The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංගපූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව 8 වැනි පරිච්ඡේදය

T

The Leader Desk

October 10, 2022 • 5:02 AM

සිංගපූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව 8 වැනි පරිච්ඡේදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංචාරක වීසා ලබා ගත හැකි විය.
  • මොනයම් ආකාරයක හෝ කරුණු මගෙන් සැඟවෙන බවක් මට හැගිනි.
  • විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ මේ වනතුරුත් මා හා ප්‍රදීප් අතර හෝ ඔහුගේ වෙනත් නියෝජිතයෙකු අතර කිසිදු ආකාරයක මුදල් ගනුදෙනුවක් සිදු නොවූ බවය.
  • වර්ෂ 2013, අගෝස්තු මස 19 වන සඳුදා දින මම නැවතත් චන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් සිංගපූරු පොලොවට පය තැබුවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

passportසංචාරක වීසා ලබා ගත හැකි විය.

 

මගේ මීලඟ පියවර සඳහා ප්‍රදීප් වෙතින් දුරකතන ඇමතුමක් ලැබිය යුතුව තිබිණ. මා සතුව ඔහුගේ සිංගපූරු දුරකතන අංකය නොවූ නමුත් ඔහු සතුව මගේ නිවසේ දුරකතන අංකය විය. එහෙයින් මට ඔහුගෙන් ඇමතුමක් ලැබෙනතුරු බලා සිටීම මිස විකල්පයක් නොවීය. මම දින තුනක් මග බලා සිටියෙම්. බලාපොරොත්තු වූ  පරිදිම ප්‍රදීප් වෙතින් ඇමතුම ලැබිණි .

 

“ මල්ලී ... වැඩේ හරි නේ .... දැන් ඔයා සල්ලිත් අරගෙන් ආපහු සිංගපූරු එන්න ... ඉතුරු ටික මම මෙහෙදි ඔයාට කියන්නම් .... හරිනෙ .... එන්ඩ කලින් මට කියන්න .... මම එයාපොර්ට් එකට එන්නම් ඔයාව ගන්න ”

 

මට මේ ක්‍රියාවලියේ මුල සිටම ලැබුනේ ඉතා කෙටි පණිවුඩය. කෙටි සංවාදය. මොනයම් ආකාරයක හෝ කරුණු මගෙන් සැඟවෙන බවක් මට හැගිනි. එය මා බලාපොරොත්තු වූවට වඩා වේගවත්ව සිදුවිය. සත්‍ය වශයෙන්ම මෙම ක්‍රියාවලිය පිළිබඳව මා සතු තොරතුරු ප්‍රමාණවත් නොවීය. නමුත් ඒ වන විටත් මම ආපසු හැරෙන්නට නොහැකි තරමට ඒ මඟ ඔස්සේ ඇවිද විත් තිබුනෙමි. විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ මේ වනතුරුත් මා හා ප්‍රදීප් අතර හෝ ඔහුගේ වෙනත් නියෝජිතයෙකු අතර කිසිදු ආකාරයක මුදල් ගනුදෙනුවක් සිදු නොවූ බවය.

 

සිංගප්පූරුව වෙත වූ මගේ දෙවන සංචාරයට  සියල්ල සූදනම්ව තිබිණ.


*******    

1650320284207  

වර්ෂ 2013, අගෝස්තු මස 19 වන සඳුදා දින මම නැවතත් චන්ගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් සිංගපූරු පොලොවට පය තැබුවෙමි. විනාඩි ගණනක් යනතුරුත්  ප්‍රදීප් වෙතින් කිසිදු තොරතුරක් නොවීය. ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිතව තිබිණ. අවසානයෙ මම කුලී රථයක නැගී සුපුරුදු නවාතැන වූ මායෝ වීදීයේ පිහිටි හාමනි ඉන්  වෙත ලඟාවුනෙමි.

 

ප්‍රදීප් එදින  සන්ද්‍යාවේ මා සොයා හාමනි ඉන් නවාතැනට පැමිණි අතර යමි නොසන්සුන් ගතියක් පෙන්වීය. එය ඔහුගේ මවා පෑමක්ද, නැතහොත් සත්‍ය වශයෙන්ම ඔහු යම් කලබලයකින් පසු වූයේ දැයි මාවෙත පැහැදිලි අදහසක් නොවීය. මම සිදුවන්නට යන්නෙ කුමක්දැයි නොදැන ඔහු සමග අපේ සුපුරුදු ඉන්දියන් බොජුන් හල වෙත ඇවිද ගියෙමි.

