The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

උගුල් මැද රට දින වූ එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව - නීතිපතිටත් අතුල් පහරක් | Saroj Pathirana

T

The Leader Desk

July 27, 2025 • 5:37 AM

උගුල් මැද රට දින වූ එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව - නීතිපතිටත් අතුල් පහරක් | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජුනි මාසයේ සරක්කුව වෙරළේ සිට නාවුක සැතපුම් 9ක් පමණ ඈතින් ගිනි ගෙන මුහුදුබත් වූ නෞකාව මගින් කරන ලද ව්‍යසනය, නෞකාවක් සම්බන්ධ ලෝකයේ විශාලතම ප්ලාස්ටික් ව්‍යසනය ලෙස සැලකෙන අතර, සාගරයට මුදා හරින ලද විෂ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සලකන විට කලාපය තුළ සිදු වූ ඒ ආකාරයේ දරුණුම අනතුරකි.
  • එසේ එකතුකරන ලද ප්ලාස්ටික් කැබලිති සම්බන්ධයෙන් පසුගියදා බීබීසී ය විසින් කරන ලද ගවේෂණයකින් අනාවරණය වූයේ එම කැබලිති සාගරයේ පවතින තාක් කල් දිගටම විෂ උරාගන්නා බවය.
  • ව්‍යසනය සම්බන්ධයෙන් තක්සේරු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA මීපා ආයතනය) විසින් පත්කරන ලද විශේෂඥ කමිටුව නිකුත් කළ දෙවැනි අන්තර්වාර වාර්තාවෙන් නිගමනය කොට තිබුණ වන්දිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කි.
  • ඒ, 2022 වසර අග භාගය දක්වා කරන ලද පර්යේෂණ ඇසුරින් ඉදිරිපත් කළ නිර්දේශයකි.
අකුරු ප්‍රමාණය (Font Size):


2021 ජුනි මාසයේ සරක්කුව වෙරළේ සිට නාවුක සැතපුම් 9ක් පමණ ඈතින් ගිනි ගෙන මුහුදුබත් වූ නෞකාව මගින් කරන ලද ව්‍යසනය, නෞකාවක් සම්බන්ධ ලෝකයේ විශාලතම ප්ලාස්ටික් ව්‍යසනය ලෙස සැලකෙන අතර, සාගරයට මුදා හරින ලද විෂ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සලකන විට කලාපය තුළ සිදු වූ ඒ ආකාරයේ දරුණුම අනතුරකි.

එදා සාගරයට මුදා හැරුණු කුඩා ප්ලාස්ටික් කැබලිති අද වනතුරුම මීගමුව සහ හලාවත වැනි ප්‍රදේශවල වෙරළට ගසාගෙන එන බැවින්, සියයකට ආසන්න කාන්තාවෝ තවමත් සතියේ දින පහක් වෙරළ තීරයට එකතුවන එම ප්ලාස්ටික් නර්ඩ්ල්ස් (plastic nurdles) එකතු කරති. එසේ එකතුකරන ලද ප්ලාස්ටික් කැබලිති සම්බන්ධයෙන් පසුගියදා බීබීසී ය විසින් කරන ලද ගවේෂණයකින් අනාවරණය වූයේ එම කැබලිති සාගරයේ පවතින තාක් කල් දිගටම විෂ උරාගන්නා බවය. මෙය සමුද්‍ර ජීවීන්ගේ මෙන්ම මත්ස්‍ය භක්ෂක මිනිසා ගේ ද සෞඛ්‍යයට හානිකර තත්වයකි.

ser323

 

ව්‍යසනය සම්බන්ධයෙන් තක්සේරු කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA මීපා ආයතනය) විසින් පත්කරන ලද විශේෂඥ කමිටුව නිකුත් කළ දෙවැනි අන්තර්වාර වාර්තාවෙන් නිගමනය කොට තිබුණ වන්දිය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4කි. ඒ, 2022 වසර අග භාගය දක්වා කරන ලද පර්යේෂණ ඇසුරින් ඉදිරිපත් කළ නිර්දේශයකි. අඩුම තරමින් වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වත් විය යුතු බව, පරිසර යුක්ති කේන්ද්‍රයේ සම-නිර්මාතෘ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ගේ ස්ථාවරය වී තිබේ.



