වැඩි කාලයක් මේ වෙනුවෙන් ගත කිරීම නිසා ජනපති රනිල් සිටින්නේ දැඩි කාර්ය බහුල වටපිටාවකය. ජනපති පළමු දේශලපාලන රැළිය පැවැත්වූවේ අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩා පිටියේය. ඒ ඉකුත් සෙනසුරාදාය. ඊට පෙර ඔහු ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි චෛත්‍ය වන්දනා කොට පල්ලේගම හේමරතන මහනාහිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

එය අවසන් කොට සල්ගාදු පිටියට ජනපති රනිල් පැමිණෙද්දී මල් වැස්සක් ඇද හැලුණ ද ඔහු එය නොතකා ජනතාව අතරට ගොස් ඔවුන් දිරිමත් කළේය. පැමිණ සිටි ජනතාව ද වර්ෂාව නොතකා එහි රැදී සිටිමින් ජනපති රනිල්ගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම වෙනුවෙන් ආශීර්වාද කළහ.

අනුරාධපුර රැළිය අවසන් කොට කොළඹ පැමිණි ජනපති රනිල් සිය දේශපාලන මෙහෙයුම දියත් කළේය. සිරිකොත පක්ෂ මූළස්ථානය වෙත ගිය ඔහු පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කොට පක්ෂ සම්මේලනය ගැන සාකච්ඡා කළේය. පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවන අවස්ථාවකදී පක්ෂය සහාය දෙන කෙනා සම්බන්ධයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් හා පක්ෂ සම්මේලනයෙන් අවසර ගත යුතුය.
එම කාර්ය 2010 දී සරත් ෆොන්සේකාට සහාය දෙන අවස්ථාවේදී මෙන්ම මෛත්‍රීපාල සිරිසේනට සහාය දෙන අවස්ථාවේදී ද මේ ආකාරයට ම ගනු ලැබීය. පක්ෂ සම්මේලනය ඉරුදින පැවැත්වෙන අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර පක්ෂ නායකයා ඉදිරිපත් වන නිසා ඊට අනුමැතිය ගැනීම මෙහිදි සිදුවන බැවින් ඊට අදාළ කටයුතු කරන ලෙස ජනපති රනිල් පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාරට උපදෙස් දෙනු ලැබීය.
ජනපති රනිල් සදුදා කොළඹින් පිටත්වී මහනුවර බලා ගියේ දළදා පෙරහැර නැරඹීමටය. රාජ්‍ය නායකයා දළදා පෙරහැර නැරඹීම නිල කටයුත්තකි. පෙරහැර අවසන් කිරීමේ සංදේශය ද පිළිගැනීමෙන් අනතුරුව ජනපති රනිල් කොළඹ පැමිණියේ අගහරුවාදා සවසය.

