සජිත්ගේ දේශපාලන සතිය
සජිත් ප්රේමදාස නම් දේශපාලනඥයා වසර ගණනාවක සිට අවස්ථා ගණනාවකදී කියූ අනාගතවාදී කාරණා ක්රම ක්රමයෙන් මේ පොළොවේ සත්ය වෙමින් පවතින අයුරු රටටම දැකගන්නට ලැබී තිබේ.
2019 වසරේ දැරියන්ගේ ආර්ථව දරිද්රතාව වෙනුවෙන් පහසුකම් සැලසීමට සජිත් නැගූ හඬට සමච්චල් කළ සමාජයකට වසර 7ක් ගෙවුණු තැන අද වනවිට රජයට ඒ වෙනුවෙන් වැඩසටහන් පවා දියත් කිරීමට සිදුව තිබේ.
2020 වසරේ සිට සක්වල වැඩසටහන ඔස්සේ ස්මාට් පන්තිකාමර 386 ක් හරහා සජිත් සුහුරු අධ්යාපනය ගමට ගෙන යද්දී, විල්බැරෝ දෙන්නට කථා කළ සමන්ත විද්යාරත්නලාට ආණ්ඩු බලය රැගෙන වසර දෙකක් ගතවී ඇතත්, එකදු ස්මාට් පන්තිකාමරයක් මේ රටේ දරුවන්ගේ අධ්යාපනය නගා සිදුවන්නට ලබාදීමට නොහැකිව තිබේ.
එහෙත් දැන්, දැන් අනුර කුමාර ජනාධිපතිවරයා ද රට වටේ යමින්, අනාගතයේදී පාසැල්වලට ස්මාට් පන්තිකාමර ලබාදෙන්නට කටයුතු කරන බව පවසනු දැකගන්නට තිබේ.
අද ගෝස් කෑබැල්ලක්, පුළුන් කැබැල්ලක් රෝහල්වලට ලබාදෙන්නට අපහොසත්වී සිටින ඇමති නලින්ද ජයතිස්සලා එදා සජිත්ට සිනහ වෙද්දී, ඔහු හුස්ම වැඩසටහනින් මේ රටේ අඩු පහසුකම් සහිත ග්රාමීය රෝහල් 77 කට උදව් කළේ, මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරනු පිණිසය.
අලි මිනිස් ගැටුම සහ නොඇසූ කන්
එමෙන්ම 2023 වසරේ අලි අතුන් 488ක් මියගිය පසුබිමක එම සතුන්ගේ ජීවිත මෙන්ම ග්රාමීය ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කරනුවස් පෙරට ආ සජිත් ප්රේමදාස අවස්ථා ගණනාවකදී මේ ගැටළුවට විසඳුම් ගෙනෙනු පිණිස යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය.
විපක්ෂ නායකවරයා ලෙස සජිත් පාර්ලිමේන්තුවේදී එය සභාගත කළ අතර ඊට අමතරව ඒ ගැන අවස්ථා ගණනාවකදී රටට පැහැදිලි කළේය.
“ මේ අලි මිනිස් ගැටුමට විසඳුම් විදිහට මහාචාර්ය පෘතුවිරාජ් ප්රනාන්දු මහත්තයා ඇතුළු විද්වතුන් කණ්ඩායමක් සකස් කරපු හොඳ ප්රායෝගික වැඩසටහනක් තියෙනවා. මේක කියන්නේ, ජේ. ආර් ද, ප්රේමදාස ද, චන්ද්රිකා ද? මහින්ද ද, අනුර කුමාර ද, සජිත් ප්රේමදාස ද කියන එක ප්රශ්ණයක් කරගන්න එපා. මේකේ තියෙන වැදගත් දේ විතරක් ගන්න. ඒ අරගෙන පැහැදිලි සැලසුමකට මේ වැඩේ කළමණාකරනය කරන්න. ඒක තමයි මගේ එකම ඉල්ලීම.”
සජිත් අවස්ථා ගණනාවකදී මේ සැලසුම ප්රායෝගිකව යොදා ගන්නැයි රටටම යෝජනා කළේ එලෙසය.
එහෙත් නෑසූ කන්ව සිටි මේ රටේ සියළු ආණ්ඩුවලට යළිත් කන් ඇරුණේ කාවන්තිස්ස මහ ඇතුගේ අභිරහස් වියෝව නිසාය.
