The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

ජවිපෙ සහ පෙරටුගාමී වෛරය..! |Ranjana Senanayake

T

The Leader Desk

September 10, 2025 • 3:08 PM

ජවිපෙ සහ පෙරටුගාමී වෛරය..! |Ranjana Senanayake

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන්මාන්තර විරසකය නැවත වතාවක් අළුත් වටයකින් කරලියට පැමිණ ඇත.
  • මේ වතාවේ සිදුවී ඇත්තේ යක්කල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබූ පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්‍යාලයක් ජවිපෙ හිතවාදීන් විසින් බලහත්කාරයෙන් නැවත අල්ලාගැනීමෙනි.
  • නමුත් මීට සතියකට දෙකකට පමණ පෙර පෙරටුගාමීන් විසින් විපක්ෂයේ දේශපාලකයින් අත්අඩංගුවට ගන්නාවිට කියා සිටියේ විපක්ෂ දේශපාලකයින්ට දඬුවම් දෙන කෝටුව කුඩා වැඩි බවත්, ඊට වඩා ලොකු කෝටුවකින් ඔවුනට තඩිබෑ යුතු බවත්‍ ය.
  • දැන් එම කෝටුවෙන්ම තමනට තඩිබෑමේදී “ අම්මෝ, අපිට ගැහුවෝ”, යනුවෙන් මාධ්‍ය සාකච්චා දීම අරඹා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජන්මාන්තර විරසකය නැවත වතාවක් අළුත් වටයකින් කරලියට පැමිණ ඇත. මේ වතාවේ සිදුවී ඇත්තේ යක්කල පිහිටි ගොඩනැගිල්ලක පිහිටා තිබූ පෙරටුගාමීන්ගේ පක්ෂ කාර්‍යාලයක් ජවිපෙ හිතවාදීන් විසින් බලහත්කාරයෙන් නැවත අල්ලාගැනීමෙනි.

මේ ජවිපෙ ආධාර කරුවන් පැමිණ පෙරටුගාමීන්ට පහරදී වයෝවෘද්ධ සාමාජිකයෙකුද, සාමාජිකාවකද බලහත්කාරයෙන් ඉවතට ඇදදමා රටේ පවතින නීතිය නොව බලහත්කාරය යොදා අත්පත්කොටගෙන ඇතිබව පෙරටුගාමී නායකයින් මාධ්‍ය සාකච්චා පවත්වා ප්‍රකාශ කරන ලද අතර ජවිපෙ කියාසිටින්නේ අධිකරණය මගින් 2022 දී සහ 2025 දී එම කාර්‍යාලයේ අයිතිය තමන් සතුබව පිලිගෙන ඇති බවයි.

 


නමුත් මීට සතියකට දෙකකට පමණ පෙර පෙරටුගාමීන් විසින් විපක්ෂයේ දේශපාලකයින් අත්අඩංගුවට ගන්නාවිට කියා සිටියේ විපක්ෂ දේශපාලකයින්ට දඬුවම් දෙන කෝටුව කුඩා වැඩි බවත්, ඊට වඩා ලොකු කෝටුවකින් ඔවුනට තඩිබෑ යුතු බවත්‍ ය. දැන් එම කෝටුවෙන්ම තමනට තඩිබෑමේදී “ අම්මෝ, අපිට ගැහුවෝ”, යනුවෙන් මාධ්‍ය සාකච්චා දීම අරඹා ඇත.

පෙරටුගාමී පක්ෂ නායකයින්ට තවම හරිහැටි “ රාජ්‍ය” යනු කුමක්දැයි මාක්ස්ගේ නිර්වචනය හරිහැටි තේරී නොමැති බව මගේ හැඟීමයි. මොනතරම් පට්ට කෙබර කන්දරාවක් මැතිවරණ වේදිකාවල දෙසාබාමින් කවර පාර්ශ්වයක් බලයට පැමිණ මේ කියන “ රාජ්‍යය” හෙඹවූවද එම රාජ්‍යය යනු මර්ධන උපකරණයක් මිස අන් යමක් නොවේ යැයි මාක්ස් පෙන්වා දුන්නේ එබැවිනි.

