මේ වන විට දේශපාලන පිටිය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.
ඒ අතර විවිධ පාර්ශව මුදල් ද එහාට මෙහාට හුවමාරු කරනා බවට ද විවිධ චෝදනා දේශපාලන පිටියේ ප්‍රචාරය වන්නකි. ජනාධිපති අපේක්ෂකයෙකු වන ජනපති රනිල් ද සිය දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක කරනාකාරය ගැන සැවොම විමසිල්ලෙන් සිටින බව නම් පැහැදිලිය.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් වේදිකාවේ රඟද්දී ජනපති රනිල් නිහඩව ඉදිරි ගමන සැලසුම් කරමින් සිටියි. නිසල මුහුද ගැඹුරුය යන පරිකල්පනය සාක්ෂාත් කරමින් යන ගමනේ කෙලවර කවරක්දැයි සැවොම සෙවුව ද ඒ ගැන කිසිවෙකුටත් තවම සිතා ගත නොහැකි තත්ත්වයක පවතියි. එම නිසා දේශපාලන පිටිය තුළ නොයෙක් ඔපාදූප ද ඔබමොඹ යමින් තිබේ.

ජනපති රනිල් ඉකුත් සති අන්තය ගත කළේ මහනුවර සහ නුවරඑළියේය. පළමු රැස්වීම මහනුවර ජනාධිපති මන්දිරියේ පැවැති අතර මහනුවර වෙළෙද සංගම් නියෝජිතයන් මේ සඳහා සහභාගී වී සිටියහ. වෙළෙද සංගම් නියෝජිතයන් සියලු දෙනා රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ගැන ජනපති රනිල්ට ස්තූති කළ අතර බදු අය කිරීමේදි ඇතිව තිබෙන සංකූලතා ගැන මෙහිදි වෙළෙද සංගම් නියෝජිතයන් කරුණු ඉදිරිපත් කරන ලදි.
මෙහිදි ජනපති රනිල් මහනුවර සංවර්ධනය ගැන මෙන්ම 2025 දී වාහන ආනයනය කිරීම ගැන ද කතා කළේය. වාහන ආනයනය කිරීමේදි බදු අය වීම වැඩි වන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදි රටේ බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන ද කතා කළේය.
එය අවසන් කොට ජනපති රනිල් වතු කම්කරු නායකයන් මුණ ගැසීම වෙනුවෙන් පේරාදෙණිය පාරට යාමට සිදුව තිබුනි. මහනුවර ඇසළ මහා මංගල්‍යය වෙනුවෙන් අධික ජනකායන් එහි පැමිණ ඇති බැවින් තමන්ගේ පැමිණීම ඔවුන්ට බාධාවක් නොවිය යුතු බව ජනපති රනිල් පෙරදීම ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබුනි.
තමන් ගමන් කරනා මාර්ග වසා දමා ජනතාවට බාධා නොකරන ලෙස දුන් උපදෙස ක්‍රියාත්මක වීම නිසා ජනපති රනිල්ට ද රථවාහන තදබදය මැද සාමාන්‍ය පූරවැසියෙකු සේ ගමන් කිරීමෙන් පැයකට අධික කාලයක් ප්‍රමාද වී එම රැස්වීමට සහභාගී වීමට සිදුවිය.

එය අවසන් කොට නැවත පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් පැවැති අතර එහිදි කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජිව “ මහින්ද මහත්තයා දිනෙව්වා වගේ, ගෝඨාභය මහත්තයා දිනෙව්වා වගේ අපි මේ පාර ඔබතුමාවත් දිනවනවා.” යැයි කී පසු අනෙක් අයද පිළිවෙලට යමින් එම ප්‍රකාශයම කියන්නට වූහ.
මහනුවර රැස්වීම් අවසන් කොට ජනපති රනිල් හැටන් නගරයට පැමිණියේ වඩිවෙල් සුරේෂ් සංවිධානය කර තිබූ ව්‍යාපාරික හා වතු ප්‍රජාවගේ රැස්වීමට සහභාගී වීමටය. ඉන් පසුව කේ.කේ පියදාස සංවිධානය කර තිබූ එ.ජා.ප රැළියකට එක්වූ ජනපති රනිල් එය නිමවා නුවරඑළිය බලා පිටත්වූවේය.
සදුදා උදෙන්ම කොළඹ මල්පාර දේශපාලන කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් සවස ජනාධිපති කාර්යාලය වෙත ගියේ කැබිනට් හමුවට එක්වීමටය. පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් ප්‍රියංකර පැමිණ ජනපතිට සහාය දක්වන බව දන්වා සිටියේ ඒ අතරවාරයේය.