පෙරහැර නැරඹීමට ගිය ජනපති රනිල් මහ පෙරහැර අවසන් වූ පසු කුවින්ස් හෝටලයේ ඉහළ මහලේ සිට පහළට බැස එද්දී ආරක්ෂක අංශ සිතුවේ ඔහු නවාතැනට යාමට සුදානම් වන බවකි. එහෙත් ජනපති රනිල් යා යුතු මඟ වෙනස් කොට පාරෙන් අනෙක් පස සිටි ජනතාව අතරට යද්දී ඔවුනට කරකියා ගත හැකි දෙයක් නොවූවේය. ජනාධිපති රනිල් ජනතාව අතරට ගොස් ඔවුන් හා කතා බහ කරද්දී ජනාධිපති ආරක්ෂක ප්‍රධානි ජමාල්ඩීන් විසින් වහාම එහි ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය.
ජනතාවගෙන් ජනපතිට හිමිවූවේ උණුසුම් පිළිගැනීමකි. ඔවුන් ඉල්ලා සිටියේ තව ටිකක් බඩුමිල අඩු කරන ලෙස හා රැකියා උත්පාදනයට පියවර ගන්නා ලෙසය. ඒ වෙනුවෙන් තමා අඩිතාලම දමා ඇති බව කී රනිල් වික්‍රමසිංහ ඉදිරියේදි එම සහන ජනතාවට ලැබෙන බවද කීවේය.
ජනපති අපේක්ෂකයෙකු ලෙස කටයුතු කළ ද නිල රාජකාරී කිරීමේ වගකීමක් ද ඔහුට පැවරී ඇති බැවින් සෑම සදුදා දිනයකම මැතිවරණ රාජකාරීවලින් ඉවත් වී සිටීමට ජනපති රනිල් තීන්දු කළේය. එදිනට ඇමති මණ්ඩල හමුව මෙන්ම ආරක්ෂක කවුන්සිලය කැදවීමට ද ජනපති උපදෙස් දුන්නේ ජනපති ලේකම් සමන්ට හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකටය.
මෙම සතියේ එය කළ නොහැකි වූවේ පොහොය දිනය මෙන්ම මහනුවර දළදා පෙරහැර ද එදිනට යෙදී තිබූ බැවිනි. ජනපති රනිල් මෙවර ඇමති මණ්ඩලය හා ආරක්ෂක කවුන්සිලය මුණ ගැසුණේ බදාදාය. ජනතාවට සහන එන තීන්දු කිහිපයක් ඇමති මණ්ඩලයේදී ගත් අතර මැතිවරණ සමයේ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ද ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කරනු ලැබීය.
සජබ මන්ත්‍රීවරු ගණනාවක් කාලයක් මුළුල්ලේ ජනපති සමඟ ගණුදෙනුවක සිටි බව කාටත් නොරහසකි. එම පිරිස සමඟ සමීපව කටයුතු කිරීමේ වගකීම ජනපති රනිල් පවරා තිබුණේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනට හා එ.ජා.ප කෘත්‍යාධිකාරි මණ්ඩල සභික දිනුක් කොළඹගේ ට ය.
ඔවුන් පසුගිය කාල වකවානුව පුරාම සජබ මන්ත්‍රීවරුන් මුණ ගැසුණේ ඒ අයගේම ඉල්ලීම පිටය. එහෙත් එම කාරණය සජබ කණ්ඩායමට අනාවරණය වීමත් සමඟ ඔවුන් එම පිරිසට වක්‍රව පහරදීමට පටන් ගත්තේය. මේ නිසා නියෝජ්‍ය නායක රුවන් ඇතුළු පිරිස මේ කණ්ඩායම හා ගණුදෙනු නොකරන බව පෙන්වීමට වඟ බලා ගත්තේය. ඒත් සමඟ සජබ පිරිසට නායකත්වය දුන් අයෙක් සටන පවා දීම නිසා ගැටළුවක් පැන නැගුණේය.
එහෙත් නැවත එම සටනට නායකත්වය දීමට පෙරට ආවේ කාන්තාවකි. එහෙත් ඇයට ගැටළුවක් වූවේ සිය මන්ත්‍රීධූරය ගැනය. එම පණිවුඩය ජනපති රනිල්ගේ කන වැකුණේය. ඔහු ඊට දුන්නේ කදිම පිළිතුරකි. “මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වෙන්න. ඒක ගෞරවණීයයි.“ එම පිළිතුර ඇගේ චිත්ත ධෛර්ය වර්ධනය කරන්නක් වූවේය.