 

“ මල්ලී .... සොරි ! මට පොඩි කරදරයක් .... මට අද රෑ ෆ්ල්යි කරන්න වෙනවා ....! ”

 

“ එතකොට මගෙ වැඩේ ....!”  මම තැති ගත්තෙමි.

 

“ඔයා බයවෙන්න එපා ....  මෙච්චර දුරක් වැඩේ හරියට සිද්ද  වුනානේ ....  ඒ විදියටම ඉතිරි ටිකත් සිද්ද  වෙයි .... ! ” ඔහු මා අත කොල කැබැල්ලක් තැබීය.

 

“ඔය මගෙ පාර්ට්න ....  කේ.එල් වල ඉන්නෙ ....  කේ.එල් ගිහිල්ල එයාට කෝල් එකක් දෙන්න ....  එයා ඇවිත් ඔයාව ගනී ....!  මැලේසියන් ටමිල් මනුස්සයෙක් .... ! හොද මිනිහා ....!  අපේ එවුන්ට හරියට සළකනවා ....! ”

 

Kuala Lumpur, Malaysia - April 10, 2015: Downtown Kuala Lumpur crossing with road, train and billboards. Cars and a monorail car rush through the Bukit Bintang intersection.


“ කේ.එල් ” යනු මැලේසියවේ අග නගරය වන ක්වාලාලාම්පූර් හැදින්වීම සඳහා බොහෝ දෙනෙකු  භාවිතා කරන කෙටි යෙදුමකි. එය කළාපය තුළ ක්වාලාලම්පූර් හැදින්වීම සඳහා පොදුවේ යොදාගත් ජනප්‍රිය අකුරු දෙකකි. ප්‍රදීප් මා අත තැබූ කොල කැබැල්ලේ වූයේ කේ.එල් හි වෙසෙන “ බාලා ” නම් වූ මැලේසියනු ද්‍රවිඩයෙකුගේ දුරකතන අංකයකි.

 

“ඔය ගානට කවුරුත් කරන්නෙ නෑ මල්ලි ....  උඹේ වෙලාවට උඹ මට සෙට් වුනේ ....  ඕකට එකහමාරක් විතර කොස්ට් වෙනවා .... මම මේක කළේ බිස්නස් එකක් විදියක නෙවේ ....  හෙල්ප් එකක් විදියට ..!”

 

ඉන්පසුව ඔහුට මා සමග බියර් බීමට වුවමනා විය. අපි ඩෙක්ස්ටර් වීදියේ කෙලවරකවූ උද්‍යනයේ පිහිටා තිබූ බංකුවක් මත හිඳ බියර් තොල ගාන්නට වීමු .

 

“උඹ තව දවස් තුනකින් මැලේසියාවට පලයන් මල්ලි ..... එතකොට ඉමිග්‍රේශන් එකට සැක හිතෙන්නෙ නෑ ...... වැකේශන් එකක් යනවා වගේ පලයන් ...... මම කේ.එල් වල හොටෙල් එකක රූම් එකක් බුකින් දාලා තියෙන්නෙ ...... ඒ පේපර් එක යන්න කලින් උඹට දීල යන්නම් ..! ”


“මේක හෙන ගේම් එකක් නෙමෙයි මල්ලි ....  යන තැන මොලෙන් හිටපන් ....  පාස්පෝට් එක කාටවත්ම දෙන්න එපා ....  ලොවෙත් එහෙ කවුරුත් ජොබ් වීසා ගහන්නෙ නෑ ....  ශේප් එකෙ ජොබ් එක කරගෙන හිටපන් ....  බාලා හොද එකා ....  උඹට එහෙදි මම යවපු තව කොල්ලො සෙට් වෙයි ....  කවුරුවත් කරට ගන්න එපා ....  ඔක්කොම පාස්පෝට් යාලුවො මල්ලී .... ”


බියර් මත වැඩි වූ පසු ඔහු ඔහුගේ හිතේ සිරකරගෙන සිටි පෞද්ගලික දේද වමාරන්නට විය.


