The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

President's War Diary : රනිල්ගෙන් රංගේ ගේ මතයට ඉඩ. නීතිපති ගැනත් කියයි

T

The Leader Desk

May 31, 2024 • 6:33 PM

President's War Diary : රනිල්ගෙන් රංගේ ගේ මතයට ඉඩ. නීතිපති ගැනත් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සතිය පුරා දේශපාලන ක්ෂේත්‍රයේ කතිකාව වූවේ වසර දෙකකට ජනපතිගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ ධූර කාලය කල් දැමීමේ කතාවය.
  • ජනපති එසේ උතුරට යාම ගැන කදිම ප්‍රකාශයක් කළේ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්ය.
  • යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවේ උත්සව සභාව අමතමින් ඔහු කීවේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාද වූවේ උතුරේ ජනතාව ඡන්දය නොදීම නිසා බවයි.
  • එහෙත් ජනපති රනිල් ඉන්පසු අගමැති වූ විටත් ජනාධිපති වූ පසුත් උතුරේ ජනතාව වෙනුවෙන් කරනා සේවය වැඩි කලා මිස අඩු නොකළ බව සුමන්තිරන් කීවේ හැගුම් බරවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කතාව වෛරල් වූවේය. සතිය පුරා දේශපාලන ක්ෂේත්‍රයේ කතිකාව වූවේ වසර දෙකකට ජනපතිගේ ධූර කාලය හා පාර්ලිමේන්තුවේ ධූර කාලය කල් දැමීමේ කතාවය.


ජනපති රනිල්ගෙන් ද බොහෝ දෙනා මේ ගැන විමසන්නට වූවේ ඔහුගේ මතයත් එයදැයි දැන ගැනීමට ය. “ආණ්ඩුවේ මතය අපි කියලා තියෙනවා. නමුත් වෙනත් ඕනෑම පාර්ශවයකට ජනාධිපතිවරණය ගැන අදහස් කියන්න පුළුවන්.” ජනපති කී දේ කිසිවෙකුට නොතේරුණ ද ඔවුන් එතනින් එහාට ඒ ගැන ප්‍රශ්න කර නොතිබුනි.


ජනපති රනිල් ඉකුත් සති අන්තය ගත කළේ උතුරු පළාතේය. ජනපති එසේ උතුරට යාම ගැන කදිම ප්‍රකාශයක් කළේ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන්ය. යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවේ උත්සව සභාව අමතමින් ඔහු කීවේ 2005 ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ පරාද වූවේ උතුරේ ජනතාව ඡන්දය නොදීම නිසා බවයි.

එහෙත් ජනපති රනිල් ඉන්පසු අගමැති වූ විටත් ජනාධිපති වූ පසුත් උතුරේ ජනතාව වෙනුවෙන් කරනා සේවය වැඩි කලා මිස අඩු නොකළ බව සුමන්තිරන් කීවේ හැගුම් බරවය. එම කතාව උත්සව සභාවේ සිටි බොහෝ දෙනෙක් අනුමත කළහ.

dfdsfe33

මෙම උත්සවයට දෙමළ සන්ධාන මන්ත්‍රී සිද්ධාර්ථන් සේම ඇමති ඩග්ලස් දේවානන්ද ද එක්ව සිටියෝය. උරුමය ඔප්පු ප්‍රදානය කිරීමෙන් පසු ජනපති රනිල් සවස ගියේ තරුණ තරුණියන් පිරිසක් මුණ ගැසීමටය. එහි එක් අවස්ථාවක් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කර තිබූ අතර අනෙක් හමුව සංවිධානය කර තිබුණේ ඇමති ඩග්ලස් දේවානන්දාය.

ඊලෝන් මස්ක් ගේ ස්ටාර්ලින්ක් සේවාව මෙරටට ගෙන ඒම ගැන කතා කළ ජනපති රනිල් තරුණයන්ගේ රැකියා ප්‍රශ්නය ගැන මෙන්ම අනෙකුත් ගැටළුවලට එහිදි පිළිතුරු ලබා දුන්නේය. මේ අතර ඔහු තරුණ තරුණියන්ගෙන් විමසා සිටියේ ඔවුන්ගේ කැමතිම ගායකයා කවුරුන්ද කියාය. රැස්ව සිටි පිරිස එක හඩින් කෑ ගසා කීවේ ඒ බාලසුබ්‍රමනියම් කියාය.