එහෙත් පෙත්සම්කාරියක වන, පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා ගේ තක්සේරුව අනුව, ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දි මුදල ඩොලර් බිලියන 56කි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සහ ආර්ථිකයට කරන ලද විනාශය වෙනුවෙන් තවදුරටත් වන්දි ලබාගැනීම පිණිසත් අවකාශය විවෘතව තබමින් පංච-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව සුවිශේෂී වන්නේ එමගින් ප්‍රදානය කරන ලද දැවැන්ත වන්දි මුදලට අමතරව, ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ මහ ගෙදර ලෙසින් සැලකෙන නීතිපති දෙපාර්තමේන්තුවට ද දැවැන්ත අතුල් පහරක් එල්ල කිරීම හේතුවෙනි.



නීතිපති දෙපාර්තමේන්තුවේ සතුරු ආකල්පය

ව්‍යසනයෙන් අනතුරුව මීපා ආයතනය පත් කළ 40 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුව සම්බන්ධයෙන් ආරම්භයේ සිටම නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියා කළේ සතුරු සහ ඇල්මැරුණු ආකල්පයකින් බව ඒ පිළිබඳ සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හමුවේ හෙළිදරවු කෙරිණ.

ඒ කෙසේ වෙතත්, නෞකා සමාගම විසින් ඉල්ලීමක් කළ අවස්ථාවල වහාම එම ඉල්ලීම් ඉටු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නොපැකිලව ඉදිරිපත් වූ බව තවත් චෝදනාවකි. ඒ අතරම, වියදම් ප්‍රතිපූර්ණය ඇමෙරිකානු ඩොලර්වලින් ලබාගැනීමට දෙපාර්ශවය එකඟව තිබියදී, එම මුදලින් කොටසක් රුපියල්වලින් ලබා ගැනීමට එකඟ වන මෙන් එවක නීතිපති සංජේ රාජරත්නම් උපදෙස් දුන් බව, සමුද්‍රීය පරිසර අධිකාරියේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර පාර්ලිමේන්තු කමිටුවට දැනුම් දී තිබුණි.

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)

 

එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ එවක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ සාගල රත්නායකත් අදාළ මුදලින් කොටසක් රුපියල්වලින් ලබාගන්නා මෙන් උපදෙස් දුන් බවටත් ඇය චෝදනා කරයි. සමස්තයක් වශයෙන් ගත් කළ ව්‍යසනය ආරම්භයේ පටන්ම ආණ්ඩුවේ බලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුව හැසිරුණු ආකාරය ගැටළු සහගත බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ.

සිංගප්පූරු ගියේ ඇයි?

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?
එමතු නොව, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන 2023 අප්‍රේල් මාසයේ නීතිපති දෙපාර්තමේන්තුව නෞකා සමාගමට එරෙහිව සිංගප්පූරුවේ වන්දි නඩුවක් ගොනු කළ ද, වන්දි වශයෙන් ඉල්ලා සිටින්නේ කොපමණ මුදලක් දැයි එම නඩුකරයේ සඳහන් නොවීය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඒ පිළිබඳව මා දිගින් දිගටම කළ විමසීම්වලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණේ වචන හරඹවලින් සෙල්ලම් කරන ආකාරයේ පිළිතුරුය.

සිංගප්පූරුවේ නඩුකරය මගින් ඉල්ලා සිටින වන්දිය ගැන විමසූ විට නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වන්දිය ඇමෙරිකානු ඩොලර් මිලියන 6.4ක් විය යුතු යැයි විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙන බව විනා, නඩුකරය මගින් එම වන්දිය ඉල්ලා ඇති බවක් නොවේ. අවසානයේ සත්‍යය හෙළි වූයේ අධිකරණය ඒ පිළිබඳව ප්‍රශ්න කළ විටය.

එසේම නෞකාවේ 'කළු පෙට්ටිය' ලෙසින් හඳුන්වන Voyage Data Recorder (VDR) ද පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමෙන් අනතුරුව 'අතුරුදහන්ව' තිබුණි. එහෙත් එසේ 'අතුරුදහන් වූ' VDR හි දත්ත නීතිපති දෙපාර්තමේන්තුව විසින් බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අභියාචනයට ඉදිරිපත් කර තිබුන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළිවිය. කෙසේ වෙතත්, නීතිපති දෙපාර්තමේන්තුව එම දත්ත මූලික හිමිකම් නඩුකරයට ඉදිරිපත් කර නොතිබුණි.

