The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

එංගලන්ත සභාවේ නායකත්වය කාන්තාවකට - තවමත් පුරුෂාධිපත්‍යය රජයන බෞද්ධ සහ කතෝලික සංස්ථා | Saroj Pathirana

T

The Leader Desk

October 6, 2025 • 9:03 AM

එංගලන්ත සභාවේ නායකත්වය කාන්තාවකට - තවමත් පුරුෂාධිපත්‍යය රජයන බෞද්ධ සහ කතෝලික සංස්ථා | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලොව පුරා රටවල් 165ක පමණ විසිරී සිටින මිලියන 100ක් පමණ බැතිමතුන් එංගලන්ත සභාව නියෝජනය කරති.
  • වසරේදී පූජකවරම ලැබූ, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ විශ්‍රාමික ප්‍රධාන හෙදියක වන සේරා මලාලි ආදිපාදවරිය (Dame Sarah Mullally) 2018 දී ලන්ඩන් රදගුරුතුමිය ලෙසින් පත්කරනු ලැබුවේ එම පදවියට පත් පළමු කාන්තාව බවට පත්වෙමින්.
  • ලන්ඩන් රදගුරු පදවිය සැලකෙන්නේ, එංගලන්ත සභාවේ තුන්වෙනි ප්‍රධානියා ලෙසින්.
  • වසර 500 කට පමණ ඉහතදී කතෝලික සභාවෙන් බෙදී වෙන්වූ එංගලන්ත සභාව කාන්තාවක සිය නායකත්වයට පත්කරගනු ලැබුවත්, කතෝලික සභාව තවමත් කාන්තාවන්ට රදගුරු පදවියක් පවා පිරිනැමීමට සූදානම් නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):
ලොව පුරා රටවල් 165ක පමණ විසිරී සිටින මිලියන 100ක් පමණ බැතිමතුන් එංගලන්ත සභාව නියෝජනය කරති.
 
එංගලන්ත සභාව විසින් 63 හැවිරිදි සේරා මලාලි ආදිපාදවරිය කැන්ටබරියේ අගරදගුරු (Archbishop of Canterbury) පදවියට පත්කරගෙන තිබෙන්නේ, ලෝකයේ කිතුණු බැතිමතුන් බිලියන 1.4ක් පමණ නියෝජනය කරන කතෝලික සභාවට මෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු රටවල බෞද්ධ මහානායකත්වයට ද පුරුෂාධිපත්‍යය පිළිබඳ බරපතල චෝදනා එල්ල වී තිබියදීය.
ebr657u56u7
 
2006 වසරේදී පූජකවරම ලැබූ, බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ විශ්‍රාමික ප්‍රධාන හෙදියක වන සේරා මලාලි ආදිපාදවරිය (Dame Sarah Mullally) 2018 දී ලන්ඩන් රදගුරුතුමිය ලෙසින් පත්කරනු ලැබුවේ එම පදවියට පත් පළමු කාන්තාව බවට පත්වෙමින්. ලන්ඩන් රදගුරු පදවිය සැලකෙන්නේ, එංගලන්ත සභාවේ තුන්වෙනි ප්‍රධානියා ලෙසින්.

ලබන වසරේ ජනවාරි මාසයේ සිට ඇය සභාවේ ප්‍රධානියා වශයෙන් ඓතිහාසික පත්වීමක් ලබන්නේ ඉන් අනතුරුවයි. සම්ප්‍රදායික වශයෙන් බ්‍රිතාන්‍ය රජතුමා හෝ රැජින එංගලන්ත සභාවේ ප්‍රධානියා වශයෙන් සැලකෙන නමුත්, එහි ආධ්‍යාත්මික නායකයා කැන්ටබරි හි රදගුරුවරයායි.
වසර 500 කට පමණ ඉහතදී කතෝලික සභාවෙන් බෙදී වෙන්වූ එංගලන්ත සභාව කාන්තාවක සිය නායකත්වයට පත්කරගනු ලැබුවත්, කතෝලික සභාව තවමත් කාන්තාවන්ට රදගුරු පදවියක් පවා පිරිනැමීමට සූදානම් නැහැ.
එහි ප්‍රතිඵලයක් ලෙසින් කතෝලික සභාවේ පුරුෂාධිපතිවාදී ආකල්පවලට විරෝධය පාමින් කාන්තාවන් 15 දෙනෙකු පමණ දැනටමත් සභාවට එරෙහිව යමින් කැරලිකාර රදගුරු (බිෂොප්) පදවිවලට පත්වී සිටිති.