රාජ්‍ය යනු.....

රාජ්‍යය යනු “පීඩක උපකරණය” හැකිලිය යුතු දෙයක් මිස ශක්තිමත් කලයුතු දෙයක්ද නොවේ. එහෙත් අවාසනාවකට පෙරටුගාමීන් මේ කියන පීඩක උපකරණය වන “රාජ්‍යය” විසින් අනෙකුත් පක්ෂවලට මර්ධනය දියත් කිරීමේදී පුදුම විදියේ ආතල් එකකින් තව තව පහර දීමටත්, හොඳවැයින් පහර දීමටත් යෝජනා කරමින් රජයට සහායවීමට කථාකරන අතරම, ඒ කියන මර්ධන යන්ත්‍රයම තමන්ගේ ඔළුවලට පතබෑ වෙනවිට “බුදු අම්මෝ, අපට ගහනවෝ” න්‍යාය මුලට ගනී.

යම් පක්ෂයක් රාජ්‍ය බලය හෙඹවීමේදී සෙසු පක්ෂ විපක්ෂ භූමිකාවට පණපොවයි. එවිට විපක්ෂයේ එක් එක් පක්ෂ අතර මොනතරම් බැරෑරුම් ප්‍රශ්න තිබුනත් ඒවා තිබියදීම ආන්ඩු පක්ෂයට එරෙහිව යම් සහයෝගයකින් ක්‍රියාත්මක වේ. මෙය දේශපාලණයේ සාමාන්‍ය දෙයකි.

නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒ කිසිම පක්ෂයක් සමඟ සහයෝගීව වැඩකිරීම තවම දේශපාලන තලයේ දැකීමට හෝ ඇසීමට නොහැක. මන්ද ඔවුන් සිතා සිටින්නේ තමන් අතිශය ශුද්ධවන්ත බවත්, අනෙකුත් සියළුම විපක්ෂයේ පක්ෂ හොරුන්ගෙන් වංචාකරුවන්ගෙන් පිරී ඉතිරී ඇති බවත්‍ ය. පෙරටුගාමීන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඉල්ලීම් සහ උද්ඝෝෂණ ක්‍රියාත්මක කරමින් ජනතාව දිනාගැනීමටය. එහිදී ඔවුන් විවිධ වෘත්තීය සමිති ව්‍යාපාර සහ ශිෂ්‍ය ව්‍යාපාරය සමග ඉතා සමීපව කටයුතු කරනු පෙනේ.

WhatsApp Image 2025 09 02 at 1.28.18 PM 1

 

මෙහිදී දිස්ත්‍රික්ක වලට සහ ඉන් පහලටද ක්‍රියාත්මකවන විශාල පරිමානයෙන් නොවූවත් යම් බලපෑමක් කලහැකි යාන්ත්‍රණයක් ඔවුන් සතුව ඇතිබව පෙනේ. ඒ ඒ දිස්ත්‍රික්ක වල පිහිටුවා ඇති පක්ෂ කාර්‍යාල හරහා ඔවුන්ගේ දේශපාලණ කටයුතු කරගෙන යයි. ඔවුන්ගේ දේශපාලණ ක්‍රියාමාර්ග එක් ආකාරයකින් අඩපණ කිරීමට ඇති එක් හැකියාවක් වන්නේ මෙම දේශපාලණ කාර්‍යාල වලට ඔවුන්ගේ නීතිමය අයිතිය සම්බන්ධව හෝ කුමන ආකාරයෙන් හෝ අභියෝග කිරීමය.

යම් උද්ඝෝෂණයයක් හෝ විරෝධතාවයක් ගෙනයාමට කාර්‍යාලයක් ඉතා වැඳගත් වේ. ඕනෑම විරුද්ධාවාදියෙක් පක්ෂ කාර්‍යාල වලට පහර දීම හෝ ගිණිතැබීම කරන්නේ ඒ මගින් තම සතුරාට බොහෝ රිදවියහැකි බව දන්නා හෙයිනි.

