The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

PUBG - අන්තරේ

T

The Leader Desk

March 9, 2023 • 4:49 PM

PUBG - අන්තරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බඩ ගාමින් දුවමින් පනිමින් එකිනෙකාට සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තබමින් එකෙකු දිනන තෙක් හවස් කාලයම ගත කෙළෙමු.
  • ඒ සෙල්ලමට ඇබ්බැහි වී ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දැන් මසකට වරක් දෙවරක් කොළඹ පැමිණේ.
  • සිට ඇත්ත යුද්ධයක් නොමැති රටේ පොලීසියටත් හමුදාවටත් මෙය මරු සෙල්ලමක් විය යුතුය.
  • සැලකිල්ලෙන් බැලූ විට අපට පෙනෙන්නේ දෙපාර්ශවයම ඇත්තටම එකිනෙකාට ගහන්නේ නැති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

බඩ ගාමින් දුවමින් පනිමින් එකිනෙකාට සෙල්ලම් තුවක්කුවලින් වෙඩි තබමින් එකෙකු දිනන තෙක් හවස් කාලයම ගත කෙළෙමු. ඒ එදාය.

වසන්ත මුදලිගේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙකල කරන්නේත් ඒ හොරා පොලිස් සෙල්ලමයි.

Player Unknown Battlegrounds (PUBG) හෙවත් “නොහඳුනන සෙල්ලක්කරයාගේ යුධ පිටිය” යනු මෙකල තරුණ තරුණියන් අතර ජනප්‍රියතම වීඩියෝ ගේම් එකයි. භෞතික ලෙව්වට සමාන විවෘත සයිබර් කොදෙව්වක එකිනෙකාට බැන ගනිමින් වෙඩි තබමින් පැය ගණන් දුව පැන ඇවිදීම ඔවුන්ගේ එකම සතුටයි. එදා මනසින් මවා ගත් ලෝකය අද පරිගණක තිරය හෝ මොබයිල් ස්ක්‍රීන් එක මත දිස්වේ. චර්යාව එකමය.


අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ පොලීසිය සැබැවින්ම කරන්නේ මේ ප්‍රාථමික සෙල්ලම නොවේද! වසරකට කිහිපවරක් කොළඹ පැමිණ පාරවල් පුරා දුවමින් තාප්පවලින් පනිමින් ඈත සිට පොලීසියට වහසි බස් දොඩමින් සැඟවී ගල් කැට ගසමින් කඳුළු ගෑස් ගැසූ විට හූ කියමින් පැන දිවීම ඉමහත් ෆන් එකක් විය යුතුය. ඒ සෙල්ලමට ඇබ්බැහි වී ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දැන් මසකට වරක් දෙවරක් කොළඹ පැමිණේ.


2009 සිට ඇත්ත යුද්ධයක් නොමැති රටේ පොලීසියටත් හමුදාවටත් මෙය මරු සෙල්ලමක් විය යුතුය. සැලකිල්ලෙන් බැලූ විට අපට පෙනෙන්නේ දෙපාර්ශවයම ඇත්තටම එකිනෙකාට ගහන්නේ නැති බවයි. දෙපාර්ශවයම කරන්නේ පාලිත (controlled) සෙල්ලමකි. මොනතරම් හයියෙන් වහසි බස් දෙඩුවත් කවුරුවත් ඇත්තටම සටන් කරන්නේ නැත. හීරුණු කැපුණු තැන්වලට කෙළ ටිකක් උලාගෙන හැමදාම හවසට කස්ටිය විසිරී තම තමන්ගේ නිවෙස්වලට යයි.

