අධිකරණයේ දී හෙළි වූ ආකාරයට මීට දශක තුනකට පමණ ඉහතදී විජිත හිමි මේ දැරියන් පිරිස ලිංගික අපයෝජනයට ලක් කරලා තියෙන්නේ, ඔවුන්ට රස කැවිලි දී ඔහු වැඩ විසූ විහාරස්තාන දෙකක සිය කුටියට කැන්දාගෙන ගොසින්.
1994 සහ 2002 වසර ඇතුළත කාලයක දරුවන්ට එරෙහිව කරන ලද ලිංගික අපරාධ චෝදනා 17 කට වැරදිකරු බව ජූරි සභාව විසින් තීරණය කිරීමෙන් අනතුරුව එහිමියන්ට දස වසරකට වැඩි සිර දඬුවමක් නියම කෙරෙනු ඇති බව ඕස්ට්‍රේලියාවේ ABC පුවත් සේවය වාර්තා කරනවා.

නාඔටුන්නේ විජිත හිමියන්ට එරෙහිව එල්ල වී තිබූ එක් ළමා අපචාර චෝදනාවකට එහිමියන් නිවැරදිකරු බව ජූරි සභාව තීරණය කළා. තවත් එක් චෝදනාවක් ගැන ජූරිය තවමත් තීරණයකට එළැඹී නැහැ.
චුදිත හිමි චෝදනාවලට වැරදිකරු බව ජූරි සභාව දැනුම් දුන් අවස්ථාවේ ඔහු කිසිදු හැඟීමක් පළ නොකළත්, නඩු විභාගය පැවති සෑම දිනකම අධිකරණයට පැමිණි විහාරස්ථානයේ දායකයින් ඒ අවස්ථාවේ කඳුළු සැලූ බවත් ඒබීසී පුවත් සේවය සඳහන් කොට තිබුණා. මේ දායකයින් සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ද, ඕස්ට්‍රේලියානුවනුත් ඒ අතර හිටියද කියල පැහැදිලි නැහැ.
ලන්ඩන් පන්සලේ අත්දැකීම
පහලගම සෝමරතන හිමි
මීට වසර ගණනාවකට කලින් හත් හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් කිරීමේ චෝදනාවට පහලගම සෝමරතන හිමියන් වැරදිකරු බව තීරණය කළ අවස්ථාවේ සෙල්ස්ඩන් බෞද්ධ විහාරස්තානයේ දායකයෝ හැසිරුණේත් මේ විදියටමයි. දායකයින් පිරිසක් සෝමරතන හිමි වහාම විහාරස්ථානයෙන් ඉවත් කළ යුතු බවට හඬ නැගුවත්, විශාල පිරිසක් පෙනී හිටියේ ළමා දූෂක භික්ෂුව වෙනුවෙන්. පැහැදිලිවම ඒ වෙලාවේ සෙල්ස්ඩන් පන්සලේ දායක සභාව දෙකට බෙදිලා කොටසක් ඉවත්වෙලා ගියා.
ඒ වෙලාවේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් පෙනී හිටියේ අවුරුදු හතක ශ්‍රී ලාංකික දැරියකට ලිංගික අපරාධයක් කළ භික්ෂුව වෙනුවෙන්. කොටින්ම ඒ බොහෝ දෙනා අපරාධයට ලක්වුණ දැරියට - ඇය ඒ වෙනකොට මවක් - අපහාස කරන්න පවා පෙළඹුණා. ඔවුන්ට අනුව අපරාධය කරලා තිබුණෙ භික්ෂුව නෙවෙයි, භික්ෂුවට දඬුවම් දෙන්න කටයුතු කළ වින්දිත දැරිය!. භික්ෂුව ඔවුන්ගේ දරුවෙකුට ඒ අපරාධය කළා නම් ඔවුන් ඒ විදියට හැසිරේවිද කියල මට පුදුම හිතුණ.
කොහොමහරි දායක සභාවේ කොටසකගේ මේ අමානුෂික හැසිරීම නිසා අවුරුදු හතකට සිර දඬුවම් ලබපු පහලගම සෝමරතන අවුරුදු තුනකට විතර පස්සේ නිදහස් වෙලා ආයෙත් ආවේ ඒ පන්සලටමයි. නමුත් ඔහු දැන් බ්‍රිතාන්‍යයේ ළමා අපයෝජකයින්ගේ ලැයිස්තුවේ නම ඇතුළත් අපරාධකරුවෙක්. ඒ නිසා සෙල්ස්ඩන් පන්සලේ හිටියත් උන්නාන්සෙට දරුවෙක් සමීපයට යාම බ්‍රිතාන්‍ය නීතියෙන් තහනම්.
"සමලිංගික" ඇහුවම බයවෙන මහානායකවරු

