The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'අරගලයෙන්' පස්සේ එක රැයින් මුළු පොලිසියම විසුරවපු හැටි... | Saroj Pathirana

T

The Leader Desk

October 27, 2025 • 6:25 AM

'අරගලයෙන්' පස්සේ එක රැයින් මුළු පොලිසියම විසුරවපු හැටි... | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, නෙදර්ලන්තය හරහා දවස් දෙකක් කෝච්චියේ ගියපු ඒ ගමන හරිම අපූරු අත්දැකීමක්.
  • විදේශික ශිෂ්‍යයෙක් නිසා පැමිණිල්ල ලියා ගත්ත වුණත්, මට වෙච්ච අකරතැබ්බය ගැන උන් තඹේකට ගණන් ගත්තේ නැති බව මට තේරුණා.
  • එක්කෝ උන් මගෙන් පගාවක් බලාගෙන ඉන්න ඇති.
  • දීර්ඝම කාලයක් සෝවියට් දේශයේ විදේශ ඇමතිවරයා විදියට හිටපු එදුවාර්ද් ෂෙවර්නාද්සේ (Eduard Shevardnadze) ගේ පාලනයට එල්ලවුණ බරපතල දූෂණ, වංචා චෝදනාත් එක්ක 2003 දී ජෝර්ජියාවේ ජනතාව පාරට බැස්ස.
අකුරු ප්‍රමාණය (Font Size):


පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය, නෙදර්ලන්තය හරහා දවස් දෙකක් කෝච්චියේ ගියපු ඒ ගමන හරිම අපූරු අත්දැකීමක්. ඒ ගැන වෙනම දවසක ලියන්නම්.

එහෙම ගිහින් මාස දෙකක් විතර එංගලන්තේ 'ගිටාර් ගහල' ආයෙත් කීව් (කියෙෆ්) නගරයේ මගේ හොස්ටල් එකට එනකොට ගොඩක් වෙලාවට මගේ room එක හොරු කඩල.

එක සැරයක් මේ හොරු මගේ කාමරේ ඉතිරි කරල තිබුණෙ ඇඳ විතරයි. ගෙනියන්න පුළුවන් හැම දෙයක්ම - මට මතක විදියට fridge එක පවා - හොරු අරගෙන ගිහින් තිබුණ.


train enga
මම පොලිසියට ගිහින් පැමිණිලි කළා. විදේශික ශිෂ්‍යයෙක් නිසා පැමිණිල්ල ලියා ගත්ත වුණත්, මට වෙච්ච අකරතැබ්බය ගැන උන් තඹේකට ගණන් ගත්තේ නැති බව මට තේරුණා.

මගේ නැතිවෙච්ච බඩු ටික හොයාගත්තද අහන්න තව දෙතුන් පාරක් පොලිසියට ගියත් පොලිසියට ඒ ගැන වගේ වගක් තිබුණේ නැහැ.

එක්කෝ උන් මගෙන් පගාවක් බලාගෙන ඉන්න ඇති. නැත්නම් හොරා කවුද කියල පොලිසිය හොඳටම දන්නවා. මොකද මේක ඒ හොස්ටල් එකේ කිහිප වතාවක්ම සිද්දවෙච්ච දෙයක්.

ඊළඟ දවසේ පොලිසියට ගියහම පොලිසිය මට කියනවා - "දවායිත්තේ ශිත් ද්රූශ්න" කියල. පැමිණිල්ල අස් කරගෙන "අපි යාලුවෝ වගේ ඉඳිමු" කියල පොලිසිය මට යෝජනා කළා. වෙන මොනවා කරන්නද, මම පැමිණිල්ල අස්කර ගත්ත.

මේ ටික මට කියන්න ඕන වුණේ සෝවියට් දේශයේත්, සෝවියට් දේශයෙන් බිඳී ගිය රටවලත් පොලිසිය කොයි තරම් දූෂිත ද කියන්න. ලංකාවේ වගේම තමයි.
අපි හිටපු දවස්වල පොලිසියට පගාව දීල ඕනම දෙයක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට පගාව ගන්නම පොලිසිය විදේශිකයින්ට හිරිහැර කරන අවස්ථාත් තිබුණ. මම හිතන්නේ ඒ ගොඩක් රටවල අදත් ඒ තත්වයේ ලොකු වෙනසක් නැහැ.  

572074487 10161585732272155 3049975700621312492 n
සෝවියට් දේශයෙන් බිඳිලා ගිය ජෝර්ජියාව එහෙම අන්ත දූෂිත පොලිසියක් තිබුණ එක රාජ්‍යයක්.

දීර්ඝම කාලයක් සෝවියට් දේශයේ විදේශ ඇමතිවරයා විදියට හිටපු එදුවාර්ද් ෂෙවර්නාද්සේ (Eduard Shevardnadze) ගේ පාලනයට එල්ලවුණ බරපතල දූෂණ, වංචා චෝදනාත් එක්ක 2003 දී ජෝර්ජියාවේ ජනතාව පාරට බැස්ස. ලංකාවේ අරගලය වගේ. ඒකට කියන්නේ Rose Revolution කියල.

එහෙම පාරට බැහැපු ජනතාව 2022 දී අරගලයෙන් ගෝඨාභය රාජපක්ෂ එලවල දැම්ම වගේ ෂෙවර්නාද්සේ එලවල දාල මිහයීල් සාකෂ්විලි (Mikheil Saakashvili) බලයට ගෙනාව.