දේපල අත්පත්කරගැනීම..

 


ජවිපෙ ඉතිහාසය තුලදීද මෙවන් බාධා සහ එදිරිවදිකම් UNP පක්ෂයෙන් පවා සිදුවිය. ජවිපෙන්ද කොමියුනිස්ට් පක්ෂ කාර්‍යාල බොහොමයකට 87-89 සමයේ පහරදෙනු ලැබීය. වෙනකක් තබා ජවිපෙ ඉදිරිපෙල නායකයෙකුවූ ශාන්ත බංඩාරගේ පියාට අයත්ව තිබූ කෝට්ටේ ඉඩමේ ජවිපෙ ඔවුන්ගේ කාර්‍යාලය සෑදීමට ලකලෑස්ති වෙද්දී එවක හිටපු ජනාධිපති J.R. ජයවර්ධන මහතා එම ඉඩම බලය යොදා අත්පත්කර ගන්නා ලදී.

මෙවන් තවත් අකරතැබ්බයක් 2015 පමණ වනවිටද පෙරටුගාමීන්ට සිදුවූයේ පේරාදෙනිය ප්‍රදේශයේ ඔවුන්ගේ පක්ෂ කාර්‍යාලයක් ජවිපෙ විසින් අත්පත් කරගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදීය.

(මේ අයුරින් ලාංකීය දේශපාලණය තුල පක්ෂ කාර්‍යාල වලට එරෙහිව අනෙකුත් සතුරු කංඩායම් කරන බාධා අතිවිශාලය)

දැන් අපි ජවිපෙ- පෙරටුගාමී ඛංඩනය වෙත අවධානය යොමු කරමු.

 j4u5954uy56

ජවිපෙ සහ පෙරටුගාමීන් දෙපිලකට බෙදෙන විටදීද ඔවු නොවුන් පක්ෂයට අයත්ව තිබූ දේපල, විශේෂයෙන් වාහන ආදිය බෙදාගනු ලැබූවේ රටේ පැවති කුමන හෝ නීතිරාමුවකට අනුකූලව නොව කැළෑ නීතියට අනුවය. ඉස්සර උනු එකා ජයග්‍රාහකයාය යන න්‍යාය භාවිතා කරමින් ඔවුනොවුන් දෙපාර්ශ්වය හැකිතරම් ඉක්මනින් තම පාර්ශ්වය වෙත පක්ෂයේ දේපල අත්පත්කරගන්නා ලදී. යාන වාහන පමණක් නොව පක්ෂය විසින් පවත්වාගෙන ගිය ඌරු කොටුවේ ඌරන්ද දෙපිරිස දෙපැත්තට පැහැරගන්නා ලදී. එවිට කිසිඳු පාර්ශ්වයක් එනම් ජවිපෙ හෝ පෙරටුගාමීන් තමන්ගේ දේපල වෙනුවෙන් උසාවි තීන්දුවක් පැමිනෙන තුරු බලාසිටියේද නැත. එවිට ඔවුන් කටයුතු කලේ නීතිය තම අතට ගනිමිනි. එසේම මෙම ඛංඩනයේදී එදා ජවිපෙ සාමාජිකත්වයේ කේඩරයේ ක්‍රියාධරයින්ගෙන් හතරෙන් තුනක් ජනතා විමුක්ති පෙරමුණට අහිමිවිය.

පශ්චාත් ඛංඩනය...