වසර 30කට පසු කාවන්තිස්ස සජිත්ට දුන් දේ

පරිසරය හා බද්ධ වෙමින් මනසට විවේකයක් සොයනා අපූර්ව පරිසර ලෝලියකු වන සජිත් ප්රේමදාස නම් මිනිසා තුළ සැඟව සිටි සැබෑ චරිතය එළියට පැමිණියේ කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
ඒ අතරින් ඉදිරියෙන්ම සිටින කිහිප දෙනා අතර ආචාර්ය මහේෂ් හපුගොඩගේ නම කැපී පෙනේ.
ඊට හේතුව වී තිබුණේ, කාවන්තිස්ස ඇතුගේ මරණයෙන් පසු ඔහු සමාජ මාධ්ය ඔස්සේ පළ කල සටහන්ය.
සබරගමුව විශ්වවිද්යාලයේ සමාජ විද්යා සහ භාෂා අධ්යන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන ආචාර්ය මහේෂ් හපුගොඩ, කිසි දිනෙක සජිත්වාදියකු නොවූ අයෙකු ලෙස ප්රකටය, ඔහුව සමාජය හඳුනාගෙන ඇත්තේ විවිධ දේශපාලන කාරණා සමාජ විද්යාත්මකව සහ කාලීන ප්රවනතා ඔස්සේ විග්රහ කරන සරසවි ඇදුරෙකු ලෙසය.
කාවන්තිස්ස ඇත් රජු අසාධ්යව ගල්ගමුව, සියඹලන්ගමුව වෙල් යායේ වැටී සිටියදී ඔහු බලන්නට සජිත් ගිය ගමනත්, එහිදී සජිත් ඇතා සිප වැළඳ ගැනීමේ සිදුවීමත් දුටු ආචාර්ය හපුගොඩ ඒ ගැන අපූර්ව සටහනක් තබා තිබුනේය.
“ දැන් සතියකට විතර ඉස්සර අර සියඹලන්ගමුවේ කුඹුරක කාවන්තිස්ස වැටිලා හිටපු තැනට ගොඩක් අය ගියා අපි දැක්ක. ඒ අතර පරිසර ඇමති ධම්මික පටබැඳි මහත්තයත් උන්න. වනජීවී එකේ ප්රතිකාර කරන අය සහ ගම්වැසියෝත් කුඹුරට බැස්ස. හැබැයි දේශපාලනයේ අපි දන්නා කියන අයගෙන් මඬ කාගෙන කුඹුරටම බැස්සේ සජිත් විතරයි.”
සජිත් මඩට තිබ්බ කකුල
එලෙස ආරම්භ කළ සටහනට ඔහු යොදා තිබූ සිරස්තලය වූයේ ‘ සජිත් මඩට තිබ්බ කකුල’ කියාය.
“මම හිතනවා සජිත්, ඒ සියඹලන්ගමුව මඩ කුඹුරට තිබ්බ පය ඔහුගේ දේශපාලන ජීවිතය වෙනස් කරපු පියවරක් කියලා. ඔහු මීට කලිනුත් ඔය ඒදණ්ඩවල්වල අරහේ මෙහේ ගිහිල්ල තියනවා අවදානම අරගෙන. ඒ හින්ද මඩ කාලත් තියෙනවා. හැබැයි මේ පියවර විශේෂයි. මේ පියවර තිබ්බේ උපදේශකයෝ කියන හින්ද නෙවෙයි. කැමරාවටත් නෙවෙයි. ඇතාට තිබ්බ ආදරේ නිසා. ඇතාට උම්ම දුන්න. ආදරෙන් තට්ටුවක් දැම්ම. එතන ගැවසිල හිටිය. පස්සේ පාංශකූලේත් දුන්න. හැබැයි සියල්ල පටන්ගත්තේ අර මඩට තිබ්බ කකුලෙන්.”
රටක් දුටු මේ සිදුවීම ආචාර්ය මහේෂ් හපුගොඩ විග්රහ කර තිබුණේ අමුතුම කෝණයකින් වීමද විශේෂය.
