ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු අපට, කාන්තාවන් සඳහා වූ ප්‍රගතියේ උරුමය ගැන නිරතුරු සිහිපත් වේ. එනම්, 1960දී කාන්තා අගමැතිනියක් තෝරා පත් කරගත් පළමු ජාතිය ලෙස ලෝකයට පූර්වාදර්ශයක් සැපයීමයි. අද වන විට, ශ්‍රී ලාංකික කාන්තාවෝ දකුණු ආසියාවේ ඉහළම සාක්ෂරතා අනුපාතයකට හිමිකම් කියති. එය 90% ඉක්මවයි. ඔවුන් දේශීය විශ්වවිද්‍යාලවල බහුතර ප්‍රජාවයි. එමෙන්ම සමස්ත ශ්‍රම බලකායෙන් ද සැලකිය යුතු කොටසකි. විශේෂයෙන් නිෂ්පාදන සහ සේවා අංශවල බහුතරය කාන්තාවන් වේ.
මෙම ජයග්‍රාහී සන්ධිස්ථාන තිබියදීත්, 2025 වන තෙක්ම කාන්තාවන්ට නීත්‍යානුකූලව මත්පැන් මිලදී ගැනීම හෝ විකිණීම සීමා කළ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද විය. ඉන්දියාවේ, පකිස්ථානයේ සහ ඇතැම් ගල්ෆ් රටවල මේ හා සමාන නීති ක්‍රියාත්මක වන අතර, බොහෝ විට ඒවා යුක්තියුක්ත කරනුයේ සංස්කෘතික හෝ ආගමික සමාජ සම්මතයන් අනුවය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පිරිමින්ට වඩා වෙනස් අන්දමින් සලකන, මත්පැන් විකිණීම සහ මිලදී ගැනීම තහනම් කිරීමේ යල් පැන ගිය රෙගුලාසිය අවසානයේ 2025 ජූලි මාසයේදී අවලංගු කරන ලදී. බොහෝ ප්‍රමාද වූ ඓතිහාසික, සන්ධිස්ථානීය ප්‍රතිසංස්කරණයකි. මෙම ප්‍රතිඵලය යුක්තිය, සමානාත්මතාව සහ වඩාත්ම වැදගත් කරුණක් ලෙස, සාමාන්‍ය බුද්ධිය සනාථ කිරීමක් ලෙස සැලකිය හැකිය.
රට දැනට මුහුණ දෙන ලොකුම ගැටලුව මෙයද? නැත. එහෙත්, එය අසාධාරණ හානි සහිත ගැඹුරු සමාජ යටි ප්‍රවාහයක ලක්ෂණයක් විය නොහැකිද?
ඇත්තෙන්ම, එය එසේය.
කිසිදා නොපැණවිය යුතුව තිබුණු නීතියක්
1979 අංක 666 දරන සුරාබදු නිවේදනයේ යල් පැන ගිය විධිවිධානයකට අනුව, ශ්‍රී ලාංකික කාන්තා පුරවැසියන් සුරාබදු කොමසාරිස්වරයාගේ පූර්ව ලිඛිත අවසරයකින් තොරව මත්පැන් නිෂ්පාදනය කරන, බෝතල් කරන හෝ අලෙවි කරන ස්ථානවල සේවයේ යෙදවීම තහනම් කරන ලදී. එම නීතියම විසින් කාන්තාවන් බලපත්‍රලාභී ආයතනවලින් පවා මත්පැන් මිලදී ගැනීම සපුරා වළක්වන ලදී.
දශක ගණනාවක් පුරා කිසි විටෙකත් මෙම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. එම විධිවිධානය කිසිදු නවීන නීතිමය හෝ සදාචාරාත්මක රාමුවක් යටතේ සාධාරණීකරණය කළ නොහැකි, යටත් විජිත යුගයට අයත් ආදිකල්පිත එකක් විය.
2018 පසුබෑම සහ අපගේ නීතිමය අභියෝගය

අවසානය ආරම්භ වූයේ 2018 ජනවාරි මාසයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගැසට් දෙකක් නිකුත් කිරීමත් සමඟය. එක් ගැසට් පත්‍රයකින් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ විකිණීම තහනම් කළ යල් පැන ගිය නීතිය ඉවත් කරන ලදී. අනෙක් නීතියෙන්, මත්පැන් අලෙවිසැල් සහ අවන්හල් විවෘතව තබන වේලාවන් දීර්ඝ කරන ලදී. දින කිහිපයකට පසු, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම නව නීති දෙකම අවලංගු කරන ලෙස නියෝග කළ අතර, තැබූ ප්‍රගතිශීලී පියවර ආපසු හැරවීම සම්බන්ධ ‘ගෞරවයට’ ප්‍රසිද්ධියේ අයිතිවාසිකම් කියමින්, එය “ශ්‍රී ලාංකික සංස්කෘතිය ආරක්ෂා කිරීමේ පියවරක්” බව නිවේදනය කළේය.
