The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - අපායේ කතාව 10 වැනි පරිච්ඡේදය

T

The Leader Desk

October 23, 2022 • 6:25 AM

සිංගපූරුවට සමු දී මැලේසියාවට පිවිසුනෙමි - අපායේ කතාව 10 වැනි පරිච්ඡේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බස් රථය නියමිත වේලාවට සිංගපූරුවෙහි ලිටිල් ඉන්දියාහි “ගෝල්ඩන් මයිල්” ගොඩනැගිල්ල අසළ පිහිටි බස් නැවතුම්පොළින් මැලේසියාව බලා පිටත්විය.
  • සැක සහිත හෝ සඳහන් කළහැකි පැහැදිළි හේතු නොමැතිව තම රටට පිවිසෙන්නට උත්සාහ දරන විදේශීයකයෙකු ආපසු හරවා යවන්නට ඕනෑම රටක ආගමන විගමණ නිළධාරින්ට හැකියාව තිබේ.
  • කාරුණික පෙනුමැති තරුණ මැලේසියනු ආගමන විගමන නළධාරිණිය වැඩි කලබලයකින් තොරව, නිවී සැනසිල්ලෙ එකා බැගින් පැමිණ‘ මගීන් සිය රටට ඇතුළු කරගනිමින් සිටියේය.
  • නමුත් මා තුළ වූ චකිතය එලෙසටම පැවතිණි.
අකුරු ප්‍රමාණය (Font Size):


බස් රථය නියමිත වේලාවට  සිංගපූරුවෙහි ලිටිල් ඉන්දියාහි “ගෝල්ඩන් මයිල්” ගොඩනැගිල්ල අසළ පිහිටි බස් නැවතුම්පොළින්  මැලේසියාව බලා පිටත්විය. එය ඉතා සුවපහසු එකක් විය. චීන ජාතිකයින් කිහිප දෙනෙකු හා මා හැරෙන්නට බස් රථය මගීන්ගෙන් පිරුණු එකක් නොවීය. මගීන්ගේ විනෝදය සඳහා හොලිවුඩ් සිනමා පටයක් ඉදිරිපස සවි කොට තිබූ රූපවාහිනි යන්ත්‍රයේ විකාශනය විය.
       

golden mile complex

“ගෝල්ඩන් මයිල්” ගොඩනැගිල්ල

 

මිනිත්තු කිහිපයක ගමනින් පසුව බස් රථය සිංගපූරු දේශසීමාවේ පිහිටි ආගමන විගමන පිරික්සූම්පොළ අසල නතර කෙරිණි. එතැනදී එරටින් පිටවන මගීන් බස් රථයෙන් බැස සිය සංචාරක ලියකියවිලි නිළධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු විය. අපි එකා පසු පස එකා බැගින් ගොස් නිළධාරීන් වෙත ලියකියවිලි ඉදිරිපත් කලෙමු. පිරික්සූම් වලින් පසුව අප රැගත් බස් රථය සිංගපූරුවට ආයුබෝවන් කියා ජෝහෝර් සමුද්‍ර සංධියෙ පිහිටි පළල් දිය කඩඉම හරහා වැටුන දැවැන්ත පාලමක් ඔස්සෙ මැලේසියාව දෙසට ධාවනය විය. පාලම හරහා ගිය බස් රථය මිනිත්තු කීපයක ගමනින් පසුව නැවතත් නතර කෙරිණි. ඒ මැලේසියාවට පිවිසෙන දොරටුව වූ මැලේසියානු ආගමන විගමන පිරික්සූම්පොළයි. එතැන මා වෙත ඉතා තීරණාත්මක ස්ථානයක් විය. සැක සහිත  හෝ  සඳහන් කළහැකි පැහැදිළි හේතු නොමැතිව තම රටට පිවිසෙන්නට උත්සාහ දරන විදේශීයකයෙකු ආපසු හරවා යවන්නට ඕනෑම රටක ආගමන විගමණ නිළධාරින්ට හැකියාව තිබේ. මම  චකිතයෙන් පසුවුනෙමි.
     

