The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කුලී ගෙවාගන්න බැරුව කුණු බක්කියක ජීවත්වෙන සුද්දෙක් | Saroj Pathirana

T

The Leader Desk

November 4, 2025 • 9:51 AM

කුලී ගෙවාගන්න බැරුව කුණු බක්කියක ජීවත්වෙන සුද්දෙක් | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යය කියන්නේ ලංකාවේ අපි බොහෝ දෙනෙකුගේ සිහින දේශයක්.
  • ඇත්තෙන්ම මීට දශකයකට දෙකකට ඉහතදී පවා බ්‍රිතාන්‍යය (Great Britain) එහෙම සිහින දේශයක්ම තමයි.
  • ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක රට ඇතුළේ අනාගතයක් නැහැ කියල හිතල තරුණ, තරුණියන් දහස් ගාණක් තාමත් බ්‍රිතාන්‍යයට එනවා.
  • මීටර් දෙකේ කුණු බක්කි නිවස Harrison Marshall කියන්නේ 31 හැවිරිදි කලාකරුවෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):


බ්‍රිතාන්‍යය කියන්නේ ලංකාවේ අපි බොහෝ දෙනෙකුගේ සිහින දේශයක්. ඇත්තෙන්ම මීට දශකයකට දෙකකට ඉහතදී පවා බ්‍රිතාන්‍යය (Great Britain) එහෙම සිහින දේශයක්ම තමයි.

එදා අපි දැක්කේ සංක්‍රමණිකයින් ට කරුණාවෙන් සලකපු, හැම කෙනෙකුටම සමානව නීතිය ක්‍රියාත්මක වෙන, සමහර ජාතිවාදී ප්‍රවණතා තිබුණත් බොහෝ දෙනාට සමාන අවස්ථා සැලසෙන, කොටින්ම අලස නැත්නම් අත වන, වනා ආපු කෙනෙකුට වුණත් අවුරුදු දහයකින් විතර බොහොම සාර්ථක ජීවිතයක් ගොඩ නගා ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයක්.

 

ඒත් නයිජල් ෆරාජ්, බොරිස් ජොන්සන් වගේ අවස්ථාවාදී දේශපාලකයින්ට රැවටිලා මේ රටේම මිනිස්සු ඉල්ලගෙන කාපු බ්‍රෙක්සිට් ඛේදවාචකයෙන් සහ කොවිඩ් වසංගතයෙන් පස්සේ අද තියෙන්නේ තවමත් ලෝකේ පුරා ලක්ෂ ගණන් මිනිස්සු පැනල එන්න සිහින මවන බ්‍රිතාන්‍යය නෙවෙයි. ආර්ථික වශයෙන්, සමාජයීය වශයෙන් සහ දේශපාලන වශයෙන් විනාශ වුණ බ්‍රිතාන්‍යයක්.

රට පුරාම මතුවෙලා තියන නිවාස අර්බුදය - නැත්නම් දරාගන්න පුළුවන් මුදලකට හිසට සෙවනක් සොයාගන්න නොහැකි වීම - ඒ විනාශය කියා පාන එක ප්‍රධාන කැඩපතක්.

ඒක කොයි තරම් බරපතල ද කියනවා නම් මේ රටේ සමහර ස්වදේශික තරුණයෝ පවා කුණු බක්කියක ජීවත්වෙන්න තීරණය කරලා.

 

576302088 10161626729077155 2814235216957186544 n
ලන්ඩන් නගරයේ කුණු බක්කියක් නිවාසය කරගෙන ඉන්න හැරිසන් මාෂල් (Harrison Marshall) ගේ කතාව කියන්න කලින් මේකත් කියන්න ඕනේ කියල මට හිතුණ.

ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක රට ඇතුළේ අනාගතයක් නැහැ කියල හිතල තරුණ, තරුණියන් දහස් ගාණක් තාමත් බ්‍රිතාන්‍යයට එනවා. කාලයක් health workers ල විදියට ආවත් දැන් ඒ පාරත් වැහිලා නිසා වැඩි දෙනෙක් දැන් එන්නේ students ල විදියට. තව සමහරු කොහොම හරි work visa හදාගෙනත් එනවා.

අනික බ්‍රිතාන්‍යය දැන් දේශපාලන රැකවරණ දීම ගොඩක් අඩුකරලා වුණත්, තවමත් political asylum ඉල්ලන ශ්‍රී ලාංකිකයන් කොටසකුත් ඉන්නවා.

