The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තියන රටක වහල් මෙහෙයක යෙදෙන මිනිස්සු | Saroj Pathirana

T

The Leader Desk

June 17, 2026 • 12:39 PM

'සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය' තියන රටක වහල් මෙහෙයක යෙදෙන මිනිස්සු | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ් වසංගතයෙන් පස්සේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවුණ සේවක හිඟයට පිළියමක් විදියට අගමැති බොරිස් ජොන්සන් Care Worker රැකියාව සඳහා වීසා නීති ලිහිල් කිරීමත් එක්ක ලංකාව ඇතුළු බොහෝ රටවලින් Care Workers ල බ්‍රිතාන්‍යයට ගලාගෙන ආව.
  • විශේෂයෙන්ම බොහෝ රැකියා ඒජන්තවරු බොරිස් ජොන්සන් හඳුන්වල දීපු ක්‍රමය අවභාවිත කරලා මිනිස්සු අමාරුවේ දාපු බවට තවමත් දිනපතාම පාහේ අහන්න ලැබෙනවා.
  •   නමුත් ශබානා මහමුද් ගේ මේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තිය, පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා ඇන්ජෙලා රේනර් වගේම අලුත් නායකයා වෙන්න උත්සහ කරන ඇන්ඩි බර්න්හැම් ඇතුළු ලේබර් පක්ෂයේ ජනතා නියෝජිතයින් 100 කට වැඩි පිරිසකගේ දැඩි විවේචනයට ලක්වෙලා තියෙනව.
  • දවසකට කිහිප වතාවක් ඒ වගේ රෝගීන් බලන්න යන්න මේ සාත්තු සේවකයින්ට සිද්ද වෙනව.    Care Worker කෙනෙක් එක වතාවකට මේ රෝගියෙක් එක්ක ගතකරන්නේ, විනාඩි 30ත් පැයත් අතර කාලයක්.
අකුරු ප්‍රමාණය (Font Size):


සමහර වෛද්‍යවරු පවා ලංකාවේ තමන්ගේ වෘත්තිය අත් හැරලා Care Worker රැකියාවට ඇවිත් බරපතල දුෂ්කරතාවලට මුහුණ දුන් බව අපිට අහන්න ලැබුන. ඔවුන් බොහෝ දෙනෙකුගේ අභිලාෂය වෙලා තිබුණෙ දරුවන්ගේ අධ්‍යාපනය. නමුත් බ්‍රිතාන්‍යයට ආවට පස්සේ ඒ සමහරුන්ට රැකියාවක් ලැබුණත්, සමහරු කිසිම රැකියාවක් නැතුව අතරමං වෙලා තිබුන. විශේෂයෙන්ම බොහෝ රැකියා ඒජන්තවරු බොරිස් ජොන්සන් හඳුන්වල දීපු ක්‍රමය අවභාවිත කරලා මිනිස්සු අමාරුවේ දාපු බවට තවමත් දිනපතාම පාහේ අහන්න ලැබෙනවා.

 

shabanaශබානා මහමුද්

කොහොම හරි මුලින් ශ්‍රම හිඟය නිසා මේ මිනිස්සු ආදරෙන් පිළිගත්ත බ්‍රිතාන්‍ය සමාජය දැන් ඒ අය එළවගන්න හදනවා. ඒ වෙනුවෙන්ම, සංක්‍රමණිකයින් ඉක්මනින් රටින් එලවන්න අලුත් නීති ගේන්නත් සංක්‍රමණික පවුලකින් පැවත එන ස්වදේශ කටයුතු ලේකම් ශබානා මහමුද් උත්සහ කරමින් ඉන්නවා. සමහරු බ්‍රිතාන්‍ය පාලකයින්ගේ මේ උපක්‍රමය හඳුන්වන්නේ "ඌරාගේ මාළු ඌරගේ පිටේ තියල කැපීම" කියල.

uiui

 

නමුත් ශබානා මහමුද් ගේ මේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තිය, පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායිකා ඇන්ජෙලා රේනර් වගේම අලුත් නායකයා වෙන්න උත්සහ කරන ඇන්ඩි බර්න්හැම් ඇතුළු ලේබර් පක්ෂයේ ජනතා නියෝජිතයින් 100 කට වැඩි පිරිසකගේ දැඩි විවේචනයට ලක්වෙලා තියෙනව. කොහොම හරි වීසා නීති දැඩි කිරීමේ තර්ජනය නිසා සමහරු දැනටමත් රැකියාව අත් ඇරලා ආයෙත් සිය රටවල් බලා ගිහින්.