ප්‍රතිපත්ති සම්පාදනය මෙවලමක් ලෙස භාවිතා කරමින් එල්ල කරන ලද මෙම සමාජ-සංස්කෘතික විධායක ප්‍රහාරය සිවිල් සමාජයේ මතභේදයට තුඩු දුන්නේය. එය තවදුරටත් මත්පැන් හා සම්බන්ධ කාරණයක් නොවේ. ජනකාන්තවාදී, අත්තනෝමතික දේශපාලනික ක්‍රියාමාර්ගවලින් සමාජයේ ඕනෑම සාමාජිකයෙකුගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් රජයට කොතරම් පහසුවෙන් උල්ලංඝනය කළ හැකිද යන්න පිළිබඳ තියුණු මතක් කිරීමක් එමගින් සිදුවිණ.
මෙයට ප්‍රතිචාර වශයෙන්, ස්වාධීන පුරවැසියන්, ක්‍රියාකාරිකයන්, නීතිඥයින් සහ වෘත්තිකයන් කණ්ඩායම් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරන ලදී. මුදල් අමාත්‍යාංශයේ ගැසට් පත්‍රය ආපසු හැරවීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 12(2) වගන්ති යටතේ තහවුරු කර තිබෙන සමානාත්මතාවට සහ වෙනස්කම් නොකිරීමට ඇති අපගේ අයිතිය උල්ලංඝනය කරන බවට අපි තර්ක කළෙමු.
කතා කිරීමේ නිහඬ වියදම බොහෝ දෙනෙකු දුටුවේ නැත. අපගේ සේවා ස්ථානවල සහ අපගේ පවුල් තුළ පවා, මෙම තහනමට අභියෝග කිරීම සම්බන්ධයෙන් ප්‍රතිවිපාක තිබිණි. සමාන අයිතිවාසිකම් ඉල්ලා සිටීම නිසා අපෙන් සමහරෙකු "බොන ගෑනු" ලෙස හංවඩු ගසන ලදී. පෙත්සම සඳහා අත්සන්කරුවන් 12 දෙනෙකු සොයාගැනීම පවා අභියෝගයක් විය. මුලින් එකඟ වූ ඇතැම් අය පසුව ඉවත් වූහ. එයට හේතු වූයේ සහකරුවන්, සගයන් වෙතින් එල්ල වූ පීඩනය සහ සමාජීය වශයෙන් බැහැර කරනු ඇතැයි ඇති වූ බියයි. ගැඹුරින් මුල් බැසගත් තහනමකට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට අප ඉදිරිපත් වූ හේතුවෙන් අපගේ සමහර මව්වරුන් පවා අපෙන් ඈත් වූහ.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු සමාජවල, කාන්තාවන් විසින් පෞද්ගලිකව මත්පැන් පානය කිරීම සාමාන්‍ය දෙයකි. ඒ සමඟම එය ප්‍රසිද්ධියේ කිරීම ලජ්ජාවට කරුණක් ලෙස ද සැලකේ. මෙම දෙබිඩි පිළිවෙත ගැඹුරු සංස්කෘතික අපේක්ෂාවක ප්‍රකාශනයකි. පවුල් සහ සමාජීය ගෞරවය ආරක්ෂා කර ගැනීම සඳහා කාන්තාවන් නිහතමානීකම සහ නිශ්ශබ්දතාව මූර්තිමත් කරන්නියන් විය යුතුය. එවැනි තහනම් කිරීම් ගැන විවෘතව කතා කිරීම එම මායාවට තර්ජනයකි. පවතින තත්ත්වය අවුල් කරන්නේ මත්පැන් පානය කිරීමේ ක්‍රියාව නොවේ. ඒ සඳහා තිබෙන නිදහස වෙනුවෙන් පෙනී සිටීමයි;
එම තහනමට අනුකූල වීම ප්‍රතික්ෂේප කිරීම සහ සාමාන්‍යයෙන් සඟවාගෙන තිබෙන මාතෘකා ගැන කතාකිරීමේ එඩිතරකමයි. එම නිහඬතාව බිඳ දමන කාන්තාවෝ ව්‍යාජ සමාජ සම්මතයන්ට අභියෝග කරන අතර අපේක්ෂා කරන දෙය සහ යථාර්ථය අතර පරතරය හෙළිදරව් කරති. එසේ කිරීමෙන්, ඔවුන් සුපිළිපන් ලෙස ක්‍රියා කරති. පාලනය මත ගොඩනගා ඇති පද්ධතිවලට බාධා කරන්නේ එම ක්‍රියාවයි.
2018 දී පුරවැසියන්, ක්‍රියාකාරීන් සහ සංවිධාන විසින් ගොනු කරන ලද පෙත්සම් 2025 ජූලි දක්වා අධිකරණයේ විභාග වෙමින් පැවති අතර, නව රජයේ ගැසට් පත්‍රයක් මගින් වෙනස්කම් කිරීමේ සීමාවන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී. පරිපාලන ක්‍රියාමාර්ග හරහා නීතිමය බාධා ඉවත් කරන ලද බැවින්, පෙත්සම්කරුවන් තවදුරටත් නඩුව පවත්වාගෙන යාම අනවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලද හෙයින්, නඩුව විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කරන ලදී.