බරපතලම කරුණ හෙළිදරවු වූයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ අවසාන අදියරේ දීය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධ සම්පූර්ණ අධිකරණ බලය (exclusive jurisdiction) සිංගප්පූරුවට පවරා දෙමින් නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුව සමග සම්මුතියකට අත්සන් තබා තිබෙන බව හෙළිදරවු කරනු ලැබුවේ නෞකා සමාගමේ නීතිඥයා විසිනි.

එක්ස්ප්‍රස් පර්ල් : ගිනිගත් නැවෙන් වන්දි ගන්න සිංගප්පුරු යෑම ලංකාවට අවාසි ද?
නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවේ වන්දි නඩුව ගොනු කරනු ලබන්නේත්, නඩුව ශ්‍රී ලංකාවේ ගොනු කළ යුතු බවට මීපා ආයතනය විසින් පත්කරන ලද නීති විශේෂඥයින්ගේ කමිටුවක් කළ නිර්දේශය ද නොතකා හරිමිනි.  

නෞකා සමාගම සහ එහි ක්‍රියාකරුට එරෙහිව චෝදනා ගොනුකරමින් සිය නෛතික වගකීම ඉටුකිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන්නේ මේ පසුබිම යටතේය. එමගින් සහ වන්දි ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මහාධිකරණයක් ඉදිරියේ චෝදනා ගොනුකරනු වෙනුවට, සිංගප්පූරුවේ නඩු පැවරීම සඳහා “අසාධාරණ, අතාර්කික සහ හිතුවක්කාර” තීරණයක් ගැනීම මගින් නීතිපති දෙපාර්තමේන්තුව පෙත්සම්කරුවන්ගේත්, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවාසීන් ගේත් මූලික හිමිකම් උල්ලංඝනය කරන ලද බවට අධිකරණය තීන්දු කිරීම පෙර නොවූ, විරූ ආකාරයේ තත්වයකි.

නීතිපති දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවන චෝදනා පිළිබඳව මීට ඉහතදී මා විමසීමක් කළ අවස්ථාවේ, නීතිඥයෙකු සහ සේවාදායකයෙකු අතර ගණුදෙනු සම්බන්ධයෙන් අදහස් පළ කළ නොහැකි බව පවසමින් හිටපු නීතිපති සංජේ රාජරත්නම් කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කළේය.

ඩොලර් මිලියන 250ක අල්ලස



එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය හා බැඳුණ වංචා, දූෂණ චෝදනා හමුවේ පොලිසියේ ක්‍රියා කලාපය ද ප්‍රශ්න සහගතය. වන්දි නඩුව කඩාකප්පල් කිරීම සඳහා චාමර ගුණසේකර නම් පුද්ගලයෙකුට ඩොලර් මිලියන 250ක් අල්ලසක් දී ඇතැයි එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කළ ප්‍රකාශය ගැන සමුද්‍රීය පරිසර අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය (CID) මෙතෙක් නිසි විමර්ශනයක් සිදු කොට නැත.

ඒ පිළිබඳව මුලින්ම කැබිනට් මාධ්‍ය හමුවේත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් පුද්ගලිකව විමසීමෙනුත් පසුව තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත්‍රයට පවා එවක CID අධ්‍යක්ෂවරිය පිළිතුරු දුන්නේ කිහිපවරක් සිහි කැඳවීමෙන් පසුවය. ඒ පිළිතුරේ තිබුණේ අදාළ චෝදනාව පිළිබඳව 2023 වසරේදීම බ්‍රිතාන්‍යයේ වංචා විමර්ශන අංශයෙන් විමසා යවා ඇති බව පමණය. අපරාධ විමර්ශන කොට්ටාශය ඉන් අනතුරුව මේ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නැත. පොලිසියේ මේ හැසිරීම ගැන විනිසුරු යසන්ත කෝදාගොඩත් එක් අවස්ථාවක විමතිය පළ කළේය.  