මේ උද්ගත වෙලා තියන තත්වයත් එක්ක බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ මේ විශේෂ රැකියාව ගැන මම කරුණු විමසීමක් කළා.

මොකක්ද මේ Care Worker ජොබ් එක?

yko
ලංකාවේ අපේ බොහෝ දෙමාපියෝ වියපත් වුණාම දරුවෝ එක්ක ඉන්නවා වුණාට, තවමත් බොහෝ දරුවෝ ගෙදර තියාගෙන තමන්ගේ දෙමාපියන් බලා ගන්නවා වුණාට බ්‍රිතාන්‍යයේ එහෙම සිරිතක් නැහැ. බ්‍රිතාන්‍යයේ දරුවෝ ජීවත් වෙන්නේ වෙනම. කොයි තරම් වියපත් වුණත් දෙමාපියෝ ජීවත් වෙන්නෙ වෙනම. වෙලාව ලැබෙන විදියට දරුවෝ දෙමාපියන් බලන්න යනවා නමුත් වයෝවෘද්ධ දෙමාපියන් තමන්ගේ සියලු කටයුතු තමන්ම කරගෙන ස්වාධීන ජීවිතයක් ගත කරනවා. ඒ ඉන්න අතරේ බිරිඳ/සැමියා මිය ගියා නම් ඊට පස්සේ ඔවුන් බොහෝවිට ජීවත්වෙන්නේ තනියම.

කොටින්ම ලංකාවේ වගේ කොයි තරම් පොහොසත් වුණත් මෙහෙකාරයෙක් හෝ මෙහෙකාරියක් තබා ගැනීමේ සම්ප්‍රදායයකුත් බ්‍රිතාන්‍යයේ නැහැ.

Care Worker කියන්නේ ඒ විදියට සිය නිවෙස්වල වාසය කරන වයෝවෘද්ධ පුද්ගලයින් හෝ කිසියම් රෝගී තත්වයක් නිසා නිවසේ ගතකරන අය රැක බලාගැනීමේ රැකියාව. රැක බලාගැනීම කියල කිවුවට බොහෝ විට ඒක ඔවුන්ගේම නිවසේ ගතකරමින් කරන රැකියාවක් නෙවෙයි. එහෙම ඉතාමත් සුළු පිරිසකුත් ඉන්නවා නමුත් බහුතරයක් මේ සාත්තු සේවකයින් කරන්නේ දවසේ කිසියම් සීමිත වෙලාවක මේ රෝගීන් ඉන්න නිවාසවලට ගිහින් ඔවුන් නාවල, පිරිසිදු කරලා, කන්න බොන්න දීල, අවශ්‍ය නම් රැවුල කපල, වැසිකිලි යන්න පහසුකම් සලස්වල, බෙහෙත් දීල, කෑම කවල ඒ වගේම ඔවුන් වෙනුවෙන් කඩේට ගිහින් ඔවුන්ට අවශ්‍ය දේ ගෙනත් දීල මේ වයෝවෘද්ධ පිරිස්වලට සාත්තු සප්පායම් කිරීම.

ගෙවල්වල තනියම ඉන්න සමහර රෝගීන්ට ඇඳෙන් බහින්නවත් බැහැ. රෝද පුටුවල ඉන්න ඒ වගේ රෝගීනුත් ඉන්නවා. හදිසියකට රෝහලට/ගිලන් රියකට ඇමතුමක් දෙන්න ඔවුන්ට පහසුකම් තියෙනව නමුත් ඔවුන් ජීවත් වෙන්නේ තනියම. දවසකට කිහිප වතාවක් ඒ වගේ රෝගීන් බලන්න යන්න මේ සාත්තු සේවකයින්ට සිද්ද වෙනව. 

