The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

PTA : රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී සිවලිංගම් අරූරන්ට නිදහස ලැබෙයි ද?

T

The Leader Desk

November 8, 2022 • 8:42 AM

PTA : රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී සිවලිංගම් අරූරන්ට නිදහස ලැබෙයි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේ රටේම බලධාරීන් වෙත සිහිකැඳවීමක් කරමිනි.
  • අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ද මාස 3කට ආසන්න කාලයක් රඳවා තබා ගෙන ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
  • අරූරුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර 13කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටියි.
  • සාහිත්‍යකරණයේ නියැලි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිවලිංගම් අරූරන් සම්මානයට පාත්‍රවිය.
අකුරු ප්‍රමාණය (Font Size):

නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේ රටේම බලධාරීන් වෙත සිහිකැඳවීමක් කරමිනි.


ඒ ඔහු වැනි සැකකරුවන්ට තවත් කොපමණ කාලයක් නඩු නොපවරා බන්ධනාගාරයේ සිය ජීවිතයේ වටිනාම කාලය ගෙවා දැමීමට ඉඩ දෙන්නේ දැයි යන පැනයට පිළිතුරක් දීමට බලධාරීන්ට ඉඩ ලබා දෙමිනි.


සම්මානය දිනා ගැනීම හේතුවෙන් අරූරන් ගැන සමාජයේ කතා බහට ලක්විය. එහෙත් බාහිර ලෝකයේ කිසිදු අවදානයක් නොමැතිව තවත් කොතරම් මෙවැනි පිරිස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බන්ධනාගාර තුළ රඳවා තබා සිටින්නේ දැයි යන්න විචාරකයින් විමසන කාරණයකි.


අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ද මාස 3කට ආසන්න කාලයක් රඳවා තබා ගෙන ඇත්තේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.


අරූරුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වසර 13කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටියි.


දෙමළ PTA සැකකරුවන් හතරකට උසාවියෙන් ඇප



අරූරන් යනු කවුද?


සාහිත්‍යකරණයේ නියැලි විශිෂ්ටතා දැක්වූ ශ්‍රී ලාංකේය සාහිත්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී සිවලිංගම් අරූරන් සම්මානයට පාත්‍රවිය.


ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 28 දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදීය.


42 හැවිරිදි අරූරන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින සැකකරුවෙකු වන අතර නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියෙකි.


සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස නව සිවලිංගම් අරූරන් විසින් රචිත 'ආදුරසාලයි' සම්මානයෙන් පිදුම් ලැබීය.වෛද්‍යවරයකු විසින් නොදියුණු රෝහලක් දියුණු තත්ත්වයට පත්කර ගැනීම ගැන කියවෙන කතාවක් නවකතාවට තේමා වී ඇත.

 

aruna

සම්මාන උලෙළේ හොඳම ස්වතන්ත්‍ර (දෙමළ) නවකතාව ලෙස සම්මාන දිනාගත් සිවලිංගම් අරූරන් විසින් රචිත 'ආදුරසාලයි' කෘතිය.

 

සිවලිංගම් අරූරන් 2004 වසරේදී මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබා ගෙන තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටියදී 2009.06.25 දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන ඇත.


ඒ, 2006 වසරේදී කොළඹ පිත්තල හංදියේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉලක්කර එල්ල කළ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිටය.


බන්ධනාගාර ගත වීමෙන් පසු කියවීමට හා ලිවීමට දැඩිව නැඹුරු වු අරූරන් දෙමළ භාෂා කෘති 07 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් රචනා කර ඇත.එම කෘති සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වීම කැපී පෙනෙයි.


2016 දී ද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඔහු හිමිකර ගත්තේය.


සම්මාන උළෙල සඳහා මැගසින් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අතින් සම්මානය ලබාගත්තේය.


සිවලිංගම් අරූරන්ගේ පියා ද ඉංජිනේරුවරයෙකි. පියාට අනුව අරූරන්ට බන්ධනාගාරගත වීමට පෙර නවකතා හෝ කෙටිකතා කියවීමේ පුරුද්දක් තිබී නැත. ඔහු බන්ධනාගාරයේ කාලය ගතකිරීම උදෙසා පොතපත කියවීමට පුරුදූ වී තිබේ.


"එයා ජීවිතේ කවදාවත් කෙටිකතා, නව කතා මුකුත් කියවන්නෙත් නැහැ. ලියන්නෙත් නැහැ. ඇතුලට ගිහාම එයා කියවන්න පටන් ගත්තා. පළමු නවකතාවට රජයෙන් සාහිත්‍ය සම්මානය හම්බවුණා. මේක දෙවැනි සැරය" අරූරන්ගේ පියා සඳහන් කළේය.