ගෙවී ගිය සතියේ වැඩි කාලයක් ජනපති ගත කළේ දේශපාලන කාර්යාලයේ සිය මැතිවරණ වැඩකටයුතු වෙනුවෙනි. සන්ධාන ගතවීම වෙනුවෙන් සජබ මන්ත්‍රීවරු මෙන්ම මුස්ලිම් මන්ත්‍රීවරුද, දමිල මන්ත්‍රීවරුන් ද පැමිණ මුණ ගැසුණේ ජනපති සටනට සහාය දීම වෙනුවෙනි.
බදාදා පස්වරුවේ ජනපති රනිල් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කැදවා තිබුණේ ඔහුගේ කාර්යාලය වෙතය. එහිදි ජනපති විමසා තිබුණේ රාජ්‍ය මාධ්‍යයේ හා පෞද්ගලික මාධ්‍යයේ හැසිරීම ගැනය.
“මැතිවරණ කාලයේ නාම යෝජනා දුන් දවසේ සිට මේ දක්වා අපි සියලු මාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කරනවා. මැතිවරණ කොමිසමත් අපිට ඒක කරන්න කිව්වා. අපි එකතු කරන කරුණු මැතිවරණ කොමිසමට බාර දෙනවා. රජයේ මාධ්‍යට හා පෞද්ගලික මාධ්‍යට එරෙහිව දාලා තියෙන පැමිණිලිත් මට ලැබෙනවා.” අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කීවේය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය අනුව මාධ්‍ය පාලනය කරන්න මැතිවරණ කොමිසමට බලය තියෙනවා. මේ නියාමන කටයුතු ගැන මාවත් දැනුම්වත් කරන්න.” ජනපති කීවේ දිනිත් චින්තකටය.

ඔහු කාර්යාලයේ සිටියදීම බංග්ලාදේශයේ අන්තර්වාර පාලන ආණ්ඩුවේ අගමැති මුහම්මද් යූනුස්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේ ජනපති රනිල්ටය. නව තනතුරට සුබ පතන්නට ඔහුව සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සහයක ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ අගමැති ජනපති රනිල්ට අමතා තිබුනි.
මුලින්ම නව තනතුරුට ජනපති රනිල් සුබ පැතූ පසු ඔහු කීවේ සිය රටේ ඇතිව තිබෙන තත්ත්වය ඉක්මණින්ම සමතයකට පත් කිරීමට උත්සාහ කරන බවයි. රටේ ආර්ථිකය ආරක්ෂා කර ගන්නා ලෙස ජනපති රනිල් කියද්දී අගමැති යුනුස් ඉල්ලා සිටියේ බංග්ලාදේශයේ ආයෝජනය කර සිටින මෙරට ආයෝජකයන්ට එරටින් පිට නොවන ලෙස දැනුම්දෙන ලෙසයි.
තමන්ට හැකි සෑම ආකාරයකින්ම බංග්ලාදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බව ජනපති රනිල් කියද්දී යූනුස් අගමැතිවරයා බංග්ලාදේශයේ පවතින තත්ත්වය සමනය වූ පසුව එරටට පැමිණෙනැයි ආරාධනාවක් ද කළේය. “රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමත් රටේ ආර්ථිකය යළි නගා සිටුවීමත් වෙනුවෙන් ඔබේ සහාය අපට ඉතාම අත්‍යවශ්‍යයි. ලංකාව අර්බුදයෙන් ගලවා ගත්තා සේම බංග්ලාදේශයත් අර්බුදයෙන් ගලවා ගන්න සහාය දෙන්න.” යුනුස් අවසාන වශයෙන් ජනපතිගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ජනපති රනිල් එදින පෙරවරුවේ නාම යෝජනා පත්‍රවලට අත්සන් තැබුවේය. නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිසමට බාරදීමට යාම වෙනුවෙන් දින වෙන් කර දී තිබුණේ බ්‍රහස්පතින්දා බැවින් එදින පෙරවරුවේ ඔහු මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය වෙත පැමිණියේය.
මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් කාර්යාලයෙන් පිටත්වීමේ නැකත සකස් කර තිබූ අතර එම වේලාවට ඔහු පිටත්වූවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණීමටය. ආගමික වතාවත් නිමවා මැතිවරණ කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් ප්‍රධාන ශාලාව වෙත පිටත්වීමට ප්‍රථම මැතිවරණ නිලධාරීන්ගෙන් විමසා සිටියේ අපේක්ෂකයෝ කී දෙනෙක් සිටින්නේද කියාය.
“සර් අපේක්ෂකයෝ 40 ක් ඇප බැදලා තියෙනවා. මැතිවරණ නිලධාරීන් කියද්දී “ආ එහෙනම් ඒ කට්ටියට මෙතන ඉදලා යන්න බස් එකක් දාන්න වේවි.” යැයි කියද්දී එහි සිටි නිලධාරීන්ට සිනහව නතරකර ගත නොහැකි වූහ.