බ්‍රිතාන්‍යයේ එහෙම වුණාට ලංකාවේ නම් පහලගම සෝමරතන ට ඒ කිසිම තහනමක් නැහැ.
එහිමියන් අදත් ගම්පහ පළාතේ විහාරාධිපති කෙනෙක්. ඒ වගේම කිසිම තහනමක්, සීමාවක් නැතුව දරුවෝ එක්ක සමීපව කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි හිරෙන් නිදහස් වෙලා ආපු පහලගම සෝමරතන හාමුදුරුවෝ යහපත් කල් ක්‍රියාව ගැන පොතකුත් ලියල publish කළා!
හැබැයි අනේ අපේ මහා නායක හිමිවරු නම් මේ කිසි දෙයක් ගැන හාංකවිසියක් දන්නේ නැහැ.
දරුවන්ට එහෙම අපරාධයක් කරලා හිරේ හිටපු භික්ෂුවක් තමන්ගේ නිකායේ විහාරාධිපති කෙනෙක් කියලවත් නායක හිමිවරු දන්නේ නැතුව ඇති.

හැබැයි තවමත් සසුනේ ඉන්න එහෙම අපරාධකරුවෝ ගැනවත්, දරුවන්ට විහාරස්ථානවල සිද්දවෙන ලිංගික අපරාධ සහ ශාරීරික හිංසන ගැනවත් කිසි දෙයක් දන්නේ නැති අපේ මහානායක හාමුදුරුවරු "සමලිංගික" කියල වචනයක් ඇහුණ ගමන් එකපාරටම කුම්භකර්ණ නින්දෙන් ඇහැරෙනවා. එක අතකට පුදුම වෙන්න දේකුත් නෑ, ලංකාවට "හිට්ලර් වගේ" පාලකයෙක් ඉල්ලුවෙත් මේ මහනායක හිමිවරුමනේ.

ඒ වගේම මේ වගේ අපරාධකාරයින්ගෙන් බේරෙන්නේ කොහොමද කියල දරුවන්ට කියල දෙන "අපේ හතේ පොත" වගේ පෙළ පොතක් දැක්ක ගමන්, පන්සලේ සිද්දවෙන වෙන කිසිම අපරාධයක් දකින්නේ නැති, මැදගොඩ අභයතිස්ස වගේ විමල් වීරවංශ වෙනුවෙන් පිණ්ඩපාත ගියපු භික්ෂුවනුත් හරියට කුලප්පු වෙනවා.
ඉතින් මට හිතෙන්නේ නාඔටුන්නේ විජිත ත් දඩුවම ඉවර වෙලා, අපි හැමෝටම යහපත් කල් ක්‍රියාව ගැන කියල දෙන්න, මේ වගේ සත්ගුණවත් බෞද්ධ නායකත්වයක් සහ මේ වගේ පුදුම සැදැහැවත් බැතිමතුන් පිරිසක් ඉන්න ලංකාව වගේ පිං බිමකටම ආයෙත් වැඩම කරාවි කියල.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 30




