වර්ෂ 1996 දී චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිහිට වූ පසු, දශක තුනකට ආසන්න කාලයක් තුළ එම කොමිසම වඩාම සක්‍රිය වූ කාලය ලෙස අද දවසේ එහි ක්‍රියාකාරිත්වය හැදින්විය හැකි ය.
වර්තමානයේ එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ප්‍රමුඛ කොමසාරිස්වරුන් තිදෙනා, නීති නිලධාරීන් විමර්ශන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉහත සක්‍රියතාවයට උරදෙමින් සිටිති. කැපවී සිටිති.
කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක
එසේ නම්, ගෙවුණු දශක තුනක කාලය පුරාවට එහි සේවය කළ ඉහළම බලධාරීන්ගේ සිට සෙසු කොමසාරිස්වරුන්, නීති නිලධාරීන්, විමර්ශන නිලධාරීන් සහ සෙසු පිරිස තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකළේ ද ? එක් එක් කාල වකවානු තුළ යම් කෙටි කාලයක් සක්‍රියව කටයුතු කරමින් ද , නැවත සුපුරුදු නිද්‍රවට වැටෙමින් ද මේ කොමිෂන් සභාව ඉබි ගමනේ ඉදිරියට ආ බව, මෙකී මුළු කාලය තුළම දැඩි විමසිල්ලෙන් එදෙස බලා සිටි මට පෙනෙන්නට තිබුණි.
එකී ඉඹි ගමනට එහි සේවය කළ සියළු දෙනා වගකිව යුතු නොවුණ ද, කොමිසම ආරම්භ කළ චන්ද්‍රිකා රජයේ සිට මෙතෙක් පැවති සියලු රජයන්ගේ අනීතික සෘජු මැදිහත්වීම් හේතූවූ බව නම් ප්‍රසිද්ධ රහසකි. ඊට අමතරව එම කොමිසම පිහිටවූ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත ද නෛතික වශයෙන් බොහෝ ප්‍රායෝගික ගැටලු ද අප්‍රමාණව පැවතුණි.
පැවති සියලූම ආණ්ඩු කොමිසම අකර්මණ්‍ය කිරීමට සෘජු දායකත්වය සැපයී ය.......!

මේ නිද්‍රාශීලී භාවය ගැන එක් උදාහරණයක් ලෙස මා ලැබූ පුද්ගලික අත්දැකීම් ප්‍රකාශ කරන්නේ නම්, මවිසින් 'සිළුමිණ' පුවත්පත මගින් රටට හෙළිදරව් කළ බොහෝ රාජ්‍ය ආයතනවල සිදුවූ මහා පරිමාණ වංචා, දූෂණ පිළිබඳ ඉන් ඔබ්බට ගොස් අල්ලස් කොමිසමට පැමිණිලි කළද, ඒවා පිළිබඳ සිදුවුණු විමර්ශනයක් නැති තරම් ය. සමස්තයක් ලෙස ගත් කළ පැවැති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එතරම්ම අකර්මණ්‍ය ආයතනයක් වට පත්කර තිබුණේ මෙතුවක් රට පාලනය කළ දේශපාලන බල අධිකාරිය විසිනි.
වර්ෂ 2020 වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති යටතේ ශ්‍රී ලංකාව 'ණය' ගෙවාගත නොහැකි ආර්ථික බංකොලොත් භාවයට පත්ව ඇති බව අන්තර් ජාතික 'ණය' වර්ගීකරණ ආයතන විසින් ලොවට ප්‍රකාශ කිරීමත් සමග ලෝකයේ සියලු ණය දෙන ආයතන ශ්‍රී ලංකාවට ණය ලබාදීම ප්‍රතික්ෂේප කළෝ ය. 2020 ජීනීවා මානව හිමිකම් කොමිෂන් සභා වාර්ෂික සැසි වාරයේ දී ශ්‍රී ලංකාවේ බංකොලොත් භාවයට එක් ප්‍රධාන හේතුවක්වී ඇත්තේ රටතුළ ඉහවහා ගිය මහා පරිමාණ දූෂණ හා වංචා බව ප්‍රකාශයට පත්වි ය.
