17 වැනි වියේදී සිදු කළ බලහත්කාර විවාහයකින් ඇරඹී, මැදපෙරදිග ලිංගික වහල්භාවය හරහා බ්‍රිතාන්‍යයේ මහමගට ඇදවැටුණු අසරණ ලාංකික ගැහැනියකගේ සැබෑ ඛේදවාචකය.
දශක හතරක අනේකවිධ වධහිංසා මැද දරුවන්ද අහිමිව, නූතන වහල් මෙහෙයේ ගොදුරක් බවට පත්ව ලන්ඩන් නුවර අතරමං වූ විනීතාගේ අනුවේදනීය කතාව.
එක් කුසේ උපන් සොයුරා සහ තමන් මෙලොවට බිහි කළ මෑණියන් විසින් බලහත්කාරයෙන් අසල්වැසි ගමේ පුරුෂයෙකුට විවාහ කර දෙන විට ඇය 17 හැවිරිදි යුවතියක වූවාය.
සිය පාසල් ගමන පවා නවතා දමා, ඇයගේ සියලු අනාගත සිහින විනාශ කර දමමින්, ඔවුන් ඒ වැඩිමහල් පුරුෂයාට තමා සරණ පාවා දුන්නේ මන්දැයි විනීතාට* තවමත් සිතාගත නොහැකිය.
අම්මාගේ සහ අයියාගේ ඒ තීරණය සිය ජීවිතය උඩු යටිකුරු කොට විනාශ කර දමන ශාපයක් බවට පත්වනු ඇතැයි, අකමැත්තෙන් ඔහු සමග අතිනත ගන්නා මොහොතේ විනීතා සිහිනෙන්වත් නොසිතුවාය.
ඔවුන් දෙදෙනා ගේ බලකිරීම නිසා සිදු කෙරුණ ඒ විවාහයත් සමග ආරම්භ වූයේ වධ දීම්, ලිංගික අතවර, වහල් මෙහෙය යනාදී ලෙසින් අතිශය වේදනාකාරී ලෙසින් ගෙවී ගිය දශක හතරක අනුවේදනීය කතාවකි.
******************
ජීවන ගමනේ හය වෙනි දශකයද පසු කොට සිටින ඇය, මේ වන විට යන, එන මං නැති, දන්නා හඳුනන කාත් කවුරුවත් නැති අනාථ, අසරණ කාන්තාවකි.
දශකයකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයේ වාසය කරන නමුත්, තමන් බ්‍රිතාන්‍යයේ වෙසෙන්නේ කුමන පදනමක් යටතේ දැයි (visa status) පවා ඇය නොදන්නීය. ඇය දන්නේ කිහිප වරක් තමන් ලන්ඩන් නගරයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට (Home Office) කැඳවාගෙන ගිය බව පමණය. එසේ තමන් කැඳවාගෙන ගිය නීතිඥ මහතා එතෙක්, මෙතෙක් තමන්ගෙන් කිසිම මුදලක් අය නොකළ බවත් විනීතා කෘතවේදීව සිහිපත් කරන්නීය.
වසර ගණනාවක් තැනින්, තැන යමින්, මහ මගදී හමුවන පුද්ගලයින්ගේ අනුකම්පාව මත ඔවුන්ගේ නිවහනක තාවකාලිකව හිසට සෙවණක් ලබමින් කල් ගෙවුව ද, බ්‍රිතාන්‍යයේ නිවාසවල සේවය කළ දස වසරක පමණ කාලය තුළ ඇයට වේතනයක් ලෙසින් නම් කිසිදු මුදලක් ලැබී නැත.
ඇය මෙතෙක් වාසය කළේ කුමන ප්‍රදේශයක ද - ලන්ඩන් නුවර ද, වේල්සයේ ද, මැන්චෙස්ටර් නුවර ද - යනාදී කිසිවක් ද ඇය නොදනී.
කෑම, බීම සහ ඉඳුම් හිටුම් පමණක් දී ඇය මෙහෙකාර සේවයේ යොදාගත් ශ්‍රී ලාංකිකයින් ද ඇතුළු කිසිවෙක් අඩුම තරමින් පාන් ගෙඩියක් ගන්න කියා හෝ ඇය අතට මුදලක් දී නැත. ඒ සියල්ල එසේ වුවත්, විනීතා ඒ කිසිවෙකු කෙරෙහි අමනාපයක් ද නැත. යන, එන මං නැතිව අසරණව මහ මග වැටී සිටි තමාට හිසට සෙවනක් දීම ගැන ඇය ඔවුන්ට ද කෘතවේදී වන්නීය.
