The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද? | ලයනල් බෝපගේ

T

The Leader Desk

December 21, 2025 • 5:09 PM

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA): ජාතික ජන බලවේගයට මඟ වැරදී ඇත්ද? | ලයනල් බෝපගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතිහාසය යලි යලිත් දක්වා තිබෙන පරිදි, පුරවැසි හැසිරීම් සීමා කරන ආණ්ඩුමය මර්දනකාරී ක්‍රියාමාර්ග
  • සෝවියට් සංගමය ඊට නිදසුනක් ලෙස ගත හැකිය.
  • ජනතාවන්ට එරෙහිව ගන්නා බලහත්කාර පියවර අස්ථාවරත්වය ජනිත කරවන අතර, ජනතා සම්මුතිය සහ වගවීම ස්ථාවර බව අත් කර දෙයි.
  • 2024 ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී, ජාතික ජන බලවේගය (NPP) කෲර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA - 1979) අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශපාලන නීත්‍යානුකූලභාවය අඩපණ කර දමා, ආණ්ඩු- විරෝධී හැඟීම් පොළඹවා ලයි. සෝවියට් සංගමය ඊට නිදසුනක් ලෙස ගත හැකිය.

මර්දනය බොහෝ විට, විසම්මුතිය මැඩ පවත්වනවාට වඩා සමාජ ව්‍යාපාර සහ දේශපාලන සහභාගිත්වය දිරිමත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථක වන්නට සහ තිරසර පාලනය මුල් ඇද ගන්නට නම්, ආණ්ඩු ප්‍රතිසංස්කරණ කිරීම් සඳහා පුරවැසියන් සහභාගි කරවා ගත යුතුය; මහජන සහභාගීත්වය තුළින් එකඟතාව වර්ධනය කර ගත යුතුය; එසේම, යල් පැන ගිය මර්දන පියවරවලට වඩා සක්‍රීය ලෙස අන්‍යෝන්‍ය ලෙස කරන කටයුතුවලට ප්‍රමුඛත්වය දිය යුතුය. ජනතාවන්ට එරෙහිව ගන්නා බලහත්කාර පියවර අස්ථාවරත්වය ජනිත කරවන අතර, ජනතා සම්මුතිය සහ වගවීම ස්ථාවර බව අත් කර දෙයි.


dferwerr
2024 ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවල දී, ජාතික ජන බලවේගය (NPP) කෲර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA - 1979) අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නේය. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ "A Thriving Nation, A Beautiful Life" නමැති ඉංග්‍රීසි පිටපතේ 129 පිටුවේ පැහැදිලිව මෙසේ සඳහන් වෙයි: "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී පනත් අහෝසි කිරීම සහ රටේ සියළුම ප්‍රදේශවල ජනයාගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම." කෙසේ වෙතත්, මෙම නිශ්චිත පොරොන්දුව සිංහල අනුවාදයේ සොයා ගත නොහැක. එය, ජාතික ජන බලවේගය සහ එහි නීති කණ්ඩායම විසින් පැහැදිලි කළ යුතුව තිබෙන විෂමතාවකි. කෙසේ වෙතත්, පිටපත් දෙකම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන සඳහන් කරයි.


වසර 45 ක් තිස්සේ බොහෝ ශ්‍රී ලාංකිකයන් ගේ, විශේෂයෙන් සුළුතර ජන ප්‍රජාවන්ගේ ජීවිත විනාශ කර දමා ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), ජනතා විරෝධය, දේශපාලන බාධා කිරීම් සහ දේශපාලන බලයට ඇති තර්ජන අප්‍රකාශිත ත්‍රස්තවාදී කටයුතු ලෙස සලකයි. පෙර පැවති ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නොමැතිව වුවද එවැනි මර්දනකාරී කටයුතුවලට යොමුව සිටියේය. පුළුල් ත්‍රස්ත විරෝධී නීති මගින් සිවිල් සමාජ නිරීක්ෂණ සීමා කරන බවත්, නිල කටයුතු කිරීමේ දී දූෂණයට ඉඩ සලසන බවත් පිළි ගනිමින් සිවිල් සමාජ සංවිධාන, මානව හිමිකම් ආරක්ෂකයින් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එය අවලංගු කරන ලෙස ඉල්ලා ඇත.