රටේ බංකොලොත් භාවයෙන් අත්මිදීමට නැවත අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ (IMF) දායකත්වය අවශ්‍යවූ අතර පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට නම්, රටතුළ පවතින දූෂණ වංචා අවම කිරීම පිණිස නව අල්ලස් හෝ දූෂණ නීති දැඩි කිරීමට වඩා ශක්තිමත් ලෙස අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ නව නීති හදුන්වා දෙන ලෙස IMF දැඩි කොන්දේසියක් පැනවී ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති යටතේ නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනත සම්මත කර ගත්තේ රටේ දූෂණය තුරන් කිරීමට රනිල් වික්‍රමසිංහට තිබූ අවංක උවමනාවක් නිසා නොව, යෝජිත 'ණය' ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීමේ IMF හී මූලික කොන්දේසියක් ඉටු නොකර සිටීමට නොහැකි වූ නිසා ය.
වත්මන් බලධාරීන්ට නිදහසේ සිය වගකීම ක්‍රියාත්මක කිරීමට එල්ලවන කවර හෝ බාධාවකට ඉඩ නොදීම රට වැසියාගේ යුතුකමයි.
අද දවසේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පෙර ආණ්ඩුවලින් සේ මෙතෙක් කවර හෝ අත පෙවීමක්, මැදිහත් වීමක් නොමැති වීම ඔවුන්ට අතපය දිගහැර සිය වගකීම් ඉටූ කිරීමට නිදහස ලැබී තිබේ. එම නිදහසට කවර හෝ මොහොතක, කවර හෝ පාර්ශවයකගෙන්, කවර හෝ බාධාවක් එල්ල වන්නේ නම්, වංචාවට, දූෂණයට එරෙහි සියලු රට වැසියෝ ඊට එරෙහිව පෙළ ගැසිය යුතු ය. මන්දයත , ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් අන්ත අගාධයකට ඇද දැමීමට රට තුළ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ වංචාව, දූෂණය හේතුවී තිබේ.
එදා අද මෙන් ක්ෂණිකව තොරතුරු ගලා ඒමේ නවීන සංනිවේදන මාර්ග නොතිබුණු අතර, දැඩි දුෂ්කර මාර්ග ඔස්සේ හෝ තොරතුරු විමර්ශනය කරමින් රටේ පැවති දූෂණ, වංචා හෙළිදරව් කිරීමට උපරිමයෙන් ක්‍රියා කළෙමි. රජයේ ප්‍රධාන පුවතේ සිටිමින් පවතින ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල සිදුවන මහාපරිමාණ වංචා දූෂණ හෙළිදරව් කිරීම එතරම් පහසු කාර්යයක් නොවුණද , ඒ වෙනුවෙන් අත් නොහරින ලද උත්සාහයන් අසාර්ථක නොවී ය.
එලෙස හෙළිදරව් කරන වංචා , දූෂණ සම්බන්ධයෙන් අදාළ ආයතන නිහඩව සිටින විට , පොලිස් වංචා විමර්ශන ඒකකයටත් , අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමටත් පැමිණිලි කිරීමට මට සිදුවිය. රටේ සිදුවන මහාපරිමාණ වංචාවක් , දූෂණයක් හෙළිදරව් කරන පත්තරකාරයාටම ඒ වංචාවට , දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම ආයතන වෙත ගොස් පැමිණිලි කිරීමටත් සිදුවීම කොතරම් ඛේදවාචකයක් ද ?
වංචාවට, දූෂණයට වැට බඳින තැන සක්‍රියව ක්‍රියා කරන්නේ දැයි විමර්ශනය කිරීම......!
රටේ සිදුවන මහා පරිමාණ වංචා , දූෂණ පුවත්පත මගින් රටට හෙළිදරව් කරමින් ඒවාට එරෙහිව වරද කරුවන්ට දඩුවම් කරන ආයතන සහ විමර්ශනය කරන ආයතන පිළිබඳව විපරම් කිරීමට මේ ලියුම්කරුට සිදුවිය. ඒ අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම , විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙස නිරන්තර අවධානයෙන් සිටීම මේ ලියුම්කරුගේ පුරුද්දක් විය.