 

89


Care Worker කෙනෙක් එක වතාවකට මේ රෝගියෙක් එක්ක ගතකරන්නේ, විනාඩි 30ත් පැයත් අතර කාලයක්. නමුත් මේ රැකියාව කරන බොහෝ දෙනෙක් මාත් එක්ක කිවුවේ ඒ සඳහා ලබාදෙන මේ කාලය කොහොමටවත් ප්‍රමාණවත් නැහැ කියන එක. නමුත් රැකියා ඒජන්සිය ඔවුන්ට දෙන්නේ ඒ වගේ සීමිත කාලයක්. මේ සීමිත කාලය තුළ අදාළ රෝගියා ගැන සියලු විස්තර කියවල රෝගියාට සාත්තු සප්පායම් කිරීම වගේම තමන් කළ හැම දෙයක්ම රැකියා ඒජන්සියේ ඇප් එකට ඇතුළත් කිරීමත් කළ යුතුයි. ඒ නිසා සාත්තු සේවකයා මෙතෙන්දි කරන්නේ මැරතන් එකක් දුවනවා වගේ වැඩක්. අනික එක නිවසකින් පිටත් වෙන්න කලින් මේ විදියට තමන් කරපු හැමදේම වාර්තා කළ යුතු නිසා ඇත්තටම සාත්තු සේවය වෙනුවෙන් වැය කරන්න වෙන්නේ ඉතා කෙටි වෙලාවක්.

මේ තත්වය නිසා රෝගීන්ට නිසි සාත්තු සේවයක් නොලැබෙන අවස්ථා වගේම රෝගීන් රැවටීමට ලක්වෙන අවස්ථාත් තියෙනව. ඒ ගැන ඊළඟ ලිපියක විස්තර කරන්නම්.

රැකියාවේ අ/පහසුකම්  
4f45y45
මට දැනගන්න ලැබුන විදියට මේ බොහෝ සාත්තු සේවක සේවිකාවෝ දවසේ පැය 14,16 වගේ දීර්ඝ වෙලාවක් සේවය කරනවා. නමුත් අවාසනාවන්ත දේ තමයි එහෙම දීර්ඝ වෙලාවක් සේවය කළත් ඔවුන්ට වැටුප් ලැබෙන්නේ එයින් අඩකට විතර. ඒකට හේතුව තමයි ඔවුන්ට මේ රෝගීන්ට සාත්තු කරන්න නිවසින් නිවසට යන්න සිදුවීම.
 
උදාහරණයක් විදියට විනාඩි 30ක් රෝගියෙකුට සාත්තු කරලා ඊළඟ විනාඩි 30 ඇතුළත තවත් රෝගියෙක් බලන්න යන්න සිද්ද වෙන්න ඉඩ තියෙනව. මේක ඉතාම දුෂ්කර කාර්යයක්. සමහර වෙලාවට ඔවුන්ට කිලෝමීටරයක් විතර පයින් යන්න වෙනව. නැත්නම් බස් එකේ හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවයක. ඉතින් ප්‍රවාහනය සඳහා ගතවෙන මේ වෙලාව වෙනුවෙන් ඔවුන්ට වැටුපක් ලැබෙන්නේ නැහැ. සමහරු කියන්න පුළුවන්, ඒක සාධාරණයි මොකද ඔවුන් වැඩ කරන්නේ සාත්තු සේවය කරන වෙලාවේ විතරයි කියල. නමුත් නිකමට හිතන්න දවස පුරා ගෙදරින් ගෙදරට කිලෝමීටර් ගණනක් දුවන මේ සාත්තු සේවක සේවිකාවෝ දවසේ පැය 14ක් වැඩ කළත්, වැටුපක් ලැබෙන්නේ පැය 8කට විතරක් නම්?
ලංකාවේ ඉඳල ආපු සමහර care workers ල ටික කාලෙකට පස්සේ මෝටර් රථයක් අරගෙන වැඩට යනවා මම දැකල තියෙනව. නමුත් අමාරුම දේ කාර් එකක් ගන්න එක නෙවෙයි, රියදුරු බලපත්‍රය ගන්න එක. ඒක ඉතා වියදම් සහගත සහ දිගු කාලයක් වැයවෙන වැඩක්. ඒ නිසා අහම්බෙන් කෙනෙක් කාර් එකක් ගත්ත වුණත්, වැඩි දෙනා වැඩට යන්නේ පොදු ප්‍රවාහනයේ. ගොඩක් වෙලාවට ඊට පස්සේ ගෙදරින් ගෙදරට කඩියෝ වගේ පයින් දුවනවා. දවස ඉවර වෙලා ඔවුන් ගෙදර දුවගෙන එන්නේ ඇවිදලා, ඇවිදලා කකුල් ඉදිමිලා.

