The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'රණවිරුවන්' මුලා කොට දංගෙඩියට දැක්කූ 'රණවිරුවෝ' - මුල්ලිවයික්කාල් 'රණවිරුවන්' ගැන කාටත් අමතක වුන කතාවක් | Saroj Pathirana

T

The Leader Desk

May 20, 2025 • 7:20 AM

'රණවිරුවන්' මුලා කොට දංගෙඩියට දැක්කූ 'රණවිරුවෝ' -  මුල්ලිවයික්කාල් 'රණවිරුවන්' ගැන කාටත් අමතක වුන කතාවක් | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක පැත්තකින් මුල්ලිවයික්කාල් සැමරුම්වලට දෙස්, දෙවොල් තියන කණ්ඩායම්.
  • ඒත් ඒ කවුරුවත් මේ මිනිස්සුන්ගෙ ඇත්ත කතාව දන්නේ නෑ, නැත්නම් දැනගන්න උනන්දුවක් නෑ.
  • තරුණ කාලෙදිම යුද්දෙට ගිහින් අවුරුදු 12ක්, 15ක් හමුදාවේ ඉඳල විශ්‍රාම ගන්න කොට මේ බොහෝ දෙනෙක් තිස් හැවිරිදි වියේ, නැත්නම් හතලිස් වෙනි වියේ.
  • බොහෝ දෙනෙකුට අමතක වුණත් ලංකාවේ "රණවිරුවෝ" පිරිසකට 2023 අවුරුද්දේ එකපාරටම මේ මිනිස්සු මතක් වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):


එක පැත්තකින් මුල්ලිවයික්කාල් සැමරුම්වලට දෙස්, දෙවොල් තියන කණ්ඩායම්. ඒ අතරේ "රණවිරු" සැමරුමට එන්නේ නෑ කිවුව කියල ජනාධිපති අනුරටත් ලොකු විවේචනයක්. තවත් සමහරු සෙබළුන්ට "රණවිරුවෝ" කිවුවේ නෑ කියල කෑ මොර දෙනවා. ඒව ඇහුවම මට මතක් වුණේ "රණවිරු ගාය" ගැන එදා හමුදාපති මහේෂ් සේනානායක කියපු දේ.

ඒත් මම මේ කතාකරන්නෙ ඒ වාදය ගැන නෙවෙයි.

සිවිල් යුද්ධය කාලේ අපේ සමාජයේ කොටසක් දේවත්වයෙන් වන්දනා කරපු "රණවිරුවෝ" පිරිසක් විසින්, යුද බිමේ අවුරුදු ගණනාවක් සටන් කරලා විශ්‍රාම අරගෙන හිටපු "රණවිරුවන්" දහසකට වැඩි පිරිසක් රවට්ටලා ඉතාමත් භයානක යුද ගැටුමකට ඇදල දාපු හැටි දැන් කාටත් අමතක වෙලා.  

 

යුක්රේන යුද බිම උණුසුම්: රුසියානු හමුදා ආචාර මැද තවත් ශ්‍රී ලාංකික සෙබලෙක්  අවසන් ගමනේ (වීඩියෝ)

මේ වෙනකොට ඒ "රණවිරුවන්" ගෙන් සිය ගණනක් යුද බිමේදී මිය ගිහින්. තවත් සිය ගාණක් අතුරුදහන් වෙලා. සුළු පිරිසක් යුද සිරකරුවන් විදියට අත්අඩංගුවේ. වාසනාවකට දෙසීයක විතර පිරිසක් පණ බේරගෙන ආයෙත් ලංකාවට ඇවිත්.

හැබැයි මේ ඛේදවාචකයට මුහුණ දුන්න පවුල්වල බිරින්දෑවරුන්ට, දුවා දරුවන්ට සහ දෙමාපියන්ට හැරුණම රුසියානු - යුක්රේන යුද බිමේ ජීවිත පුදන මේ "රණවිරුවෝ" ගැන ලංකාවේ කිසිම කෙනෙකුට වගේ වගක් නෑ. කොටින්ම සල්ලි පෙරේතකමට කුලී හමුදාවලට ගියා කියල සමහරු මේ "රණවිරුවන්" හෙලා දකින්න පවා පෙළඹිලා.