“ මම මේක ගන්නේ වෙනත් තැනකින්. ආදර්ශයක් විදියට. ඒ කියන්නේ අපිට යමක් ළඟට යන්න පුළුවන්. උපරිමය ගිහිල්ල (ධම්මික ඇමතිතුමා වගේ) නතර වෙන තැනක් එනවනේ. ඊට පස්සේ යන්න ඕන නැහැ. ඇත්තටම ආපු දුර ඇති ඒ වැඩේ හැටියට. අපේ හිත කියනවා දැන් ඇති කියල. ඒක හරි. ඒ කියන්නේ ධම්මික ඇමතිතුමා ඇමතිවරයෙක් හැටියට රාජකාරිය ඇතුලේ ආපු දුර ඇති. ඉන් පස්සේ තවත් පොඩ්ඩක් ගියේ නැහැ කියල කවුරුත් මොනවත් කියන්නේ නැහැ. නීල් ආමස්ට්රෝන් සඳ මත කකුල තියල තව පොඩ්ඩක් ගියා. කකුල තිබ්බ එකම ඇති. ඉතුරු ටික බෝනස්. සජිත් ඒ මඩට තිබ්බ කකුල නිසා මිනිස්සු කවදාවත් නැති විදියට ඔහු ගැන කතා කළා. ඒ ඔක්කොම අර මඩට තිබ්බ කකුල නිසා ඔහුට දේශපාලන ජිවිතයේ ලැබෙන බෝනස්. ඔය අමතර අඩිය සජිත් තුළ හැමදාම තිබ්බ. හැබැයි හරියට පත්තු වුණේ මෙදා.” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
අරගලයෙන් එළවා ගැනීමත් අපරාධයක්
මීට දින කිහිපයකට පෙරද ආචාර්ය මහේෂ් හපුගොඩ තවත් විශේෂ සටහනක් තමන්ගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබිණි.
ඔහු ඊට යොදා තිබූ සිරස්තලය වුණේ, ‘ අපිට තිබ්බේ අරගලය ඇතුලේ සජිත් තියාගන්න’ කියාය.
ඔහු එහිදී විග්රහ කර තිබුණේ, සජිත් ප්රේමදාස නම් දේශපාලඥයා සහ අරගලයේ අරමුණු සමපාත වන අයුරුය.

“සජිත් කියන මනුස්සය කවුද කියන එක ගැන මේ ඉතාම මෑතක් වෙනතුරු පැහැදිලි සමාජ චිත්රයක් තිබ්බේ නැහැ කියල මම හිතනවා. සජිත්ගේ දේශපාලන නොවන ජීවිතය අතිශයින් පැහැදිලි වෙච්ච වෙලාවක් තමයි කාවන්තිස්ස ඇත් රජුගේ මරණය. ඒ ඔස්සේ සජිත්ගේ දේශපාලනය ඇතුලේ මාකට් නොවුණු කොටසක් සමාජයට නිරාවරණය වුනා. ඒක ආවේ ඔහුගේ පරිසර - සත්ව - වනජීවී - ඡායාරූප ආදරයේ ආත්මීය පැවැත්මක කොටසක් හැටියට. කාවන්තිස්ස අවසන් හුස්ම හෙලන්න කලින් ඔහු එතන කාටහරි කතා කරනවා. එතැනදී ඔහු කියනවා 'එයාට කාවන්තිස්ස කියල නම තිබ්බෙත් මම මීට අවුරුදු තිහකට කලින්' කියල. මට ඒ වෙලාවේ මේ මනුස්සයා ගැන පුදුම හිතුණා. ඒ එක්කම සජිත් කියනවා 'එයා හරි ලස්සන ඇතෙක්' කියල. මම කවදාවත් එහෙම 'එයා', 'ලස්සනයි' වගේ ආත්මීය වචන ඇතෙක් ගැන ලංකාවේ දේශපාලඥයෙක් කියනවා අහල තිබ්බේ නැහැ. එයා ඒක කියන්නේ ඇත්තටම ආත්මයෙන්. මම කල්පනා කළා අරගලයෙන් පන්නපු - සම්ප්රදායික දේශපාලනය කියල එකක හිටපු - හැබැයි අපි නොදන්නා කොච්චර වෙනස් සහ විශාල සජිත් කෙනෙක් ඉඳල තියනවද කියල.”
ආචාර්ය හපුගොඩ තමන්ගේ මෙම සටහන අවසන් කර තිබුණේ ඉතාම ගැඹුරු අඛ්යානයක් සමාජගත කරමින්ය.