dfrye556
ජනතා විමුක්ති පෙරමුණ (JVP), එහි මුල් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 14 වන වගන්තිය වූ "රාජ්‍යයේ ව්‍යුහය" යටතේ මර්දනකාරී නීති සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පොරොන්දු විය. මෙම පිළිකුල් සහගත නීතිය අවලංගු කිරීම සඳහා එල්ල වුන දේශීය හා ජාත්‍යන්තර බලපෑම්වලට අනුප්‍රාප්තික ආණ්ඩු මුහුණ දී ඇත. ජනතාවගේ සරල අපේක්ෂාව වූයේ පුරවැසියන්ට එරෙහිව යලි යලිත් අනිසි ලෙස භාවිතා කර තිබෙන මෙම භයානක නීතිය අවලංගු කරන්න යන්න යි. යුද්ධයේ සහ සන්නද්ධ ගැටුම්වල උරුමය ආමන්ත්‍රණය කරමින් ප්‍රගතිශීලී ආණ්ඩුවකට රට යලි ගොඩනැඟිය හැකි එකම මාර්ගය වන්නේ එයයි.


පොරොන්දුවලට පිටු පෑම

NPP ආණ්ඩුව දැන් එහි මැතිවරණ අවංකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක පරීක්ෂාවකට මුහුණ දී සිටී. NPP ය විසින් දෙන ලද ආර්ථික පොරොන්දු ක්‍රියාවේ යෙදවීම බාධාවන්ට ලක් වී ඇත. පෙර පැවති පාලන තන්ත්‍රය විසින් IMF කප්පාදු රාමුවකට අනාගත ආණ්ඩු බැඳ තබන්නට (NPP ආණ්ඩුව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජන කොටස්වලට යම් යම් සහන ලබා දීම සඳහා සාකච්ඡා කලේ වුවද) පනවන ලද නීතිරීති වැනි සාධක ඊට හේතුකාරක විය. විවිධ දේශපාලන අභිලාෂයන් සහ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පූර්ව-තත්ත්ව සහ පසු-තත්ත්ව යන දෙ අවස්ථාවේ ම ඇති වන ලද විනාශය මත පදනම්ව ආණ්ඩුව, ඇතැම් පොරොන්දු සම්බන්ධයෙන් පැවති ප්‍රමුඛතා විතැන් කර තිබේ. මෙම සන්දර්භය නිසා හෝ එසේ නොමැතිව, දිගු කාලයක් බලා සිටීමට හෝ විශාල සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය නොවන ඇතැම් වැදගත් කරුණු ආමන්ත්‍රණය නොකර පවතින බව පෙනේ.

rt34345
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය විපක්ෂයේ සිටියදී ප්‍රකාශ කළ අන්දමට, PTA පනත පවත්වා ගැනීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොපවතී. NPP ය විපක්ෂයේ පසු වීමෙන් පසු, රාජ්‍ය මර්දනයේ අඛණ්ඩ මෙවලමක් ලෙස PTA පනත වෙනත් ආකාරයකින් තබා ගැනීමට තරම් අළුත් යමක් සොයා ගෙන ඇත්ද? කෙසේ වෙතත්, දෙන ලද මැතිවරණ පොරොන්දුව මෙය නොවේ. මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවති පැහැදිලි අවබෝධය වූයේ PTA පනත අහෝසි කරන්න යන්නයි. ත්‍රස්ත ප්‍රහාර ආමන්ත්‍රණය කරනවා වෙනුවට, සමාජ-ආර්ථික හෝ ජාතික දුක්ගැනවිලි සඳහා විසඳුම් සොයන අයට එරෙහිව දැවැන්ත ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය උත්සන්න කිරීම තුලින් තත්වය තවත් නරක අතට හැරවීමට PTA පනත දායක වූ බව එම පනත අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි අය ඒත්තු ගෙන තිබිණි.