නමුත් එම කේඩරයේ හතරෙන් තුනම පෙරටුගාමීන්ට ආවේ නැත. ඒ වෙනුවට බොහෝ කේඩරයේ ක්‍රියාධරයින් කලේ ඛංඩනයේදී ජවිපෙන් ඉවත්වී පෙරටුගාමීන් පැත්තට පැමින එතැනින් ඔවුන්ගේ දේශපාලණ ක්‍රියාකාරිත්වය අවසන් කොට ගෙදර යාමයි. මේ අනුව විශාල ප්‍රමාණයක් ක්‍රියාධරයින් පූර්ණකාලිකයින්ද ඇතුලුව සිය ක්‍රියාකාරී දේශපාලනයට සමුදෙමින් ගෙදර පැමිණ නොයෙක් නොයෙක් ආකාරයේ පෞද්ගලික දේවල් වල නිරතවෙමින් සමාජ මාද්‍ය හරහා දේශපාලණය කරමින් සිටී.

ඇත්තෙන්ම පෙරටුගාමීන් ඛන්ඩනය වනවිට ඉතා පැහැදිලි වැඩි බලයක් පෙරටුගාමීන් අත තිබූ බව සත්‍යයකි. එහෙත් කල්‍ යාමේදී ඔවුන්ගේ සටන් විලාශය සහ රැඩිකල් බව සාමාන්‍ය ජනතාව ආකර්ශණය කරගැනීමේ මඟක් නොවිණි. එපමනක් නොව විශ්ව විද්‍යාල සිසුන් පවා ඔවුන්ගේ නොනවතින ඉල්ලීම් සහ උද්ඝෝෂනවලින් හෙම්බත්වී තිබිණි.

fsp 83659834

පෙරටුගාමීන්ගේ යල්පැනගිය කල් ඉකුත්වූ සහ පවතින ලෝක ධනේශ්වර පර්‍යායේ යථාර්තයන් වී ඇති ප්‍රාග්ධන ගලනය, පෞද්ගලීකරණය, නිදහස් අධ්‍යාපනය රැකගැනීම මෙන්ම ඉන්දීය විරෝධයද කිසිදා ජයග්‍රහණ වලින් අවසන් කරගත නොහැකි ලෝක ආර්ථිකයට ගැටගැසී ඇති මෙවලම් වීම නිසා ඒවාට විරුද්ධව අඛංඩව පෙරටුගාමීන් ගෙනගිය සහ ගෙනයන සටන් හරියට මියගිය අශ්වයාට තඩිබෑමක් පමණක්ම විය. (Flogging off the dead horse) එහෙත් පෙරටුගාමීන් දිවා රාත්‍රි නොබලා තම ක්‍රියාධරයින් යොදවමින් රටවටේම උද්ඝෝෂන මාලාවන් සංවිධානය කරමින් ජවිපෙ සටන අත් හැර ඇති බවත්, ඔවුන් ධනේශ්වරය පක්ෂවලට මුක්කු ගසන බවටත් චෝදනා කරමින්ද, ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් බොහෝ ක්‍රියාමාර්ග ගන්නා ලදී. එහෙත් ඒ කිසිවක් මේ දක්වා ප්‍රථිපල ගෙනදී නැත.

නමුත් ජවිපෙ කලේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රියාදාමයකි. පෙරටුගාමීන් ඛංඩනය වීමෙන් පසු තාවකාලිකව දැඩි පසුබෑමකට ලක්වූ ජවිපෙ තමන්ගේ දිස්ත්‍රික් සංවිධාන පවා ගොඩනගාගැනීමට නොහැකිව බොහෝ කල් ගතකොට අවසානයේ අනුර කුමාර දිසානායකගේ මැදිහත්වීමේ ප්‍රථිපලයක් අනුව ජවිපෙට ඉතා වැඳගත් බලවේගයක් සංධාන ගතකරගැනීමට හැකිවිය.

ජවිපෙ ඇතුලත අරටුගත නායකයින්ගේ පවා නොරුස්නා සහගත තත්වය මැද, අනුර කුමාර විසින් ලැබූ මන්ත්‍රී තනතුරු තුනෙන් එකක් පවා ලබාදෙමින් තහවුරු කරගත් ඒ බලවේගයත් සමග ජවිපෙ හෙමින් හෙමින් ඉදිරියට යද්දී අනපේක්ෂිතව පැමිණි කෝවිඩ් වසංගතයත්, ආර්ථික අර්බුධයත් නිසා පාලන බලයට එරෙහිව ආ විශාල ජනතා අරගලයකින් පසු අතිශය බහුතරයකගේ තේරීම බවට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය පත්විය.