එහිදී මාධ්‍යවල වාර්තා කෙරුණු චෝදනා සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ මතු කෙරුණු කරුණු සම්බන්ධයෙන් ඇතුළු චෝදනා ගැන පූර්ණ විමර්ශනයක් කරන මෙන් අධිකරණය පොලිසියට මාර්ගෝපදේශ ද සපයා දී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ද අල්ලස් දුන් බවට පාර්ලිමේන්තුවේ චෝදනා නැගුණු බැවින්, අධිකරණයේ මේ නිර්දේශයෙන් ඉඟි කෙරෙන්නේ ඒ චෝදනා සම්බන්ධයෙන් ද පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතු බවය.

මේ තත්වය යටතේ සියලු වංචා, දූෂණ චෝදනා පිළිබඳව විමර්ශන පවත්වන මෙන් පොලිසියටත්, අල්ලස් සහ දූෂණ කොමිසමටත් උපදෙස් දෙන මෙන් අධිකරණය නීතිපතිවරයාට නිර්දේශ කිරීම කැපී පෙනේ. ඇතැම්විට නීතිපති දෙපාර්තමේන්තුවට සහ පොලිසියට විරුද්ධව විමර්ශන පැවැත්වීමට පවා අල්ලස් කොමිසමට සිදුවිය හැකිය.

X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි
ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිසි පරිදි සිය වගකීම් ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් මීපා ආයතනයේ හිටපු සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර සහ ව්‍යසනයට ප්‍රථම සමුද්‍රීය පරිසර මණ්ඩලයක් පත්කිරීමට අපොහොසත්වීම හේතුවෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ත් මූලික හිමිකම් උල්ලංඝන‍ය කොට තිබෙන බවත් තීන්දුවේ දැක්විණ.  

විමර්ශනය අවසන් නෑ

නෞකාවේ ව්‍යසනය වෙනුවෙන් මූලික වන්දි මුදලක් නියම කරමින්, තවදුරටත් වන්දි ලබාගැනීම සම්බන්ධයෙන් වන්දි කොමිසමක් ද ස්ථාපිත කරමින් සහ නෞකා සමාගම මෙන්ම රාජ්‍ය ආයතනත් මේ ව්‍යසනයේදී රටවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කරන ලද බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් මෙම තීන්දුව, ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්න්නකි.

 

X-Press Pearl නඩුව : ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්
ගොනුකරනු ලැබූ නඩුකර හතරම අනුමත කරමින් ජුලි 24 වෙනි දින තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුව ද, එමගින් මේ සම්බන්ධ සියලු නඩු කටයුතු අවසන් කිරීමක් සිදු නොවන බවත් තීන්දුවේ දැක්වේ. අධිකරණය දුන් නියෝග ක්‍රියාත්මක වන්නේ ද යන්න සලකා බැලීම පිණිස නඩුව නැවත 2025 සැප්තැම්බර් 25 වන දින කැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට විදේශීය සමාගමක් බැඳී නැති බවට ඇතැමුන් මතුකරන තර්කය ද පදනම් විරහිතය. නෞකා සමාගම, මෙහෙයුම්කරු මෙන්ම එහි ශ්‍රී ලංකා නියෝජිතයා වන Sea Consortium Lanka සමාගමට ද නඩු තීන්දුව බලපාන බැවින්, තීන්දුව ක්‍රියාත්මක නොකළහොත් දේශීය නියෝජිතයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් පැනවිය හැකිය. එමෙන්ම නෞකාවේ කපිතාන්වරයාට තවමත් ශ්‍රී ලංකාවෙන් පිටවීම තහනම් බැවින්, අධිකරණ තීන්දුව නොතකා හැරීමට නෞකා සමාගම (රක්ෂණ සමාගම) පෙළඹෙනු ඇතැයි සිතිය නොහැකිය.

කෙසේ වුවත්, වන්දි මුදල් ගෙවීමත් සමග රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවට ඇතුළුවන නෞකා සඳහා රක්ෂණ වාරික වැඩිකිරීමේ හැකියාවක් පවතී. එය, රක්ෂණ ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාදාමයකි.