අගමැති දිනේෂ් ගුණවර්ධන සමඟ පැමිණි ජනපති රනිල් තමන්ගේ වාරය පැමිණි පසු ඔහු නාම යෝජනා බාරදීමට ගිය අතර ඔහු පසු පසින් විපක්ෂ නායක සජිත් ද පැමිණ නාම යෝජනා බාරදීමට පෝලිමේ සිටියේය. පෝලිමේ සිටි සජිත් එකවරම මැතිවරණ නිලධාරීන් අසුන්ගෙන සිටි ආසනවලට පිටුපසින් ගොස් නාම යෝජනා බාරදීමට ගත් උත්සාහය ගැන සැවොම කතා බහ කරන්නට වූහ.
“2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් නාම යෝජනා බාරදුන්නේ ඔය විදියටම තමයි.” මන්ත්‍රී වජිර කියද්දී එහි සිටි සාගල රත්නායක ද හිස සලමින් එය අනුමත කළේ මහින්ද ජනාධිපතිට වූ දේ සිහිපත් කරමිනි.
ජනපති රනිල් එහි සිටි සියලු අපේක්ෂකයන් හා කතා බහ කිරීමට ද අමතක නොකළේය. නාම යෝජනා කටයුතු අවසන් වී පිටව යද්දී ජනපති රනිල් විපක්ෂ නායක සජිත් ට අතට අතදී සුබ පැතුවද ඔහු ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන එහි සිටි සැමගේ දෝෂදර්ශනයට ලක්වූවේය.
ප්‍රධාන ශාලාවේ අවසන් පේලියක අසුන්ගෙන සිටි අනුර දිසානායක අසලට ගිය ජනපති ඔහුට සුබ පතා කනට කර යමක් කියූ අතර එය කුමක්දැයි කිසිවෙකුටත් දැනගත නොහැකි වූහ. නාමල් රාජපක්ෂට ද සුබ පතමින් ඔහු එතනින් නික්ම ගියේ තමන් වෙනුවෙන් පැමිණි ජනතාවට ආචාර කිරීමටය.

ඒ අතරවාරයේ සිය සොයුරු චන්නට ජනපති රනිල් කීවේ ඡන්ද ලකුණ ගැන සොයා බලන ලෙසය. ඊට සහායක් අවශ්‍ය වුවහොත් ලබා දෙන්නැයි ජනපති රනිල් මැතිවරණ නිලධාරින්ට හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකට කීවේය.
ගෑස් සිලින්ඩරය ඡන්ද ලකුණ ලෙස ලබා ගැනීමට මොවුන් පෙර සිටම සැලසුම් කර තිබූ අතර කිසිවෙකු ඒ ලකුණ ඉල්ලා නොතිබු බැවින් ජනපති රනිල්ගේ ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලැබිනි. ගෑස් නොමැති යුගයක රට බාර ගත් බැවින් එම සලකුණ ජනපති රනිල්ට වඩාත්ම ඔබින ලකුණ බව එහි සිටි අය කතා වන්නට වූහ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙත පණිවුඩයක් දුන්නේ වහාම එය ජනපති රනිල්ට දැනුම් දෙන ලෙස කියමිනි. එම පණිවුඩයෙන් කියවුනේ වත්තල ප්‍රදේශයේ පිරිසක් ජනපතිට සහාය දක්වමින් පෙළපාලියක් යන බවටය. දිනිත් චින්තක වහාම එය ජනපතිට දැනුම් දුන් අතර කොමසාරිස් ජනරාල් දුන් ඡයාරූප ද දිනිත් ජනපති රනිල්ට පෙන්වූවේය. ජනපති රනිල් වහාම එම පෙළපාලිය නවතන ලෙස උපදෙස් දෙන්නැයි මන්ත්‍රී වජිරට හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට දැනුම් දුන්නේය.

දහවල් ගංඟාරාමයට හා වාලුකාරාමය වෙත පැමිණ ආශීර්වාද ලබාගත් ජනපති රනිල් නැවත පැමිණියේ නිවස වෙතය. මැති ඇමතිවරු රැසක් එහි පැමිණ සිටි අතර පවතින දේශපාලන තත්ත්වය ගැන ඔවුන් ජනපති හා සාකච්ඡා කළෝය.
පක්ෂ හා කණ්ඩායම් පිල් මාරුවන ආකාරය ගැන මෙන්ම රුපියල් බිලියන 4 ක මුදලක් විදේශ රටක් හරහා විපක්ෂයට හුවමාරුවූ ආකාරය ගැන ද මෙහිදි සාකච්ඡාවට බදුන්වූහ. එසේම පක්ෂ ගියද එහි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ සිටින බව එහි පැමිණි අය පෙන්වා දුන්හ.
ජනපති මේ පිරිසෙන් නික්ම ගියේ මහනුවර දළදා මාලිගාව වන්දනා මාන කරන්නට හා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