NPP පාලන තන්ත්‍රය, කුමන හේතුවක් නිසා හෝ, එම පනත වරක් හෙළා දුටු පෙර පැවති සියළුම පාලන තන්ත්‍ර ගිය අඩිපාරේ ගමන් කරමින් පසු බසිමින් සිටින බව පෙනේ. අහෝසි කරනවා වෙනුවට, ආණ්ඩුව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ගෝලීය ත්‍රස්තවාදී තර්ජන ආමන්ත්‍රණය කරන බවට කල්පනා කරන, PTA පනත ප්‍රතිස්ථාපනය කරන නීතිමය රාමුවක් යෝජනා කිරීම සඳහා කමිටුවක් පත් කළේය. ආණ්ඩුවට ලැබී තිබුණු සහයෝගය ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සහ ජාතික මානව හිමිකම් ආරක්ෂකයින්ගේ සහාය ද සහිතව, ආණ්ඩුව එය අවලංගු කළ යුතුව තිබුණි.


ජාත්‍යන්තර සන්දර්භය

ජාත්‍යන්තර වශයෙන් ගත් විට, ත්‍රස්තවාදයෙන් මූලික අයිතිවාසිකම් රැක ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ලදැයි කියන ත්‍රස්ත විරෝධී නීති, එම අයිතිවාසිකම් උල්ලංඝනය කර අඩපණ කර දමමින්, බොහෝ විට කටයුතු කර තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට යි. ඊශ්‍රායලය ගාසා තීරය අත්පත් කර ගෙන සිටීම සහ එහි කර ගෙන යන ජන සංහාරය හොඳම සමකාලීන උදාහරණය වේ. පලස්තීන විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින අයට පහර දී, අත්අඩංගුවට ගෙන, රඳවා තබා ඔවුන් ත්‍රස්තවාදීන් ලෙස සලකනු ලබන අතර, නෙතන්යාහු ගේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලට ආධාර කරන අය කිසිදු ප්‍රතිවිපාකයකට මුහුණ නොදෙති. 

 
ඕස්ට්‍රේලියාවේ, හනුකා උත්සවය සමරන්නට එකතු වූ යුදෙව් ජාතිකයන් වෙත ‘බොන්ඩයි බීච්’ හි දී එල්ල කල ප්‍රහාරයෙන් පසු, විපක්ෂයේ සහ අප්‍රකට සියොන්වාදී බලවේගවල බලපෑම යටතේ ආණ්ඩුව, සියොන්වාදය සහ නෙතන්යාහු ගේ ත්‍රස්තවාදී පාලනය විවේචනය කරන අයගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තව දුරටත් කප්පාදු කිරීමට සූදානම් බව පෙනේ.
ert453f
මර්දනකාරී පියවරවලට වඩා ඉහළින් උපදේශනය සහ සංවාදයට අනුබල දෙන හිතකර පරිසරයන් බිහි කිරීම සාමකාමී අන්දමට ගැටුම් නිරාකරණය කිරීමේ මුල් ගලක් බව ද, එමගින් තිරසර ස්ථාවර බව පෝෂණය කර, මුල් සමාජ-ආර්ථික සහ දේශපාලනික ගැට‍ළු ආමන්ත්‍රණය කරන බව ද පුළුල් වශයෙන් සලකනු ලැබේ. 
 
මර්දනකාරී නීති පැනවීම සහ ක්‍රියාවේ යෙදවීම අවසානයේ දි, දකුණු අප්‍රිකාවේ, අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිදු වූ අන්දමට පුපුරා යන තත්වයන්ට මග පාදමින්, ඊටත් වඩා කුරිරු අන්දමේ නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය බිහි කර තිබේ. මෙයට හේතුව වන්නේ එවැනි නීති හැම විටම සකස් කරනු ලබන්නේ මර්දනය, අපයෝජනය සහ අනිසි භාවිතය සඳහා යොදා ගැනීමේ අදහසින් වීම යි. ප්‍රගතිශීලී සමාජයන් උදෙසා හැම විටම වඩා යහපත් විකල්පය වී ඇත්තේ සමාජීය පීඩාවන් ආමන්ත්‍රණය කිරීම, රිදවීම් සුව පත් කිරීම සහ අත්වැල් ගොඩනැගීම යි.


ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA)
PTA පනත වෙනුවට ඉදිරිපත් කර තිබෙන නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සලකා බැලිය යුත්තේ මෙම සන්දර්භය තුළ යි. දැනට සමාලෝචනයට ලක් වෙන, සහ මහජන අදහස් සඳහා විවෘතව පවතින PSTA පනත් කෙටුම් පත මානව හිමිකම් සුරකින වැඩිදියුණු කල සංස්කරණයක් ලෙස ඉදිරිපත් කර තිබේ. 
 