මේ කොයි විදියට ආවත්, මුලින්ම සාධාරණ මුදලකට ඉන්න තැනක් සොයා ගැනීම ඔවුන් මුහුණදෙන බරපතලම ප්‍රශ්නයක්. ගෙවල් හිමියෝ ඉල්ලන මුදල දෙන්න බැරිකම විතරක් නෙවෙයි, මාස ගණනක deposit තියන්නත්, ඒ මදිවට reference වලට ඉල්ලන documents හොයාගන්න එකත් හරිම අසීරු කාරියක්. අනික ගෙදරක් නෙවෙයි, කාමරයක කුලිය පවා අහස උසට ඉහළ ගිහින්.

 

migrantsoiads
කොහොම, කොහොම හරි අමාරුවෙන් කාමරයක් හොයාගත්තත්, ඊට පස්සේ පොඩි ජොබ් කට්ටක් හොයාගන්න එක නම් දැන් කළුනික හොයනවටත් වඩා අමාරු වැඩක්. එහෙම අමාරුවේ වැටුණ කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ කියන්නේ නැති වුණත් part time ජොබ් කට්ටක් හරි හොයාගන්න කී දෙනෙක් කට්ට කනවද කියල මෙහේ ඉන්න ගොඩක් අය දන්නවා.

මේ ටික මතක තියාගෙන අපි හැරිසන් මාෂල් ගේ කතාවට යමු.

මීටර් දෙකේ කුණු බක්කි නිවස

Harrison Marshall කියන්නේ 31 හැවිරිදි කලාකරුවෙක්. ඒ වගේම ඔහු ගෘහ නිර්මාණ ශිල්පියෙක්.

 

marsh9w8
මීට අවුරුදු දෙකකට කලින් හැරිසන් මාෂල් ලන්ඩනයේ බර්මන්ඩ්සි (Bermondsey) කියන පළාතේ ස්කිප් (skip) කියන ලොකු කුණු බක්කියක් ජීවත්වෙන්න පුළුවන් විදියට හදාගෙන ඒකෙ ඇතුළෙ ඉන්න පටන් ගත්තේ ලන්ඩන් නුවර නිවාස අර්බුදය සංකේතවත් කරන කලා ව්‍යාපෘතියක කොටසක් විදියට.

ඒ කුණු බක්කියේ වතුර නැහැ. වැසිකිලියක් නැහැ. කුස්සියක් නැහැ. සමහර වෙලාවට හැරිසන් එලියට ගියාම සමහර homeless මිනිස්සු උණුසුම හොයාගෙන ඒකට කඩා වදිනවා.

project එකේ විදියට හැරිසන්ට මේ ස්කිප් එක ඇතුළේ ගෙවන්න තිබුණෙ අවුරුද්දක් විතරයි. ඒත් දැන් ඔහු අවුරුදු දෙකකටත් වඩා ජීවත්වෙන්නේ මේ කුණු බක්කිය ඇතුළෙ. වතුර නෑ, කුස්සියක් නෑ, වැසිකිලියක් නෑ ඒත් හැරිසන් දැන් මෙතනින් යන්න කැමැත්තකුත් නෑ.

"මෙතනින් එලියට ගිහින් මාසෙකට පවුම් දාහකට විතර පුංචි කාමරයක් කුලියට අරන් ඒ ගෙදර හැමදේම share කරගෙන පාවිච්චි කරනවට වඩා මෙතන හොඳයි," හැරිසන් කියනවා. "ඒක මගේ ආදායමෙන් සෑහෙන ලොකු කොටසක්."

marshwuryw98

මේ පළාතේ තනි කාමර මහල් නිවාසයක (one-bedroom flat) කුලිය මාසෙකට පවුම් තුන්දාහක් විතර. ඒ වෙනුවට මුලින් මාසෙකට පවුම් පණහක කුලියක් ගෙවපු හැරිසන් දැන් ඒකට පවුම් 250ක් ගෙවනවා.  

"අනික මම ආයෙත් කුලියට ඉන්න ගියොත් කවද හරි මගේ කියල ගෙයක් ගන්නවා කියන එක හීනයක්ම විතරයි."

මේ කුණු බක්කි ගෙදර දිග මීටර දෙකහමාරයි. පළල මීටරයයි.

ටික කාලෙකට පස්සේ හැරිසන් කුණු බක්කිය තව ටිකක් හදල ගත්ත. දැන් කුණු බක්කි ගෙදර වහලකුත් තියෙනව. නැගිටිනකොට අකුලන මෙට්ටෙකුත් ඉහළ මාලෙකුත් තියෙනව. උඩ තට්ටුවේ පුංචි ජනේලයක්. හැරිසන් කුණු බක්කිය වටේ කම්බි වැටක් ගහල ගේට්ටුවකුත් දැම්ම.