ඔහු හැඟුම් බරව කියා සිටියේ "හිරගෙදරට ගිහාම එයාව බැලුවා, තාත්තා ළඟදී එන්න විදිහක් නැහැ. මොකද PTA එක යටතේ අල්ලගත්තොත් එගොල්ලෝ යන්න දෙන්නේ නැහැ කිව්වා."

 

aruran

සිවලිංගම් අරූරන් සම්මානය ලබාගැනීමෙන් පසු මව සහ පියා සමඟ

 

මැගසින් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ පෙන්වා දුන්නේ පුනරුත්ථාපන ක්‍රියාවලිය තුළ දක්ෂ ලේඛකයින් බන්ධනාගාරය තුලින් බිහිවී ඇති බවයි. ඔහු කියා සිටියේ අරූරන් ඉතා දක්ෂ ලෙස ලිවීමට හා කියවීමට හැකි විනයවත් සැකකරුවෙකු බවය.


"තවම මෙයා සැකකරුවෙකු විදහට ඉන්නේ. තාම නඩු කටයුතු කරගෙන යනවා. මොහුගේ විනය වත් භාවය නිසා ඉක්මනට නඩු කටයුතු අවසන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා." බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කළේය.


'සාක්ෂි තිබේ නම් නඩු පවරන්න'


ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න ෆේස්බුක් සටහනක් තබමින් සිවලිංගම් අරූරන්ට සුබ පතනු ලැබීය.


ඔහු සඳහන් කළේ, දක්ෂ ශ්‍රී ලාංකිකයෙකුට සහය දැක්වීමට සහ ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළටද සුබ පතන බවය.


විමර්ශන අදියරෙන් ඔබ්බට, රඳවා සිටින සෑම පුද්ගලයෙකුගේම නඩු ශ්‍රී ලංකාව කඩිනමින් සමාලෝචනය කළ යුතු බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

 

RG D

ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න තැබූ ෆේස්බුක් සටහන

 

ඔහු අවධාරණය කළේ, ත්‍රස්තවාදය බරපතළ අපරාධයක් බැවින් සාක්‍ෂි තිබේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවය.


ශ්‍රී ලංකාවට නව ත්‍රස්ත විරෝධී නීතියක් සම්මත කර ගැනීමට සහ බන්ධනාගාර සේවය ප්‍රධාන ධාරාවේ පුනරුත්ථාපනය සඳහා යොමු කිරීමට සුදුසු කාලය පැමිණ ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.


සිය දක්ෂතා සමඟින්, බන්ධනාගාර තුළ මධ්‍යස්ථභාවය, ඉවසීම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා නවීනතම පුනරුත්ථාපන වැඩසටහනක් ගොඩනැගීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපකාර කිරීමට සිවලිංගම් අරූරන්ට හැකි බව මහාචාර්ය ගුණරත්න පෙන්වා දෙයි.


අරූරන් වගේ තව කීදෙනෙක් රඳවා තබා ගන්නවාද?


නිතීඥ භවානි ෆොන්සේකා පවසන්නේ, "මෙම සම්මානයෙන් පෙන්වන්නේ ඔහු අවුරුදු 13 ක් බන්ධනාගාරයේ ඉදලා තියෙනවා. එවගේ හුඟක් අය ඉන්නවා PTA එකෙන් (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) අත්අඩංගුවට අරගෙන. නඩු දාන්නේ නැතිව කියන එකයි".


ඇය පෙන්වා දුන්නේ "දෙමළ සුළු ජනතාව PTA එකෙන් ටාර්ගට් කරලා තියෙන එක මේ කේස් එකෙන් හොඳට පේනවා. කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ. අරගලය නිසා දැන් PTA එක ගැන ටිකක් සාකච්ඡාවක් යනවා. ඒත් දෙමළ සුළු ජනතාව අවුරුදු ගාණක්, 79 ඉදලා ටාර්ගට් කරලා තියෙනවා. ඒක එක පැත්තකින්. අනිත් එක බන්ධනාගාරයේ දක්ෂ අය ඉන්න පුලුවන්. මෙයාව දන්නවා සම්මානයක් දින්න නිසා. වෙන අයත් ඇති නේ ඔතන." භවානි පෙන්වා දුන්නාය.


ඇය පෙන්වා දුන්නේ අපරාධ වැරදිකරුවන්ට ජනපති සමාව දීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ පැවති බවය.


