටේ මහත්තයා, සිය බිරිඳ වූ කලවානේ කුමාරිහාමිගේ ද එකඟතාව ඇතිව පුංචි බණ්ඩාරට ගැලපෙන මනාලියක සෙවීය. අවසානයේ ඔහුට සුදුසු මනාලියක හමුවූ අතර ඇය දූල්ලෑවේ කුමාරිහාමි නම් විය. මෙම යුවළ විවාහයෙන් පසු මඩුවන්වෙල වලව්වේම පදිංචි වූහ.
         kalawane kumarihami
තමන්ට බොහෝ හිතැති පුංචි බණ්ඩාරට නිවසක් ඉදිකර දීම තම යුතුකමක් සේ සැලකූ මඩුවන්වෙල රටේ මහත්තයා කොලොන්නේ නිවසක් ඉදි කර පුංචි බණ්ඩාරට එය භාර දුන්නේය. මේ යුවළට දියණියන් සිව් දෙනෙකු සහ එක් පුතෙකු ලැබිණි. වැඩිමහල් දියණිය කල්‍යාණවතී කලවාන ය. දෙවැන්නී අනුලාවතී කලවාන වූවාය. තෙවැනියා ලෙස උපන් සීලවතී කලවාන උපන් දිනවලම ඔවුන්ට අලුත් නිවසේ පදිංචියට එන්නට හැකියාව ලැබිණි. මේ නිසා එම නිවස සීලවතී වලව්ව ලෙස කවුරුත් හැඳින්වූහ. එහි පදිංචියට පැමිණි පසු සිව්වෙනි දියණිය වූ සෝමාවතී කලවාන උපන්නා ය. පස් වැන්නා විලී කලවාන ය. පුංචි බණ්ඩාර කලවානට උපන් එකම පුතු වූ ඔහු තරුණ වියට පැමිණි පසු සිය වාසගම වූ කලවාන යන්න ඉවත් කර මඩුවන්වෙල යන්න නමට එකතු කර ගත්තේය. ඉන්පසු ඔහු හැඳින්වූයේ විලී මඩුවන්වෙල යනුවෙනි.  
          ⁣
තවත් කොටසක් ලබන සතියේ 
 
මෙම විස්තර සපයා දුන් හිටපු පුරාවිද්‍යා ගවේෂණ නිලධාරී මාධ්‍යවේදී ජයන්ත විජේරත්න හේරත් මහතාටත්, ලිපි පෙළ සඳහා නන් අයුරින් උපකාර ලබා දෙන ප්‍රවීන මාධ්‍යවේදී රක්වානේ බුද්ධික තැන්නෙපිට මහතාටත්, පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත් ස්තුතියි.
 
ඡායාරූප - අන්තර්ජාලය
 

 

සටහන : ඉන්දු පෙරේරා

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා  

පනාමුරේ කතාව (06 කොටස) : මඩුවන්වෙල කළු කුමාරයා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (07 කොටස) : සුද්දන්ට මතක හිටින පාඩමක් | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (08 කොටස) : සුදු ඒජන්තවරයා ගඟ මැදට දමයි | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (09 කොටස) : රුපියල් පනහේ තේ වත්ත | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (10 කොටස) : මඩුවන්වෙල අතීතය | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (11 කොටස) : මඩුවන්වෙල තරුණයා රටේ මහත්තයා වූ හැටි | ඉන්දු පෙරේරා

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...