BORDER JHR SING 1210 1634053947 1

 

නැවතත් අපි එකා පිටුපස එකා බැගින් පිරික්සූම් කවුළු වෙත ගාටමින් සිටියෙමු. කාරුණික පෙනුමැති තරුණ මැලේසියනු ආගමන විගමන නළධාරිණිය වැඩි කලබලයකින් තොරව, නිවී සැනසිල්ලෙ එකා බැගින් පැමිණ‘ මගීන් සිය රටට ඇතුළු කරගනිමින් සිටියේය. නමුත් මා  තුළ වූ චකිතය එලෙසටම පැවතිණි. මම මගේ ජංගම දුරකතනයේ ගීතයක් වාදනය කොට, කන් රැදවුම කනේ ගසාගෙන සැහැල්ලුවෙන් සිටින සංචාරකයෙකු සේ හැඟවීමට උත්සාහ ගත්තෙමි. මගේ උත්සාහය අපතේ ගියේ නැත. මගේ වාරය පැමිණ‘ පසු නිළධාරිනිය සුන්දර සිනාවකින් මට ප්‍රතිචාර දැක්වීය. මම මගේ කනේ රැදි ශ්‍රවණ ආධාරකය ඉවත් කොට ඇය වෙත අවධානය යොමුකරන බවක් හැඟවීමි.


“ඔබ මැලේසියාවේ කොතැනටද  යන්නේ ? ”
       

ඇගේ ප්‍රශ්නයට මම වචනයෙන් පිලිතුරු නොදී ප්‍රදීප් විසින් මා වෙත එවා තිබූ ක්වාලාලාම්පූර් හි නවාතැන් ගන්නා හොටලයට අදාල කාමර වෙන්කරගැනීමෙ බිල්පත ඇය වෙත දැක්වීය. විමසිල්ලෙන් එය කියවා බැලූ ඇය,

“ඔබ  මැලේසියාවේ දින කොපමණ ගනනක් ගතකරනවාද ” යි විමසීය.

“ මම සිංගපූරුවේ  ශිෂ්‍යයෙක්  විදියට ඉගෙන ගන්නවා .... මගේ විද්‍යාලය නිවාඩු දීල තියෙන්නෙ මේ දවස්වල .... ඉතින් මම තීරණය කලා ඔබේ රට ටිකක් බලල එන්න ... මම සතියක් ඔබේ රටේ ඉන්නව .....!”
       

මම තරමක ප්‍රමාණවත් උත්තරයක් දෙන්නට සමත් වුනෙම්.  

 

Close-up Of A Person's Hand Stamping With Approved Stamp On Text Approved Document At Desk,  Contract Form Paper

“ ඔබ සාදරයෙන් පිලිගන්නවා ! ” යි කියමින් ඇය මගේ ගුවන් ගමන් බලපත් මුද්‍රාව තබා මා අත තැබීය. මම ඒ කඩ ඉම පැනගත්තෙමි.  කෙටිදුර ධාවන ශූරයෙකු ධාවන තරගයක් දිනා ලබන තරම් වූ උණුසුම් ජයග්‍රාහි හැගීමකින් මම කුල්මත්ව සිටියෙමි.  ඉතා සැහැල්ලුවෙන් හුස්ම ගත්තෙමි.
      

බස් රථය නැවතත් ගමන පටන් ගත්තේය. මම අවට සිරි නරඹමින් සිටියෙමි. මැලේසියාවෙදී මා මුණගැසෙන “බාලා” කෙබඳු කෙනෙක් වනු ඇත්දැයි සිතන්නට වෙහෙසුනෙම්. මිනිත්තු කිහිපයකින් පසු අප ගමන් ගත් අධිවේගී මාර්ගයෙන් බොහෝ ඈතින් පිහිටි කඳුකර ගොඩනැගිල්ලක වහල මුදුනේ සවිකල සුළගට ලෙල දෙන මැලෙසියානු ජාතික කොඩිය දැකගන්නට මට හැකිවිය. 

  

johor

 

ඒ භු විශමතාවයෙන් මම වශී වී සිටියෙමි. එය මා කවදාත් ආදරය කල තරමක තෙත බරිත, තද කොල පැහැයෙන් යුක්ත  වූ පරිසරයකි. මැලෙසියානු සිතියමට අනුව ඒ  මැලේසියාවේ දිස්ත්‍රික්කයක් වූ “ජොහොර් බරූ” ප්‍රදේශය විය. සිංගප්පූරුවේ සිට මැලේසියාවට පිවිසෙන විට මුණගැසෙන මැලේසියාවේ පළමු දිස්ත්‍රික්කය එය විය. මග දෙපස සැළකිය යුතු තරම් ගොඩනැගිලි නොවීය. ඒ වෙනුවට දැක ගත හැකි වූයේ කඳුකර පරිසරයකි. ඇල්ගී ශාක පිරි බඩ වැටි මග දෙපස විය.        