එසේ නම් ඔහුගේ ගීතයක් ගායනා කරන ලෙස ජනපති ඉල්ලා සිටි අතර එක් තරුණයෙක් පැමිණ බාලසුබ්‍රමනියම්ගේ ගීතයක් ගායනා කළේ තරුණ පිරිස මෙන්ම ජනපති රනිල් ද අමන්දානන්දයට පත් කරවමිනි.

zfdasw54
තරුණයන් හමුවේ ජනපති රනිල් කීවේ ලබන වසරේ යාපනයේ යොවුන් පුරයක් පවත් වන්නැයි තමන් උපදෙස් දුන් බවය. ඊට පෙර ඉන්දීය කලාකරුවන් ගෙන්වා සංගීත ප්‍රසංගයක් පවත්වන ලෙස ද ඔහු දැනුම් දුන්නේය. තරුණ හමුව ආරම්භ වූවේ ජාතික ගීය සිංහලෙන් වාදනය කරමිනි. වහාම තරුණ සේවා සභාවේ සභාපති කැදවූ ඔහු දෙමළ භාෂාවෙන් ද ජාතික ගීය වාදනය කළ යුතු බවට කළ දැනුම්දීම අනුව ජාතික ගීය දෙමළ බසින් ද වාදනය වූවේය.


ඩග්ලස් දේවානන්ද කැදවූ තරුණ හමුවට ගිය ජනපති එය නිමවා පසුදා උදෙන්ම කළිනොච්චිය බලා ගියේ එහි රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමටය. උරුමය ඔප්පු ප්‍රදානය කිරීමෙන් පසු ජනපති රනිල් සවස යළි යාපනය බලා පැමිණියේ ගුරු පත්වීම් ප්‍රදානයකට එක්වීමටය. බස්නාහිරට පසු හොදම අධ්‍යාපනයක් පැවැති යාපනය යළි ඒ තත්ත්වයටම ගෙන ආ යුතු බව ඔහු කීවේය.

zdfserw534
ජනපති රනිල් සී.වි විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නිවස වෙත ගියේ ඔහු අසනීප තත්ත්වයෙන් සිටින බවට වාර්තා වීමත් සමඟය. යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය ජනපති රනිල් විනාඩි 40 ක පමණ කාලයක් ඔහුත් සමඟ සුහද පිළිසඳරක යෙදුනේය. වයෝවෘද්ධ කාන්තාවක් එහි පැමිණ ආරක්ෂක අංශවලට කරදර කරන්නට වූවේ ජනපති රනිල්ව ඇයට සජීවීව දැක බලාගත යුතු බව කියමිනි.

විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නිවස අසලට පැමිණි කාන්තාව මෙසේ ඇවිටිලි කරද්දී මෙම පණිවුඩය ජනපති රනිල්ට ද ආරංචි වූවේය. සිය වාහනය කාන්තාව අසලට එද්දී ඔහු කාරයේ වීදුරුව පහත් කොට ඇයට ආචාර කළේ ඇගේ අතේ වදින ලෙස අතවනමිනි.

එදින රාත්‍රියේ ආණ්ඩුකාර නිල නිවසේ සුදානම් කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයට ගිය ජනපති එහි පැමිණ සිටි ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හා සුහද පිළිසඳරක නිරතවූවේය. යාපනයේ කෘෂිකර්මාන්තය යළි දියුණු කිරීම වෙනුවෙන් ජනපතිගේ කෘෂි නවීකරණ වැඩසටහන හදුන්වා දෙන ලෙස ද ඔවුන් ජනපතිගෙන් ඉල්ලා සිටියෝය.

dfaf3

වවුනියාව රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී එහි සිටි සේලවම් අඩෛක්කලනාදන් මන්ත්‍රීවරයා මන්නාරමටත් තෑගි අරන් එන්නැයි ජනපතිට ආරාධනා කළේය. උතුරට නිරන්තරයෙන් පැමිණෙන ජනපති මන්නාරමට පැමිණෙන්නේ නැතැයි ඔහු ආඩපාලියක් ද කීවේය.