497840559 10160887672467155 4279821334509688820 n

 

ඒත් ඒ කවුරුවත් මේ මිනිස්සුන්ගෙ  ඇත්ත කතාව දන්නේ නෑ, නැත්නම් දැනගන්න උනන්දුවක් නෑ.

මුලින්ම මේ මිනිස්සු මේ ඉරණමට ගොදුරු වුණේ ලංකාවේ ලේ උරා බීල පුරවැසියන්ට රොඩු ටික විතරක් ඉතිරි කරපු රාජපක්ෂල, මෛත්‍රීපාල සිරිසේනල, රනිල් වික්‍රමසිංහල කරපු ආර්ථික විනාශය නිසා.

තරුණ කාලෙදිම යුද්දෙට ගිහින් අවුරුදු 12ක්, 15ක් හමුදාවේ ඉඳල විශ්‍රාම ගන්න කොට මේ බොහෝ දෙනෙක් තිස් හැවිරිදි වියේ, නැත්නම් හතලිස් වෙනි වියේ. ඔවුන්ට පෙන්ෂන් එක කියල අතට ලැබුණේ රුපියල් තිස් හතලිස් දාහක සොච්චම් මුදලක්. ඒ මුදලින් සමහරවිට දෙමාපියනුත් එක්ක දරු පවුලක් රකින්න තියා තනි මනුස්සයෙකුට ජීවත්වෙන්නවත් බෑ. හැබැයි යුද්දේ ඉවර වුණාට පස්සේ ආර්ථික අර්බුදයත් එක්ක මේ සොල්දාදු පවුල් (සහ පහළ මට්ටමේ නිලධාරීන්) කොයි තරම් අමාරුවෙන්ද ජීවිතේ ගැටගහගත්තෙ කියල අද "රණවිරු ගාය" හැදිලා ඉන්න කාටවත් එදා පෙනුණෙ නෑ.

 

රුසියානු - යුක්රේන යුද බිමේ මැකී යන ශ්‍රී ලාංකික ජීවිත - ජනපති අනුරට විවෘත  ආයාචනයක්

බොහෝ දෙනෙකුට අමතක වුණත් ලංකාවේ "රණවිරුවෝ" පිරිසකට 2023 අවුරුද්දේ එකපාරටම මේ මිනිස්සු මතක් වුණා. යුද බිමේ දැවැන්ත "යුද විරුවෝ" වෙලා හිටපු ජාතිමාමක මේජර් ජනරාල්ල, මේජර් වරු, අද්මිරාල් ල කණ්ඩායමක් විශ්‍රාම ගිහින් ඉන්න "රණවිරුවන්ගේ" නම් ලැයිස්තු හමුදාවෙන් හොයාගෙන සූම් එකෙන් group meeting තියල මාසෙට රුපියල් ලක්ෂ හයක් විතර වැටුපක් ලැබෙන ජොබ් එකක් මේ මිනිස්සුන්ට offer කළා.

මේ ජාතිමාමක "යුද විරුවෝ" ටික විශ්‍රාමික සොල්දාදුවන්ට කිවුවේ ආයෙත් යුද්දෙයක් තියන පළාතකට යන්න සූදානම් වෙන්න කියල. හැබැයි එයාල යුද්දේ කිට්ටුවටවත් යන්නේ නැතිලු. යුද්ද කරන්නේ වෙන රටවල් දෙකක්, ඒ නිසා ලංකාවේ සොල්දාදුවන්ට තියෙන්නේ ඒ සෙබළුන්ට අවශ්‍ය සැපයුම් ප්‍රවාහනය කිරීම, වෙනත් උපකාරක සේවා, බංකර් බලා ගැනීම වගේ දේවල්. එහෙම තමයි බඳවා ගැනීමේ zoom meeting වලදී මේ සෙබළුන්ට මේජර් ජනරාල් - අද්මිරාල් කණ්ඩායමේ agent ල කිවුවේ.