 

පැය හයක ගමනකින් පසුව අපි ක්වාලාලාම්පූර් නගරයේ “පුදු සෙන්ට්‍රල්” (Pudu Central) ලෙස හැඳින්වෙන මධ්‍යම බස් නැවතුම්පොළ වෙත ලඟා වුනෙමු. මා ඉන් පෙර එවැනි විශාල හා ක්‍රමවත් බස්රථ පර්යන්තයක් දැක තිබුණේ නැත. එය මහල් ගොඩනැගිල්ලක් වූ අතර බස්රථ අංගනය පහළම මාලයේ පිහිටා තිබිණි.
     

ක්වාලාලම්පූර්  ජනාකීර්ණ නගරයක් විය. බැලූ බැලූ අත ගොඩනැගිලිය, වාහනය, පාලම්ය. පුදු සෙන්ට්‍රල් මධ්‍යම  බස් නැවතුම්පොළ එහා මෙහා යන මිනිසුන්ගෙන් හා බස් රථ වලින්  කාර්යයබහුළ විය. බස් නැවතුම්පොළ තුළත්, ඒ වටාත් කෑ කෝ ගසන තැරැවු කරුවන්ගෙන් පිරී පැවැතින. පිරිමි මෙන්ම ගැහැණුද මගීන් වෙත අඬ ගසමින් ගමනාන්ත විමසමින් අනවශ්‍ය කලබලයක් ඇති කළහ. ඔවුහු බස් රථ සඳහා ප්‍රවේශ පත් හා ආසන වෙන් කිරීමෙහි යෙදුන තැරැව්කරුවෝ වූහ.


පෙර සැළසුම් කළ පරිදි මම “බාලා” වෙත දුරකතන ඇමතුමක් දිය යුතු විය. නමුත් මට ඒ පිළිබඳව උනන්දුවක් ඇති වූයේ නැත.
       

බස් නැවතුම්පොළින් ඉවතට පැමිණි මම කුඩා අවන්හලකින් දිවා ආහාරය ගෙන,  එළිමහනේ වූ බංකුවක් මත හිඳ මොහොතක් විවේක ගත්තෙමි.
         

මට බාලා මුණගැසීම හැර වෙන විකල්පයක් නොවීය. නමුත් කිසියම් හෝ හේතුවකින් මම බාලාට බිය වුනෙමි. කිසිදා නොදුටු ඒ මිනිසා මා නොදන්නා මේ රටේ කිසියම් හෝ අනතුරකට මා හෙලනු ඇතැයි වැනි අදහසක් මගෙ යටි සිතෙහි විය. නමුත් බාලා හැර වෙන කිසිවෙකු මා දැන සිටියේ නැත. යන්නට එන්නට තැනක් ද නොවීය.
    

malaysia kuala lumpur top attractions bukit bintang shopping district

 

මෙවැනි සිතිවිලි වලින් හෙම්බත්ව සිටි මම නැවතත් බස් නැවතුම්පොළට පිවිසියෙමි. ඒ යන අතර මග මගේ දුරකතනයට ලංකාවේ මා දන්නා ඉතාම හිතවත් මිතුරෙකුගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. ඔහු සිතා සිටියේ මා ඒ වනවිටත් සිටින්නේ සිංගපූරුවේ බවය. මම ඔහුට මා මේවන විට මැලේසියාවට පිවිස සිටින බව කීවෙමි. ඔහු සතුව මා වෙත යෝජනාවක් විය. ඔහුගේ එම දුරකතන ඇමතුම දෛවය අනුව එම මොහොතේ නොලැබෙන්නට මම මෙතැනින් ඉදිරියට ලියන්නට යන මගේ කතාව ඉඳුරාම වෙනස් එකක් වන්නට තිබිණ.

 

“ මචං ..... මගෙ යාලුවෙක් ඉන්නව මැලේසියාවෙ පදිංචි .....මිනිහා නිවාඩුවකට ලංකාවට ඇවිල්ල ඉන්නෙ දැන්  ..... අපි දැන් වෙඩින් එකක ඉන්නෙ ..... මිනිහා මගෙත් එක්ක ඉන්නව දැන් මෙතන ..... මම ෆෝන් එක දෙන්නම් ඌට .....”
       