“මන්නාරමට මගේ ලඟ වෙනම ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. ඒ ආයෝජන ව්‍යාපෘතිත් අරගෙන මම එන්නම්. කොහොමත් මම අවුරුද්දකට වරක් මඩු පල්ලි එනවාන්.” ජනපති මන්ත්‍රී අඩෙක්කලනාදන්ට කී දේ ඔහු ඔහුගේ කතාවේදී ද සඳහන් කළේය.

zdffef

ජනපති රනිල් යාපනයේ සංචාරය කරද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ඩෙංගු මර්ධන වැඩසහන් හි ප්‍රගතිය ගැන නිලධාරීන් හා සාකච්ඡා කළේ ජනපති උපදෙස් මතය. වර්ෂාවත් සමඟ ඩෙංගු උවදුර වැඩිවිමට ඉඩ ඇති බැවින් එය වළක්වන්න අවශ්‍ය කටයුතු කරන්නැයි ඔහු උපදෙස් දුන්නේය.

අයහපත් කාලගුණයත් සමඟ කොළඹ ප්‍රදේශ කිහිපයක රූස්ස ගස් 40 ක් පමණ දින කිහිපයක් තුළ කඩා වැටුණු බැවින් අදාළ අංශ කැදවූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල එසේ දුබල ගස් තවත් ඇතිදැයි සොයා බලන ලෙස උපදෙස් දුන්නේය. නගර සභාවට එවැනි ගස් හදුනා ගන්නා ලෙසත් එය කප්පාදු කිරීම හෝ කපා දැමීම නගර සභාවේ නිර්දේශ මත දැව සංස්ථාව විසින් කරන ලෙසත් ඔහු දැනුම් දුන්නේය. ඊට සාහයට පොලිසිය හා හමුදාව එක් කර ගන්නා ලෙසද ඔහු දැනුම් දුන්නේ ජනපති උපදෙසිනි.

ජනපති සදුදා පුරුදු පරිදි ඇමති මණ්ඩලය මුණ ගැසුණු අතර විශේෂ යමක් එහි නොවුනි. පසුදා පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යංශය වෙත ගිය ඔහු පුරුදු පරිදි රටේ ආරක්ෂාව ගැන සාකච්ඡා කළේය. සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව මුණ ගැසෙන විටත් මහලේකම් රංගේ දේශපාලන බෝම්බය පුපුරුවා තිබුනි.

රටපුරා පත් කරන එක්සත් ජාතික පක්ෂ කළාප සංවිධායකවරුන්ගේ නාම ලේඛනය මහලේකම් රංගේ සභාවට ඉදිරිපත් කරන ලදි. හරීන් ප්‍රනාන්දු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේ ඉන් පසුවය. එය අවසන් කළ හරීන් මහලේකම් රංගේ කර ඇති ප්‍රකාශය ගැන විමසන්නට වූවේ ජනපතිගෙනි.


ඔහුගේ ප්‍රකාශයෙන් හානියක් වූ බව කියමින් තවත් කිහිප දෙනෙකු අදහස් දක්වද්දී ඊට මැදිහත් වූ ජනපති රනිල් “ආණ්ඩුවේ මතය ඇමති මණ්ඩලය වෙත මම කියලා තියෙනවා. නමුත් ඊට පරිබාහිරව වෙනත් මත තියෙන්න පුළුවන්. අපි ඒකට කළබල වෙලා වැඩක් නෑ.” කියද්දී සියල්ලෝම නිශ්ෂබ්ද වූවේ නායකයා කුමන ගැටයක් මේ අවස්ථාවේ ගසන්නට යනවාදැයි සිතාගත නොහැකිවය.