 

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) ව්‍යසනයට වසර හතරක් - ලංකාවට වන්දිය අහිමි  වේවි ද? | Saroj Pathirana
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළීබඳව බීබීසී ය විමසූ අවස්ථාවේ, රක්ෂණ සමාගමේ ප්‍රචාරක ආයතනය සඳහන් කළේ ඒ ගැන මේ මොහොතේ ප්‍රතිචාරයක් පළ කළ නොහැකි බවය.  

පරිසර යුක්ති කේන්ද්‍රය, එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ, ධීවර වෘත්තීය සමිති නායක හර්මන් කුමාර සහ අරුණ රොෂාන්ත ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් නීතිඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, ගාමිණී ප්‍රනාන්දු සහ සරත් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න ප්‍රමුඛ නීතිඥ පිරිසක්, ආචාර්ය අජන්තා පෙරේරා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් ක්‍රිෂ්මාල් වර්ණසූරිය ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක්, සහ මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ගේ පෙත්සම වෙනුවෙන් නිල්ශාන්ත සිරිමාන්න ප්‍රමුඛ කණ්ඩායමක් පෙනී සිටියහ.  

නෞකා සමාගම, මෙහෙයුම් සමාගම සහ ශ්‍රී ලංකා නියෝජිත සමාගම ඇතුළු නෞකාවට සම්බන්ධ සියලු පාර්ශව අධිකරණය විසින් "එක්ස්ප්‍රස් පර්ල් කණ්ඩායම" ලෙසින් හඳුන්වනු ලැබ තිබුණි.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර පෙනී සිටියේ මීපා ආයතනයේ හිටපු සභාපතිනි දර්ශනී ලහඳපුර වෙනුවෙනි. ජනාධිපති නීතිඥ, ආචාර්ය රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර, නිරාන් අන්කටෙල්, ආදීස් තුරෙයිරාජා, ෂහිලා විජේවර්ධන, මාලින් රුද්‍රිගු සහ යසිත් ජයසුන්දර "එක්ස්ප්‍රස් පර්ල් කණ්ඩායම" වෙනුවෙන් පෙනී සිටියහ.

තීන්දුව පිළිබඳව Sandeshaya by Saroj යූටියුබ් නාලිකාව සමග අදහස් දක්වමින් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, ශ්‍රේෂ්ඨාධිකරණය තමන් බලාපොරොත්තු වූවාටත් වඩා ඉදිරිගාමී තීන්දුවක් ලබා දී තිබෙන බව කියා සිටියේය.


මෙම තීන්දුවට එරෙහිව විදේශයකදී අභියාචනයක් ඉදිරිපත් කළ හැකි දැයි කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එවැනි හැකියාවක් නොමැති බවය. මූලික අයිතිවාසිකම් නඩුවල තීන්දුවත් සමග, නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරුවේ පවරා තිබෙන නඩුව සහ බ්‍රිතාන්‍ය අධිකරණයේ වන්දි සීමා කිරීමේ තීන්දුවට එරෙහිව පවරා තිබෙන අභියාචනය සම්බන්ධයෙන් සිදුවන්නේ කුමක් දැයි විමසූ විට ආචාර්ය දාබරේ සඳහන් කළේ, එකම වරදක් සඳහා දෙවරක් දඩුවම් නොදීමේ මූලධර්මය යටතේ තවදුරටත් එම නඩු පවත්වාගෙන යා යුතු යයි තමන් විශ්වාස නොකරන බවය.  
 
523494510 10161221723367155 8047211962999559229 n copy

ඇයි ලංකාදීප මෙහෙම බොරු කියන්නෙ? | Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

Fellow, Pulitzer Centre’s Ocean Reporting Network
(සිළුමිණ පුවත්පත වෙනුවෙන් සම්පාදනය කළ ලිපියකි)

(උපුටා ගැනීම - Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)


සබැඳි ලිපි :

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

'එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අඩු වුණේ නිසි නීති ක්‍රියාමාර්ග නොගත් නිසයි' - ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර කියයි

Xpress Pearl නෞකාව ගිනි ගැනීම: රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශව වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Xpress Pearl නෞකාව ගිනි ගැනීම: නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දි මුදල නොගෙව්වොත් කළ හැක්කේ කුමක් ද?

X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...