එවන් ජීවිතයක් ගතකරමින් සිටි ඇයට දැන් සති කිහිපයකට ඉහත දී බ්‍රිතාන්‍ය පුණ්‍යායතනයක් විසින් කෑම, බීම වෙනුවෙන් අතට දුන් මුදල බ්‍රිතාන්‍යයේ වාසය කළ දස වසරකට අධික කාලය තුළ ඇයට ලැබුන එකම මුදලය.
විනීතා ගේ කතාව, 21 වෙනි සියවසේත් ලෝකය පුරා නූතන වහල් මෙහෙය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ඛේදනීයම උදාහරණය යයි මට සිතේ.
දශක කිහිපයක මාධ්‍ය ජීවිතය තුළ මෙතරම් දුක්බර කතාවක් මම අසා නැත්තෙමි.
**********
වරින්වර හඬමින්, සුසුම් ලමින්, ආයාසයෙන් මතකය අවදි කරමින්, සිය නම, ගම ඇතුළු සියලු විස්තර හෙළිකරමින් පැය ගණනාවක් මුලුල්ලේ "විනීතා" මා සමග කී ඇගේ කතාවේ සියලු විස්තර මට ඔබට හෙළි කළ නොහැකිය. මෙහි සටහන් කෙරෙන්නේ ඇගේත්, සමීපයින්ගේත් අනන්‍යතාවය ද ආරක්ෂා කරගෙන, ඒ වේදනාබර කතාවෙන් මට ඔබට කිව හැකි සාරාංශයක් පමණය.
"මම ඉස්කෝලේ ගොඩක් ආසාවෙන් ඉගෙන ගත්ත. මට ආසාව තිබුණෙ හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න. මම මගේ පන්තියේ monitor. කලා සමිතියේ සභාපති. සාමාන්‍ය පෙළ ට ඇතුළත් වෙනවත් එක්කම මම ඉස්කෝලේ prefect කෙනෙක් වුණා."
එහෙත් මොකක්දෝ කරුමයකට විනීතා ගේ මව හෝ වැඩිමහල් සොහොයුරා ඇගේ පාසල් ගමන ගැන එතරම් මනාපයක් නොදැක්වූහ.
"මට යාන්තම් අවුරුදු 17 වෙද්දී අයියගේ යාලුවෙක් අයියත් එක්ක කතාකරලා, මම බෑම කියද්දී බලෙන් කච්චේරියට එක්කගෙන ගිහින් කසාද බැන්දුවා. බැඳලා මාසෙකින් දෙකකින් විතර එයා අපේ ගෙදරත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්ත. රණ්ඩු කරලා එයාගේ අයියගේ ගෙදරට එක්කගෙන ගියා. පස් හය දෙනෙකුට ඉන්න ඒ ගෙදරටම තිබුණෙ කාමර කෑලි දෙකක් විතරයි."
ඒ රණ්ඩු දබර කෙළවර වූයේ ඇයට වධ කඳවුරක් වූ ඒ නිවහන පමණක් නොව සිය දරුවන් පවා හැර දමා ඇය නිවසින් පලා යාමෙනි.
දරුවන් අහිමි කළ මැදපෙරදිග වහල් සේවය
"මට නින්දෙන් දරුවෝ පේනවා, මහත්තයෝ. මගේ පොඩි දරුවෝ පේනවා, මගේ අයිය පේනවා, ඉස්සර නම් මම හීනෙන් කෑගහනවා, ඒත් දැන් ටිකක් ඒක අඩු වෙලා ..."
දිනපතාම ස්වාමි පුරුෂයාගේ පහරදීම් සහ අනේකවිධ අතවර දරාගත නොහැකිව විනීතා දරුවන් පස් දෙනා ද හැර දමා නිවසින් පැන ගියාය. ගමෙන් පැන ගොස් දුර, බැහැර පළාතක දන්නා හඳුනන නිවසක වෙසෙන අතරවාරයේ ඒ නිවසේ ගෙහිමියා ඇයට මැද පෙරදිග රටක රැකියාවක් සොයා දීමට උත්සුක විය.
යන, එන මං නොමැතිව සිටි විනීතාට ඒ යෝජනාව දැනුනේ මහමෙරක් මෙනි. ඇය ඒ රැකියාවට ගියේ ක්ෂේම භූමියකට කැඳවා ගෙන යන්නා සේ හැඟීමක් ඇතිවය. ගමන සඳහා විය හියදම් දැරුවේ ද නිවෙස් හිමියාය. මැද පෙරදිග රැකියාවට ගොස් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිවසට මුදල් එවීමටත් හැකිවනු ඇතැයි ඇය උදක්ම බලාපොරොත්තු වූවාය.