වත්මන් අර්බුදය : ''අපි උඩදාගෙන ගිහිල්ලා දුන්නා. දරුවන්ටත් කිවුවා දීපල්ලා  කියලා'' (වීඩියෝ)"ජනාධිපතිට කැමතිනම් සමාව දෙන්න පුලුවන්. ඇයි මෙහෙම අවුරුදු ගාණක් අත්අඩංගුවට අරගෙන මෙච්චර කල් තියා ගන්නේ නඩුවක් දාන්නේ නැතිව. අවුරුදු 13ක් මුකුත් කරලා නැහැ ආණ්ඩුවෙන්. සමාවක් දෙන්න පුලුවන් නඩුවකින් වරදකරුවෙකු වෙච්ච අයෙකුටත්. නීතියේ ආධිපත්‍ය පැත්තෙන් බලන කොට ලංකාවේ මේකෙන් පේන්නේ ප්‍රශ්න හුඟක් තියෙනවා කියලා."


"PTA කියන්නේ හුඟක් දරුණු නීතියක්. අවුරුදු 13 ක් වෙනවා යුද්ධය ඉවර වෙලා. තාම PTA එක තියෙනවා. මුකුත් කරලා නැහැ. ආණ්ඩුව කියලා තියෙනවා එන අවුරුද්දේ අලුත් නීතියක් ගේනවා කියලා. ඒක කියලා තියෙන්නේ EU එකට. ජාත්‍යන්තරයට ගිහල්ලා එක එක ඒවා කියනවා ලංකාවේ තාම රටේ ප්‍රශ්න තියෙනවා. ඒ නීතිය තියෙනකම් තව හුඟක් ඔය වගේ ප්‍රශ්න එනවා. ඉතින් අරූරන් වගේ තව කීදෙනෙක්ව අත්අඩංගුවට අරගෙන අවුරුදු ගාණක් තියාගන්නවාද ආණ්ඩුවෙන්, නඩුවක් ගේන්නෙත් නැතිව." නීතිඥ භවානී ෆොන්සේකා ප්‍රශ්න කළාය.


අධිකරණ අමාත්‍යවරයා කියන්නේ කුමක්ද?


අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය විජයදාස රාජපක්ෂ කියා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවය. මෑතකදී රැඳවියන් 8 දෙනෙකු නිදහස් කළ බවද ඔහු පෙන්වා දුන්නේය.


පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම හැරණු විට දැනට ත්‍රස්ත පනත යටතේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ රැඳවියන් ගණන 31 ක් බවද ඔහු පැවසීය.


"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි අලුත් පනක් ගෙනෙන්න කටයුතු කරලා තිබෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ තිබෙන ඉතාමත්ම බැරෑරුම් තත්ත්වයන් යම් ප්‍රමාණයකට ලිහිල් කරලා, මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා වෙන විදහට අපි පනත කෙටුම්පත් කරගෙන යනවා. මේකට තියෙන විරෝධය නිසාම ජාතික ආරක්ෂාව කියන කාරණය අපි අවතක්සේරු කරන්නේ නැතිබව කියන්න ඕනේ." ඔහු පැවසීය.


අමාත්‍යවරයා සඳහන් කළේ, "අපිට දැඩි නීති ලිහිල් කරන්න කියලා ජාත්‍යන්තරයෙනුත් යම් යම් බලපෑම් කරන එක සැබෑයි. නමුත් ඒ කියන රටවල්වල ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගත්තොත් වර්තමානයේ පවතින නීති තියෙනවා අපේ නීතිවලටත් වඩා ඉතාමත්ම බරපතල තත්ත්වයන්. කොහොම නමුත් ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ඉන්න ප්‍රමාණය ඉතාමත් අතලොස්සක්, පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම හැරණු විට. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී යම් යම් පියවර ගන්නවා."


ඔහු පෙන්වා දුන්නේ "සමහර ත්‍රස්ත පනත යටතේ ගත්ත අයවුණත්, අධිකරණයේ නඩු අවසන් නොවී ඉන්න අයත් ඉන්නවා. සැකකරුවෝ නැත්නම්, චූදිතයෝ විදිහට. ඒ පිළිබඳවත් අපි අවසාන තීරණයක් අපි ඉතා ඉක්මනට ගන්න තමා බලාපොරොත්තු වෙන්නේ. සංහිඳියාව මුල් කරගෙන ජාතික සමගිය ගොඩනැගීම සඳහා යම් තීන්දු තීරණ අපි ආණ්ඩුවක් විදිහට අපි ඉදිරියේදී ගන්නවා." යනුවෙනි.

(BBC සිංහල සේවය )



සබැඳි පුවත් :
දහසය වසරක් රඳවාගෙන සිටින දෙමළ PTA සිරකරුවකුට රාජ්‍ය සම්මාන

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...