 
කෙසේ වෙතත්, 2023 මාර්තු සහ සැප්තැම්බර් මාසවල ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත (ATA) සහ 2018 දී ගැසට් කරන ලද ප්‍රති-ත්‍රස්ත පනත (CTA) යටතේ පෙර පැවති ආණ්ඩු විසින් හඳුන්වා දෙන්නට උත්සාහ කරන ලද විධිවිධාන සහ PTA පනතේ පවතින අතිශය ප්‍රශ්නකාරී කොටස් එහි රඳවා ගෙන ඇත. CTA සහ ATA යන පනත් දෙකම පුළුල් විවේචනයට භාජනය වූ අතර ඒවා බලාත්මක නොකරන ලදි. PSTA නමැති නව පනත් කෙටුම්පත NPP ය ජනතාවට දුන් පොරොන්දු පිළිබිඹු නොකරයි.


පුළුල් නිර්වචනය
ත්‍රස්තවාදී වරදක් යනු ත්‍රස්තවාදී තත්වයක් නිර්මාණය කරන්නට, මහජනතාව බිය වද්දන්නට, ශ්‍රී ලංකා ආණ්ඩුවට හෝ වෙන යම් ආණ්ඩුවකට කටයුතු කිරීම හෝ කටයුතු කිරීමෙන් වළකා ලීම සඳහා බල කරන්නට හෝ යුද්ධය ප්‍රචාරණය කරන්නට හෝ භෞමික අඛණ්ඩතාව හෝ ස්වෛරීභාවය උල්ලංඝනය කරන්නට, හිතාමතා හෝ දැනුවත්ව සිදු කරන ලද ක්‍රියාවක් ලෙස PSTA පනත් කෙටුම් පත නිර්වචනය කරයි.
 
 පෙර දී මෙන්ම, මෙම නිර්වචනය භයානක ලෙස පුළුල් ය. වත්මන් ආණ්ඩුව ඇතුළු ඕනෑම ආණ්ඩුවකට නීත්‍යානුකූල මහජන, සිවිල් සමාජ සහ වෘත්තීය සමිති ක්‍රියාවක් ත්‍රස්තවාදය ලෙස හංවඩු ගැසීමට එය භාවිතා කළ හැකිය. "ආණ්ඩුවට බල කිරීමේ" අභිප්‍රාය ත්‍රස්තවාදී වරදක් ලෙස නම් කර තිබේ. විරෝධතා සහ වෘත්තීය සමිති කටයුතු ත්‍රස්තවාදය ලෙස වර්ගීකරණය කර නොමැති බව පවසන පරිබාහිර කිරීමේ වගන්තියක් තිබුණේ වුවද, මෙම ආණ්ඩුව හෝ අනාගත ආණ්ඩුවක් විසින් මහජන විරෝධතා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හංවඩු ගැසීමේ අවදානම පවතී.


නඩු විභාගයක් නොමැතිව දිගු කල් රඳවා තබා ගැනීම
 
frtert4
 
පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් රැඳවුම් නියෝගයක් ලබා ගෙන යම් අයෙක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, වසරක් දක්වා දීර්ඝ කළ හැකි පරිදි මුලදී මාස දෙකක් රඳවා තබා ගත හැකිය. මෙයින් අධිකරණමය අධීක්ෂණය පිළිබඳව බරපතළ ගැට‍ළු මතු වේ. එවැනි නියෝගයක් බලාත්මක වන විට මහේස්ත්‍රාත්වරයෙකුට, සැකකරුවෙකුට ඇප ලබා දීමට හෝ නිදහස් කිරීමට නොහැකිය. පනත් කෙටුම්පත, "සාධාරණ සැකයක්" මත පුද්ගලයන් නතර කිරීමට, සෝදිසි කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ දේවල් අත්පත් කර ගැනීමට ද හමුදා නිලධාරීන්ට බලතල ලබා දෙයි. 1971 සහ 1988-89 කාල පරිච්ඡේදවල මෙවැන්නක් ක්‍රියාත්මක වූයේ නම්, ඇතිවිය හැකිව තිබුණු ප්‍රතිවිපාක කෙනෙකුට සිතා ගත හැකිය.