“අපි වගේ ෆේස්බුක් පෝස්ට් දැකල ළඟ පිකප් වෙන අලි ප්රේමියෙක් නෙවෙයි සජිත්. ජීවිතෙන්ම එතන ඉන්න කෙනෙක්. විසි එක් වෙනි සියවසේ පාරිසරික දේශපාලනය වෙනුවෙන් ඔහු ඉන්න ඕනි කෙනෙක්. මම දැන් හිතනවා සජිත් අරගලය ඇතුලේ තියාගන්න තිබ්බ කියල. ඒ වගේම අරගලයේ අභිලාශ ඔහු ඔස්සේ ඉටුකරගන්න තිබ්බ කියල. ඔහු අරගලයට එන්න ඇත්තේ ඇත්තටම කියලත් මට හිතෙනවා. මොකද අරගලය ඇතුලේ හිටියෙත් සජිත් වගේ වෙනම දේවල් ටිකක් තිබ්බ මිනිස්සු.”
මෙලෙස ආචාර්ය මහේෂ් හපුගොඩ සිය මුහුණු පොතේ තැබූ සටහන් දෙක සැබවින්ම සජිත් ගැන යළි කියවීමකට සමාජ පසුබිම සකසා ඇති බව දැන්, දැන් පෙනෙන්නට තිබේ.
තවත් ඇතුන් 13කට ජීවිත තර්ජන
කාවන්තිස්ස ඇත් රජුගේ අකල් වියෝවත් සමඟ පසුගිය සතියේ පාර්ලිමේන්තුවද උණුසුම් විය.
හිස කඳින් වෙන් කර කාවන්තිස්සගේ සිරුර ස්ථාන දෙකක භූමදාන කිරීම ද දැන්, යළිත් සමාජය තුළ ආන්දෝළනයට තුඩු දෙන කාරණයක් වී තිබේ.
පරිසරවේදීන් පවසන්නේ, අධිකරණය හරහා අවසරයක් ලබාගෙන කාවන්තිස්ස ඇතුගේ සිරුර සංරක්ෂණය කිරීමට ආණ්ඩුව කටයුතු නොකළේ, කාලයාගේ ඇවෑමෙන් එම සිදුවීම සමාජයෙන් යටපත් කිරීම අරමුණු කරගෙන බවය.
කාවන්තිස්ස ඇතුගේ සිරුර, දළදා මාලිගාවේ රාජා හස්තියිගේ සිරුර මෙන් සංරක්ෂණය කර පරිශ්රයක තැන්පත් කළේ නම්, එය නැරඹීමට එන ජනතාවට එම සංවේදී සිදුවීම යළි, යළිත් සිහිපත් වීම මාලිමා ආණ්ඩුවේ දේශපාලන අනාගතයට සුභවාදී නොවනු ඇති බවට ඔවුන් කළ නිගමනය නිසා එම තීරණය ගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

කාවන්තිස්සගේ සිරුරට එසේ කිරීමට හේතුව ගැනත්, මරණයට තුටු දුන් සැබෑ හේතුව ගැනත් ආණ්ඩුව මුනිවත රකිද්දී, විපක්ෂ නායක සජිත් ප්රේමදාස පාර්ලිමේන්තුවේදී තවත් හෙළිදරව් කිහිපයක් සිදු කළේ.
“ කාවන්තිස්සට කලින් මියගිය අලි ඇතුන්ට සිදුවෙච්ච සිදුවීම්වලින් යම් පාඩමක් ඉගෙන ගත්ත නම්, කාවන්තිස්සගේ මරණය වලක්වන්න තිබුණා. වනජීවී එකට පශු වෛද්යවරුන් 33 දෙනෙක් අවශ්ය වුණත් ඉන්නේ 17යි. මම මේ ප්රශ්ණ අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. ඒත් කිසිම කෙනෙක් ගණනකට ගත්තේ නෑ, ඒකේ ප්රතිඵල තමයි අන්තිමට අපිට කාවන්තිස්සවත් නැති වුණේ. ඉතිං මේ ගැටලු විසඳන්නේ කවදද? මීට දශක කීපයකට කලින් කණ්ඩුල වෙඩි වැදිලා වැටිලා ඉන්නකොට යුද හමුදාවේ සහයෙන් ඒ ප්රතිකාර කඩිනම් කරන්න පුලුවන් වුණා. එවැනි පියවරක් කාවන්තිස්ස සම්බන්ධයෙන් අනුගමනය නොකළේ ඇයි ? ඇමතිතුමා එහේ ගිහිං හිටියා අපි දැක්කා. ඒ ගිහින් ගත්ත ක්රියාමාර්ග මොනවාද