The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජ.වි.පෙ ශාන්ත බන්ඩාරලාගේ සිට වසන්ත සමරසිංහලා දක්වා.. | Ranjana Senanayake

T

The Leader Desk

September 24, 2025 • 8:19 AM

ජ.වි.පෙ ශාන්ත බන්ඩාරලාගේ සිට වසන්ත සමරසිංහලා දක්වා.. | Ranjana Senanayake

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිරිහැලියට ගොමරිටි එකතුවීම.
  • මගේ අදහස අනුව පත්වී ඇති මේ රජය සිය පාලන කාලය එනම් නියමිත වසර 5 ක කාලය නිමකල පසු එන මැතිවරණයෙන් මීට වඩා දියුනු වැඩපිලිවෙලක් ඇති, දියුනු දැක්මක් ඇති බලවේගයක් බලයට එනවානම් මම ඉතා කැමතිය.
  • එබැවින් මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය රජය මෑතකදී ක්‍රියාත්මක කල සහ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ කොටස ගැන ඔවුනට ඇති මගේ තදබල විවේචනය මැද්දේම මගේ විශේෂ පැහැදීමක්ද ඇත.
  • ඇත්තටම ජවිපෙ එදා සිට අද දක්වා වූ ක්‍රියාධාරීන්ගේ පරිහානිය මේ විදියට ක්‍රියාත්මකවීමේ මට්ටමින්, සදාචාරාත්මක මට්ටමින් වගේම ඔවුන්ගේ අභිලාෂයන්ගේ මට්ටමින් විශ්ලේෂණාත්මකව ගෙනහැර දක්වන්න පුලුවන.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරිහැලියට ගොමරිටි එකතුවීම...

මගේ අදහස අනුව පත්වී ඇති මේ රජය සිය පාලන කාලය එනම් නියමිත වසර 5 ක කාලය නිමකල පසු එන මැතිවරණයෙන් මීට වඩා දියුනු වැඩපිලිවෙලක් ඇති, දියුනු දැක්මක් ඇති බලවේගයක් බලයට එනවානම් මම ඉතා කැමතිය. එහෙත් එවැනි බලවේගයක් මටනම් තව පෙනෙන තෙක් මානයක නැත. එබැවින් මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය රජය මෑතකදී ක්‍රියාත්මක කල සහ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ කොටස ගැන ඔවුනට ඇති මගේ තදබල විවේචනය මැද්දේම මගේ විශේෂ පැහැදීමක්ද ඇත.
 


විශේෂයෙන් රාජ්‍ය වෘත්තීය සමිති මාෆියාව ඉදිරියේ දණ නොනැමීම, බංකොලොත් රාජ්‍ය ආයතන විකිණීම, ඉන්දියාව සමග ගණුදෙණු කරන ශුභවාදී ආකාරය මා විසින් මීට පෙරදීත් ඇගයීමකට ලක්කරන ලදී. මේවා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරගෙන යනවිටද මාගේ ඇගයීමට ලක්විය. මෑතකදී අනුර කුමාර ජනාධිපතිවරයාද, නලින් ජයතිස්ස ඇමතිවරයාද වෘත්තීය සමිති නායකත්වයට දුන් අවසාන අවවාදයන්ට මගේ මහත් ප්‍රශංසාව ඔවුනට හිමිකරමි. ඒ සමඟම මගේ දැඩි විවේචනය ඉලක්කගත වෙන්නේ ජාතික ජනබලවේගය කිරිහැළියට ගොමරිටි එක්කරමින් සිටින අතලොස්සක් දෙනාට සහ ඔවුන්ගේ ක්‍රියාකලාප සහ කයිවාරු කඳු වලටය.

ශාන්ත බංඩාරලාගේ සිට වසන්ත සමරසිංහලා දක්වා වූ පරිහානිය..
 
jvp sri lanka
ඇත්තටම ජවිපෙ එදා සිට අද දක්වා වූ ක්‍රියාධාරීන්ගේ පරිහානිය මේ විදියට ක්‍රියාත්මකවීමේ මට්ටමින්, සදාචාරාත්මක මට්ටමින් වගේම ඔවුන්ගේ අභිලාෂයන්ගේ මට්ටමින් විශ්ලේෂණාත්මකව ගෙනහැර දක්වන්න පුලුවන.