කතෝලික සභාවේ පුරුෂාධිපත්‍යය

559532266 10161504065877155 5849018341889107518 n
මීට වසර කිහිපයකට පෙර, ආගමික සංස්ථාවල පුරුෂාධිපත්‍යය පිළිබඳව බීබීසී ලෝක සේවය වෙනුවෙන් කළ වැඩසටහනක් සඳහා එවැනි එක් රදගුරුවරියක් සමග කතා කිරීමට මට අවස්තාව ලැබිණ.

ඇය රදගුරු පැට්‍රීෂියා ෆ්‍රෙසන් (Patricia Fresen).

( අදාල බීබීසී ලිපිය මෙන්න)

දකුණු අප්‍රිකාවේ වෙසෙන 80 හැවිරිදි පැට්‍රීෂියා පවසන අන්දමට, සමස්ත ලෝකයේම රදගුරු පදවිය ලැබූ තුන්වෙනි කාන්තාව ඇයයි.

කතෝලික සභාවෙන් ඉවත්ව ගිය කැරලිකාර රදගුරුවරුන් පිරිසක් සමග එක්ව බිෂොප් පදවියට පත්වීමෙන් අනතුරුව කතෝලික සභාව විසින් ඔවුන් සභාවෙන් නෙරපා හරින ලදි.
"කාන්තාවට අයිති කුස්සියයි, දරුවෝ බලාගන්න එකයි කියල එයාල කියන්න පටන් ගත්තා; එයාල කියන්නේ ඒ නිසා කාන්තාවට පූජක වරම් දෙන එක වැරදියි කියලා. ඒ විදියට මධ්‍යතන යුගයේදී පටන්ගත්ත අතිශය දැඩි පුරුෂාධිපත්‍යය අද වෙනකල්ම සභාවේ තියනවා," රදගුරු පැට්‍රීෂියා මා සමග කීවාය.
අසාධාරණ නීතියක් වෙනස්කිරීම පිණිස තිබෙන එකම ක්‍රමය එය උල්ලංඝනය කිරීම යයි නෙල්සන් මැන්ඩෙලා විසින් පෙන්වා දී තිබෙන බව පවසන රදගුරු පැට්‍රීෂියා අවධාරණය කරන්නේ, "අසාධාරණ පුරුෂාධිපතිවාදී" නීතිවලට එරෙහිව පූජකවරියන්ට ද එම ක්‍රමවේදය අනුගමනය කිරීමට සිදු වී තිබෙන බවය.
 
558343799 10161504069872155 5614096606440689026 n 1
"ඒ නිසා තමයි අපි කතෝලික සභාව දාලා එංගලන්ත සභාවට නොයන්නේ. මොකද එහෙම ගියොත් කතෝලික සභාව වෙනස් වෙන්නේ නෑ," ඇය බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

"අපිට පූජකවරියක් ඕනේ කියල ඇමෙරිකාවේ කොයිතරම් පිරිසක් ඉල්ලනවද, පිරිමි පවා ... ඇත්තටම ඒක හරිම අපූරුයි."

වසර ගණනාවක ආගමික මෙහෙවරකින් අනතුරුව, මා ඇය අමතන අවස්තාව වනවිට ඇය සැරසෙමින් සිටියේ සිය අරගලය මීළඟ පරපුරට පවරමින් පදවියෙන්  සමුගැනීමට.

බෞද්ධ සංස්ථාවේ පුරුෂාධිපත්‍යය

සභාවේ නායකත්වය කාන්තාවකට පැවරීමට එංගලන්ත සභාව ඓතිහාසික තීරණයක් ගත්තත්, කරුණාව සහ මුදිතාව මත පදනම් වූ බව පැවසෙන බෞද්ධ නායකත්වය අඩුම තරමින් කාන්තාවන්ගේ පූජකවරය පවා පිළිගැනීමට සූදානම් නැහැ.
 