ඒ රට කුමක් දැයි විනීතාට දැන් මතක නැත. වරෙක එය සවුදි අරාබිය බව පවසන ඇය, තවත් වරෙක කියන්නේ ඒ යේමනය කියාය. ඒ නිවසේ කොතරම් කලක් වහල් මෙහෙයක යෙදුනේ ද යත්, එහි හරියටම වසර කීයක් සේවය කළා දැයි යන්න ගැනත් ඇයට නිශ්චයක් නැත.
කොතරම් කාලයක් සේවය කළත්, නිවසට යැවීම සඳහා ඇයට කිසි දිනෙක වැටුපක් ලැබුණේ ද නැත. එමතු නොව, සිය දරුවන් ඇමතීම සඳහා දුරකතන ඇමතුමක් ගැනීමට ද නිවෙස් හිමියෝ ඇයට අවසර නොදුන්හ.
එහි ප්‍රතිඵලය වූයේ ඇයට සිය දරුවන් පස් දෙනා සමග තිබූ සියලු සම්බන්ධතා බිඳ වැටීමයි.
සිය කුසෙන් වැදූ දරුවන් මේ වනවිට සිටින්නේ කොහේ දැයි හෝ ඔවුන්ගේ දුරකතන අංකයක් හෝ විනීතා නොදනී!
දිවා, රෑ කිසිදු නිවාඩුවක් නොමැතිව නිවසේ බැල මෙහෙවරේ යෙදුණ විනීතා, දහවල් දරුවන් පාසලට ඇරලවන අතර, ස්වාමි පුරුෂයා සහ ගෘහණිය ද රැකියාව සඳහා පිටව ගියහ.
එහෙත් නිවසේ කිසිවෙක් නැති වේලාවක් බලා ස්වාමියා දහවල් දවසේ නිවසට එන්නේ වෙනත් බලාපොරොත්තුවකිනි.
එලෙස, ඒ නිවසේ සේවය කළ වසර ගණනාවම ඇයට නිවෙස් හිමියාගේ මනදොල පිරවීමට සිදුවිය. කොපමණ කාලයක් එසේ වහල් මෙහෙයේ යෙදුනා ද යන්න හෝ ලිංගික වහලියකව සිටියා ද යන්න පවා ඇගේ මතකයේ නැත.
මැදපෙරදිගින් ලන්ඩනයට රැගෙන ආ ශ්‍රම සූරාකෑම

ඒ නිවසේ සේවය කරන අතරතුර විනීතා කිහිප වරක්ම ලන්ඩන් නගරයට ද පැමිණියාය.
නිවෙස් හිමියාගේ වැඩිමහල් දියණියක ලන්ඩන් නුවර වාසය කරන අතර, වරින්වර ඔවුන්ගේ ලන්ඩන් නිවසට පැමිණ ඇයගේ සහ ස්වාමි පුරුෂයාගේ බැල මෙහෙවර කිරීමට ද ඇයට සිදුවිය.
දියණියගේ නිවසේ සේවය කිරීම වෙනුවෙන් මාසයකට පවුම් 200 ක මුදලක් ගෙවූ බව විනීතා පවසන්නීය. එහෙත් එය බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය මාසික වැටුප් මෙන් 10%කටත් වඩා අඩු මුදලකි. ඒ අයුරින් ගෘහ සේවිකාවකගේ ශ්‍රමය කොල්ල කෑම බ්‍රිතාන්‍යයේ දඩුවම් ලැබිය හැකි වරදකි.
එහෙත් නීතිය නොදන්නා විනීතා ලන්ඩන් පුරවරය දැක්කේ ගුවන් තොටුපොළේ සිට ඇය කැඳවාගෙන එන විට සහ යළි මැදපෙරදිග රටට කැඳවා යනවිට පමණි.
ලන්ඩනයේ දියණිය ගේ නිවසේදී දිනක් ගෘහණිය සහ ස්වාමි පුරුෂයා බරපතල දබරයක පැටලුණි. ඉන් පසුව විනීතා ගැන කිසිදු සොයා බැලීමක් නොමැතිව නිවසෙන් පිටව ගිය දියණිය සහ ඇගේ ස්වාමි පුරුෂයා දින කිහිපයක් බලා සිටියත් යළිත් නිවසට පැමිණියේ නැත.
විනීතා කුසට අහරක් ද නොමැතිව, සිදුවන්නේ කුමක් දැයි නොදැන, ඔවුන් එනතුරු බලා සිටියාය.