ඡන්ද පොරොන්දු...


මේ උද්ගතවූ තත්වය තුල ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගය බලයට ඒමෙන් පසු දේශපාලණ වශයෙන් පෙරටුගාමී පක්ෂය පවත්වාගෙන ආ දේශපාලණ සටන්පාඨ යම් ප්‍රමාණයකට අර්බුධයකට ගිය බවද සැබෑවකි. නමුත් මේ උද්ගතව ඇති තත්වය පෙරටුගාමීන් මෙන්ම ජවිපෙද දේශපාලණ පරිනතභාවයකින් තේරුම් ගෙන ඇතිබවක් මටනම් නොපෙනේ.

එක් පැත්තකින් තුනෙන් දෙකකටත් වැඩි බලයක් ලබා පලාත්පාලන සහ නගර සභා බලයද හොඹවන ජවිපෙ ප්‍රමුඛ ආන්ඩුව මේ කොළඹින් පිට ඇති පක්ෂ කාර්‍යාලයක් වෙනුවෙන් තම චන්ද දායකයා තමන් වෙත පළකල විශ්වාසය පළුඳු කරගන්නේ ඇයිද යන ගැටළුව තිබේ. ජාතික ජනබලවේගය ජනතාවට පොරොන්දු උනේම “යහපත් සමාජයක්” ඇති කිරීමේ පොරොන්දුවයි.

මේ යහපත් සමාජය ඇතිකිරීමේ පොරොන්දුවට අනුව රටේ පවත්නා නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කිරීමට ඔවුන් විශාල උත්සාහයක් ගන්නා බව පෙනේ. ඒගැන ඔවුනට ප්‍රශංසාව හිමිවිය යුතු වූවත් ඔවුන් තම ප්‍රතිවාදියෙකුගේ කාර්‍යාලයකට උදෑසනම කඩාවැදී තම පාර්ශ්වයේ පිරිසක් යොදවා එම කාර්‍යාලයේ සිටි සුලු පිරිස බලෙන් ඇඳදමා එම කාර්‍යාලය අත්පත්කරගැනීම නීතියෙන් කුමන අවසරයක් ලබාදී තිබුනද සදාචාරාත්මක අතින් ඉතා පහත් වැඩකි. එපමණක් නොව එම පිරිස පැමිණ බලෙන් එළියට ඇදදමා ඇත්තේද 1971 සිටම ජවිපෙට වැඩකල අප්පුහාමි නැමති වයෝවෘද්ධ ක්‍රියාධරයා සහ තවත් වයසක ක්‍රියාධාරිනියක් වීම තවත් ගැටළුවකි.

byj565676868787

එක් අතකින් මේ පැමිණ සිටි කංඩායම කාර්‍යාලයේ සිටි මෙම ජේෂ්ඨ ක්‍රියාකාරීන් එළියට ඇදදැමීමේදී ඔවුන් කව්දැයි නොදැන මේ ඇදදැමීම කලායැයි කීමට නොහැකි වන්නේ එකී අප්පුහාමි සහ අනෙකුත් ක්‍රියාධරයින් 2011 දක්වාම ජවිපෙ ඉදිරිපෙල ක්‍රියාධරයින් වීම නිසාය. මේ පැමිණි පිරිස කාර්‍යාලයේ සිටි අයව නොදැන සිටියේනම් ඒ පැමිණි පිරිස ජවිපෙ ක්‍රියාධරයින් පිරිසක් නොව මැර පිරිසකි නැතහොත් ඉතා මෑතකදී ජාතික ජනබලවේගයට එක්වූ අලුත් චරිත වියයුතුය.