ලංකාවෙත්, තායිලන්තය ඇතුළු ථේරවාද බෞද්ධ රටවලත් බෞද්ධ භික්ෂූන් වහන්සේ ගේ තර්කය වී තිබෙන්නේ මීළඟ බුදු හිමියන් පහළවන තුරු භික්ෂුණී ශාසනය පිහිටුවිය නොහැකි බව.
එහෙත් කාන්තාවන් "දෙවෙනි පෙළ" පුරවැසියන් ලෙසින් සලකමින් බෞද්ධ සංස්ථාව තුළ කෙරෙන නොසලකා හැරීම් බුදුන් වහන්සේ අනුමත නොකරන බව සසුන්ගත වූ බෞද්ධ කාන්තාවෝ පවසති.
 
558252461 10161504067897155 888713130949104729 n
භික්ෂූන් වහන්සේගේ මේ ආකල්පය නිසා ලංකාවේ බෞද්ධ භික්ෂුණීන් ට ජාතික හැඳුනුම්පත පවා අහිමි බව දැන් බොහෝ දෙනාට රහසක් නොවේ. භික්ෂු සංස්ථාවේ මේ නොසලකා හැරීම් වලට විරුද්ධව මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා තීන්දුවක් දුන්නත්, ඒ තීන්දුව ක්‍රියාත්මක වෙනවද කියල තවමත් දැනගන්න නැහැ.  

ලංකාවේ භික්ෂුණීන් වහන්සේ ගේ ඉරණම ගැන බීබීසී සංදේශය වෙනුවෙන් මම විශේෂාංග කිහිපයක්ම කළා ඔබට මතක ඇති. (අදාල බීබීසී ලිපිය මෙන්න)
 
558655874 10161504068777155 3412120163374488867 n
"මේ ලෝකෙ මම කියල කෙනෙක් ඉන්නවා කියල කිසිම නිල ලියවිල්ලක නෑ. මට නිල අනන්‍යතා සහතිකයක් නැහැ," මහරගම උත්පලවන්නා භික්ෂුණීන් වහන්සේ මාත් එක්ක කිවුවේ ඒ වැඩසටහනක් වෙනුවෙන් හමුවුන වෙලාවක.
 
හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ මහනාහිමිවරුන්ගේ ස්ථාවරය හඳුන්වන්නේ "ලිංග භේදය මත පදනම් වී" කාන්තාවන්ට එරෙහිව කෙරෙන නොසලකා හැරීමක් විදියට.
 
558614256 10161504071042155 8899066904081272132 n
"බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ පුරුෂයාට පමණයි නිවන් දකින්න මාර්ග පල ලබාගන්න පුළුවන් වෙන්නේ, ස්ත්‍රියට නොහැකියි කියල," උන් වහන්සේගේ හඬ දැඩිය. වේදනාව, අපේක්ෂා භංගත්වය මෙන්ම කිසියම් උපේක්ෂා සහගත ස්වරයක් ද ඒ හඬේ ගැබ්ව ඇතැයි මට සිතිණ.
ඒ උන් වහන්සේ උපසම්පදාව ලැබූ 1998 සිට ගතව ගිය දශක කිහිපය තුළ තමන් ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේට විඳින්නට සිදු වූ අනේකවිධ දුක් ගැහැට හේතුවෙනි.

ආගමික සංස්ථා සම්ප්‍රදායිකවම ගතානුගතිකවාදී යි.

නමුත් වෙනස්වෙන ලෝකයත් එක්ක එංගලන්ත සභාව වගේ ගතානුගතිකවාදී සංස්ථාවක් පවා වෙනස්වෙමින් තිබුනත්, කතෝලික සභාව සහ බෞද්ධ නායකත්වය වගේ ආයතන තවමත් වෙනස්වෙන්න සූදානම් බවක් දකින්න නැහැ.

Xv1 Cg6r 200x200(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 04

සබැඳි ලිපි :

කතෝලික සභාවේ 'පුරුෂාධිපත්‍යයට' එරෙහිව සටන් කරන 'රදගුරුවරියක්': "කාන්තාවට අයිති කුස්සියයි, දරුවො බලාගන්න එකයි කියල එයාල කියන්න ගත්තා"

ශ්‍රී ලංකාවේ "පුරුෂාධිපත්‍යයෙන්" පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ: "ඇයි අපි කල්ලතෝනි කරන්නේ?"

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...