ඔවුන් මේ මස අග නාමයෝජනා කැදවන දිනය මෙන්ම මැතිවරණය පැවැත්වෙන දිනය ද ප්‍රකාශයට පත් කරනු ඇත.
විපක්ෂය උත්සාහ කළේ රනිල් ඡන්ද කල් දමනවා කියන මතය ජනගත කිරීමට වුවත් එය අසාර්ථක වූ බව පාර්ලිමේන්තුවේදී මෙන්ම ප්‍රධාන රැලිවලදීද කියවිනි. ජනපති රනිල් සති අන්තය ගත කළේ කොළඹින් පිටතදී ය.
අනුරාධපුරයට ගිය ජනපති රනිල් එහිදි කාබන් ශුන්‍ය කරන විදුලි පද්ධතියකින් ජයශ්‍රී මහ බෝධිය ඇතුළු පරිශ්‍රය ඒකාලෝක කළේය. ඉන්පසු තඹුත්තේගමට ගියේ උරුමය ඔප්පු ප්‍රදානය කිරීමටය. එය නිමවා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මුණ ගැසුණේය.
ඉරුදින ඔහු දීඝවාපියට ගොස් එහි ප්‍රතිසංස්කරණය කෙරෙන චෛත්‍ය රාජයාණන්ගේ ධාතු තැන්පත් කළේය
ඉරුදින ඔහු දීඝවාපියට ගොස් එහි ප්‍රතිසංස්කරණය කෙරෙන චෛත්‍ය රාජයාණන්ගේ ධාතු තැන්පත් කළ අතර පසුව මහියංගණයට පැමිණියේ උරුමය ඔප්පු ප්‍රදානයටය. ආදිවාසී නායක උරුවරිගේ වන්නිලඇත්තන් ද ඊට එක්ව සිටියේය.
ඔහු සවස මහනුවරට පැමිණියේ රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව දැනුම්වත් කිරීමේ “එක්ව ජයගමු” මහජන රැළියට එක්වීමටය. නුවර පොදු වෙළෙද සංකීර්ණය ඉදිරිපිට භූමියේ මෙම රැස්වීම සංවිධානය කර තිබුනි. එක්සත් ජාතික පක්ෂයත්, පොදුජන එක්සත් පෙරමුණත් හරි හරියට මේ රැළියට ජනතාව කැදවාගෙන පැමිණ තිබුනි.ජනපති රැස්වීම අවසන් කළේ සජිත් ඇතුළු සජබ යට පණිවුඩයක් ද තබමිනි. ජනපති සදුදා උදේ වරුවේ දේශපාලන කාර්යාලය වෙත ගොස් රැස්වීම් කිහිපයකටම එක්වූවේය.
එදින සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා වර්ජනය හමුවේ රැකියාවට පැමිණි අයට රුපියල් 10,000 ක දීමනාවක් ගෙවීමේ කැබිනට් පත්‍රිකා මෙන්ම තවත් කරුණු කිහිපයක් අනුමත කෙරිනි.
ජනාධිතිවරයාගේ ධූර කාලය වසර 5 ක් ලෙස ස්ථිර කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් මණ්ඩලය සම්මත කිරීමෙන් පසු එය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර ජනපති රනිල් නීතිඥවරු පිරිසක් මුණ ගැසුණේ රටේ වත්මන් තත්ත්වය ගැන කතා කරන්නටය.
ප්‍රධාන කතා බහ නිමවීමෙන් පසු ජනපති රනිල් ප්‍රධාන පීඨිකාවෙන් බැස නීතිඥවරුන් අසලට ගොස් කතා බහ කරන්නට ද අමතක නොකළේය. මෙහිදි නීතිඥවරයෙකු නැගිට විමසුවේ “සර් දැන් අපේක්ෂකයෝ දෙන්නෙක් දුවනවා. සර් කවදද මේ රේස් එකට එන්නේ.” කියාය.

“නෑ මේකේ පේන්නේ අපේක්ෂකයෝ දෙන්නෙක් හා ජනාධිපතිවරයෙක් රේස් එකේ දුවනවායි.” ජනපති කියද්දි සැවොම කොක් හැඩලූහ.
“විපක්ෂ නායකතුමා අගමැතිකම බාර ගන්න යන්න කලින් ඔබතුමා අරගත්තා කියලා හර්ෂ කියලා තිබුණා” නීතිඥ දිනේෂ් විදානපතිරණ විමසා සිටියේ ජනපති ඔවුන් අසලට පැමිණි අවස්ථාවේදීය.
“එයා බාරගන්න බෑ කියපු නිසා තමයි මට ආරාධනා කළේ. කවුරුත් බෑ කියපු නිසා තමයි මම ගත්තේ. සාමාන්‍යයෙන් ඉන්න අගමැති ඉල්ලා අස්වුනාම ඒක බාර ගන්නේ විපක්ෂ නායකයා. මොකද එයා තමයි ෂැඩෝ අගමැති. නමුත් මෙයා හැංගුනා. රටක විපක්ෂ නායක කියන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් නෙවෙයිනේ.” ජනපති කියද්දී පිරිසට සිනහව නවත්වා ගත නොහැකි වූහ.
