සවස කඩවතට පැමිණියේ එක්ව ජයගමු රජයේ වැඩපිළිවෙල දැනුම්වත් කිරීමේ මහජන රැළියට එක්විමටය. ඒ වන විටත් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකට ලක්ව සිටි ජනපති රනිල් එය නොතකා මහජන රැළියට එක් වූවේය.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු බහුතරයක් ඊට එක්ව සිටි අතර ප්‍රාදේශීය සභා නියෝජිතයන් 300 ට අධික සංඛ්‍යාවක් ද දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණ සිටියහ. රැළිය අවසන් වී තේ පැන් සංග්‍රහයට ඔවුන් ගියේ සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයාගේ නිවසටය.
සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා වැඩිම ජනතාවක් රැගෙන ඒම ගැන කාගේත් අවධානයට ලක් වූවේ තේ පැන් සංග්‍රහය අතරතුරදීය. එවිට ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ද මහාචාර්ය ආශූ මාරසිංහ ද වැඩි ජන කොටසක් රැගෙන ඒම ගැන සිහිපත් කලේය.
ජනපති රනිල් පිරිස සමඟ කීවේ තමන් 77 මැතිවරණයේදී හෝ මෙතරම් සෙනඟක් ගම්පහදී නොදුටු බවය.
තේ පැන් සංග්‍රහය නිමවා කතරගම පෙරහැර නැරඹීමට යන්න කලින් සැලසුම් කර තිබුණ ද ඇතිවූ අසනීප තත්ත්වය හේතුවෙන් ඊට සහභාගී නොවීමට තීන්දු කළ ජනපති රනිල් ඒ වන විටත් කතරගම ගොස් සිටි කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අමතා තමා වෙනුවෙන් එහි කටයුතුවලට සහභාගී වන්නැයි උපදෙස් දුන්නේය.
එම උපදෙස් අනුව සාගල රත්නායක ද රන් ද්වාරය විවෘත කිරීමේ සිට සවස පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීමේ අවස්ථාව තෙක් එහි රැදී සිටීමට වඟ බලා ගත්තේය. සදුදා කැදවා තිබූ රැස්වීම් රැසක් අවලංගු කිරීමට කටයුතු කර තිබුණේ ද අසනීප තත්ත්වය හේතුවෙනි. නමුත් එදින සවස පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට හා ඇමති මණ්ඩල හමුවට ඔහු එක්වූවේ අවලංගු කළ නොහැකි රැස්වීම් වූ බැවිනි.

සතියේ පාර්ලිමේන්තු වැඩසටහන ගැන සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරණය ගැන කතිකාව ඇදී ආවේය. එහිදි ජනපති රනිල් කීවේ මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයට බැවින් එය අනිවාර්්‍යයෙන්ම පවත්වන බවය. වෙනත් මැතිවරණයක් වෙනුවෙන් මුදල් වෙන් කර නැතැයි ද ඔහු කිවේ මහමැතිවරණයක් ගැන පිරිස විමසද්දීය.
අගහරුවාදා ද ඉදිරි මැතිවරණයට අදාළ රැස්වීම් කිහිපයකට සහභාගී වූවා විනා ප්‍රසිද්ධ රැස්වීම් කිසිවකටත් ජනපති රනිල් සහභාගී වූවේ නැත. රජය නියෝජනය කරන මැති ඇමතිවරු මෙන්ම කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල, පක්ෂ නියෝජ්‍ය නායක රුවන්, උපනායක අකිල, සභාපති වජිර ඇතුළු කණ්ඩායම දේශපාලන කාර්යලයන් හි රැස්වෙමින් ඉදිරි ජනාධිපතිවරණ සැලසුම් සකස් කරන්නට වූහ.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගැන මෙන්ම සකස් කරන සන්ධානය ගැන ද මෙහිදි පිරිස දිගින් දිගටම සාකච්ඡා කරමින් සැලසුම් සකස් කොට ඒ සියල්ල ජනපති රනිල් වෙත ඉදිරිපත් කර තිබුනි. මේ අතර කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඉකුත් බදාදා මෙරට ආයෝජන කර ඇති ඉන්දියන් ව්‍යාපාරවල ප්‍රධානීන් මුණ ගැසුණේය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකවීම තුළ තවත් ඉන්දියානු ආයෝජන ඉදිරියේදි මෙරටට පැමිණෙනු ඇතැයි සඳහන් කර තිබුනි. නතරවී තිබූ ජපන් ව්‍යාපෘති යළි ආරම්භ කිරීම මේ වෙනුවෙන් කොළ එළියක් දල්වා තිබෙන බවද ඉන්දීය ව්‍යාපාර ප්‍රධානීන් සාගල හමුවේ කීවෝය.
මොවුන් අවුරුදු දෙකක් තිස්සේ සති 6 ට සැරයක් ජනපති වෙනුවෙන් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල මුණ ගැසී ඔවුන් මුහුණ දෙන ගැටළු කතා බස් කරන්නේය. ජනපති ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය වෙත ගියේ එහි 106 වන සංවත්සර උත්සවයට සහභාගී වීමටය.