පූර්ණකාලීනව ජ.වි.පෙ ක්‍රියාධරයින් වුණු නායකත්ව භූමිකාවන් හසුරවපු එදා කාඩර්වරු ගත්තහම එයාල ඇත්තටම ජ.වි.පෙ ට  එකතු උනේ ඉතාම හර බර පරමාර්ථ තියාගෙන, ධනපති පංතිය කෙරෙහි සහ සූරාකෑම පිළිබඳ දැඩි වෛරයක් පෙරදැරි කරගෙන සහ විශේෂයෙන් ඔවුන්ගේම ඔවුන් සඳහාම තිබුනු වෙනම න්‍යාය පත්‍ර කිසිවක් ඔවුන් සඟවගෙනත් නෙවෙයි. ඔවුන් ජවිපෙ තුල වැඩකරද්දි තිබුන විශේෂම දෙයක් තමයි ඉහල නායක මංඩලයේ සාමාජිකයිනුත් පහල ෆුල් ටයිම් කරන ක්‍රියාදරයිනුත් අතර කිසිම පංති පරතරයක් නොතිබීම. එයාලගේ වත්කම් සහ ආදායම් ලෙස ෆුල් ටයිම් කරද්දි මොකුත්ම තිබුනෙ නැහැ.
 
මගේ මතකයට අනුව වසර 1995 මැදවියයුතුයි. ඒකාලෙ පක්ෂයට හිටියේ නිහාල් ගලප්පත්ති මන්ත්‍රී වරයා පමණයි මන්ත්‍රී කෙනෙකුට. ඒ කාලෙ පක්ෂ නායක සෝමවංශ සහෝදරයා දැනුම් දීමක් කරල තිබුනා පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා සහෝට ( ඒකාලෙ ටිල්වින් සිල්වාට කිව්වේ සුසිල් අයියා කියලයි) එංගලන්තයේ සති දෙකකට එන්න කියලා. එතකොට පක්ෂයට තිබුනේ එක නිල්පාට පික් අප් වාහනයක් පමණයි. ඒක මන්ත්‍රී වරයාට ලැබුනු එක. එදා මම තමයි බ්‍රිටිෂ් එම්බසි එකට ගියේ ටිල්වින් සිල්වා සහෝ සමඟ ඔහුට වීසා ඉල්ලන්න. ගිහිං කථාකරලා ෆෝම් පුරවලා දුන්නාම වීසා ඔෆිසර් කිව්වේ පක්ෂයක ලේකම් කිව්වට හරියන්නෙ නෑ, අයදුම්කරුගේ පෞද්ගලික ගිණූමක් සහ එහි තැම්පතු පෙන්විය යුතුයි කියලා කිව්වා. එතකොට ටිල්වින් සහෝදරයට එයාගෙ කියලා බැංකු ගිණුමක මුදල් තියා බැංකු ගිණූමක්වත් තිබුනෙ නෑ. ඉතින් එතනම ඒ වැඩේ අල්ලලා දාලා අපි ආපහු ආවා. මට කියන්න ඕන උනේ, ඔය විදියට තමයි ජවිපෙ නායකයෝ 90න් පස්සේ ජවිපේ ආරම්භ කළේ.
tilwin
 
වෙනස්වීම හැම ජවිපෙ සාමාජිකයෙකුට විවෘත විය යුතුය..

අතලොස්සක් යම් ධනයක් සහිතවූ පවුල් වලින් ආවත්. එයාලගේ තිබුනු එකම බලාපොරොත්තුව උනෙත් කවදා හරි එයාල හදන උසස් සමාජයේදී එයාලගේ දරුවන්ටත් අනිත් දරුවන් හා සමාන අයිතීන් සහ සමාන වරප්‍රසාද ලබමින් ඒ හදන සමාජය තුල යහපත් ලෙස ජීවත් වෙනවාය කියන අරමුණ. එතකොට එයාලට පූර්ණකාලිකයෙක් ලෙස දේශපාලණය කරන අතරේ වෙනම තමන්ට කියලා මුදල් හොයන්නවත් අඩුගානෙ තමන්ට කියලා බැංකු ගිණුමක්වත් තිබුනේ නෑ. ඔය විදියට තමයි එයාලා ජවිපෙ පූර්ණකාලීනව දේශපාලණය කලේ.