“මම අද රෑ යූ.එස්  යනව මල්ලි ....  ඩොකුයුමන්ට් වල පොඩි ෂොර්ට් එකක් තිබුන ....  අද තමා ගොඩ දාගත්තෙ ....”

 

“ මම යූ.එස් ගියාට මගෙ ටාගට් එක ජපන් ...  ජපන් වලින් ට්‍රන්ස්සිස්ට් එකක් තියෙනව ...  එතනදි ජපන් පනින්න තමා මම ප්ලෑන් කරල තියෙන්නෙ ......”

 visa

ඉන්පසුව ඔහු ඔහුගේ අත රැඳි නවීන දුරකතනයෙන් ඔහුගේ ගමනට දාල සියලුම ලියකියවිලි වල ජායාරූප මා වෙත පෙන්වන්නට විය.


“ මේ ඩොකුයුමන්ට් වල හැටියට මම තමා ලංකාවට ඇම්බියුලන්ස් සප්ලයි කරන කම්පැනි එකේ පර්චසින්ග් ඔෆිසර් ....  මම යූ.එස්   යන්නෙ අලුතෙන් මාර්කට් එකට දාලා තියෙන ඇම්බියුලන්ස් එකක් බලන්න ....  ඒ යන අතරමග ජපන් වල පැය ගානක ට්‍රාන්සිස්ට් එකක් තියෙනව ....  එතනදි මම ජපන් පනිනව ....  ඒකයි මගෙ ප්ලෑන් එක ”


“ මේ ඔක්කොම ඩොකුයුමන්ට් හොරට හදපු ඒවා බං ....  ඒකයි මට ලංකවෙන් ඩිරෙක්ට් ෆ්ල්යි කරන්න බැරි ....  මෙහෙ ඉමිග්‍රෙශන් එක ඕවා ලොකුවට බලන්නෙ නෑ ....  ඒකයි මම සිංගපූර් වලින්  ෆ්ලයි කරන්නෙ .... මගෙ මෙහෙ බිස්නස් ඔක්කොම අත ඇරල දාලයි මම යන්නෙ ....  පුලුවන් උනොත් මම උඹවත් ගන්නම් ....”


“  අපි බලමුකො ....! ”


ඔහු සඳහන් කළ පරිදි ඔහු පෙනී සිටින්නෙ ලංකාවෙ සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත ගිලන් රථ සපයන ආයතනයේ මිලදී ගැනීමෙ නිළධාරියෙකු ලෙසය. ඒ සඳහා වූ සියලුම ලිය කියවිලි ඔහු ව්‍යාජ ලෙස සකසා ගෙන තිබිණි. ඒ හරහා ඔහු ඇමරිකාවට ඇතුලුවීම සඳහා වීසා පවා ලබාගෙන තිබිණි. නමුත් ඔහුගේ ගමනාන්තය ජපානය විය. ඇමරිකාව බලා යන ගමනේදී ඔහු ජපානයෙන් අතුරුදහන් වනු ඇත.

 


මෙම තරුණයාගෙ සැළසුම අසා මම වික්ෂිප්තව සිටියෙමි. එය එතරම් මනා ලෙස සැළසුම් කළ ක්‍රියාවලියකි. ඒ සඳහා අවශ්‍ය සියළුම ලිය කියවිලි සකසාගෙන ඇත. ඒ සඳහා රජයේ ආයතන ගණනාව ලිපි ශීර්ෂ, නිල මුද්‍රා භාවිතා කොට ඇත. ඒ ඒ ආයතනවල සේවය කරන නිළධාරීන් කී දෙනෙකූ සමග ගනුදෙනු කරන්නට ඇතිද යන කරුණ  මා මවිත කරවීය.

 


“සල්ලි තියෙනවනම් ලංකාවේ මොනාද කරන්න බැරි මල්ලී ....!”


“ඔයාගෙ වීසා එකේ හරි වටිනාකම රුපියල් 500 ක් විතරයි .... ඒත් මේ විදියට වීසා ගන්නකොට කීප දෙනෙකුටම ගෙවන්න ඕනා ..... ඕකට එම්බසියේ පියන්ගෙ ඉදළ ඉහළට යනකම් ඉන්න උන්ට  කීය කීය  හරි ගෙවන්න වෙනවා ..... ඒවා එහෙම තමා මල්ලී ....! ”
 ඉන්පසුව අපේ සමුගැනීම සිදුවිය.