අවසානයේ නිවසේ දොරත් හැර දමා මහමගට පිවිසි විනීතා හිස හැරුණ අත ඇවිදින්නට වූවාය.
**************
විදේශගතව සිටියදී අම්මා මෙලොව හැර ගිය බව විනීතාට දැනගැනීමට ලැබිණ.
තමන්ට අත් වූ ඉරණම ගැන අම්මා පසුව ශෝක වූ බව ද ඇයට මතකය. ඒ තමන් මැද පෙරදිග බලා පිටත්ව ගිය පසුවද, නො එසේනම් ඊට පෙරද යන්න ඇගේ මතකයේ නැත.
"මම නිසා තමයි ... උඹට මෙහෙම වුණේ කියල අම්ම අඬ, අඬ කිවුව. මම කිවුව එහෙම හිතන්න එපා අම්මේ, මේක මගේ කරුමය කියල ..."
"මම අම්ම එක්ක තරහ නෑ, අම්මට මම ආදරෙයි ..."
බලහත්කාරයෙන් තමන් විවාහ කර දුන් සොහොයුරා ද මිය පරලොව ගොසිනි.
ඔහු ගැනත් කහටක් ඇගේ හිතේ නැත.
වේතනයක් නොලද දස වසරක බ්‍රිතාන්‍ය සංචාරය
පාසල් යන වයසේ සිටින සුදු ජාතික දරුවෙකු බලා ගනිමින්, නිවසේ මෙහෙවර ද කරමින් ලන්ඩන් නගරයේ වෙසෙන විනීතා සවුදි දියණිය ගේ නිවසින් පිටව ගොස් දැනට දශකයකට වැඩිය.
එවක් පටන් මේ වන තුරු ඇය බැලමෙහෙවර කළ නිවෙස් ගණන ඇයට මතක නැත. ඒ අතර ශ්‍රී ලාංකික පවුල් ද තිබිණ. බොහෝ දෙනා ඇයට කාරුණිකව සැලකූ නමුත් ඇය මුහුණ දී සිටින තත්වය දැනගත් පසු කිසිවෙකුත් ඇයට කිසිදු වැටුපක් නම් ගෙවුවේ නැත.
මේ මොහොතේ තාවකාලිකව රැඳී සිටින නිවසින් ද ඉතා ඉක්මනින්ම පිටව යාමට ඇයට සිදු වී තිබේ. එහෙත් ඊළඟට යන්නේ කොහාට දැයි ඇයට සිතාගත නොහැකිය.
"මට දැන් වයසයි මහත්තයෝ. ඇවිදින්නත් ටිකක් අමාරුයි. හැමදාම මෙහෙම බැලමෙහෙවර කරලා .... තව කොයි තරම් කාලයක් මෙහෙම දුක් විඳින්නද මහත්තයෝ ..."
"මම ඉක්මනට මැරිලා යාවි මහත්තයෝ. මට දැන් ඕන කකුල් දෙක එක තැන තියාගෙන ටිකක් නිදහසේ වැටිලා ඉන්න තැනක්."
************

සවුදි දියණිය ගේ ලන්ඩන් නිවසින් පිටව ගිය විනීතා මහ මග ඇවිදිමින් සිටියදී හමු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථානයකට කැඳවාගෙන ගියාය.
විනීතා ගේ කතාව ඇසූ භික්ෂූන් වහන්සේ ඇය උන් වහන්සේ හඳුනන ශ්‍රී ලාංකික පවුලකට භාර දුන්හ.
ඔවුන්ගේ නිවස පිහිටියේ ලන්ඩන් නුවර ද, නො එසේනම් ලන්ඩනයෙන් පිටත දැයි විනීතාට අවබෝධයක් නැත. ඒ නිවසේ හිමියන් ඇයට හොඳින් සැලකූහ. එහිදී කෑම, බීමෙන් හෝ පහසුකම් වලින් කිසිදු අඩුවක් නොතිබුණ බව ඇය කෘතවේදීව සිහිපත් කරන්නීය. එහෙත් නිවසේ ගෘහණිය කාරුණික කාන්තාවක් නොවූ අතර ඇයට කිසිදු වේතනයක් ද නොලැබිණ.
ටික කලක් එහි සේවය කිරීමෙන් අනතුරුව ඇය එම නිවසෙන් ද පිටව ගියාය.
දශක ගණනාවක් නිවසෙන් නිවසට යමින් නොමිලේ බැල මෙහෙවර කිරීමේ ඇගේ චාරිකාව ඇරඹුණේ එලෙසිනි.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අගෝස්තු 19