කියලත් අපි අහනවා. කාවන්තිස්ස ඇතාට තර්ජන තිබුණේ අද ඊයෙක ඉඳලා නෙමෙයි. ඒ බව දැන දැනත් ඇතාගේ ආරක්ෂාවට නිසි පියවර නොගැනීම ගැටලුවක්. ඒ නිසා මේ ඇතාගේ මරණය ඝාතනයක් බවට වූ සැකය අපිට ඉවත දමන්න බෑ. ඒ වගේම තවත් අවධානම් කාරණාවක් මම පැහැදිලි කරන්නම් අපි දළ වලින් බැලුවොත් ලොකුම දළ තියෙන ඇතා තමයි, මහසෙන් කියන ඇතා එයත් දැන් හොයාගන්න නෑ කියලා ආරංචීයි. එයා සැරිසැරුවේ මරදංකඩවල ප්රදේශය ආශ්රිතවයි. එයා ඇතුළු දළ ඇතුන් 13 දෙනෙක්ට මේ ජීවිත තර්ජන තියෙනවා. මම ආණ්ඩුවට යෝජනා කරනවා අර අග්බෝ හොයාගන්න ආරක්ෂක අංශ එක්කරගත්ත මෙහෙයුම වගේ මෙහෙයුමක් කරලා මේ ඇතාවත් හොයාගන්න. ඒ වගේම මේ ඇත් සම්පත ආරක්ෂා කරන්න Task Force එකක් හදන්න” යනුවෙන් සජිත් දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකළේය.
වෙනදා කථාවට බාධා කරන ආණ්ඩු පක්ෂයට සජිත්ගේ මේ කතාවත් සමඟ කීමට පිළිතුරක් තිබුණේ නැත. ඔවුන් ගල්ගැසී බලාසිටි ආයුරු පාර්ලිමේන්තු මාධ්ය කුටියේ සිටි සැමට දැකගත හැකි විය.
එකට එක්ව ඇත්ත හොයමු
මේ අතර කාවන්තිස්සගේ මරණය ඝාතනයක් බවට සැකමතුව ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටීමටත්, මේ සිදුවීමට අදාළ පාර්ශව කැඳවා ප්රශ්ණ කරන්නටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලා කථානායකවරයාට ලිපියක් භාරදීමටද සජිත් ඇතුළු විපක්ෂය කටයුතු කළේය.
එහිදී සජිත් කියා සිටියේ…, කථානායකතුමා
මේකට දේශපාලන බේදයක් අවශ්ය නෑ. කාවන්තිස්සගේ මරණය ගැන සොයන කමිටුව, ආණ්ඩුව හා විපක්ෂය නියෝජනයවන විදිහට සම සභාපතීත්වයෙන් යුතුව පිහිටුවලා අපි මේ වැඩේ විනිවිදභාවයෙන් කරගෙන යමු. මේ ගැනවත් හරි දෙයක් කරාවි කියලා අපි විශ්වාස කරනවා.”

උත්තර නැතිව ආණ්ඩුව හාන්සි කළ පැනය
මේ අතර සජිත් පසුගියදා ආණ්ඩුවට යෝකර් පන්දුවක් යොමු කළේය. එහිදී ඔහු ඉල්ලා සිටියේ 2027 අයවැය ඉදිරිපත් කිරීමට පෙර, 2026 වසර සඳහා ගෙන ආ අයවැයේ ප්රගතිය රටට ඉදිරිපත් කරන ලෙසය.
මෙය සාමාන්යයෙන් සම්ප්රදායක් ලෙස සිදුකළ යුත්තක් වුවද, පසුගිය වසරේදීද වත්මන් ආණ්ඩුව ඊට කල් මැරූ අයුරු සජිත්ට සිහිපත් වන්නට ඇත.
“දැන් 2027 අයවැයත් ඉදිරිපත් කරන්න ළඟයි. ඒත් 2026 අයවැයෙන් මොනවද වෙලා තියෙන්නේ කියල දැනගන්න මේ රටේ මිනිස්සු කැමතියි. අපිත් කැමතියි. මාස 08ක් තුළ රාජ්ය ආදායම 75.5% දක්වා වැඩිවෙලා කියලත් ඔබතුමන්ලා කියනවානේ. ඒ නිසා 2026 අයවැයෙන් රටටත්, ජනතාවටත් ලැබිල තියෙන ප්රතිලාභ ගැන රටටම කියන්න.” යනුවෙන් සජිත් යෝජනා කළේය.

