ස්ටුඩියෝ එකක සංස්කරණ වැඩකට ගියේ පහුගිය ජුනි 16 වෙනිදා.
ස්ටුඩියෝ එකේ වැඩ ටික ඉවර කරලා අපි තව රෙකෝඩින් එකකට Regent Park එකට ගියා.

ඔය යන අතරේ අපේ නිෂ්පාදක තුමා අපූරු කතාවක් කිවුව. ඔහු කලක් රටවල් ගණනාවක බීබීසී වාර්තාකරුවෙක් විදියට සේවය කරපු පළපුරුදු මාධ්‍යවේදියෙක්.
මීට අවුරුදු ගාණකට කලින් ඔහු 50 දශකයේ steam engine ගැන ගුවන් විදුලි විශේෂාංගයක් කරලා.
බීබීසී ආයතනය සාමාන්‍යයෙන් වැඩසටහන් කරන කොට පුලුවන් හැම අවස්ථාවකම අවශ්‍ය සියල්ල අලුතෙන්ම රෙකෝඩ් කරගන්නවා. Archive clips පාවිච්චි කරන්නේ original clips - ඒ කියන්නේ සද්ද, බද්ද පවා - රෙකෝඩ් කරගන්න ක්‍රමයක් නැතිනම් විතරයි.
නමුත් 50 දශකයේ steam engine වල සද්ද 2015 වගේ කාලෙක පටිගත කරන්න බැහැනේ. ඉතින් අපේ මිත්‍රයා තැටි ගබඩාවට ගිහින් ඒ කාලේ steam engine එකක සද්දයක් අරගෙන ඇවිත්.
සම්පූර්ණ වැඩසටහන පටිගත කරලා, එඩිට් කරල ඉවරවෙලා ඒක අනුමත කරන්න දුන්නම සංස්කාරක තුමා මෙහෙම කීවලු.
"මේක ඔය පාරේ ගියපු steam engine එකක් නෙවෙයි, මේක ... පාරේ ගියපු steam engine එකක්."
ඒ editor ගේ දැනුම ගැන, ඒ තරම් සියුම්ව ශබ්දය හඳුනා ගැනීම ගැන මට පුදුම හිතුණ.
හැබැයි ඒ තමයි එදා බීබීසී එකේ ප්‍රමිතිය. කිසිම විදියකට අසන්නා/ නරඹන්නා රවට්ටන්න බීබීසී ය සූදානම් නැහැ. සමාජ මාධ්‍යවල ආගමනයත් එක්ක තරමක් දුරට ඒ standard බිඳ වැටිලා තිබුණත් බීබීසී ආයතනය අදත් එහෙමයි.
"මම මේක අනුමත කළත්, වැඩසටහන ප්‍රචාරය වුණ ගමන් ඇතිවෙන්න පැමිණිළි ඒවි," කියලත් editor කිවුවලු.
ඇත්තටම දුම් කෝච්චි ගැන ඒතරම්ම උනන්දුවක් දක්වන විශාල පිරිසක් බ්‍රිතාන්‍යයේ ඉන්නවා කියල මගේ මිත්‍රය කියනවා.
අන්තිමට ඔහු 50හේ දශකයේදී අදාළ පාරෙම ගිය දුම් කෝච්චියේ සද්දයක් සොයාගෙන වැඩසටහනට එකතු කරලා.
studio එකේ මැරතන් එකක්

දුම් කෝච්චියේ කතාව කීවම මට තව කතාවක් මතක් වුණා.
ඒකත් අවුරුදු දහයක් විතර පරණ කතාවක්.
ලන්ඩන් මැරතන් කියන්නේ ලන්ඩනයේ විතරක් නෙවෙයි ලෝකේ පුරාම ඉහළම පෙළේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්.
එක පාරක් මේ මැරතන් එක වාර්තා කරන්න කියල අපේ අසල්වැසි රටක භාෂා සේවයේ මිතුරෙකුට වැඩක් පැවරිලා.
මිනිහ බොහොම ජනප්‍රිය නිවේදකයෙක්. ක්‍රීඩා වාර්තාකරුවෙක්. දක්ෂ මාධ්‍යවේදියෙක්. ඒ වගේම හරිම ප්‍රිය මනාප කෙනෙක්.
හැබැයි හරිම කම්මැලියෙක්.
ටික වෙලාවකින් මිනිහ රේඩියෝ එකේ හති දම, දම දුවමින් මැරතන් එක රිපෝට් කරනවලු. ඒක සජීව වාර්තාවක්.
හැබැයි මිනිහ මැරතන් එක පැත්ත පළාතක ගිහිල්ල නෑ.
අපේ මිත්‍රයා ජංගම දුරකතනයත් අරගෙන මැරතන් එක දුවල තියෙන්නේ studio එක ඇතුළේ! විස්තර විචාරය කරලා තියෙන්නේ රූපවාහිනිය බලාගෙන.
අදාළ මාර්ගයේ ගිය දුම් කෝච්චියේ සද්දයම අඳුරගත්ත editor වගේම මේ වගේ කට්ටියත් බීබීසී එකේ හිටිය/ඉන්නවා.

ඒත් බීබීසීය කවදාවත් ඒ වගේ වැඩ අනුමත කරන්නේ නෑ.
මම හිතන්නේ කරපු වැඩේ ගැන අපේ මිත්‍රයට warning එකක් ලැබිල තිබුණ.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුනි 20