අධිකරණමය අධීක්ෂණය, මානුෂික අන්දමට රඳවා තබා ගන්නා කොන්දේසි, මානව හිමිකම් කොමිෂන් සභාවේ සහ අධිකරණ නිලධාරීන්ගේ පැමිණීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ පවුලේ අයට හා නීතිඥයන්ට පැමිණෙන්නට ඉඩ කඩ ලබා දීම සඳහා පවතින අයිතිවාසිකම් වැනි ඇතැම් විධිවිධාන, රඳවා සිටින අයගේ ආරක්ෂාව සහතික කරන බවක් පෙනේ. එහෙත් යථාර්ථයක් වශයෙන් ගත් විට, මෙම ආරක්ෂාවන් අත් කර ගැනීම දුෂ්කර වේ. බලය අනිසි ලෙස යෙදවීම සමාලෝචනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වීම, පහසු හෝ ලාභදායී කටයුත්තක් නොවේ.


විධායක ජනාධිපති බලතල
හදිසි අවස්ථාවක් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවෙන් තොරව ගැසට් නිවේදන මගින් තහනම් නියෝග සහ ඇඳිරි නීති නියෝග නිකුත් කරන්නට ජනාධිපතිවරයාට බලය ලැබෙනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඕනෑම ස්ථානයක් "තහනම් ස්ථානයක්" ලෙස නම් කළ හැකි අතර, එහි ඡායාරූප ගැනීම හෝ වීඩියෝ කිරීම පවා වසර තුනක සිර දඬුවමක් ලැබිය හැකි වරදක් බවට පත් වේ. 
 
නඩු පැවරීමකින් තොරව කෙනෙක් "පුනරුත්ථාපනය" කිරීමට ආණ්ඩුවට ඉඩ සලසා දෙන "නඩු පැවරීම කල් තැබීම" යටතේ යෝජනා කර තිබෙන විධිවිධාන මගින් සියුම් ලෙස යලි මර්දනය හඳුන්වා දීම දැඩි ලෙසම ප්‍රශ්නකාරී වන්නේය. නීතිපතිවරයාට සැකකරුවෙකු ලවා පාපොච්චාරණය කිරීමට සැලසිය හැකි නම්, නඩු නොපවරා, එම සැකකරු "පුනරුත්ථාපන" වැඩසටහනකට යොමු කරන්නට නීතිපතිවරයාට එකඟ විය හැකිය.


කටුක දඬුවම් සහ නිරීක්ෂණ
ආණ්ඩුව නිර්වචනය කරන පරිදි "ත්‍රස්තවාදී සංවිධානයක්" සමඟ සම්බන්ධ වීම හෝ ආණ්ඩුව අර්ථකථනය කරන පරිදි "ත්‍රස්තවාදී ප්‍රකාශන ප්‍රචාරණය" සඳහා, පුද්ගලයෙකුට මහාධිකරණ නඩු විභාගයකින් පසු වසර විස්සක සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සහ රුපියල් මිලියන පහළොවක් දක්වා දඩයකට ලක් විය හැකිය. ත්‍රස්තවාදය දිරිගැන්වීම සෘජු හෝ වක්‍ර අභිප්‍රාය සහිතව "නොසැලකිලිමත් ලෙස" ප්‍රකාශයක් බෙදා හැරීම ද ඇතුළු ව, ඕනෑම ප්‍රකාශනයක් බෙදා හැරීම, විකිණීම හෝ ළඟ තබා ගැනීම වරදක් බවට පත් වේ.

මෙය ඩිජිටල් නිදහසට සහ පෞද්ගලිකත්වයට සැලකිය යුතු අන්දමේ තර්ජන එල්ල කරයි. 11 වන වගන්තිය පරිබාහිර කිරීම් සැපයූවද, අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමේ දී පොලිසිය එවැනි පරිබාහිර කිරීම් නොසලකා හරින ආකාරය ගැන සලකා බලන විට, මෙය ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි යන්න කෙනෙකුට සිතා ගත හැකිය. පනත් කෙටුම්පත නිරීක්ෂණ කිරීම සඳහා විස්තීර්ණ බලතල ලබා දෙයි. 
 