කෑම පැයක් ලැබුණත් ඒ පැයට ගෙවීමක් ලැබෙන්නෙත් නෑ, ඒ වගේම රෝගියෙකුගේ නිවසක ඉඳගෙන කෑම ගැනීමත් ඔවුන්ට තහනම්. තේ එකක් හෝ කෝපි එකක් ගෙදරින්ම හදාගෙන ආවොත් මිසක් රෝගියා අවසර දුන්නත් රෝගියාගෙන් තේ එකක් බීමත් තහනම්.  

මේ විදියට ගත්තම මේක බ්‍රිතාන්‍යයේ තියෙන ඉතාම දුෂ්කර සහ අවම පහසුකම් සහිත, ඒ වගේම කිසිදු ඇගයීමකට ලක් නොවෙන රැකියාවක්.

පුහුණුව සහ වැටුප

wage343
ඔබ දන්නවද මේ තරම් අමාරු රැකියාවක් කළත් මේ බොහෝ සාත්තු සේවකයින්ට ලැබෙන්නේ බ්‍රිතාන්‍යයේ අවම වැටුප කියල? ඒක මේ රටේ ඕනෑම නිසි පුහුණුවක් හෝ පළපුරුද්දක් නැති සේවකයෙකුට ලැබෙන වැටුපක්.

රැකියාවට බඳවා ගන්න කලින් ඔවුන්ට සතියක විතර intensive පුහුණුවක් ලැබෙනවා. සමහර රැකියා ඒජන්සි පුහුණු වෙන කාලේ වෙනුවෙන් වැටුපක් ගෙවුවත් බොහෝ ඒජන්සි ඒ සතියට වැටුප් ගෙවන්නෙත් නැහැ.

මේක 'වහල් මෙහෙයක්' කියල මම මුලින්ම කිවුවේ ඒ නිසා.

නයිජල් ෆරාජ් ල වගේ ජාතිවාදීන් මේ රටින් එලවන්න හදන්නේ මේ වගේ 'වහල් මෙහෙයක' යෙදෙන විදේශිකයෝ. සංක්‍රමණිකයින් මෙහෙම දුක් විඳගෙන රැකියා කළාට බොහෝ ස්වදේශිකයෝ මේ වගේ රැකියා කරන්න කැමති නැහැ. ඒ නිසා වීසා දික් කරන්නේ නැතුව මේ සාත්තු සේවකයින් සේරම එකපාරට මේ රටින් එලවල දැම්මොත් නම් බ්‍රිතාන්‍ය සාත්තු සේවයේ දැවැන්ත අර්බුදයක් මතුවෙන්නත් ඉඩ තියෙනව.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජුනි 11

ප.ලි. නූතන වහල් මෙහෙය ගැන කතා කරද්දී, කෙනෙකුට ජීවිතේ අහන්න පුළුවන් දුක්බරම කතාව අහන්න තරම් අද මම අවාසනාවන්ත වුණා. ලංකාවේදී, මැද පෙරදිගදී, එංගලන්තයේදී බොහෝ දෙනෙකුගේ අතින් අත යමින් ලිංගික වහලියක් සහ නොමිලේ ශ්‍රමය පුදන්න සිද්දවුණ ගැහැණියකගේ කතාවක්. අම්ම, ස්වාමි පුරුෂයා, හාම්පුතා සහ ලංකාවේ නපුරු මිනිසුන් නිසා ජීවිතය විනාශ වූ ගැහැණියක් ගැන කතාවක්. පය හතරක් මම ඒ කතාව අහගෙන හිටිය. ඉක්මනින්ම ඒ කතාවත් ඔබට කියන්න මම බලාපොරොත්තු වෙනව.
 
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...