Mikheil Saakashvili

2024 දී අනුර කුමාර දිසානායක බලයට පත්වුණ විදියටම තරුණ සාකෂ්විලි ජෝර්ජියාවේ බලයට පත්වෙන්නෙත් දූෂණ, වංචාවලට වැට බඳිනවා කියල පොරොන්දු වෙලා. විශේෂයෙන්ම ඒ වෙනකොට පොලිසිය ගැන ජනතා විශ්වාසය 10%කටත් වඩා පහල වැටිලා තිබුණ.

මේක වෙනස් කරන්න සාකෂ්විලි අනුගමනය කෙරුවේ අපූරු උපක්‍රමයක්. සමහරු ඒකට කිවුවේ Shock Therapy කියල.

බලයට පත්වෙලා වැඩි දවසක් යන්න කලින්ම - 2004 මැද භාගයේ - සාකෂ්විලි එක රැයකින් මුළු පොලිස් බලකායක්ම විසුරුවල දැම්ම. එදා GAI (State Automobile Inspection) කියල හඳුන්වපු ජෝර්ජියාවේ සමස්ත රථවාහන පොලිස් බලකායටම (16,000කට) රැකියා අහිමිවුණා. මොකද ජෝර්ජියානු පොලිසියේ දූෂිතම කොටස හැටියට සැලකුණේ ඔවුන්. ඒ වෙනකොට මුළු පොලිසියේම හිටියේ 30,000 ක විතර පිරිසක්.

ඊට පස්සේ Traffic Police වෙනුවට ආණ්ඩුව Patrol Police කියල අලුත් පොලිස් සේවයක් ස්ථාපිත කළා. තරග විභාගයක් පවත්වල ඒකට බඳවා ගත්තේ අලුතෙන්ම පිරිසක්. Traffic Police එකේ හිටපු කිසිම කෙනෙක් ආයෙත් පොලිසියට බඳවා ගත්තේ නැහැ.  

police jor

විශේෂම දේ තමයි ජනාධිපති සාකෂ්විලි ගේ අලුත් වැඩසටහනෙන් Patrol Police ඒකකයේ සාමාජිකයින් ගාණ විශාල වශයෙන් අඩු කළා. නමුත් ඒ අලුතෙන් බඳවා ගත්ත පිරිසගේ වැටුප පරණ ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේ වැටුප වගේ දස ගුණයකින් විතර වැඩි කළා. ඔහු එතැනිනුත් නැවතුණේ නැහැ. අලුත් පොලිස් බලකායත් අල්ලස් ගන්නවද, බලය අයුතු ලෙස පාවිච්චි කරනවද බලන්නත් ඔහු විශේෂ වැඩපිළිවෙලක් සකස් කළා. එහෙම සාක්ෂි ලැබුණ ගමන් ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගත්ත.

මේ වැඩේ කරන්න අලුත් ජනාධිපතිවරයාට එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් මූල්‍ය අනුග්‍රහය ලැබුණ වගේම නිලධාරීන් පුහුණු කරන්නත් පූර්ණ සහය ලැබුණ.  

පොලිසියේ අනිත් ඒකක විසුරුවේ නැති වුණත්, ජනාධිපති සාකෂ්විලි ඒ හැම ඒකකයකම පූර්ණ ප්‍රතිසංවිධානයක් කළා. මේ ක්‍රියාවත් එක්ක කිසිම විදියකින් දූෂණ, වංචා ඉවසන්නේ නැහැ කියල ජනාධිපතිවරයා සමස්ත සමාජයටම බොහොම පැහැදිලි පණිවුඩයක් දුන්න. ඔහුගේ මේ ක්‍රියාව සැලකෙන්නේ පශ්චාත්-සෝවියට් සමයේ දූෂණ, වංචාවලට චිරුද්ධව ගත් එඩිතරම ක්‍රියාමාර්ගයක් හැටියට.

 

sri lanka police

ජනාධිපති සාකෂ්විලිගේ මේ ප්‍රතිසංවිධානයේ ප්‍රතිඵලයක් හැටියට 10%කටත් අඩු මට්ටමක තිබුණ පොලිසිය ගැන ජනතා විශ්වාසය 80%කටත් වඩා ඉහළ ගියා. ඒ වගේම පොලිසිය මහ පාරේදී ජනතාවගෙන් අල්ලස් ගැනීම එහෙම පිටින්ම වගේ නැතිවුණා.

පොලිසියේ පහළ මට්ටමේ නිලධාරීන්ගේ දූෂණ ඒ විදියට බිඳ දැම්මත්, අවුරුදු 20කට පස්සේ වෙනත් බොහෝ රටවල වගේ ජෝර්ජියාවෙත් ඉහළ මට්ටමෙන් සිද්දවෙන දූෂණ, වංචා (white-collar corruption) එහෙම පිටින්ම නැතිවෙලා නැහැ. නමුත් පොලිසියේත්, සමස්ත සමාජයේත් දූෂණ, වංචාවලට විරුද්ධව විප්ලවයක් කරන්න 'අරගලයෙන්' බලයට පත්වුණ ජෝර්ජියාවේ තරුණ ජනාධිපතිවරයා කටයුතු කළ බව ලියා තැබීම වැදගත් කියල මට හිතුණ.

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 24

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...