ඊට පිළිතුරු දෙමින් නියෝජ්ය මුදල් අමාත්ය අනිල් ජයන්ත කීවේ, “විපක්ෂ නායකතුමා ඉදිරිපත් කළේ දැවැන්ත ප්රශ්නයක්. මේකට මේ මොහොතේ නම් උත්තර දෙන්න බෑ. මේකට උත්තර දෙන්න දීර්ඝ කාලයක් ගන්න වෙයි.” එහෙම කියූ ඇමති අනිල් ජයන්ත දෙපස බලමින් යළිත් පුටුවේ අසුන් ගත්තේය.
ජනපතිට - අගමැතිට පැටලුණු බදුලු බොරුව
පාර්ලිමේන්තු සතියට සමගාමීව විපක්ෂයේ මන්ත්රීවරුන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී විවිධ දෑ පිළිබඳ සාකච්ඡාවල නිරතවීම සාමාන්ය සිදුවීමකි. ඒ සාකච්ඡාවලදී බැරෑරුම් දේශපාලන කාරනා මෙන්ම, රසමුසු සිදුවීම් ගැනද අල්ලාප සල්ලාපයේ නිරතවීම සුලභව දැකගත හැකිය.
පසුගියදා (23) විපක්ෂයේ මන්ත්රීවරුන්ගේ බැරෑරුම් දේශපාලන කාරනා අතර තුර බයිට් එක වී තිබුණේ, ජනපති අනුර සහ අගමැති හරිනිය.
“ අර බදුල්ලේ ආතල් ටික දැක්කද?” එහෙම ඇසුවේ විපක්ෂයේ නියෝජ්ය ප්රධාන සංවිධායක අජිත් පී. පෙරේරා මන්ත්රීවරයාය.
“ මාත් දැක්ක මාර ජෝක් එක්ක වෙලා තිබුනා දෙන්නගේ කථා දෙක, හරිනි කියන එක නෙමෙයි, අනුර කියන්නේ, දෙන්න මරු ආතල් එකක් දීලා තිබුනා.”
මුජිබර් රහුමාන් මන්ත්රීවරයා එහෙම කියමින් කථාවට එක්විය.
ඊට අඩුවැඩිය දමමින් චමින්ද විජේසිරි කීවේ,”අපේ වැයික්කියෙ ඒ කියන්නේ බදුල්ලේ මිනිස්සු දැන් ඒ දෙන්නට කියන්නේ රෑ ඩැනියෙල්, දවල් මිගෙල් කියලා”
“ජනාධිපති කියනවා එක ගාණක්. අගමැති කියනවා තව ගාණක්. 23,000යි ලු... 30,000යිලු. දැන් කවුරු කියන එකද හරි. මේක විහිලු නෙමෙයි, මේ කරන්නේ ඩබල් ගේමක්, අගමැති වැඩි ගණනක් කියනවා. ජනාධිපති අඩු ගණනක් කියනවා. මේක දැක්ක නිසා රටට හෙළි වුනා. මෙයාලා මේ කරන්නේ මිනිස්සු ආයෙත් අන්දන එක. ජනතාවත් වටේ යවනවා. අපි ඉදිරියේදී ප්රශ්ණ කරන්න ඕන කෝ මේ කියපු දේවල් ගණන් හිලව් එක්කව ඉටු කළාද? කියලා. මේක ජොක් වගේ, වැරදුනා වගේ පෙන්නුවට මේක තමයි එයාලගේ වංචාකාරී සැලසුම්.” යළිත් මුජිබර් රහුමාන් මන්ත්රීවරයා එහි පරපතල යටි අරමුණක් ගැන ඉඟි කළේය.
චමින්ද විජේසිරි මන්ත්රීවරයා යළිත් අවධාරණය කළේ, “ ඒක හරි කැබිනට් එකේ ගන්න තීරණවල ඉලක්කම් එහෙම වරදින්නෙ කොහොමද ? එක්කෝ කයිවාරු ගැහුවට මුන්ට මේවා හරියට කියන්න තේරෙන්නේ නෑ, නැත්නම් අර කිව්වා වගේ වැරදුනා වගේ පෙන්නලා පචයක් ප්ලාන්ට් කරන වැඩක් තමයි ඔය කරන්නේ.”