එම චරිත මෑතකදී ජාතික ජනබලවේගයට එක්වූ අළුත් චරිතනම් මෙවැනි භාරදූර වැඩකට එවන් අළුත් චරිත යොදාගැනීම අතිශය විශාල වැරැද්දකි. මක්නිසාදයත් මේ සිද්ධියේදී කාර්‍යාලය තුල සිටි වයෝවෘද්ධ පෙසපෙ සාමාජිකයාට හෝ සාමාජිකාවට ජීවිත හානියක් සිදුවූවානම්  එය මෙතෙක් වසරක කාලයක් ජාතික බලවේගය පුරවාගත් කිරි බඳුනට ගොම පනිට්ටුවක්ම එකතුකලා හා සමානය.

දෙගොල්ලගේම විනෝදය...


එබැවින් මේ දෙගොල්ලම ඔවුනොවුන්ගේ විනෝදය නැතිකර ගැනීමටද සූදානම් නැතිබව මට තේරුම් ගිය අතර මගේ නිගමනය වූයේ ජවිපෙ සහ පෙරටුගාමීන් දෙපිල සහයෝගයෙන් එකට එකතුවී ඉදිරියට යාමට හෝ කුමක් හෝ ඉදිරි පියවරක් තැබීමටනම් මේ ජවිපෙ සහ පෙරටුගාමී නායකයින් දෙදෙනා මේසයක එකට හිඳගෙන ඔවුන් දෙදෙනාගේ ගැටළුව විසඳාගෙන මේ ගැටළුව නිරාකරණය කරගතය කරගත යුතු බවයි. එසේ නොමැතිව කවුරු මැදිහත්වී මේ එකඟතාවය ඇතිකිරීමට තැත් කලද එය නිශ්ඵල දෙයක්ම වනු ඇත.

ස්ටාලින්වාදී ලක්ෂණ..

මේ දෙපාර්ශ්වයේ සමාදානයකට ඇති තවත් ප්‍රධාන බාධාවක් වන්නේ මේ දෙපාර්ශ්වයේම උප්පත්තිය ස්ටැලින්වාදී බෝල්ෂෙවික් ආකෘතියකින් පැනනැගීමයි. විජේවීරයන් විසින් ජවිපෙ නිර්මාණය කලේම ධනපති පංතියට ඔහුගේ ඇති වයිරය නිසාමය. ඒ අනුව විජේවීරගේ Willpower එක වැඩකලේම කෙසේහෝ “බලය” ලබාගැනීමය. මේ කෙසේහෝ බලය ලබාගැනීමේදී රෝහණ විජේවීර අනුගමනය කලේ කියුබානු පන්නයේ ආයුධ සන්නද්ධ අරගලයකින් රජය පෙරලා බලය ඩැහැගැනීමයි. එහෙත් බටහිර සම්භාව්‍ය මාක්ස්වාදය තුල එසේ කුඩා කංඩායමක් ආයුධ බලයෙන් රාජ්‍ය පෙරලා බලය අල්ලාගෙන “සමාජවාදී සමාජයක්”හැදීමක් ගැන කොහේවත් කියා නැත. මාක්ස්  ඉතාමත් පැහැදිලිව කියා ඇත්තේ “කම්කරු පංතිය” සංවිධානය කරමින් නිෂ්පාදන බලවේග ඒවායේ සැබෑ හිමිකරුවන් වන කම්කරු පංතියට අත්පත් කරගැනීමෙන් ඊලඟ නිෂ්පාදන මොඩලයට යෑමක් ගැනය.