සංකේතනය කරන ලද විද්‍යුත් සන්නිවේදන ද ඇතුළුව ඕනෑම සන්නිවේදනයක් අතර මග නතර කර විකේතනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාවේ දුර්වල ස්වභාවය ගැන දැනුම්වත් අන්දමට. පැය 24ක් ඇතුළත අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව එයට දැනුම් දීම මගින් බලය අයුතු ලෙස භාවිතා කිරීම වළක්වා ගන්නේ කෙසේද යන්න වලංගු ප්‍රශ්නයක් ලෙස පවතී.


සිවිල් ක්‍රියාකාරකම් අපරාධ කරණය
sfte46346
එවකට ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයේ සිටියේ නම්, දැනට ජවිපෙ සහ ජාතික ජන බලවේගය විසින් අප්‍රේල් හෝ නොවැම්බර් "වීරයන්" සමරන ඕනෑම අයෙක් මෙම විධිවිධාන යටතේ සිරගත කර හෝ රඳවා තබා ගන්නවා ඇත. ප්‍රධාන කනස්සල්ලක් වන්නේ පුළුල් අර්ථ දැක්වීම් විසින් නොදැනුවත්වම නීත්‍යානුකූල සිවිල් ක්‍රියාකාරකම්, පුවත්පත් කලාව සහ මහජන කතිකාව අපරාධ කරණයට ලක් කළ හැකිය යන්නයි. 
 
නව පනත් කෙටුම්පත යටතේ විරෝධතා දක්වන පුද්ගලයින්ගේ ඡායාරූපයක් පළ කරන කෙනෙක් ත්‍රස්තවාදියෙකු ලෙස හංවඩු ගැසිය හැකිය. 78 වන වගන්තිය ඉතා පුළුල් හා අපැහැදිලි නිර්වචනයක් වේ. ඒ අනුව, "විශ්වසනීය තොරතුරු" යන්නෙන් මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ සිවිල් සමාජ සාමාජිකයින් සිදු කරන ඕනෑම සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් අදහස් කළ හැකිය. එම කටයුතු බරපතළ ගනයේ අපරාධ වශයෙන් අර්ථ දැක්විය හැකිය.


අනිවාර්ය වාර්තාකරණය සහ දිගුව රටෙන් පිටතට
පනත් කෙටුම්පතේ 15 වන වගන්තිය ත්‍රස්තවාදයට අදාළ තොරතුරු වාර්තා කිරීම අනිවාර්ය කරයි; එය උල්ලංඝනය කිරීම වසර හතක් දක්වා සිර දඬුවම් නියම කිරීමට යටත් වේ. සාධාරණත්වය පතන අයට, විශේෂයෙන් බහුතරයට අයත් නොවන ජන ප්‍රජාවන්ට එරෙහිව මෙම විධිවිධාන කුරිරු අන්දමින් ක්‍රියාවේ යොදවනු ඇත්ද? තොරතුරු ලබන අයට පවා රජයේ ඔත්තු කරුවන් බවට පත් වන්නට බල කළ හැකිය. ඒ හැරුණු විට මෙම නීතිය ශ්‍රී ලාංකික දේශ සීමාවෙන් ඔබ්බට ගමන් කරයි.
 
 2(c) වගන්තිය පැහැදිලි කර දෙන අන්දමට, නව නීතිය ද්විත්ව පුරවැසියන් ඇතුළුව ශ්‍රී ලංකාවෙන් පිටත ජීවත් වන සියළුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද අදාළ වේ. තම මව් රටේ සිදුවීම් ලේඛනගත කරන ඩයස්පෝරා ප්‍රජාවන්ට එරෙහිව PSTA පනත අවියක් බවට පත් කර ගත හැකිය. විදේශයන්හි සිට පවා, ශ්‍රී ලාංකික සිදුවීම් පිළිබඳව සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම නීති විරෝධී බවට පත් වේ.


නිගමනය

ජනතාව නොව රජය රැකීම සඳහා වන රාමුවක්
අපයෝජනය වැළැක්වීම සඳහා ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි පටු ලෙස අර්ථ දැක්වීමට අපොහොසත් වීම හේතුවෙන් PSTA පනත් කෙටුම්පත PTA පනතේ සහ CTA සහ ATA කෙටුම්පත්වල පැවතුණ ගැට‍ළු සහ අඩුපාඩු රඳවා ගනී. (රජයේ බල කිරීම වැනි) අනෙක් නිර්වචනාත්මක අංග සමඟ ගැටෙන පරිබාහිර කිරීමේ විධිවිධාන ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමේ දී අඩපණ කරනු ලැබීමේ අවදානම පවතී.

