තරුණ කටයුතු, ළමා අයිතිවාසිකම්, ක්‍රීඩා, කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලෝකයේ අලුත් ප්‍රවණතා වගේ ගොඩක් දේවල් සතියකට සැරයක් අපි තාරුණ්‍යයේ කතා කළා.
2010 අවුරුද්දේ අග භාගයේ දවසක රාවයේ හිටපු ආනන්ද අයියා (ආනන්ද ජයසේකර Ananda Dharmapriya Jayasekara) මට කථා කළා.
ඒ දවස්වල WhatsApp තිබුණෙත් නැති නිසා, ලංකාවේ ඉඳල කෝල් එකක් ගන්නවා කියන එක විකිණෙන වැඩකුත් නිසා කෝල් එක ගන්න ඇත්තේ මම.
කොහොම හරි කථා බහ අතරේ ආනන්ද අයිය මට වැදගත් ප්‍රවෘත්තියක් කිවුව.
ඒ කාලේ යුද්ධෙත් දිනල මහින්ද රාජපක්ෂ "මහ රජා" ට ඇඳල රට පුරාම දරුණු භීෂණයක් පතුරුවමින් හිටපු යුගයක්.
ඒ භීෂණය තුට්ටුවකට මායිම් නොකරපු නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා, නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමා, නීති විද්‍යාලයේ කරපු වික්‍රමයක් ගැන පැමිණිල්ලක් දාල!
| තුෂාර ජයරත්න
තුෂාර ඒ ගැන මුලින්ම කියල තිබුණෙ ආනන්ද අයිය ට. එතකොට ඔහු රාවයෙන් අයින් වෙලා.
කොහොම හරි මේ නීති ශිෂ්‍යයාගේ පැමිණිල්ල ගැන ලංකාවේ කිසිම මාධ්‍යයක කිසිම පුවතක් පළ වෙලා නැහැ. හැමෝම තුෂාර කරපු චෝදනාව ගැන වාර්තා කරන එක මග ඇරලා!
ඇත්තටම ඒ දවස්වල තිබුණ රාජපක්ෂ භීෂණයත් එක්ක ඒ කවුරුවත් වැරදියි කියල මම කියන්නේ නැහැ.
ආනන්ද අයිය මේ සේරම විස්තර කරලා, තුෂාර ජයරත්න ගේ ටෙලිෆෝන් නම්බර් එකත් මට දුන්න.
මම තුෂාර ට කථා කරලා, අග්‍රවිනිශ්චයකාර අශෝක ද සිල්වා ට (ඒ දවස්වල CJ මාත් එක්ක නිතර කතා කරනවා) කතා කරලා, හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන් ද සිල්වා ට කතා කරලා, නාමල් රාජපක්ෂ ගේ ප්‍රතිචාරයත් ගන්න උත්සහ කරලා මේ ආන්දෝලනය ගැන "තාරුණ්‍යය" වැඩසටහනක් ඉදිරිපත් කළා.
නාමල් රාජපක්ෂ ගේ "හොර නීති උපාධිය" ගැන කතාව කරලියට ආවේ එහෙමයි.

තුෂාර පටිගත කරපු ඒ තාරුණ්‍යය වැඩසටහන තාමත් "Sandeshaya by Saroj" යූටියුබ් නාලිකාවෙත්, තුෂාර ගේ නාලිකාවෙත් තියෙනව.
ඊට කලින් ලංකාවේ කිසිම මාධ්‍යයක් තුෂාර ගේ මේ චෝදනාව වාර්තා කරලා තිබුණෙ නැහැ. බීබීසී සංදේශයට කලින් රාවය ඒක වාර්තා කළා කියල තුෂාර එක්ක අලුත්ම සාකච්ඡාවේදී මම කියන්නේ වැරදීමකින් (වීඩියෝව පළමු ලින්කුවේ). ඒත් තුෂාර කියන විදියට එක වෙබ් අඩවියක් ඒ කතාව පළ කරලා, ජවිපෙට සම්බන්ධ නීතිඥයෙක් කරපු බලපෑමක් නිසා ටික වෙලාවකින් ඒක අයින් කරලා තියෙනව.
ඊට පස්සේ තමයි දරුණුම දේවල් සිද්ද වුණේ.
දිගින් දිගටම තුෂාර ජයරත්න ට මරණ තර්ජන එල්ලවුණා. ඔහු පැහැරගෙන ගිහින් නිරුවත් කරලා පහර දුන්න. තුෂාර ට ගෙදර ඉන්න විදියක් නැතිවුණා. මැරවරයෝ ඔහුව follow කරන්න පටන් ගත්ත. තර්ජන නිසා තුෂාර ගේ අම්ම, තාත්තත් අසනීප වුණා.
"තාරුණ්‍යය" වැඩසටහනෙන් පස්සේ මම නිතරම තුෂාර එක්ක touch එකේ හිටිය. මේ තර්ජන ගැනත් අපි කථා කළා. ඒ ගැන මම ඇම්නස්ටි ජාත්‍යන්තරයට, ආසියානු මානව හිමිකම් කොමිසමට කථා කළා. රුකී ප්‍රනාන්දු වගේ ලංකාවේ human rights defenders ලත් තුෂාර ට ගොඩක් උදව් කළා. ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු තව කෙනෙක්.