හැබැයි ඒ රිචුවල් (Rituals) වත්මන් සන්දර්භයන් තුලදීත් ඒ විදියටම පවත්වගෙන යන්න අවශ්‍ය නෑ. ඒව වෙනස් වියයුතුයි, වෙනස් කලයුතුයි. නමුත් එහෙම වෙනස් විය යුත්තේ නායකයින් කීපදෙනෙකුට විතරක් වලංගුවන පරිදිත් නෙවෙයි. ඒ නිසා මේ වෙනස්වීම සෑම ජවිපෙ සාමාජිකයෙකුටමත් විවෘත වනපරිදි වියයුතුයි.

ඒ  විතරක් නෙවෙයි. එයාලා ඔය 1978-1982 වගේ කාලවල නාන්නෙ නැතුව, රැවුල් කපන්නෙ නැතිව අඩුගානෙ සබන් කෑල්ලක් ගන්න වියදම් කරන්නෙ නැතුව පක්ෂෙ වැඩකල අය. දැන් රත්‍රන් පවුම් 15 සහ 20 වගේ සමහර වත්මන් නායකයින් එකතු කරගෙන තිබුනට හිටපු අය තමන්ගෙ සන්තකේ තිබුනු එකම මගුල් මුද්ද පවා ගලවලා මැතිවරණ ව්‍යාපාරවලට දුන්නු අය. හැබැයි ඒ කල්චර් එක වත්මන් සන්දර්භයට අදාල නැහැ කොහෙත්ම. හැබැයි අවුලකට තියෙන්නෙ ජ.වි.පෙ ග්‍රාමීය ක්‍රියාධරයා ඉහත දැක්වූ කල්චර් එකට ටිකයි උඩින් ඉන්නේ වත්මනයේදීත්, නමුත් සමහර නායකයින් ඉන්නේ වෙනම කල්චර් එකකවීම. රටේ හැමට සමාන සමාජයක් හැදීම පක්ෂයෙන්ම ආරම්භ කරන්න දැන් තියෙන්නේ.

මුදල් සෙවීම අවුලක්ද?
1695186119 aswesuma L
ඒ විතරක් නෙවේ මම දන්නවා තමන්ගෙ වත්තෙ තිබුනු එකම කොස්ගස් දෙක කපලා ඒවා 94 දි මැතිවරණයට වියදම් කරපු කාඩර්වරු හිටපු, තමන්ගේ පඩිපතින් බාගෙකට වැඩිය පක්ෂ මැතිවරණ වලට වියදම් කරපු කාඩර් වරු හිටපු පක්ෂයක් මේක. හැබැයි මුදල් තියෙන එක හෝ මුදල් තිබුන එකනම් වැරැද්දක් නෙවෙයි. මේ නායකයින් මේ හොයපු හෝ තිබුනයි කියන මුදල් හෙව්ව විදිහ ගැන කියන කථා ඇහුවමනම් ඇස් උඩ යනවා තමයි.
 
බුකියෙ යන එක තර්කයක් තමයි,”ඉස්සර ජෙප්පො කියන්නේ, හිඟන්නෝ කිය කියා අවමාන කලා, දැන් ජෙප්පෝ කියන්නේ යමක් කමක් තියෙන උදවිය කියලා හෙලිවූ එක හොඳයි කියලා” තියෙන අදහස. ඇත්තටම බැලූ බැල්මට මේක ඇත්ත වගේ නමුත් ඔය කියන ජෙප්පෝ අතරින් නායකයෝ විතරයි නේද කෝටි ගණන් ධනයක් හොයාගෙන තියෙන්නෙ.(උරුමවූ දේපල ඇරුනාම). එතකොට අපිට සතුටු වෙන්න පුලුවනි ඈත ගම්වල පූර්ණකාලීනව වැඩකරපු ජවිපෙ සහෝදරයින්ගේ බැංකු ගිණුම් වලත් ඔයවගේ මුදල් තිබුනානම්, ඔයවගේ සමාගම්වල කොටස් ආයෝජනය කරලා තිබුනානම්. එතකොටනම් අපි කාටත් සතුටු වියහැකියි දැන් ජවිපෙ ඉන්නෙ හිඟන්නො නෙවේ කියලා. නමුත් වෙලා තියෙන්නේ ග්‍රාමීය ජවිපෙ කාඩර්වරු, සාමාජිකයෝ සහ හිතවතුන් අන්ත දුප්පත් වෙලත් මේ නායකයෝ අතලොස්සක් විතරක් ෆුල් ටයිම් කරනගමන් මෙසේ විශාල ධනස්කන්ධයක් හොයාගැනීම. අඩුගානෙ මුලු ජීවිත කාලෙම වැඩකරලා පෙන්ෂන් යන කම්කරුවෙකුටවත් මේ වගේ ධනස්කන්දයකට වඩා තමාගෙ කියලා නිවසක්වත් හදාගන්න බැරි තත්වයක් යටතේදි.
hju87687
 