සවස විශේෂ ඇමති මණ්ඩල හමුවක් කැදවා තිබුණේ පනත් කෙටුම්පත් කිහිපයක් අනුමත කර ගැනීමටය. ඒ අතර විශ්‍රාම වැටුප් විෂමතාවය පිළිබඳව වූ යෝජනාවක් ද තිබුණේය. බණ්ඩාරණයක විද්‍යාලයේ උත්සවය අවසන් කොට ඔහු කොටුව ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙද්දී එහි පෝටිකෝවේදී මුණ ගැසුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නය..
එහිදි ඔහු පොලිස්පතිට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන කීවේය. “එයාලා තීන්දුව දෙන්න කල් ගන්න කොට මමත් ලැහැස්ති වෙනවා කියා දැන ගන්න ඕනේ.” එසේ කියු ජනපති ඔහු සමඟ කතා බස් කරමින් කාර්යාලය වෙත පිය නැගුවේය.
“තාම මට නඩු තීන්දුවේ පිටපතක් ලැබිලා නෑ. ඒකත් බලලා හවස ඇමති මණ්ඩලයේදී මේ ගැන කතා කරනවා. ඊට පස්සේ මාධ්‍යයට විස්තරය දෙන්නම්.” ජනපති කීවේ දිනිත් චින්තකටය.
විශේෂ අමාත්‍ය මණ්ඩල හමුව සවස 4 ට පැවැති අතර ඒ වන විටත් තීන්දුවේ පිටපත් ලැබී තිබූ බැවින් ඇමතිවරු රැසක් එහි ඇති ගැටළු සහගත තැන් ගැන පෙන්වා දෙන්නට වූහ. මෙහිදි ජනපති රනිල් කීවේ තීන්දුව ගැඹුරින් අධ්‍යයනය කිරීමට නීතිඥවරුන්ට බාර කරමු යනුවෙනි.
“මේක ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒකට දින දෙකක් විතර යාවි. ඊට පස්සේ අපේ ප්‍රතිචාරය කියමු.” ජනපති කීවේ එවැන්නකි. ඉන් පසු විශ්‍රාමිකයන්ට රුපියල් 3000 ක දීමනාවක් ගෙවීමේ යෝජනාවද ඇමති මණ්ඩලය අනුමත කළේය.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලය වෙත ගොස් ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු ගැන කතා බහක නිතරවූවේය. පොදුජන පෙරමුණේ ප්‍රධානීන් කිහිප දෙනෙකු ද මුණ ගැසුණු අතර බැසිල් රාජපක්ෂ ද ඒ පිරිසේ වූවේය.
එහිදි දෙදෙනා අතර කෙළ එළි දැල්වුනු බව කනින් කොණින් ඇසෙන්නට වූහ. එය නිමවා නැවත ජනාධිපති කාර්යාලය වෙත පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට මැති ඇමතිවරු පිරිසක් ද පැමිණ සිටියහ.
ඔවුන් විමසන්නට වූවේ පොලිස්පතිවරයාට දුන් අධිකරණ තීන්දුව ගැනය. “මේක දාපු එක පාර්ශවයක් සජබය. වෙන කිසිම පක්ෂයක් මේකට සම්බන්ධ වෙලා නෑ.” ඇමති ප්‍රසන්න පෙන්වා දුන්නේය.
“නීතිඥ මහත්වරු අහනවා ජනාධිපතිතුමාගේ කාර්ය භාරය මොකක්ද ජනාධිපතිතුමාට අධිකරණයට නියෝග දෙන්න පුළුවන්ද කියලා.” මන්ත්‍රී දොළවත්ත ද කතාවට එකතු වූවේය.
“19 වෙනි සංශෝධනය වගේම 21 වෙනි සංශෝධනයෙනුත් ව්‍යවස්ථාදායක සභාවට ජනපති බලතල පැවරුවේ නැතිනම් අධිකරණයට මේ ගැන කතා කරන්න වත් බෑ. සජබ පාරම් බෑවට අධිකරණයට මේ නිදහස දුන්නෙත් ජනාධිපතිතුමා.” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි.
“කොහෙම වුනත් දැන් මේ ප්‍රශ්නයේ ප්‍රධාන කාර්ය භාරයක් තියෙන්නේ කථානායකතුමාට. මොකද ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුවකුත් අභියෝගයට ලක් වෙලා තියෙනවා.පාර්ලිමේන්තුව තමයි මේ කාරණය ගැන තීන්දුවක් ගන්න වෙන්නේ.” මන්ත්‍රී දොළවත්ත යළිත් කීවේය.
“ජනාධිපතිතුමා නොවෙයි. කථානායකතුමා සහ පාර්ලිමේන්තුව තමයි මේ කාරණය ගැන තීන්දුවක් දෙන්න ඕනේ.” මහාචාර්ය ආශු මාරසිංහ එය අනුමත කළේය.
ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