මෙහෙම offer එකක් ආවම කවුද බෑ කියන්නේ? කට්ටියම පැනල කැමති වුණා. හැබැයි පුංචි කොස්සක් තිබුණ. මේ වැඩේට මුලින්ම ලක්ෂ හතරේ ඉඳල ලක්ෂ 15ක් දක්වා වන මුදලක් වියදම් වෙනව. මේ මිනිස්සුන්ට වුණේ ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්. මොනවා කරන්නද, ලක්ෂ 15ක් විතර දීල ගියත් ඒ ගාණ මාස තුනකින් හොයාගන්න පුළුවන්නේ කියල මේ මිනිස්සු ණය තුරුස් වෙලා, කණකර ඉඩම් උකස් තියල "රණවිරු" ජනරාල් ල කියපු විදියට agent ලට සල්ලි දුන්න.

497896297 10160887321742155 5515003634249717106 n

බොහෝ දෙනෙක් බිරිඳටවත් ඇත්ත කතාව කිවුවේ නෑ. තමන්ගේ "රණවිරු" ඉහළ නිලධාරීන් දීපු පොරොන්දුව ගැන මේ සෙබළුන්ට තිබුනේ පුදුම විශ්වාසයක්. කොහොමින් කොහොම හරි ණය තුරුස් වෙලා රුසියාවට ගියාට පස්සේ තමයි මේ සෙබළු යතාර්ථය තේරුම් ගත්තේ. මේ වෙනකොට දෙදහසකට ආසන්න ශ්‍රී ලාංකිකයින් පිරිසක් රුසියාවේ හමුදාවට බැඳිලා කියල විශ්වාස කරනව. ඒ අතරින් හරියටම කී දෙනෙක් මිය ගියාද කියලවත්, දැනට කී දෙනෙක් ජීවතුන් අතරේ ඉන්නවද කියලවත් සනාථ වුණ තොරතුරු නැහැ.

යුක්රේනයට විරුද්ධව යුද්ධ කරන්න යුද පෙරමුණට යනවා කියල හොඳින්ම දැනගෙන රුසියානු හමුදාවට බැඳුණ පිරිසකුත් පැහැදිලිවම ඒ අය අතරේ හිටිය. ඒ වගේම ඒ වෙනකොට රුසියාවේ හිටපු කිහිප දෙනෙකුත් හමුදාවට බැඳිලා තිබුණ. ඒත් යුද පෙරමුණට යවන්නේ නැහැ කියල රවට්ටලා රුසියාවට අරගෙන ගියපු අය තමා වැඩිපුරම හිටියේ.  

මේ විදියට විශ්‍රාමික සොල්දාදුවන් රවට්ටලා රුසියාවේ යුද්ධයට බඳවා ගැනීම ගැන චෝදනා ලබපු චතුරංග කියන එක පුද්ගලයෙක් "රණවිරු" රෙයාර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකරගේ හිටපු ලේකම්වරයෙක්. චතුරංග දැන් ලංකාවෙන් පැනල ගිහින්.

 

 

යුද්ධය ආරම්භයේදීම "රණවිරු" ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපති රුසියාවට යවන විශ්‍රාමික සෙබළුනට පුහුණු කඳවුරු පවා පවත්වපු බවට චෝදනා එල්ලවෙනවා. මේ ගැන අහන්න මම කෝල් කළාම නිශ්ශංක සේනාධිපති දුරකතනයට පිළිතුරු දුන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ කාලේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ තනතුරක් දරපු "රණවිරුවෙකුත්" මේ ජාවාරමට සම්බන්ධයි කියල ඒ පවුල්වල අය චෝදනා කරනවා.