අනිත් එක තමයි, මේ  රටේ 76 වසරක සාපයක් තිඋනාය කියලා රට ආර්ථිකව බංකොලොත් කලාය කියලා මෙතෙක් රට පාලනය කරපු සි‍යල්ලටම චෝදනා කරන ගමන් මේ ජවිපෙ නායකයො කීපදෙනෙක් ඒ බංකොලොත් උනු ආර්ථික තත්වය තුලදීම සමාගම් වල ආයෝජන කරමින්, එක එක බිස්නස් කරමින් තව ෆුල්ටයිම් කරන ගමන්ම කෝටිපතියන් වෙලා තිබීම. ඇත්තටම එක අතකින් මේක ආශ්චර්‍යයක්. එතකොට රට දුප්තත් වෙලා දේශපාලකයෝ විතරක් පෝසත් උන අරුමය ජවිපෙ නායකයින්ටත් අදාල වෙනවා නේද.

හඳුන්නෙත්තිගේ ගැටළුව...

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අහනවා “මේ අපට කෝටිපතියන් කියන්නෙ කාට සාපේක්ෂවද” කියලා? ඇත්තටම හඳුන්නෙත්ති ඇමත්තුමා වාමාංශික දේශපාලනයේ දශක ගණනාවක් ඉඳලා සමාජවාදී මොඩලයක් හදන්න තම පාක්ෂික හිතවතුන්ගෙන් යැපිලා ප්‍රාග්ධනයට විරුද්ධව කම්කරුවන්ගේ පැත්තේ ස්ථාන ගතවෙලා මේ ප්‍රශ්නයට උත්තරයක් දන්නෙ නැතිඑක පුදුම සහගතයි.
 


හඳුන්නෙත්ති මහතාණෙනි, ඊට උත්තරය තුන් ආකාරයකින් මෙසේය.  

* පළවෙනි ආකාරය, මෙසේ නිර්ධන පංතියේ නායකයෙක් ඒ ප්‍රතිපත්ති අනුව දේශපාලනය කරනවානම්, ඔහු යම් ප්‍රාග්ධනයක් ගොඩනගා ගන්නවානම් මුලින්ම ඔහු ගොඩනගන ධනස්කන්ධය තමන්ගේ හෘදය සාක්ෂියට සාපේක්ෂව සලකා බැලිය යුතුය.

* දෙවන ආකාරය, තමන් කරන සහ පෙනීසිටින දේශපාලණය යහපත් සමානතා සමාජයක් වෙනුවෙන්නම්ද, ඒ සමඟම තමන් තම සහෝදරවරුන් සහ හිතවතුන්ගෙන් යැපී පෞද්ගලික ධනස්කන්ධයක් ගොඩනගන්නේ නම්, ඒ ධනය තමන්ගේ සහෝදර පූර්ණකාලිකයා සහ ක්‍රියාධරයාගේ, තමන්ට ආහාර, ඇඳුම් පැළඳුම් දෙන, නවාතැන් දෙන පාක්ෂිකයාගේ ධනයට සාපේක්ෂව සලකා බැලිය යුතුය.