බ්‍රිතාන්‍යයේ අවුරුද්දෙන් අවුරුද්දට අහස උසට නගින විදුලි බිල ගැනත් හැරිසන්ට වදවෙන්න දෙයක් නැහැ. සීතල කාලෙට electric heater එක දාපු ගමන් මොහොතකින් "ගෙදර" රත්වෙනවා.

skip hey5
"මගේ විදුලි බිල නම් බොහොම සුළු මුදලක්."    

ලියාපදිංචි ලිපිනයක් නැති නිසා හැරිසන්ට වරිපනම් බදු කියල දේකුත් නැහැ. ඔහුට ඒකත් ලොකු සහනයක්. ඔහුට ලියුම් එන්නෙත් නැහැ. වතුර ගන්නේ අල්ලපු ගෙදර එළියේ තියන ටැප් එකෙන්. ඒ වෙනුවෙන් හැරිසන් අල්ලපු ගෙදර කාන්තාවට අවුරුද්දකට පවුම් 100ක් ගෙවනවා. නමුත් රෙදි සෝදා ගැනීම සහ කෑමක් උයා ගැනීම නම් සෑහෙන කරදරයක්.

හැරිසන්ට පෙම්වතියකුත් ඉන්නවා. නමුත් පසුගිය මාස හයටම ඇය ස්කිප් එකට ආවේ තුන් පාරක් විතරයි.

"සමහරවිට එයා මේකට කැමති නැතුව ඇති, ඒත් එයා කියන්නේ කැමතියි කියල," හැරිසන් හිනාවෙමින් කියනවා.

 

skiptj676
මොනවා වුණත් ඉක්මනින් මේ කුණු බක්කි ගෙදර දාල යන්න හැරිසන් ගේ සූදානමක් නැහැ. ටික කාලයක් මෙතන ඉඳල සල්ලි ටිකක් හොයාගත්තම තමන්ගේ ලස්සන නිවසක් නිර්මාණය කරගැනීම ඔහුගේ බලාපොරොත්තුව.

මේක ලන්ඩන් නගරයේ ජීවත්වෙන එක තරුණයෙකුගේ "පිස්සු වැඩක්" නෙවෙයි. මේ විදියට කුණු බක්කියක ගෙයක් හදා නොගත්තත්, දැන් මේ රටේ ස්වදේශිකයින් නිවසක් ගන්න, රැකියාවක් හොයාගන්න ... කොටින්ම ජීවිතේ ගැට ගහගන්න දුෂ්කර ක්‍රියා කරනවා.

ප්‍රවාහන සේවා ගත්තත්, NHS ජාතික සෞඛ්‍ය සේවය ගත්තත්, විරැකියාව ගත්තත්, වැටුප් විෂමතා ගත්තත්, අද තියෙන්නේ එදා තිබුණ බ්‍රිතාන්‍යය නොවෙයි කියල මේ රටේ බොහෝ දෙනා පිළිගන්නවා. කලින් සාමාන්‍ය දේවල් වෙලා තිබුණ බොහෝ දේ දැන් සුඛෝපභෝගී (luxury) වෙලා!

ජර්මනියේ ආර්ථිකය කඩා වැටුණ වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත ඔස්ට්‍රියානුවෙක් - ඇඩොල්ෆ් හිට්ලර් - නාසිවාදය පතුරවපු විදියටම නයිජල් ෆරාජ් වගේ අන්තවාදී දේශපාලකයින් ජාතිවාදය පතුරවමින් පරම්පරා ගණනක් මේ රටේම ජීවත්වුණ සංක්‍රමණිකයින් පවා එලවන්න කතා කරන්නෙත් මේ කඩා වැටීමෙන් ප්‍රයෝජන අරගෙන.

ආර්ථික අගාධයකටම ගිහින් බංකොලොත් වුන ලංකාව දැන් යාන්තමින් ඔලුව උස්සගෙන එනවා වගේ සමහර විට බ්‍රිතාන්‍යයත් ඉක්මනටම මේ දරුණු අර්බුදයෙන් ගොඩ එන්නත් පුළුවන්.

ඒත් කෙටි කාලීනව ගත්තම නම් පේන්න තියෙන්නේ එහෙම ගොඩ එන්න කලින්, ලෝකේ බොහෝ දෙනාගේ සිහින දේශයක්ව තිබුන එක්සත් රාජධානියත් අන්තවාදී දේශපාලනයේ ගොදුරක් වෙලා ගොඩ එන්න කලින් තව ටික කාලෙකට හරි ගරා වැටෙමින් තියන බවක්.

saroj pathiranaසටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 03

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...