 

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා' -අනුර අලුත් ගමනකට සැරසේ

මෙතනදී  පක්ෂය අවශ්‍ය වන්නේ පංති සවිඥ්ඥකතාවය (Class Consciousness) පංතිය වෙතට ගෙනයාමට මිස පක්ෂයේ නායකයාට බලය හිමිකරදී ආග්ඥාදායකත්වයක් ඇතිකිරීමට නොවේ. මේ ආකාරයට සංවිධානය කිරීමට රෝහණ විජේවීරට ලංකාවේ කම්කරු පංතියක් නොසිටි බැවින් කම්කරු පංතිය සංවිධානය කිරීම වෙනුවට ශෝට් කට් එකක් සොයාගත් රෝහණ විජේවීර මාක්ස් වාදය වෙනුවට “ මාක්ස්- ලෙනින්වාදයේ) සරණ ගිය අතර පංති සටන වෙනුවට “දේශප්‍රේමී අරගලයට” නැත්නම් යටත්විජිතවාදයට එරෙහිව සටනට අවතීර්ණ විය. මෙහිදී රුසියන් බෝල්ෂෙවික් මග තෝරාගත් අතර එයට නිරායාසයෙන් ස්ටැලින්වාදී ලක්ෂණ බෝවිය. මේ ස්ටැලින්වාදී ලක්ෂණ අනුව ද්‍රෝහීන් ලෙස අනෙකා නම්කර පහරදීම, තමන් පමණක් නිවැරදි අතර අනෙක් සියල්ල බොරු බව දැක්වීම සහ තවත් බොහෝ නිෂේදාත්මක ලක්ෂණ ඊට ඇතුලත් විය. මේ ඉතා මෑතකදී පවා පෙරටුගාමීන් සම්බන්ධ කරගැනීමට නොහැක්කේ මන්දැයි ලාල් කාන්තගෙන් ඇසූවිට ඔහු ගත් කටටම කීවේ ඔවුන් “ද්‍රෝහීන්” බවයි.

එදා විජේවීරයන් කොමියුනිස්ට් සහ සමසමාජ ඇතුලු සෙසු සහෝදර වාමාංශික පක්ෂ හැඳින්වූයේද ද්‍රෝහීන් ලෙසය. එබැවින් මේ ජවිපෙ තුල නයිසර්ගිකව ඇතුලත්ව තිබූ ස්ටැලින්වාදී ලක්ෂණ පෙරටුගාමීන් තුලද ඒ ආකාරයෙන්ම නහරගතවී තිබූ අතර ඔවුන් තුලද කිසිවකු සමඟ අතරමැදි සමාදානයක් ගොඩනැගීම හෝ තමන්ට පරිබාහිරව තවත් තැනක සත්‍යයක් ඇතැයි හෝ තමන්ට පරිබාහිරව නිවැරදි බලවේග ඇතැයි හෝ  එසේ තිබීමට ඉඩක්ද ඇතැයි ඔවුන් කෙසේවත් නොසිතයි. අඩුගණනේ විපක්ෂ සමඟ යම් එකඟතාවයකින් වැඩකිරීමේ එකඟතාවක් හෝ නොපිලිගන්නා පෙරටුගාමීන්, විපක්ෂයට මර්දනය එනවිට හුරේ දැමීම්ටත් ඒ මර්දනයම තමන්ට පෙරලා එනවිට කෑගැසීමටත්  උත්සුක වෙයි.



මේ අයුරින් සලකා බැලූකල ජවිපෙ සහ පෙරටුගාමී වෛරය කෙසේවත් මේ කපේ අවසන් වන ජවනිකාවක් නොව ඒ බලවේග දෙකම ඒවා විසින්ම අර්බුධයට යනතෙක්ම එකිනෙකාට විරුද්ධව පාවිච්චි කරන සහ නැවත නැවතත් ඒ වෛරය තුලම යම් විනෝදයක් ලබන ආත්මීය දෙයක් බවට පත්වී ඇතිබැවින් මේ “සාගා” එකතුල තවතවත් ඉදිරියට විවිධ එපිසෝඩ් (Episode) එලිදැක්විය හැකිබැවින් ඒවාගැන හුදී ජනයා කලබලයට පත්වීමට අවශ්‍ය නැත.

PHOTO 2023 04 09 12 36 37(සටහන | රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"

kaya4842@gmail.com

(උපුටා ගැනීම : lankapowernews.com)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...