* තෙවන ආකාරය, තමන් පෙනී සිටින්නේ නිර්ධන පංතිය වෙනුවෙන්නම්ද, සංවිධානය කරන්නේද නායකත්වය දෙන්නේද කම්කරු සහ ගොවි ලෙස ගැනෙන ආන්තික කොටස් නම්, තමන් උපයන පෞද්ගලික ධනස්කන්ධය ඒ වැඩකරන කම්කරුවන්ගේ ධනයට සාපේක්ෂව සිතිය යුතුය.
 
මෙසේ සිතීමට නොහැකිනම් සහ තමන් පෞද්ගලික ධනය සෙවීමට යම් ආශාවක් සහ හැකියාවක් දක්වන්නේනම් ඊට ඇති හොඳම විසඳුම නිර්ධන පංති සංවිධනයෙන් ඉවත්වී ව්‍යවසායකයෙක් වීම සහ ලිබරල් දේශපාලණය තෝරාගැනීමය. ලිබරල් දේශපාලනය තුල ධනය ඉපැයීම් එහි මුඛ්‍ය පරමාර්ථයයි. එහෙත් ජවිපෙ ආරම්භයේ සිටම න්‍යායාත්මකව ස්ථානගතව ඇත්තේ ප්‍රාග්ධනයට සහ මුදල් ඉපැයීමට සපුරා විරුද්ධ පැත්තේය. එබැවින් දැන් ජවිපෙ කලයුත්තේ මෙතෙක් කාලයක් ජවිපෙ ජීවගුණයන් ලෙස පවත්වාගෙන පැමිණි අරමුණු  වලින් ඉවත්වී මුල් අරමුණුවල හැව ඇරීමෙන් ලෝකයේ අනෙකුත් මුල් වාමාංශික පක්ෂ “කම්කරු පක්ෂ” බවට පත්වූ අයුරින් ලෝක ධනවාදයේ ආඛ්‍යාන සමග සමපාතවන කම්කරු පක්ෂයක් බවට පත්වීමය.
jvp b1
 
ලෝකයේ අනෙකුත් කම්කරු පක්ෂවල නායකයින්ද කෝටිපති ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින් බැවින් එහි කිසිදු වරදක් නැත. නමුත් තවමත් කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් පතුරු ගහමින් පක්ෂය ඇතුලේ පංති පවත්වත්වමින්, රතුපාටින් වේදිකා ගසමින් මතුපිටට පෙන්වන නාඩගම අවසන් කරන්නේනම් එය ඉතාමත් යෝග්‍ය බව කිවයුතුය.

නිර්මාල් දේවසිරිගේ තර්කය....

ජාතික ජනබලවේගය බලයට ගෙන ඒමට විශාල මෙහෙයක් ඉටුකල එමෙන්ම එම බලවේගය පිළිබඳ අවශ්‍ය අවස්ථාවලදී විවේචනාත්මකව ඒවා දැකීමට පසුබට නොවන මහාචාර්‍ය නිර්මාල් දේවසිරි මහතා මෙම ගැටළුව සලකා බලා ඇත්තේ එසේ මේ කියනු ලබන ජවිපෙ හෝ NPP නායකයින් අනීතිකව උදල් උපයා ඇත්නම් ඒ පිළිබඳව අවශ්‍ය කෙනෙකුට නීති මගින් කටයුතු කලහැකි බවත් එසේ නීත්‍යානුකූකව යමක් උපයා ඇත්නම් ඒවාපිළිබඳ ගැටළුවක් නොමැති බවයි.

නමුත් මටනම් පෙනෙන්නේ ගැටළුව ඇත්තේම එතන බවයි. නිර්මාල් ඉතිහාසය පිළිබඳ මහාචාර්‍ය වරයෙකු බැවින් “සදාචාරයන්” (Morals) වල වැඳගත්කම ඔහුට අමුතුවෙන් පහදාදියයුතු නැති බව මාගේ හැඟීමයි.
 