ඉක්බිතිව නොහුරු කටහඬකින් කෙනෙකු මා ඇමතීය. මා සිංගප්පූරුවේ සිට ක්වාලාලම්පූර් දක්වා පැමිණි ගමන් මග ගැනත්, වීසා ලබා ගත් ආකාරය පිළිබඳවත් මෙතැනින් ඉදිරියට මැලේසියව තුළ මගෙ සැළසුම් ගැනත් දිගින් දිගටම ඔහු ප්‍රශ්න කරන්නට විය. අවසානයේ ඔහු මා බලාපොරොත්තු නොවූ යෝජනාවක් ඉදිරිපත් කළේය.


“මල්ලි .... ඔයා ඔය නොදන්න මිනිස්සු ලඟට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .... අපි ලංකාවෙ මිනිස්සුනෙ මල්ලි ....  ඔයාට මම උදවු කරන්නම් ....  ඔයා මගෙ ගෙදර යන්න ....  ඉපෝ වල මගෙ ගෙවල් තියෙන්නෙ ....  මම සතියකින් ආපහු මැලේසියා එනව ....  මම එනකම් මල්ලී මගෙ ගෙදර ඉන්න ....   දැනට මගෙ වයිෆ් පුතා එක්ක තව මගෙ යාලුවො කට්ටියකුත්  අපෙ ගෙදර ඉන්නෙ ....    එහෙ  යන්ඩකො මම කිවුවට ....  මම ආවම මම ඔයාට හොද ජොබ් එකක් සෙට් කරල දෙන්නම් ....  ”
       

ඉන් පසුව අපේ කතාබහ තවත් මිනිත්තු ගණනාවක් දික් ගැස්සිණ. ඔහු ඔහුගේ පවුලේ උදවියගේ මැලේසියානු දුරකතන අංකය මා වෙත ලබා දුන්නෙය. මට බාලා මුණගැසීමට වූ පළමු සැළසුම සම්පූර්ණයෙන්ම අමතක කර දමන්නට ඒ දෛවෝපගත දුරකතන ඇමතුම හේතු විය. දන්නා හඳුනන ලාංකිකයෙකු සමග මේ නොදන්නා රටේ අත්විඳීය හැකි ආරක්‍ෂාකරී බව නොදන්නා නොහඳුනන පිට රැටියෙකු ළඟ කිසිසේත් තිබෙන්නට නොහැකිය. අනපේක්ෂිතව ගොඩනැගුණු නව සම්බන්ධකම මම ක්වාලාලම්පූර් නගරයෙන් බොහෝ ඈතට කැටුව යන්නට සමත් විය.
       

Pudu Sentral Bus Terminal

“පුදු සෙන්ට්‍රල්

 

සංවාදය අවසානයේ තව දුරටත් මට පුදු සෙන්ට්‍රල් හි කල් මැරීමට  වුවමනා  නොවීය.  මම “ඉපෝ” බලා ධාවනය වන බස් රථවලට ප්‍රවේශ  පත් ලබා දෙන තැරැවු කරුවෙකු වෙත ගියෙමි. මා වෙතින් මැලේසියානු රින්ගිට් 45 ක් ද ලබාගෙන මා වෙනුවෙන් ප්‍රවේශපත රැගෙන නැවත  පැමිණෙනා  තුරු රැඳී සිටින ලෙස දන්වා ඔහු ගොඩනැගිල්ල තුළ අතුරුදන් විය. මම බොහෝ වෙලා එතැන රැඳී සිටියද ඔහු නැවත පැමිණියේ නැත. මම බලවත් ලෙස අපහසු තාවයට පත්වුනෙමි. විනාඩි 45 ක් අවසානයේදීත් ඔහු පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොවීය. අවසානයේ මම අසල සිටි චීන ජාතික තරුණයෙකු හට මා මුහුණ පෑ ගැටලුව පහදා කීවෙමි. සාවධානව මට ඇහුම්කන්  දුන් ඔහු මඳ සිනහවක් සමඟ ප්‍රතිචාර දැක්වීය.