කොහොම හරි රුසියාවට ගිය ලංකාවේ සෙබළුන් අතරින් පළවෙනි මරණය වාර්තා වෙන්නේ 2024 මාර්තු 08 වෙනිදා. ඔහු 27 හැවිරිදි එක් දරු පියෙක්. මිය ගිහින් තියෙන්නේ යුක්රේනයේ දනේත්ස්ක් නගරයේදී. රුසියාවේ යුද්ධයේදී දිවි පුදන ශ්‍රී ලාංකිකයෝ ගැන එදා අල් ජසීරා ආයතනය මුලින්ම ලෝකයට වාර්තා කළා.  

494139059 10160886564252155 7062631655155700326 n
එයින් පස්සේ දිගටම ශ්‍රී ලාංකික "රණවිරුවන්" විශාල පිරිසක් යුක්රේන සටන් බිමේ මිය යනවා. ඒ අතරේ මනෝජ් වික්‍රමරත්න කියන විශේෂ බලකායේ විශ්‍රාමික සෙබලා 2024 අප්‍රේල් 01 වෙනිදා රුසියානු හමුදාවෙන් පැනල ලංකාවට එනවා. ඔහු පැනල ආපු කතාව ත්‍රාසජනක චිත්‍රපටයක් වගේ. එදා ඔහුත් එක්ක පැනල ආපු තවත් සෙබළු දෙන්නෙක් රුසියානු හමුදා අත් අඩංගුවට පත්වෙනවා. එදා, මෙදා තුර ඒ දෙන්න ගැන තොරතුරක් නැහැ. විශාල පිරිසකට තුවාල වෙනව. ඒ අතරේ මනෝජ්ගෙන් පස්සේ තවත් පිරිසක් රුසියානු හමුදාවෙන් පැනල එනවා. මේ වෙනකොට 200ක් විතර ඒ වගේ පැනල ඇවිත්. ඒ අතරින් 55 දෙනෙකුගේ ජීවිත බේරලා දීල තියෙන්නේ මනෝජ්.

 



එදා තමන්ගේ අණසක යටතේ එල්ටීටීඊයට විරුද්ධව යුද්ද කරපු සෙබළු සිය ගාණක් මස් කඩයට දක්කනවා වගේ බොරු කියල මුදලට විකුණුවේ ඔවුන්ගේම "රණවිරු" ඉහළ නිලධාරීන්. මේ මිනිස් ජාවාරම වෙනුවෙන් "රණවිරු" නිලධාරීන් සහ අතරමැදියන්ට විශාල මුදලක් ලැබුණ. මේ ජාවාරම ගැන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කාලේ මනෝජ් වික්‍රමරත්න ඇතුළු පිරිසක් දාපු පැමිණිල්ල ගැන පොලිස් පරීක්ෂණයට මොනවා වුනාද කියල කවුරුත් දන්නේ නැහැ. ඒ ගැන දැන් කාටවත් මතකත් නෑ. මේ ජාවාරමට තෝරු, මෝරු සම්බන්ධ නිසා කළු ගලේ ඔලුව ගහගන්න හදන්න එපා කියල සමහර සෙබළ පවුල්වලට CID එකේ මහත්තුරුම කියල තිබුණ.

"රණවිරු" ජනරාල්වරු සෙබළු විකුණලා සල්ලි හොයද්දි රුසියානු හමුදාවට බැඳුන සමහර සෙබළුත් තමන්ගේ true colours පෙන්නන්න පටන් ගත්ත. සමහරු රුසියානු හමුදාවේ දූෂිත නිළධාරි එක්ක එකතුවෙලා සහෝදර සෙබළුන්ගේ පඩි පත ගසා කෑව, රක්ෂණ වන්දිය ගසා කෑව. මේ විදියට රුපියල් කෝටි 15ක් හොයාගත්ත කියල කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙක් බව කියන රත්නායක වහසිබස් දොඩලා තිබුණ.