 
දේශපාලණය තුලදී සදාචාරාත්මක භාවිතාවන් නීතියට ඌණනය කොට දැක්විය නොහැක. මන්ද නීතිය යනුම පාලකයාගේ කැමැත්ත බැවිනි. ඒ ඒ යුගයේ රජයන නීතීන් වනාහී ඒ ඒ යුගයන් වල පාලක පංතිවල අභ්‍යාසයන්‍ මිස වෙනත් කිසිවක් නොවේ. රාජපක්ශලා බලයේ සිටි විටදීද ඕනෑම චෝදනාවකදී කියන්නේ කැමති කෙනෙක්  උසාවි ගොස් චෝදනා ඇත්නම් නඩු දමන ලෙසය. ඒ කථාවම විවිධ පාලකයින් බලයට පැමිණි විට අපිට අසන්නට ලැබිනි. මහින්ද රාජපක්ශ බලයේ සිටිනවිට සරත් ෆොන්සේකා හිරේ විලංගුවේ සිටිය යුතු වැරදි කරුවෙකි. රනිල් බලයට පැමිණි විට සරත් ෆොන්සේකා එසේ වරදකරුවෙක් නොවේ. රනිල් ජනාධිපති වූවානම් මහින්දානන්ද අළුත්ගමගේ කැබිනට්ටුවේ ප්‍රධාන ඇමති කෙනෙක් මිස අද හිරගෙයක සිටින්නේ නැත. ඒ අනුව නීතියේ බලයට වඩා දේශපාලණ බලය ක්‍රියාකරන්නේ වෙනස් ආකාරයකටය.
දේශපාලණ සදාචාරය...
wasa sama
එබැවින් මේ වසන්ත සමරසිංහලාගේ මුදල් ඉපැයූ හැටි ප්‍රශ්න කලයුත්තේ ඔවුන් පෙනීසිටි සහ නියෝජනය කල දේශපාලන සදාචාරය හමුවේදීය. එතැනදී ඔවුන් පූර්ණකාලිකයෙක් ලෙස ජවිපෙ තුල පෙනී සිටිමින් පූර්ණකාලීනව දේශපාලනයේ නියැලී සිටි තරුන ජීවිත දහස් ගණනක් සොහොන් නොමැතිව වළලාදැමූ පොළොවක ඔවුන්ගේ ලේ, කඳුලු සහ දහඩිය වෙනුවෙන් පෙනී සිටිමින්‍ ය. ප්‍රශ්නකල යුත්තේ එවන් පසුබිමක ඔවුන්ගේ සදාචාරාත්මක වැහැරීම ගැන මිස ඒවා කෙස් පැලෙන තර්ක මගින් උසාවිවල නඩුකාරයන් ඉදිරියේදී ඒ උපයාගත් ධනය නීතියට අනුකූලවද, නැද්ද යන්න තීරණය කිරීමෙන් නම් නොවේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලණ සදාචාරය ප්‍රශ්න කලයුතුවන්නේ ලියොන් ට්‍රොස්කි සහෝදරයා පැවසුවාක් මෙන්ම ” සදාචාරයට පංති ස්වභාවයක් ඇත” යන්න සිහියේ තබාගෙනය. එයට හේතුව වන්නේද ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයින් සහ නායකයින්ගේ පංති ස්වභාවය වෙනස් තලවල ස්ථානගතවී ඇතිබැවිනි.
 
කෙසේ වෙතත් මේ සියලු විවේචන හමුවේ වැරදි නිවැරදි කරගනිමින් ජාතික ජනබලවේගය තම ඉදිරි ගමන සැලසුම් කලයුතුයි. ඉදිරියේ ඔවුන් හමුවේ ඇති අභියෝග විශාලයි. ඒවාට මුහුණ දීමට තරම් දේශපාලන පරිනතභාවය ඇති අය ජාතික ජන බලවේගය තුල ඉතාම අඩුයි. මා මීට පෙර ලියූ අයුරින්ම ජාතික ජනබලවේගය තුල ඇති ස්වභාවය නම්, එහි හිස කුඩාවට දේහය ඉතා විශාලව ඇති බලවේගයක් වීමයි. ඒ පිළීබඳව ජාතික ජනබලවේගය නායකයින් අවධානය යොමුකිරීම වැඳගත් වෙන්නේ ඉදිරියේදී මුහුණදීමට ඇති අභියෝග බරපතල නිසාමයි.
PHOTO 2023 04 09 12 36 37(සටහන | රන්ජන සේනානායක)
සමාජ හා දේශපාලන විශ්ලේශක
(අද්‍යයන කවය) "89-සහෝදරත්වය"

kaya4842@gmail.com

උපුටා ගැනීම | LPN

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...