මෙය වැදගත් වන්නේ ඇයි?

2018 සිදුවීම විසින් පුද්ගල අයිතිවාසිකම් සහ නිදහසට වඩා පාලනය, අනුකූලතාව සහ යල් පැන ගිය සදාචාරාත්මක ධූරාවලීන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් පිළිබිඹු කරන ලදී. සාක්ෂි හෝ සාධාරණත්වය මගින් නොව සාම්ප්‍රදායික බල ව්‍යුහයන් කඩාකප්පල් කිරීමේ බිය විසින් ප්‍රතිපත්ති හැඩගස්වන කල, අසාධාරණ හානි සුවිසල් හා වඩාත් ගැඹුරු ඒවා බවට පත් වේ; එහෙත් මතුපිටට නොපෙනේ. එමගින් විසම්මුතිය නිහඬ කරයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘති ශක්තිමත් කරයි. සමාජ සම්මතයන්ට අභියෝග කරන අයව බැහැර කරයි. ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි විශ්වාසය ඛාදනය කරයි.
මෙම යටි ප්‍රවාහයන් විසින් චර්යාවන් නියාමනය කරනවාට අමතරව අනන්‍යතා ද හැඩගස්වමින්, ප්‍රගතිය යටපත් කරයි. එපමණක් නොව, සංස්කෘතික සංරක්ෂණයට මුවාවෙමින් අසමානතාව සාමාන්‍යකරණය කරයි.
මෙය කිසි විටෙකත් ස්ත්‍රී පුරුෂ සමාජභාවී වෙනස්කම් කිරීම පිළිබඳ පමණක් අදාළ වන කාරණයක් නොවේ. එය හරසුන් සංස්කෘතික සටන් පාඨවල සහ පාලනයේ ගැඹුරු යාන්ත්‍රණයන්ට අදාළ වන කාරණයකි. මෙහිදී තෝරාගත් මෙවලම වූයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයයි. එය බලයේ සිටින අය විසින් මහජන හැඟීම් හැසිරවීමට, අවධානය වෙනතකට යොමු කිරීමට සහ අවුලුවාලීමට බොහෝ කල් සිට භාවිතා කරන ලද මෙවලම් පෙට්ටියකින් තෝරාගත් එක මෙවලමකි.

සමාජය බෙදීමට, මර්දනය කිරීමට, වගවීම අපගමනය කිරීමට හෝ ඡන්ද පදනම වැඩි කරගැනීමට සංස්කෘතික තහනම් කිරීම් ආයුධ ලෙස භාවිතා කිරීමේදී, ජාතිය, ආගම සහ පන්තිය වෙනුවෙන් ද එම ක්‍රීඩාවම අදාළ වේ. රෝග ලක්ෂණ වෙනස් විය හැකි නමුත්, සියල්ල එකම රෝග මූලයකින් පැන නගී. එය තෝරාගත් සදාචාරාත්මක කෝපය සහ නිෂ්පාදිත කැමැත්ත මත පෝෂණය වන පද්ධතියකි.
එක් ඉරිතැලීමකින් ඉදිරි පිම්මක්
සමාජ-දේශපාලනික වශයෙන්, මෙය පාලනය සහ බිය තුළ මුල් බැසගත් යල් පැන ගිය තහනම් කිරීම් සහ අපගේ සාමූහික වර්ධනයට තවදුරටත් සේවය නොකරන බාධක ඉවත් කිරීම සඳහා හේතු වන වැදගත් පියවරකි. ඒවා අත්හැරීම මගින්, සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විතව ජීවත් විය හැකි, නිදහසේ කතා කළ හැකි සහ විශ්වාසය හා සැබෑ සමානාත්මතාවය මත පදනම් වූ අනාගතයකට දායක විය හැකි, සියල්ලන් වඩාත් හොඳින් ඇතුළත් කරගත් ශ්‍රී ලංකාවකට මාවත විවර කරයි.
මේ වනාහි, ස්ත්‍රී පුරුෂ සමාජ සමානාත්මතාව වෙනුවෙන් කැපවී සිටින අයට, සැබෑ ප්‍රගතිය යනු, ලැයිස්තුවක කෝටාවන්ට හා සපුරන ලද පියවර ඉදිරියෙන් හරි ලකුණු දැමීමටත්, රෝස පැහැති බැංකු කාඩ්පත් නිකුත් කිරීමට හෝ මාර්තු මාසයේ කාන්තා දිනය සනිටුහන් කරන සාකච්ඡා සභාවලටත් වඩා දුරට විහිදෙන කාරණයක් බව මතක් කිරීමකි. එය එතරම් ප්‍රසන්න නොවන පසුබිම්වලදී පවා නැගී සිටීම, ඔබේ මව ඔබ සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කරන විටදී පවා පවතින තත්ත්වයට අභියෝග කිරීම, ගැඹුරු සහයෝගීතාව සහ නොපසුබස්නා ධෛර්යය අවශ්‍ය වන තත්වයකි.
Real hangover: Outdated laws and who they serve
දේශපාලන හා සමාජ ක්‍රියාකාරිනි
randhuladesilva@gmail.com