ඒ අනුව කහවත්ත සිය නිවසට ගිය තළතා අතුකෝරළ මන්ත්‍රීනිය තනිව සිය ඉල්ලා අස්වීමේ කතාව ලියන්නට පටන් ගත්තාය. දුරකතන අක්‍රීය කළ ඇය නිවසේ සිටිමින් එය ලියන්නට වූවාය. තනිව ලියූ කතාව ඇය කිසිවෙකුටත් නොපෙන්වා තමන්ගේ හිතවත් අයෙකු ලවා යතුරු ලියනය කොට නැවත අඩුපාඩු සකසා සිය ෆයිල් කවරයක දමා ගත්තාය.
තළතා අතුකෝරලගේ නිහඩවීම ගැන සැක සිතු සජබ කණ්ඩායමක් ඇය සෙවූව ද පාර්ලිමේන්තුවට පැමිණෙන තෙක් ඇය ගැන කිසිවෙකුටත් නිසි තොරතුරක් සොයා ගත නොහැකි විය. තළතා අතුකෝරාල මන්ත්‍රීනිය පාර්ලිමේන්තුවට පැමිණ සිය කතාව කරන විට එහි පැමිණ ඇය අසලින්ම අසුන් ගත්තේ කබීර් හෂිම් ය.
කතාව අවසන් වූ වහාම ඇය සමඟ සභාවෙන් පිටතට ගියේ සජබ මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක හා අජිත් මාන්නප්පෙරුම සමඟය. සංවේදී කතාවක් කළ තලතා අතුකෝරල සභාවෙන් පිටව යද්දී ඇයට මුණ ගැසුණේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ය.
“ඔබතුමිය ඇයි මෙහෙම තීන්දුවක් ගත්තේ. අපිට හිතා ගන්න බෑ.“ රිෂාඩ් විමසුවේය.
“මම මගේ කතාව පුරාම ඒකට හේතු කිව්වා. හැබැයි මම ඔබතුමාට පොඩි කතාවක් කියන්න මතක් වුනා. එදා ඔබතුමායි ඔබතුමාගේ නෝනයි අමාරුවේ වැටුන වෙලාවේ බේරගත්තේ කවුද කියලත් මතක තියාගන්න.“
එසේ කී තලතා පාර්ලිමේන්තුවෙන් පිටත්ව නිවස බලා ආවාය.
බ්‍රහස්පතින්දා ජනපති රනිල් පැමිණියේ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලය වෙතය. මැති ඇමතිවරු ගණනාවක් එහි පැමිණ සිටි අතර ඉදිරියේ පැවැත්වෙන දේශපාලන රැස්වීම් ගැන මෙන්ම බිම් මට්ටමේ ජනතා දැනුම්වත් කිරීම් ගැන මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළෝය. සාකච්ඡාවලින් අනතුරුව ජනපති හා මැති ඇමතිවරු අතර පැවැති සුහද සාකච්ඡාවේදී තලතා අතුකෝරල මන්ත්‍රීතුමියගේ ඉල්ලා අස්වීම ගැනත් කතා බහ ඇදී ආවේය.
“සජබ මන්ත්‍රීවරුන්ට දැන් එතන තැනක් නෑ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. පොහොට්ටුවෙන් ගිය අපේ කට්ටිය තමයි දැන් සජබ පාලනය කරන්නේ.“ මන්ත්‍රී ලන්සා කීවේය.
“කළකිරුණු සජබ මන්ත්‍රීවරුන් ජනාධිපතිතුමා එක්ක සම්බන්ධ කරන්න ඕනේ කියලා අපිත් එක්ක කතා කරන්න පටන් ගත්තේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා. එතුමා කිහිප සැරයක් ජනාධිපතිතුමා එක්කත් කතා කලා.“ මන්ත්‍රී වජිර ද රහසක් හෙළි කළේය.
“හැබැයි එතුමා අන්තිම මොහොතේ සටන පාවා දීලා පැනලා ගියා. හැබැයි එතුමට නොතිබුණු කොන්දක් ගැහැණියක් වෙච්ච එතුමියට තිබුණා.“ නියෝජ්‍ය නායක රුවන් කීවේ හැගුම් බරවය.
“කටුනායක සජබ රැස්වීමට සෙනඟ ඉදලා නෑ. කාවින්දයි, මාන්නප්පෙරුමයි ගිහිල්ලත් නෑ කියලා ආරංචියි.“ ලන්සා තවත් කතාවක් ජනපති කනේ තැබීය.
“ඔව් සෙනඟ නෑ කියලා සංවිධායකයන්ට ලකී බැන්නා කියලත් ආරංචියි.“ ඇමති ශෙහාන් ද කතාවට එක්වූවේය.
“වෙනදට කටානට සෙනඟ එන්නේ ජා ඇලින් හා ගම්පහින්. අපෙන් ගිය වෛද්‍යතුමිය එක්කත් දැන් සෙනඟ නෑ කියලා පැහැදිලියි. මුලසුන නොලැබුණා කියලා එයත් කළකිරුණා කියලා ආරංචියි.“ දොළවත්ත මන්ත්‍රීද කතාවට එකතු වූවේය.
“ගම්පහ දිස්ත්‍රික්කයේම අවුලක් තියෙනවා. කාර්යාල දාන්න ගිහිල්ලත් ගැටලුවක් මතු වෙලාලු.“ සාගල රත්නායක කීවේ තමන්ට ලද ආරංචියකි.
සජබේ ලොකු නාය යාමක් ඉදිරියේදි වීමට නියමිත බව මෙහිදි හෙළිදරව් වූවේය. එසේම පිරිසක් පක්ෂ සමුළුවට එනු ඇතැයි ද කතා බහක් එහිදි ඇතිවූනේ ජනපති නිහඩතාවය රකිද්දීය.

“ජනාධිපතිතුමා හිමින් හිමින් වැඩේ කරනවා අපට තියෙන්නේ බිමට බැහැලා ගේම ගහන එක විතරයි.“ එහි සිටි පිරිස අවසානයේ පිටව ගියේ එසේ කියමිනි. ජනපති සති අන්තයේ සිටියේ නැගෙනහිර පළාතේය. එය අවසන් කල ජනපති පක්ෂ සම්මේලනයට පැමිණියේ දඹුලේලේ සිට ය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