මැති ඇමචතිවරු බොහෝ පිරිසක් ද ජනපතිගෙන් මෙම කාරණය විමසන්නට වූ අතර ජනපතිගේ දුන් පොදු පිළිතුර වූවේ කළමනාකරණ මණ්ඩලය වෙත දුන් පිළිතුරමය. මෙරට විදුලිය ක්ෂේත්‍රය ගැන කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති සාකච්ඡවට එක්වූ රනිල් ඉන් පසුව පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතය.

රංගේ කළ ප්‍රකාශයට ලැබෙන ප්‍රතිචාර ගැන එහිදි ජනපති විමසා සිටියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාලගෙනි. “කිහිප දෙනෙකු සිරිකොත ලගට ඇවිත් උද්ඝෝෂණයක් කර ගිහින් තිබුණා. දේශපාලනයට හා මැතිවරණයට සම්බන්ධ අය මේ ගැන කතා කළාට සාමාන්‍ය ජනතාව අතර නම් මේ ගැන ලොකු ආරෝවක් තිබෙන බව මට නම් දැන ගන්න නෑ.” දිනිත් චින්තක කීයද්දී ජනපති රනිල් හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

මුදල් අමාත්‍යාංශයේ කටයුතු අවසන් වීමෙන් පසු ඔහු ගියේ වෘත්තීය සමිති නායකයෙකු වූ ලෙස්ලි දේවේන්ද්‍ර සමරු උත්සවයට සහභාගී වීමටය. බ්‍රහස්පතින්දා ජනපති සිය කාර්යාලය වෙත පැමිණියේ රත්මලාන ගුවන් හමුදා පරිශ්‍රයේ පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවය.

එහි පැමිණි මැති ඇමතිවරු ඇතුළු නිලධාරීන් ද රංගේ කියූ ප්‍රකාශය ගැන විමසන්නට වූහ. “රංගේගේ ප්‍රකාශය සී.වි විග්නේෂ්වරුන් මන්ත්‍රීතුමාත් අනුමත කරලා තිබුනා. ඒ කියන කතාව ඇත්ත මේ වෙලාවේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න හොද නෑ. හොදම විසදුම මැතිවරණය කල් දමන එකයි.” මහාචාර්ය ආශු මාරසිංහ කියද්දී එහි සිටි නිලධාරියෙකු කීවේ හුගක් අයට ජනාධිපතිතුමාගේ දේශපාලනය නොතේරෙන බවයි.

fgr56546
“මම කැබිනෙට්ටුවට කිව්වේ ඉස්සෙල්ලාම එන්නේ ජනාධිපතිවරණය කියලා විතරයි.” කියමින් ජනපති රනිල් සිනාසුනේ කිසියම් ඉඟියක් ද පිරිසට ලබා දෙමිනි.


රජය ගැසට් කළ වතු කම්කරු වැටුප් වැඩිවීම නොගෙවන බවට වතු හාම්පුතුන් කර ඇති ප්‍රකාශය ගැන මතු කළේ මනූෂ නානයක්කාරය. “බදු ගිවිසුම අහෝසි කරන්න අවශ්‍ය නීති සකස් කරන්න.” ජනපති පිළිතුර කෙටි විය.

නීතිපතිගේ සේවා දිගුව ගැන විමසුවේ මන්ත්‍රී වජිරය. “පාස්කු වාර්තාව ගැන අගරදගුරු මණ්ඩලය සමඟ ගණුදෙනු කරන්නේ නීතිපතිතුමා. ඒ වෙනුවෙන් තමයි මම මේ සේවා දිගුව කලේ. වෙන හේතුවක් නෑ.කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් රඳගුරු මණ්ඩලයෙන් අහන්න පුළුවන්.” ජනපති කීවේ පසෙක බලමිනි.

බ්‍රහස්පතින්දා සවස ඇමරිකාවේ ෆෝඩ් සමාගමේ ජනප්‍රිය සෙල්බි ජී.ටී රථයට සමාන රථයක් මෙරට දී සෑදු තරුණයෙකු සිය රථය රැගෙනවිත් තිබුණේ ජනපති රනිල්ට පෙන්වන්ටය. එය වැඩිදියුණු කර ලංකාවේ අලෙවි කිරීම ගැන ද එහිදි කතා බහ කෙරුනි.

xcvgst545

සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...