PUBG වලට ඇබ්බැහි වූ තරුණයා සැබෑ ලෝකයේත් සිය ප්‍රචණ්ඩකාමය අත්විඳීමට උත්සාහ කිරීමක්ද අපට මෙහි පෙනේ. ගංජා සුරුට්ටුව මදි වන ධූර්තයා හෙරොයින් සොයා යන්නාක් මෙන් පරිගණකයෙන් එන ඇඩ්රිනලින් රශ් එක මදි වන ලකේ තරුණයා අන්තරේ සෙල්ලමට එකතු වේ. සයිබර් අවකාශයේ පැරෂූටයෙන් පනින්නාක් මෙන් අඩි විස්සක් උස තාප්පවලින් තරුණ මහණුන් සිවුරු කඩාගෙන බිමට පනී.


වැඩිහිටියන් වූ පසු හොරා පොලිස් සෙල්ලම් කිරීම නවතා දමයි. ඇතැමුන් ඉන් පසුව කරන්නේ තරුණයන් ලවා හොරා පොලිස් සෙල්ලම් කරවා විනෝද වීමයි. ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ නායකයන් මෙන්ම අරගලයට අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරිකයන් කරන්නේ එයයි. බොළඳ තරුණ තරුණියන් මසකට වරක් කොළඹට ගෙන්වා දුව පැන ඇවිද්දවා වතුර නාවා කඳුළු පෙරවා සෙල්ලම් කරවා ආතල් ගැනීමයි.



එවැනි සෙල්ලම් සංවිධානය කරන අන්තර්ජාතික ටූනමන්ට් තිබේ. ඒවා සජීවීව නරඹන මිලියන ගණන් රසිකයන් සිටී. කොටි සිරස සහ නයි දෙරණ කරන්නේ එයයි. අන්තරේ සහ පොලීසිය කරන සෙල්ලම් සජීවීව සිය නාලිකාවෙන් පෙන්වා විනාඩියකට රුපියල් මිලියන ගණන් වෙළඳ දැන්වීම් විකුණා මුදල් හම්බ කිරීම ඔවුන්ගේ #අරමුණ වේ. ඒවා නැරඹීමට දාන රීලෝඩ්වලින් විනාඩියට රුපියල් මිලියන ගණන් ඩයලොග් එක හම්බ කරගනියි. මෙය කදිම සාර්ව කැපිටලිස්ට් වෙළඳපොළකි.

PUBG සෙල්ලම් පිළිබඳව විචාර දෙන තවත් පිරිසක් සිටී. අනුන්ගේ හොරා පොලිස් සෙල්ලම් ගැන විස්තර විචාර දෙන වීඩියෝ බලන්න තවත් මිලියන ගණනක් සිටී. ලංකාවේ එම කාර්යය හොඳටම කරන්නේ නිර්මාල් දේවසිරිය. “PUBG - අන්තරේ” වර්ෂන් එක ගැන මාධ්‍යය කැඳවා මයික් ඉස්සරහා ලස්සනටම විචාර දෙන්නේ එතුමාය. මා එතුමාගේ චැනලයේ සබ්ස්ක්‍රයිබරයෙකි.


රනිල් වික්‍රමසිංහත් මේ සෙල්ලම් හොඳට දන්නා බව නිසැකය. කොල්ලො කුරුට්ටො ටික හොරා පොලිස් සෙල්ලම් කරවා තබා සිය දේශපාලනය කිරීමට ඔහු හපනෙකි. අනෙක ඉතින් 88-89 මෙන් ඇත්තටම හමුදාව සමග හැප්පෙන්න පුළුවන් තරුණ පරම්පරාවක් නැවත බිහි නොවන බව කවුරුත් දනී. “කපා කපා කෑලි කපා”… කීවාට ඔය රෝන් ජෙනරේෂන් එකේ ඉන්නේ නියමල ටිකක් වැඩිපුර කැපුනත් අඬාගෙන ඩොක්ටර් ළඟට දුවන සිඟිත්තන් බවත් කවුරුත් දනී.


ධර්මය අපට මග වේවා!

eranda. ginigeඑරන්ද ගිනිගේ
2023 මාර්තු 9

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...