496975458 10160887329457155 9049804228483924902 n

ලංකාවේම සහෝදර සෙබළු ජීවිතේ බිල්ලට දීල හම්බකරපු සල්ලි කෝටි ගණන් ගසා කාපු රත්නායකත් අන්තිමේදී යුද බිමේ අතුරුදහන්. හැබැයි රත්නායක කියන්නේ මේ චෞර වලල්ලේ එක්කෙනෙක් විතරයි. කොටි සංවිධානයට විරුද්ධව සහෝදරයෝ වගේ එකට සටන් කරපු මේ මිනිස්සු, භාර්යාවනුත් රවට්ටලා, මියගිය කෙනෙකුට ලැබෙන වන්දිය පවා ඒ සෙබලගේ දරු පවුලට ලැබෙන එක අහිමි කරලා තිබුන.

ඒ අතරේ "රණවිරු ගායට" කිසිම සම්බන්ධයක් නැති රුසියාවේ ඉන්න සමහර සිංහලයෝ මේ මිනිස්සු ජීවිතේ පරදුවට තියල හම්බකරපු සල්ලි ලංකාවට එවද්දී වංචා කළා. ඒ අතරේ තවමත් කාටවත් වන්දිය ලැබිල නැතත්, "රණවිරු" පුතා මරා ගෙන වන්දිය ගත්ත කියල ලේලිවයි, දරුවනුයි පාරට ඇදල දාපු අම්මල ගැනත්, "රණවිරු" මල්ලිගේ වන්දිය බිරිඳට දෙන්න එපා කියල campaign කරන අක්කල ගැනත් අනුවේදනීය කතා මම අහල තියෙනව.

මේ තමයි "රණවිරුවෝ" වන්දනා කරන අපේ සිංහලකම.    

කොහොම වුණත් මේ ජාවාරම Sinhala only වැඩක්මත් නෙවෙයි. මේ චෞර වළල්ලේ ගුණරත්නල එක්ක මොහමඩ් ලත් ඉන්නවා, සාෂා (අලෙක්සන්දර්) ලත් ඉන්නවා, රොමේෂ් ලත් ඉන්නවා, ඒ අතරෙ සමහර ආණ්ඩුවේ නිලධාරීන්ගේත් නම් කියවෙනවා. ඒ කොහොම වුණත් අනුන්ගේ යුද්දෙකට ලංකාවේ "රණවිරුවෝ" බිල්ලට දීල, ඒ මිනිස්සුන්ගේ පඩි පතෙනුත් ගසාකන අති බහුතරයත් "රණවිරුවන්ම" බව සටහන් කළ යුතුමයි.

 

යුක්රේන යුධ බිමේදී අවසන් හුස්ම හෙළූ ලාංකික කපිතාන්වරයා ඇතුළු අනෙකුත්  සෙබළුන් කවුද ?  
මේ කතාව ලියාගෙන යද්දී මට 'ඩෙන්ටිස්ට්' කැප්ටන් රනිෂ් හේවගේ යුද්ධය ගැන කියපු කතාවක් මතක් වුණා. ඔහු තමයි, රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධයට සම්බන්ධ වූ පළමු ශ්‍රී ලාංකික සෙබලා.

"යුද අපරාධ කියල දෙයක් නෑ ... යුද්ධය කියන්නෙම අපරාධයක් ..." - ඔහු කිවුව.



ප.ලි - රුසියානු හමුදාවට එක් වූ ශ්‍රී ලාංකිකයින්ගේ ඉරණම ගැන 'සංදේශය' නාලිකාවේ මම දිගින් දිගටම සටහන් කරලා තියෙනව. පුළුවන් වුනොත් ගොඩ වෙලා යන්න 


ඇමතිකමක් කරන්න උපාධියක් ඕනෙද? - (සරෝජ් පතිරණ)(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

2025 මැයි 19


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...