2006 අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතට අනුව එහි කොමසාරිස්වරුන් ලෙස බදවා ගනු ලැබූවේ මහාධිකරණයේ , අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරුන් ය. එවිට අල්ලස් කොමිසමට එන කොමසාරිස්වරුන් නියත වශයෙන්ම වයස 65 ඉකුත්වූ විශ්‍රාම වයසේ පසුවන්නෝ ය. එහෙයින් එකල අල්ලස් කොමිසමේ කොමසාරිස් අසුන් තුන නිතර නිතර හිස් විය. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව ද ඇතැම් විට අක්‍රියව පවතී.

එවිට අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් පත් කිරීම ද ඇණ හිටී. කොමසාරිස්වරු තිදෙනාගේ ඝණ පූර්ණය හිස්වූ විට විමර්ශන ආරම්භ කිරීම , නඩු පැවරීම සිදු වන්නේ නැත. වරෙක අල්ලස් කොමිසමේ පැමිණිලි සිය ගණනින් ගොඩ ගැසෙන්නට විය. "ලොක්කන්ට එරෙහිව පැමිණිලි හාරසිය ගණනක් ගොඩ ගැසේ" මැයෙන් 'සිළුමිණ' ප්‍රධාන පුවතකින් රටට හෙළිදරව් කිරීමට මට සිදුවි ය. එපමණක් නොව, දිගින් දිගටම කොමිසම අක්‍රියව පවතින විට හිස් පුටු තුනක් පෙන්වා "අල්ලස් කොමිසම බරටම වැඩ" යනුවෙන් හාස්‍යය ජනක කාටූනයක් සමග ඒ කතාව රටට කියන්නට මට සිදුවිය.
පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව අල්ලස් කොමිසමට අතපෙවීම්......,,!
පියසේන රණසිංහ යනු අල්ලස් කොමිසමේ සිටි ඉතා හොද අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කළ විමර්ශන හේතුවෙන් එදා ඉඩ ඊට එරෙහිව වියරු වැටුණු මන්ත්‍රීවරුන් කළේ අල්ලස් කොමිසම තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකරන බව පෙන්වමින් කතානායකවරයාට පැමිණිලි කිරීම යි.

එදා සහ අද වෙනස තේරුම් ගෙන මේ ආයතනය සභ බලධාරීන්ට දිරියක් වෙමු. ඔවුන්ද නිරන්තර පරීක්ෂාවට ලක්කරමු......... !
දශක තුනක් තිස්සේ මේ ආයතනවලට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඇති බාධා ඉවත් කරමින් , කිසිදු බාධාවක් එල්ල නොකරමින් ස්වාධීන ආයතන ලෙස නිදහසේ ක්‍රියාත්මක වීමට ඉඩ දුන්නේ නම්, රටේ වංචාව, දූෂණය අකා මකා දැමීමට නොහැකි තරම් දරුණු ලෙස ඔඩු දුවන්නේ නැත. ඒ නිසාම රට මේ තරම් දරුණු ආර්ථික අගාධයකට ඇද වැටෙන්නේ ද නැත. සිහි බුද්ධියෙන් සිටින ඕනෑම කෙනෙකුට රට තුළ ගෙවුණු දශක දෙක තුනක් තිස්සේ සිදුවී ඇති වංචා, දූෂණවල තරම කොතෙක් ද යන්න හොඳින් පෙනී යනු ඇත.
මේ සියල්ල සිඳ බිඳ දැමීමට වංචාවට, දූෂණයට එරෙහි සියලු පුරවැසියන් පක්ෂ, පාට, ජාති, කුල, මල භේද නොතකා පෙරට ආයුතුම ය. කිසිදු කුමන්ත්‍රණයක් ජය ගැනීමට චෞර වංචනිකයන්ට ඉඩ නොදිය යුතු ය. නූපන් දරුවා වෙනුවෙන් ඔබෙන් ඉටුවිය යුතු පරම යුතුකම, වගකීම එය යි.
(සටහන | පෝද්දල ජයන්ත)
මාධ්‍යවේදී
poddalaj@gmail.com
උපුටා ගැනීම - Poddala Jayantha ගේ ෆේස්බුක් පිටුවෙන්...