එම හමුවෙන් පැය භාගයකට පසු එක්සත් ජාතික පක්ෂ නීතිඥවරු පිරිසක් ජනපති හමුවී සාකච්ඡා කළහ. පසුදා ජනපති රනිල් ආණමඩුව ජයසූරිය විදුහලේ සිසුන් පිරිසක් මුණ ගැසුණේ ජනාධිපති කාර්යාල පරිශ්‍රය හෙවත් පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල නැරඹීමට ඔවුන් පැමිණි අවස්ථාවේදීය. ජනපති රනිල් ද සිය කටයුතු නිමවා යන අතරතුර එම දරුවන් සමඟ කතා බහ කළ අතර ඔවුන්ගේ පාසලේ ගැටළු විසදීමට ද එම අවස්ථාවේදීම මැදිහත් වූවේය. ජනපති රනිල් දරුවන් සමඟ සෙල්ෆි ඡයාරූප කිහිපයකට ද එක්වූවේය.
ජනපති රනිල් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසුලේ මුණ ගැසුණේ ජනාධිපති මන්දිරයේදීය
එදින දහවල් ජනපති රනිල් යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසුලේ මුණ ගැසුණේ ජනාධිපති මන්දිරයේදීය. යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ලංකාව වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඇය මෙරටට පැමිණ සිටියාය. ජනපති රනිල් අයට දිවා භෝජනය පිළිගැන්වූ අතර එහි පැවැති සුහද හමුවේදී ආර්ථික අර්බුදයෙන් මෙතරම් ඉක්මණින් මිදීම ගැන අය සතුට පළ කළාය.
“ආර්ථික අර්බුදයෙන් ලංකාව බේරගන්න කාන්තාවේ තුන් දෙනෙක් මැදිහත් වුනා. එක්කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර ලේකම් ජැනට් හෙලන්. අනිත් කෙනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරන අධ්‍යක්ෂිකා ක්‍රිෂ්ටීනා ජෝජිවා. තුන් වෙනියා ඉන්දියාවේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාම්. මේ තුන්දෙනා නොහිටින්න අපට මෙතනින් ගොඩ එන්න ලැබෙන්නේ නෑ.” ජනපති කීවේ හැගුම්බරවය.
“සර් හතර වෙනියෙකුත් ඉන්නවා.” ජනපති ලේකම් සමන් කියද්දී සැමගේ මුහුණේ ප්‍රශ්නාර්ථයක් ඇදිනි. “යු.එස් එයිඩ් එකේ සමන්තා පවර් අපට නොමිලේ පොහොර දුන්න නිසා අස්වැන්න වැඩිවුනා.” ලේකම් සමන් ඒකනායක කී විට සැවොම හිස සැලුහ.
භික්ෂු සම්බන්ධීකරණ ඒකකයක් ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණේ ජනපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් පරිදිය
භික්ෂු සම්බන්ධීකරණ ඒකකයක් ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණේ ජනපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් පරිදිය. ජනපති රනිල් මහල් නිවාස හිමියන්ට සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ “රන්දොර” ජතික උත්සවය වෙනුවෙන් එදින සවස ගියේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය වෙතය.

එහිදි ජනපති රනිල් සමාජවාදය හරියටම ක්‍රියාත්මක වන්නේ වත්මන් රජය යටතේ බව පෙන්වා දුන්නේය. එනම් භූමියේ අයිතිය ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ වත්මන් රජය යටතේ බව කීවේ සැවොම අත්පොලසන් දෙද්දීය.
ජනපති වතුකරයේ පක්ෂ විපක්ෂ දෙමළ මැති ඇමතිවරු මුණ ගැසුණේ වතු ජනතාවට නිවාස හිමිකම ලබාදීම ගැන සාකච්ඡා කිරීමටය. එහිදි ජනපති පෙන්වා දුන්නේ වතු ලැයින් කාමර වෙනුවට ඔවුන්ටම වෙන්වූ නිවාස හිමිකම දීමට නම් ඒ අයට ගම්මාන ඉදිකර දිය යුතු බවය. තමන් හදන්නේ එවැනි ගම්මාන පිහිටුවා අලුතින් නිවාස ඉදිකොට එහි අයිතිය එම ජනතාවට පිරි නමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බවය.
එයට කිසිවෙකුත් විරුද්ධ නොවුනද විපක්ෂ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් බියට පත්ව සිටින බව එහි පැමිණි ආණ්ඩු පක්ෂයේ දෙමළ මන්ත්‍රීවරු කතා බහ කරන්නට වූහ. බ්‍රහස්පතින්දා දිනයේදී ද ජනපති රනිල් වැඩසටහන් රැසකට එක්වූවේය.
එදින සවස ජනපති රනිල් ත්‍රීරෝද රථ සංගම් කිහිපයක සාමාජිකයන් ද මුණ ගැසී ඔවුන්ගේ අඩුපාඩු ගැන ද කතා බහ කොට විසදුම් දෙන බවට පොරොන්දු වූවේය. සිකුරාදා ජනපති රනිල් ගාල්ලේ සංචාරයක නිරතවූවේය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