අපෙන් වියෝ වුණ මගේ මිත්‍ර ප්‍රසන්න රත්නායක ඒ දවස්වල වැඩ කළේ Amnesty International එකේ. සිදුවෙමින් තියන දේ මම ප්‍රසන්නට කිවුව. තුෂාර ට දිගින් දිගටම එල්ලවෙන තර්ජන ගැන කිවුවම ප්‍රසන්න මගේ ඉල්ලීමට ලංකාවේ හිටපු බර්නාඩ් එදිරිසිංහ ට කථා කළා. (වීඩියෝවේ බර්නාඩ් පෙරේරා කියන්නේ වැරදීමකින් - මගේ කණගාටුව). ලගදි අපෙන් සමුගත්ත බර්නාඩ් සහෝදරයා, සුනිලා අබේසේකර එක්ක එකතුවෙලා තුෂාර ට safe house එකක් හොයල දුන්න. මම හිතන්නේ පල්ලියක.
ඒ විදියට කාලයක් තුෂාර ජීවත් වුණේ ස්ථිර වාසස්ථානයක් නැති අහිගුණ්ටිකයෙක් විදියට.
කොටින්ම තර්ජන නිසා හැංගිලා හිටපු තුෂාර ට තාත්තගේ මළ ගෙදරට පවා යන්න බැරිවුණා.
ඊට පස්සේ තවදුරටත් ලංකාවේ ඉන්න බැරිම තැන, තුෂාර ට ජිනීවා යන්න උදව් කරන්නේ ඒ දවස්වල විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ සහ ජයලත් ජයවර්ධන මන්ත්‍රීතුමා. මම හිතන්නේ ඇම්නස්ටි ජාත්‍යන්තරයත් ඒකට උදවු කළා.
තවත් බොහෝ දෙනෙක් තුෂාර ට උදව් කරන්න ඇති. මේ මම ලිවුවේ මම දන්න විස්තර. අවුරුදු 15 කට කලින් සිදුවුණ දෙයක් නිසා මතකයත් දැන් ටිකක් fade වෙලා. ඒ නිසා මට අමතක වුණ විස්තර ඇති. ඒත් මේක තමයි "නාමල් රාජපක්ෂ හොර නීති විභාගයේ" සැබෑ කතා වස්තුව.

මේ ගැන කතා කරද්දී ආනන්ද අයිය අද මට මෙහෙම message එකක් එවල තිබුණ.
"මා එම සිදුවීම ඔබට දෙන්නේ ඒ මොහොතේ තුෂාර ජයරත්න ට ආරක්ෂාවක් සලසා ගැනීමට නම් එය වාර්තා කළ යුතුව තිබූ නිසයි. සරෝජ් ගේ වාර්තාකරණය නොවන්නට අද තුෂාර ජයරත්න කෙනෙක් නැති වීමට බොහෝ දුරට ඉඩ තිබුණා."
කණගාටුව තමයි තුෂාර වගේ කෙනෙක් මේ තරම් ජීවිතේ පරදුවට තියල මේ චෝදනාව කරලියට ගෙනාවත් දූෂණයට, වංචාවට තිත තියනව කියල බලයට ආපු ජාජබ ආණ්ඩුවටවත් මේකේ ඇත්ත, නැත්ත සොයන්න තවමත් කිසිම අවංක උනන්දුවක් නැතිවීම.කොටින්ම තුෂාර ට කථා කරලා ලංකාවට එන්න කිවුව කියල පාර්ලිමේන්තුවේදී කියපු ඇමති වසන්ත සමරසිංහ තුෂාර ට එක කෝල් එකක්වත් දීල නැහැ!
ප්‍රසිද්ධියේ නාමල් පතුරු ගහන ආණ්ඩුව මේ ගැන ගත්ත (?) පියවර මොනවාද කියල දැනගන්න පහත වීඩියෝ එකත් බලන්න.
ප.ලි -
1. නාමල් රාජපක්ෂ ගේ "හොර" නීති විභාගය ගැන අවුරුදු 15ක් තිස්සේ තුෂාර මාත් එක්ක කියන්නේ එකම කතාවක්. ඒ නිසා තුෂාර ගේ කතාව "පිස්සෙකුගේ බොරුවක්" කියන චෝදනාව ගැන මම එකඟ නැහැ. හැබැයි, ඒකත් එකක්ම මේකත් කියන්න ඕනේ. ජිනීවා ගියාට පස්සේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ට ඉතා පහත් විදියට අපහාස කරමින් තුෂාර කරන ක්‍රියාදාමය මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. ඒක එහෙම පිටින්ම වැරදි වැඩක්. හැබැයි ඒකයි, මේකයි දෙකක්.2.අනික, සංදේශය ඒ දවස්වල කරපු කාර්යභාරය ගැන හිතන කොට ගුවන් විදුලි වැඩසටහන නැතිවීම ගැනත් මට ලොකු කණගාටුවක් තියෙනව.
(සටහන | සරෝජ් පතිරණ)බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)