පනත් කෙටුම්පත් මාතෘකාව එහි අභිමතය හෙළිදරව් කරයි. එහි අභිමතය වන්නේ රජය සහ එමඟින් බලයේ සිටින ආණ්ඩුව රැක ගැනීමයි. සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය යෙදීම සහ මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සහ සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කරන, ජනතාව කේන්ද්‍ර කර ගත් රාමුවක් එහි නොමැත. විධිවිධාන කිහිපයක් මෙම අරමුණු අඩපණ කරති. ඒ විධිවිධාන සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමෙන් නිදහස ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් මෙවලම් යටතේ සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම්වලට පටහැණි වන බව පෙනේ.

PTA පනත මෙන්ම, PSTA පනත් කෙටුම්පත සාක්ෂි නොමැතිව පුද්ගලයින් රඳවා තබා ගැනීමට, නොපැහැදිලිව නිර්වචනය කල කථාවක් අපරාධකරණය කිරීමට සහ අර්ථවත් අධිකරණමය අධීක්ෂණයකින් තොරව රැස්වීම් සහ සංවිධාන අත්තනෝමතික ලෙස තහනම් කිරීමට ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට පුළුල් බලයක් ලබා දෙයි. PSTA පනත් කෙටුම්පත දේපළ හානි වැනි අපරාධ ඇතුළත් කිරීම සඳහා ත්‍රස්තවාදයේ නිර්වචනය පුළුල් කරයි; රැස්වීමේ සහ කතා කිරීමේ නිදහසට ඇති අයිතීන් සීමා කරයි; වරෙන්තුවක් නොමැතිව ඕනෑම අයෙක් නැවැත්වීමට, ප්‍රශ්න කිරීමට, සෝදිසි කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහ හමුදාවට අවසර ලබා දෙයි. එය, කිසිදු අපරාධයකට වරදකරු නොකරන ලද පුද්ගලයින් මත "ස්වේච්ඡා" භාරකාර "පුනරුත්ථාපනය" ආරෝපණය කරන්නට නීතිපතිවරයාට ඉඩකඩ ලබා දෙයි.

මෙම ත්‍රස්තවාදී පනත් කෙටුම්පත හඳුන්වා දීමෙන්, NPP ආණ්ඩුව එක්කෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දුන් පොරොන්දුව කඩ කර ඇත; නැතහොත් එය මඟ වරදවා ගෙන ඇත. නව පනත් කෙටුම්පතට ද, PTA පනත කලා මෙන් සිවිල් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති මර්දනය කළ හැකිය.

NPP ය, විපක්ෂයේ සිටීමෙන් පසුව, PTA පනත රාජ්‍ය මර්දනයේ අඛණ්ඩ මෙවලමක් ලෙස වෙනත් ආකාරයකින් පවත්වා ගැනීම සාධාරණීකරණය කරන අන්දමේ අළුත් යමක් සොයා ගෙන තිබේද යන ප්‍රශ්නය පවතී. ඔවුන්ට ලැබුණු මැතිවරණ සහයෝගය සහ එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සහ ජාතික මානව හිමිකම් සංවිධානවල සහාය සහිතව ආණ්ඩුව, PTA පනත ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රම සොයා ගැනීමට කමිටුවක් පත් කරනවා වෙනුවට, එය අවලංගු කර දැමිය යුතුව තිබුණි.

ජනතාව කඩිනම් ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළහ. කාලය ගෙවී යමින් ඇත. මැතිවරණ පොරොන්දු ඉටු කිරීම සඳහා NPP යේ පවතින කැපවීම පරීක්ෂාවට ලක් වෙමින් ඇත. ඔවුන් තම මාවත වරදවා ගෙන ඇත්ද යන්නට පිළිතුර තීරණය කරනු ඇත්තේ ඔවුන් ඊළඟට කරන දේ අනුව ය.

lIONAL bOPAGE(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
2025 දෙසැම්බර් 21 වන දා

lionel.bopage@gmail.com
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...