“මේ ආණ්ඩුව ඉතිං පචේ උපතනේ, පච හන්ටර්ස් කියලා ඒ කාලෙම යූ ටියුබ් චැනල් හැදුන ඒක බලන් ගියහම වරදකුත් නෑ නේද?” අජිත් එහෙම කියද්දී හැමෝටම හිනාව නතර කරගන්නට බැරිවිය.
පිටකවරය බලලා නඩු දාන අලුත්ම ක්රමය
ත්රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව පවසමින් බලය ගත් මාලිමා ආණ්ඩුව, තවත් භයානක වගන්ති සහිතව මර්ධනකාරී පනත් ගෙනඒමට සැලසුම් කර ඇති බව රටට මුලින්ම අනාවරණ කරන්නට සමගි ජනබලවේගය කටයුතු කළේය. මෙම අනාවරණයත් සමග මේ පිළිබඳ සමාජයම ප්රශ්න කරන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ.
සමගියේ බොරැල්ල ආසන සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මෙම පනත් කෙටුම්පත් ගැන පැහැදිලි කරමින් පෙන්වා දුන්නේ, සංවිධානාත්මක අපරාධ මැඩලීමේ මුවාවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමේ යටි අරමුණකින් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවය.
“සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ක්රියාවලියට මුවාවෙලා ආණ්ඩුව ඒකාධිපති පනතක් සම්මත කරන්න ලෑස්තිවෙනවා. ත්රස්තවාදය වැලැක්වීමේ පනතට අනුව සාමාන්ය නීතියෙන් ඔබ්බට ගිහින් ක්රියාකරන්න විමර්ශකයින්ට බලය ලැබෙනවා. ඒත් මේ පනත මිනිස් අයිතීන් මැඩලන පනතක්. පච්චයක් කෙටීම, කොණ්ඩ මෝස්තර දැමීම අද කාලේ විලාසිතාවක් වුණත්, අලුත් පනතට අනුව මේ වගේ විලාසිතා කිරීමත් අති භයානකයි. අපරාධ කල්ලියකට සම්බන්ධ කෙනෙක්ගේ ශරීරයේ තියෙන පච්චයකට සමාන පච්චචයක් තවත් අහිංසක සිවිල් පුද්ගලයකුගේ ශරීරයේ කොටල තියෙන්න පුලුවන්. මොකද ඒවා පච්ච කොටන මධ්යස්ථානවල තියෙන විලාසිතා, ඒවා තමන්ට අභිමත විදිහට සිලෙක්ට් කරන්න පුලුවන්. ඒ විදිහට පච්චක් පාතාල සාමාජිකයගේ පච්චයකට සමාන වුණොත්, විලාසිතාවට පච්චය කොටලා ඉන්න කෙනාවත් අත්අඩංගුවට අරගෙන විමර්ශන කරන්න පොලිසියට අවසර ලැබෙනවා. කොණ්ඩයට - කොණ්ඩය, පච්චයට - පච්චය, කරාබුවට - කරාබුව සමාන නම් ඒ ගැන විමර්ශනය කරන්නට පොලිසියට බලය දෙන පනතක් තමයි මේ ආණ්ඩුව සම්මත කරන්න හදන්නේ.පිටකවරය බලා පොත ඇතුලේ ඇති දේ තීරණය කරන නීතියක් ගෙනඑන්න තමයි ආණ්ඩුව මේ උත්සාහ කරනේ. ආණ්ඩුව දැඩි මර්ධනයකට තමයි මේ සැරසෙන්නේ.” මෙම පනත් කෙටුම්පත්වල ඇති භයානක තත්ත්වය නීතිඥ රජිත ලක්මාල් එලෙස අවධාරණය කළේය.
දහම් පාසල් දරුවන්ගේ අභිමානයට අතහිත
“ දහම් සිසු අභිමන් 2026” වැඩසටහන යටතේ දහම් පාසල් තරඟවලින් ජයග්රහණ ලැබූ දරු දැරියන් සඳහා ත්යාග හා සහතික පත් ප්රධානය කිරීම වෙනුවෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී උත්සවයක් සංවිධාන කර තිබුණි.
මේ සඳහා අඛණ්ඩව තම අනුග්රහය දක්වන සජිත් දහම් පාසැල් සිසු දරුවන් වෙත රු. ලක්ෂ 12ක් වටිනා ත්යාග ප්රදානය කිරීමට මෙවර ද පියවර ගෙන තිබුණි.
(මම | බංගලා හන්දියේ ලියුම්කරු)