 

“ ඔබ ඔහුව කවදාවත් නැවත මෙතැනදී මුණගැහෙන එකක් නෑ ... ඔබට ඉපෝ යන්නට ඕනෑනම් දෙවෙනි මහලේ තිබෙන ප්‍රවේශ  පත් කවුළුවට ගිහින් නැවත ප්‍රවේශපතක් මිලදී ගන්න ..... ඔබ විදේශිකයෙක් ....  තැරැවුකරුවන් ඔබව රවටනවා ....  ඔබ සිටින්නේ  මැලේසියාවෙ බව මතක තියාගන්න ”
 එය මැලේසියව තුළ මා ලැබූ පළමු අවවාදයයි.
       

මැලේසියානු පොළාවට  පය තබා ගතකළ පළමු පැය කීපය තුළදීම මම රැවටීමකට ලක් වී ඇති බව වටහා ගත්තෙම්. කනස්සල්ලෙන්  යුතුව පර්යන්තයේ දෙවැනි මහල සොයා ගිය මම විවිධ ගමනාන්ත සඳහා වෙන් වෙන්ව තිබූ ගමන් ප්‍රවේශපත්   කවුළු අතුරින් ඉපෝ නගරය සඳහා ප්‍රවේශපත් පත් නිකුත් කරනු  කවුළුව සොයාගෙන ප්‍රවේශ පතක් ලබා ගත්තෙමි.
         

ipoh

 

නැවතත් බස් රථ අංගනය වෙත පිවිස ආයාසයකින් තොරව ඉපෝ දක්වා ධාවනය වන බස් රථය සොයාගෙන ඒ වෙත ගොඩ වුනෙමි. ප්‍රවේශපතේ වූ ආසන අංකය අනුව මට ජනේලයක් අසළ වූ ආසනයක් ලැබී තිබිණි. ඒ පිළිබඳව මට තිබුනේ සතුටකි. මට මඟ දෙපස පසුකරයන මනරම් භූමි දර්ශන නැරඹීමට හැකිවන බැවිනි.      

 

බස් රථය ගමන් ආරම්භ කරනවිට තරමක් දුරට සන්ධ්‍යාව උදා වී තිබිණි. නමුත් ක්වාලාලාම්පූර් නගරයේ විසිතුරු නරඹන්නට තරම් හිරු එළිය ප්‍රමාණවත් විය. ලෝකයේ උසම නිවුන් ගොඩනැගිලි අහසට නැගී ඇති අයුරු මට ඉතා ඈතින්  දර්ශනය විය. තවත් කෙළවරක් නොවූ ගොඩනැගිලි අතරින්, විසිතුරු මලින් සැරසූ උද්‍යාන අතරින් ඉදිරියට ඇදුන බස් රථය ක්‍රමයෙන් විදුලි පහන් දල්වා අඳුරට හුරු විය. මිනිත්තු ගණනකින් පසුව අපි නගරයෙන් පිටව අධිවේගී මර්ගයකට පිවිසුනෙමු. එතනින් ඔබ්බට මට දැක ගත හැකි වූයේ විදුලි බුබුළු වලින් වර්ණවත් වූ අධිවේගී මාර්ගය දෙපස වූ ගස් කොළන් පමණකි. බොහෝ දුරක් යනතුරු එකඳු ගොඩ නැගිල්ලක් හෝ දැක ගත හැකි නොවීය. බොහොමයක් මගීන් නිදා වැටෙමින් සිටි නමුත් මට නින්ද පිළිබඳව අදහසක් හෝ නොවීය. කිසිදා සවන් දී නොතිබූ  මැලෙසියානු සංගීතට සවන් දෙමින් මම නිදි වර්ජිතවම සිටියෙමි.           

 

ඉපො නගරයෙ බස් නැවතුම්පොළ පිහිටි ප්‍රදේශය “අමන්ජයා” නම් විය. මා රැගත් බස් රථය අමන්ජයා වෙත ළඟා වනවිට රාත්‍රී 8 පසුවී තිබිණි. අමන්ජයා, පුදුරයා තරමට ම නොවූවත් විශාල පර්යන්තයකි. එයින් ඉවතට පැමිණි පසු විශාල කුලී රථ නැවතුම්පොළකි. මගේ අවසන් ගමාන්තය වෙත යා යුතු වූයේ කුලී රථයකිනි.

 

ලබන සතියේ අපායේ කත්තාවෙන් මැලේසියාවේ ඉතිහාසය සහ ආසියාවේ වේගයෙන් නැගී එන රාජ්‍යයක් කරා පැමිණි ගමන් මග !

 

Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
 
 
 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...