මම නැවත් හාමනි ඉන් වෙත ඇවිද ගියේ මහා බරක් හිස මත තබා ගත් එකෙකු ලෙසිනි. මෙතැනින් ඔබ්බට වූ මගේ ගමන අභියෝගාත්මක විය. සිංගපූරුවේ සිට මැලේසියාව දක්වා. බාලා හමුවන තුරු !


*******            

දින තුනක් මම සිංගපූරු නගරයේ සැරිසරමින් ගත කළෙමි. ඒ නොනිදන  නගරයේ දෙනෝදාහක් සෙනඟ අතරේ මම ඉතා කුඩා ජීවියෙකු සේ මට හැඟින. කිසිවෙකු සිනහසුනේ නැත. මුහුණුවල තිබුණේ කලබල කාරී පෙනුමකි.

 


සන්ධ්‍යාව විචිත්‍රවත්  විය. පාට පාට එල්.ඊ.ඩී  එළියට මිනිස්සු පාට පාටට දිස් විය. පිසක්වල ජීවීයෝ වැනි වූහ. තැබෑරුම් හා සමාජ ශාලා  අසළ මඟ රැක සිටි කෙල්ලෝ අතින් නොඇල්ලුවා පමණි. එන්න කන්න බොන්න මිතුරේ යැයි ඔවුන්ගේ මුහුණු වල ලියැවී තිබිණ. තැනක ගිටාර් වයමින් ගී ගයන බීමත් සුදු ජාතික තරුණ තරුණියන්ය. මුස්තාෆා සෙන්ටර් අවට බඩු මලු එල්ලා ගත් ගැහැනු මිනිස්සු කුලීරථ පොලිමේ සිටියහ. උද්‍යාන පුරා බංගලිදේශ  හෝ ඉන්දියනු කම්කරුවන්ය. ඒ අතර තැනින් තැන පොලිස් නිළධාරීන්ය.

 


ඒ මහා නගරයේ මට රස විඳන්නට යමක්  තිබුණේම නැත. ඒ ජනාකීර්ණ  බව හැරෙන්නට මගෙ සිත් ගත් කිසිත් එහි නොවීය. මම අරමුණක් නොමැතිව මිනිසුන් හා ගොඩනැගිලි අතරින් නගරය පුරා ඇවිදිමින් ඒ දින තුන ගත කළෙමි.


එලෙස ගතකල තුන්වන දින  රාත්‍රීයේ මම සිංගපූරුවේ ලිට්ල් ඉන්දියාහි සිට මැලේසියාවෙ ක්වලාලාම්පූර්  බලා පිටත්වන  බස් රථයක ආසනයක් වෙන්කර ගත්තෙමි. පසු දින පෙරවරු  9.15 ට මම සිංගපූරුවෙන් මැලේසියව බලා පිටත් විය යුතුව තිබිණ.


මම සිංගපූරුවේ ගතකල ඒ අවසන් රාත්‍රිය වෙනදාට වඩා දිග එකක් විය. නවාතැන්පොළ‘න් පිටත හිඳගෙන මම බොහෝ වේලා ගතකලෙමි. මම හෙට දින පිවිසෙන නව ලෝකය කෙළෙස වේ දැයි සිතන්නට උත්සාහ කළෙමි. එය කුමන ආකාර එකක් වුවත් ලෙහෙසියෙන් ගත කල හැකි ජීවිතයක් නොවන බවනම් මම දැන සිටියෙමි.

 

ලබන සතියේ අපායේ කතාවෙන් සංචරණය.. සංක්‍රමණය. සංක්‍රමණිකයන් ජාවාරම (Migrant Smuggling), සහ මිනිස් ජාවාරම (Human Trafficking) පිළිබඳව   විද්‍යාත්මක කියැවීමක් සමඟ මුණගැහෙමු.       
 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
 
 
 
 
 
 

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

Theleaderx2022

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංගපූරුව වෙත වූ මගේ දෙවන සංචාරය - අපායේ කතාව 8 වැනි පරිච්ඡේදය | The Leader